Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

<% whichfile=ID & ".asp" Set fs = Server.CreateObject("Scripting.FileSystemObject") Set rs = fs.GetFile(Server.MapPath(whichfile)) Call ReadDisplayFile(whichfile) %>පෙර කර්ම විපාක බුදුරදුන්ටත් ලැබුනා

නිර්මල බුදු වදන මේ තාක් නොනැසී තිබෙනවා නම් ඒ තිබෙන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ තුළ ය යන කාරණය, අප කවුරුත් දන්නා කරුණකි.

එබැවින් බුදුරජාණන් වහන්සේට කර්ම විපාක පල දුන් බව ත්‍රිපිටක ග්‍රන්ථ දත්ත ඇසුරින් සාක්‍ෂි ලෙස මෙසේ විස්තර කරමි.

අපදාන පාලියෙහි අවණට ඵලදායක වර්ෂයෙහි පුබ්බ කම්ම පිලෝතිකාව දාන සූත්‍රයෙහි බුදුරදුන්ට පල දුන් කර්ම විපාක 12 ක් පිළිබඳ විස්තර දක්නට ලැබෙයි. එහි සම්පූර්ණ පෙළ සහ සිංහල අර්ථය බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ අපදාන පාලි අංක 1 පොතෙන් බලාගත හැකි ය. එම සූත්‍රයෙන් උපුටා ගත් පාලි වාක්‍ය කිහිපයක් සමඟ සිංහල අර්ථය පහත සඳහන් වෙයි.

සුනාථ භික්‍ඛවෙ මයිහං යං කම්මං පකතං මයා පිලොති කස්ස කම්ම සස බුද්ධ තෙතපි විපච්චති” “මහණෙනි මා විසින් යම් කර්මයක් කරන ලද ද, මාගේ (ඒ කර්මය) අසව් විපාකාවශේෂ කර්මය බුදු බැව් ලැබූ කල්හි ද විපාක දේ”

පෙර මම අප්‍රකට වූ (ශුද්‍ර) ජාතියට අයත් මුනාළි නම් ධූර්තයකු වීමි (එකල්හි) ක්ලේශයන්ගෙන් නින්දා නොකටයුතු වූ සරභූ නම් පසේ බුදුරදුන්ට නින්දා කෙළෙමි. ඒ කර්ම විපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරි සැරීම්. බොහෝ දහස් ගණන් අවුරුදු දුක් වේදනා වින්ෙඳමි. ඒ කර්මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්දරිකා නම් පරිබ්‍රාජිකාව නිසා මා විසින් නින්දා වචන ලබන ලදී.

සබ්බාභිභූ නම් බුදුරදුන්ගේ නන්ද නම්, ශ්‍රාවකයකු විය. උන්වහන්සේට නින්දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදී. අවුරුදු දස දහසක් පමණ වූ දීර්ඝ කාලයක් නිරයෙහි සැරි සැරීම්, මිනිසත් බව ලත් මම බොහෝ නින්දා ලැබීම්, ඒ කර්මයාගේ ශේෂ වූ විපාකයෙන් චිඤ්ච මානවිකා තොමෝ ජන සමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාහු ය.

මම බොහෝ දෙනා විසින් සත්කාර කරන ලද්දා වූ පුදන ලද්දා වූ බහුශ්‍රැත බමුණකු වීමි. මහ වෙනෙහි පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර හදාරවම්. මහත් සෘධි ඇති පඤ්චාභිඥාලාභී වූ භීම සෘෂි තෙම එහි පැමිණියේ ය. මම (එසේ) පැමිණියහු දැක, නින්දා නොකට යුතු වූ ඔහුට නින්දා කෙළෙමි. ඉක්බිති මම ශිෂ්‍යයන්ට මේ සෘෂි තෙම කාමභෝගියේකැයි කීමි. මානවකයෝ ද මා කී වචන අසා සතුටු වූවාහු ය.

ඉක්බිති මානවකයෝ හැම දෙන ගෙයක් පාසා පිඬු සිඟමින් මේ සෘෂි තෙම කාම භෝගියෙකැයි මහජනයාට කීහ. ඒ කර්ම විපාකයෙන් මේ හැම පන්සියයක් භික්‍ෂූහු සුන්දරිකා පිරිවැජිය නිමිති කොට නින්දා ලැබූහ.

පෙර මම (එක පියෙකුට දාව දෙමවු කුසින් උපන්) වෙමාතික සොහොයුරු ධනය හේතුකොට ගෙන නැසීම් ගිරි, දුර්ගයක හෙළීමි. ගලකින් ද තැළීමි. ඒ කර්ම විපාකය හේතු කොටගෙන දෙව්දත් තෙමේ මට ගලක් පෙරැළීය. (ඉන් නැගුණු) ගල් පතුරක් මාගේ පයෙහි මහපට ඇඟිල්ල තැලී ය.

පෙර මම කුල දරුවකුව මහ මඟෙහි ක්‍රීඩා කරමින් මග (වඩිනා) පසේ බුදු හිමි නමක් දැක ගල් කැබැල්ලක (උන්වහන්සේ) දෙසට හෙළීමි. ඒ කර්ම විපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම් පිණිස දුනුවායන් යෙදවී ය. මම පෙර ඇතරුවකු වීමි. පිඬු පිණිස හැසිරෙන පසේ බුදු හිමි නමක් දැක ඇතා ලවා උන්වහන්සේ ගටාලවීමි, ඒ කර්ම විපාකයෙන් ගිරිබ්බජ නම් උතුම් නගරයේ දී (මත් වී) දරුණු නාලාගිරි ඇතා මා වෙත එළඹියේ ය. මම පෙර පෘථිවීශ්වර වූ රජකු වීමි. සැතකින් ගසා පුරුෂයකු මැරීමි. ඒ කර්ම විපාකයෙන් බොහෝ කලක් නිරයෙහි පැසුණෙමි. ඒ කර්මයාගේ ශේෂ වූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සිවිය සියල්ල (ඇතුළත ලේ තැල්ම නිසා පුදුෂය විය. මම කෙවුල් ගමක කෙවුල් දරුවකු වීමි. නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි. ඒ කර්ම විපාකයෙන් මාගේ හිසෙහි දුක් වේදනාවක් ඇති විය.

ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්ට යව බුදිව්, හැල් නොබුදිව් යැයි නන්දා කෙළෙමි. බමුණකු විසින් ආරාධනය කරන ලදුයෙමි. වෙර ඤජාවෙහි විසීමි. එකල ඒ කර්ම විපාකයෙන් තෙමසක් යව අනුභව කිරීමට සිදු විය.

පෙර මල්ල යුධයක් පවත්නා කල්හි මල්ල පුත්‍රයකු පෙළීමි. ඒ කර්ම විපාකයෛන් මාගේ පිටෙහි දුක්ඛ වේදනාවක් විය. මම පෙර වෙදකු වීමි. (ධන ලෝභයෙන්) එක් සිටු පුතකු විරේක කරවීමි. ඒ කම්යෙන් මා හට ලෝහිත පක්ඛනිකා රෝගය වැළැඳිණි.

පෙර ජෝතිපාල මානවක වූ මම, එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට මුණ්ඩයාට (හිස මුඩුකළහුට) සම්බෝධි ඤාණයක් කොහින්ද? සම්බෝධි ඤාණය ඉතා දුර්ලභ යැයි කීමි. ඒ කර්ම විපාකයෙන් උරුවේලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කර ක්‍රියා කළෙමි. ඉන් පසු සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි. පූර්ව කර්මයෙන් සැප වළක්වන ලදුයේ නොමගින් බුදු බව සොයන්නෙමි. මම ඒ නොමගින් උතුම් සම්‍යක් සම්බෝධියට නොපැමිණියෙමි. පින් පව් ගෙවා ලූයෙමි. කෙලෙස් තැවුල් බැහැර කෙළෙමි. ශෝක රහිත වූයෙමි, උපායාස රහිත වූයෙම් පරිනිර්වාණයට පත් වන්නෙමි. සියලු අභිඥා බලයනට පත් සර්වඥයන් වහන්සේ අනවතප්ත මහවිල් තෙරෙහි දී බික් සඟන හමුයෙහි මෙසේ වදාළ සේක.

මෙම සූත්‍රයට අනුව ලොවුතුරා බුදු වූවන් ඵල දීමට ශේෂ වන කර්ම ‍ෙකාටසක් ඇති බව පෙනෙයි.

බුදු දහමේ සඳහන් පරිදි සත්ත්වයන් තුළ ආකාර 8 කින් ආබාධ ඇතිවන බව පෙන්වා දී ඇත. ඒ පහත සඳහන් ආකාරයටයි.

1. පිත්ත සමුට්ඨාන ආබාධ, 2. සෙම්භ සමුට්ඨාන ආබාධ , 3. වාත සමුට්ඨාන ආබාධ, 4. සන්නි පාතිතා ආබාධ, 5. උතුපරිණාමජා ආබාධ, 6. විසම පරිහාරජා ආබාධ, 7. ඔපක්කම්කා ආබාධ, 8. කම්ම විපාකජා ආබාධ

බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින් උන්වහන්සේට ඵලදුන් කර්ම විපාක පිළිබඳ දැන ගැනීමට නොලැබුණා නම් දෙව්දත් කළ උපක්‍රමයෙන් වූ ගල් පතුරක් වැදී ශ්‍රී පාදයේ මහපටඟිල්ල තැලීම, ඔලක්කමික ආබාධයක් ලෙස පෙන්වීමට, පුළුවන. පිටේ නිතර ඇති වූ රුදාව වාත සමුට්ඨාන ආබාධයකැයි සිතෙන්නට පුළුවනැ. පාදයේ ලේ දූෂ්‍ය වීමෙන් වූ කලුවීම (දූෂ්‍යවීම යනු තැල්ම නිසා ලේ කැටිවීම අදහස් කැරේ) පිත්ත සමුට්ඨාන ආබාධයක් ලෙස පෙනිය හැකි ය. මෙම විපාක සිදුවීම කෙරෙහි පූර්ව කර්ම මුල් වී ඇති බව බුදුරදුන්ගේ දේශනා තුළින්ම මෙසේ දැනගත හැකි ය.

සතර මහා භූතයන්ගේ විසමතාවකින් තොරව කර්ම විපාකයක් ඵල දීමට ක්‍රමයක් නොමැත. එසේ නම් කර්ම විපාකජ ආබාධයක් වෙන්කැර දැනගන්නේ කෙසේද? එහගත් ආබාධයට මුල් වූ ප්‍රධාන කරුණ වාත විසමතාව නම්, එය වාත සමුට්ඨාන ආබාධයකි. පිත දූෂ්‍යවීම ප්‍රධාන කරුණ නම්, එය පිත්ත සමුට්ඨානයකි. උපක්‍රමය ප්‍රධාන කරුණ නම් එය ඔපක්කමික ආබාධයකි. අචින්ත්‍ය වූ කර්ම බලවේගය ප්‍රධාන කරුණ වී නම්, එය කර්ම විපාකජ ආබාධයකි.

ලොවුතුරා බුදුවීමෙන් හෝ අර්හත්වයට පත්වීමෙන් සිදුවන්නේ එතැන් පටන් ඉදිරියට අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභිසංඛාර, ආනෙඤ්ජාභි සංඛාර මතු කිසි විටෙක ඇති නොවන පරිදි සහමුලින් දුරු වී යෑමයි.

කුසල්, අකුසල් විපාක යන සිත් කොටස් තුන තෝරා ගැනීමේ දී අභිධර්මයේ වීථි සිත් පිළිබඳ මනා දැනීමක් තිබිය යුතු ය. වැල නොකැඩී එක දිගට පවතින සිතක් ඇති සේ අපට පෙනුණත්, සිත යනු, පිළිවෙළකට ක්‍රියාත්මක වන චිත්ත වීථි රැහැනකි. මේ චිත්ත වීථි රැහැන සෑදෙන්නේ පංචද්වාර සහ මනෝද්වාර චිත්ත වීථි වලිනි. මෙයට අමතරව සිතක් පනවන්නේ නම් ඊට හේතු පෙන්විය නොහැකි ය. ඉතා සුළු කාල පරාසයක් තරම් වූ මොහොතකදී වුව අධිවේගයෙන් සිදුවන මෙම චිත්ත ක්‍රියාවලිය ලොවුතුරු බුදුවරුන්ගේ අනාවරණ ඤාණයටම විෂය වන්නකි. එසේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැක දැන දේශනා කළ ක්‍රම රටාව අනුව නොබලා සිත ගැන විග්‍රහ කරන්නට ප්‍රයත්ත දැරීම විහිළුවකි, මුලාවකි.

චක්ඛු ද්වාර, සෝත ද්වාර, ඝාණ ද්වාර, ජිව්හා ද්වාර, කාය ද්වාර, චිත් වීථි යනු පංච ද්වාර චිත්ත වීථි යයි. මෙම එකිනෙක චිත්ත වීථි අතර අනුබද්ධාධාරක චිත් වීථි ලෙස චිත්තක්‍ෂණදාහතක ආයුෂ ඇති මනෝද්වාර චිත්ත වීථි තුන බැගින් ක්‍රියාත්මක වෙයි.

චිත්තක්‍ෂණ දහ හතක් ආයුෂ ඇති මෙම චිත්ත වීථි සප්ත රසායුෂ්ක යන නමින් හැඳින්වෙයි. පූර්ණ මනෝද්වාර චිත්ත වීථි ක්‍රියාත්මක වීමේ දී පංචේන්ද්‍රියයන්ගේ සබඳතාවයක් නැත. එසේ ක්‍රියාත්මක වන්නේ ධ්‍යාන සමාපත්ති ඵල සමාපත්ති සමවැදී සිටින මොහොතක දී පමණක් නොව කිව යුතු ය.

මෙසේ මේ චිත්ත වීථි අතරින් චක්ඛුද්වාර ආදී වූ එක් චිත්ත වීථියක් ක්‍රියාත්මක වන මොහොතක දී ඒ චිත්ත වීථිය හැර අන් කිසිම චිත්ත වීථියක් ක්‍රියාත්මක නොවේ. එම චිත්ත වීථියේ චිත්තක්‍ෂණ දහ හතෙන් එක් චිත්තක්‍ෂණයක් ක්‍රියාත්මකක වන විට ඉතිරි චිත්තක්‍ෂණ දහසයම ක්‍රියාත්මක නොවේ. එබැවින් සිතක වර්තමානය යනු එක් චිත්තක්‍ෂණයක ක්‍රියා මාත්‍රයකි. එම ක්‍ෂණය ද උප්පාද, තිථි, භංග යන මාත්‍රා තුනකි. එහිද උප්පාද අවස්ථාවේ, ඉතිරි ක්‍ෂ්ණ මාත්‍ර ද්වය ක්‍රියාකාරී නොවේ.

චිත්තක්‍ෂණයක කාලවේලාව දැක්වීමට නිවැරැදි මිම්මක් සෙවිය නොහැකි වූවත් යම් වැටහීමක් ලබාගැනීමට මෙම උදාහණය තුළින් හැකි වෙයි. චිත්තක්‍ෂණයක් යනු අසුරු ක්‍ෂණයකින් කෝටි ලක්‍ෂයෙන් පංගුවක් තරම් කාල මාත්‍රයකි. අසුරු ගසන නැත්නම් ඇසි පියන් ගසන තරම් කාලයක මේ චිත්තක්‍ෂණ කෝටි ලක්‍ෂයක් තරම් නැගී බිඳී යනු ඇත. පංචේන්ද්‍රිය වලින් දැනීම් ලබමින් එබඳු මොහොතක චක්‍ඛුද්වාර ආදී එක් එක් ඉන්ද්‍රියයන්ගේ මුල්වීමෙන් නැගෙන චිත්ත වීථි කෝටි ගණනකි.

එබැවින් පෙනීම, ඇසීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම, ස්පර්ශය දැනීම, ඒවා පිළිබඳ සිතිවිලි සිතීම, එකම මොහොතක සිදුවන දේ ලෙස රැවටීමකට ගොදුරු වනු ඇත. විදුලි බල්බය තත්පරයකදී 54 වාරයක් නිවි නිවී දැල්වූවත් අපේ දෙනෙතට පෙනෙනුයේ එය අඛණ්ඩව දැල්වෙන ලෙසිනුයි. ඒ ආකාරයෙන් සියල්ල වෙන වෙනම සිදු වූවත් අප සිතන්නේ එක විට සිදු වන ක්‍රියා නිසා ය. සිත පිළිබඳ විශ්ලේෂණය මේ ආකාරයෙන් දුෂ්කර කටයුත්තකි.

පංචද්වාරයක එක් චිත්ත වීථියක් සෑදෙන අයුරු මෙසේ ය.

1. අතීත භවාංග 2. භවාංග චලනය 3. භවාංග උපච්ඡේද 4.පංචද්වාරා වජ්ජන 5. ඒ ඒ ඉන්ද්‍රිය අනුව චක්‍ඛු විඤ්ඤාණ ආදී එක් ක්‍ෂණයක්. 6. සම් පටිච්චන 7.සන්තීරණ 8. වොත්ථපන 9.ජවන 10.ජවන 11. ජවන 12. ජවන 13.ජවන 14.ජවන 15.ජවන 16.තද ලම්භන 17.තදලම්භන

මෙය අතිමහත්තාරම්මණා නම් වූ පංචද්වාර චිත්ත වීථියකි. ඉතා පැහැදිලිව ඇසින් රූප දකින, කණින් ශබ්ද අසන ආදී මොහොතක මෙබඳු චිත්ත වීථි පහළ වෙයි.මෙම වීථි ක්‍රමයට ක්‍රියාත්මක වන බැලීම ඇසීමආදිය කිරීම හැර මෙම චිත්ත නියමයට පටහැනිව කිසිවකුට දැනීමක් හෝ සිතක් පහළ නොවෙයි. බුදුරදුන්ට, රහතුන් වහන්සේට නමුදු සිත් පහළ වන්නේ ද මෙම ක්‍රමයටයි.

අර්හත්වයේ දී සිදු වන්නේ, මෙම නියමය වෙනස්වීමක් නොවෙයි. ඒ සමඟ යෙදුණු අවිද්‍යා සහගත ඡන්ද රාගය, දුරු වීමයි. මෙම චිත්ත වීථියක විපාක සිත් වලට අයත් වන්නේ, සම්පටිච්ඡන සහ සන්තීරණ යන චිත්තක්‍ෂණ දෙක වෙයි. එහි නැගෙන වේදනා සහ සංඥා චෛතසික දෙක සැප හෝ දුක හඟවන චෛතසික වෙයි. එහි විපාක ලෙස විඳින්නට සිදු වන දුක සැප දෙක අර්හත්වයට පත් වූවත් විඳින්නට සිදුවනු ඇත.

එහෙත් අර්හත්වයේ දී අවිද්‍යා තෘෂ්ණා ද්වය දුරු කළ බැවින්, එහි ඇලීමක් ගැටීමක් මුලාවට වැටීමක් කිසි විට සිදු නොවෙයි. මීළඟට චිත්ත වීථියේ අට වැනි ස්ථානයේ ඇති වොත්ථපන නම් චිත්තක්‍ෂණය උදා වෙයි.

එයින් සිදු කරන්නේ ලැබූ දුක හෝ සැප පිළිබඳ ඉදිරියට ගත යුතු පියවර පිළිබඳ නිශ්චය කිරීමයි. එය සැමගේ ම ක්‍රියා සිතකි. සාමාන්‍ය ලෝකයා ඇලීමෙන් ගැටීමෙන්, මුලාවෙන් ඉදිරි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ තීරණ වලට එළඹෙයි.

ඒ අනුව සිතිවිලි, ක්‍රියා හා කථා කළ යුතු ආකාරයට ජවය නිපදවන සිත් පෙළක් ඉදිරි චිත්තක්‍ෂණ 7 කින් ක්‍රියාත්මක කරයි. මතු පුනර්භවයට කර්ම බීජ ගොඩනගන්නේ මෙම ජවන් සිත් හත මගිනි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර ලෙස මේවා හඳුන්වයි. සත්ත්වයා කර්මය ජනිත කරන්නේ මෙම ජවන් සිත් හත තුළිනි. රහතන් වහන්සේට ද චිත්ත වීථියේ වොත්ථ පන චිත්තක්‍ෂණය එසේම පහළ වෙයි. ප්‍රඥා චෛතසිකය අග්‍ර වූ උන්වහන්සේලාට ඇලීම, ගැටීම, මුලාව මුල් කැරගත් මානසිකත්වයක් නැති බැවින් ඒ සඳහා සිතිවිලි, ක්‍රියා හා වදන් ක්‍රියා කරවන ජවනයක් පහළ නොවෙයි. එබැවින් අකම්ප්‍ය භාවයම මුල් කැරගත් ප්‍රඥා චෛතසිකය පෙරටුගාමී වෙයි. අවිද්‍යා තෘෂ්ණාවෙන් මිදුණු සිත, කය, වචනය ක්‍රියාවට පමණක් සීමා වූ ජවන් සිත් හතක් උන්වහන්සේට පහළ වෙයි. එබැවින් මේවාට ක්‍රියා ජවන් යන නම භාවිත කැරේ. මතු පුනර්භවයට කර්ම බලය නොනිපදෙන්නා වූ ඒ ප්‍රඥා චෛතසික, කර්මක්‍ෂය කර ඤාණය යනුවෙන් හඳුන්වයි. අර්හත් ඵල නුවණින් සිදුවන්නේ එතැන් පටන් මතුවට පුනර්භවය සිදු කරන කර්ම ක්‍ෂය වීමයි. මෙය, අතීතයේ සිදු කළ කර්මයන්හි විපාක ක්‍ෂය කරන ඤාණයක් නොවේ. සසර බොහෝ කලක පටන් කරන ලද පුණ්‍ය සහ පාප කර්ම අතර විපාක ගෙන නොදුන් කර්මයෝ ද සැමට අප්‍රමාණ ය. බරපතලම කර්ම හැර සාමාන්‍ය කර්ම විපාක දීමට පසුතලයක් සකස් ව තිබිය යුතු ය. සතර අපාගත වීමට හේතුකාරක වූ කොතෙක් පාපකර්ම තිබුණත් මිනිසත් බව ඊට පසුතලය නොවන බැවින් මිනිසකුව දිවි ගෙවන තුරු ඒවා විපාක ලෙස ක්‍රියාත්මක නොවෙයි. කාම ලෝකයේ දී විඳින්නට සිදු වන නිසි කර්ම විපාකයක් බඹලොව සිටින බ්‍රහ්මයකුට එහි සිටින තුරු එහි පසුතලය එයට නොගැළපෙන බැවින් විපාක ගෙන නොදෙයි. මිනිසා ලෝභ, ද්වේශ, මෝහයෙන් තම ගත, සිත මෙහෙයවුවහොත් එයට අනුකූලව පාප කර්මයෝ විපාක දීමට ඇදී එනු ඇත.

අර්හත්වයෙන් පසු උන්වහන්සේට එබඳු මානසික පරිසරයක් කිසිවිටක ඇති නොවන බැවින් එබඳු විපාක ඵලයක් අත්විඳින්නට නොලැබෙයි. මෙසේ සිදුවන්නේ විපාක ක්‍ෂය කළ නිසා නොව පසුතලය සකස් නොවූ බැවිනි.

අර්හත් උතුමන්ගේ මානසිකත්වය එබඳු පරිසරයක් ගොඩනැඟුවක් බාහිර පුද්ගල ස්වභාව කාලගුණ, විපර්යාස, ආදියෙන් ගොඩනැගෙන පරිසරයකට එබඳු මහද්ගත පුණ්‍ය පාපකර්ම ඇදීවිත් ක්‍රියාත්මක වනු ඇත. බුදුරදුන්ට රහතුන් වහන්සේට ඵල දෙන්නේ එබඳු අල්ප මාත්‍ර කර්ම ශේෂයකි. මෙත් සිත් පතුරන උතුමන්ට ද කාමාවචර අකුසල කර්මඵල දීමට ඇති අවස්ථා දුරස් වෙයි. එබැවින් ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝජනයට ගෙන ඇතැම් කර්ම විපාක වළක්වා ගත හැකි ය.

එබැවින් කර්මයට වහල්ව එයට ඉඩ දී උකටලී වීම, මෝඩකමකි. කුසලයෙහි පිහිටා මෙත්තා සහගත කායකර්ම වචී කර්ම, මනෝ කර්ම සිදු කිරීම පාප කර්ම බලවේග පලවා හැර ජය ලබන මඟක් බව තේරුම් ගත යුතු යි. තවත් ගැටලු සහගත තැනකි, පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි ද භික්‍ෂූන් වහන්සේ අතර මෙම ප්‍රශ්නය පැන නැගිණි. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය යනු දෙකකැයි සමහර භික්‍ෂූහු කීහ. එකක්ම යැයි තවත් සමහර භික්‍ෂූහු ප්‍රකාශ කළහ. චිත්ත ගෘහපතිතුමන් මේ අවස්ථාවේ උන්වහන්සේ අතරට පැමිණියේ ය. ධර්ම ධර උගතකු වන එතුමාගෙන් උන්වහන්සේ මෙම පැනය ඇසූහ. එවිට එතුමා උපමාවකින් මෙසේ පිළිතුරු දුන්නේ ය. ස්වාමීනී, කළුගොනෙක් සහ සුදු ගොනෙක් එකළඟ සිටියොත් ඒ ගොන් බානක්ද? නැත උපාසක තුමනියි, භික්‍ෂුණ් වහන්සේ පිළිතුරු දුන්හ. ගොනුන් එකට බැඳ සිටියොත් කළු ගොනා සුදු ගොනාගේ බානද? සුදු ගොනා කළු ගොනාගේ බානද? නැත උපාසකය, යැයි භික්‍ෂුහු පිළිතුරු දුන්හ. එසේ නම් ගොන්බාන යැයි ව්‍යවහාර කැරෙන්නේ ගොනුන් දෙදෙන බැඳ ඇති ලණුව නිසාම ය. මෙසේ පංචස්කන්ධය උපාදන ස්කන්ධය නොවේයි. එහි බැඳුණ යම් ඡන්ද රාගයක් වේද එය උපාදාන යැයි චිත්ත ගහපතිතුමා ප්‍රශ්නය විසඳී ය.

මෙසේ රහතන් වහන්සේට රූපය ඇත. වේදනා ඇත. සංඥා ඇත. සංඛාර ඇත, විඤ්ඤාණ ඇත. එහෙත් ඒවායේ බැඳුණු ඡන්ද රාගය නැත. එහෙයින් උපාදාන නිරෝධය, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය භව නිරෝධයෙන් මතු ජාති නිරෝධය සිදුවෙයි. ජීවත්ව සිටින ජාතිය, අන්තිම ජාතියයි. මතු පුනර්භවයක් නැත. (අයමන්ති මා ජාති, නත්ථි දානි පුනබ්භ වොති)

තවත් එබඳුම ගැටලු සහගත තැනකි, සෝපධිශේෂ නිබ්බාන ධාතුව සහ අනුපධිශේෂ නිබ්බාන ධාතුව.

මෙය විසඳා ගැනීමට බුදුවදනකින්ම හැකි ය. ඛුද්දක නිපාතයෙහි ඉතිවුත්තක පාලියෙහි නිබ්බාන ධාතු සූත්‍රයෙහි මෙසේ දේශනා කැර ඇත.

“ ද්වෙමෙ භික්‍ඛවේ නිබ්බාන ධාතුයො කතමා ද්වෙ ස උපාධි සෙසාච නිබ්බාන ධාතු, අනුපාධි සෙසාච නිබ්බාන ධාතු”

මහණෙනි, සෝපාධිශේෂ නිර්වාන ධාතු කවරේද? මහණෙනි, මේ සසුනෙහි මහණ තෙමේ රහත් වූයේ, පහ කළ ආශ්‍රව ඇතියේ, කරන ලද සිවුමඟ කිස ඇතියේ, බහා තබන ලද කෙලෙස් බර ඇතියේ, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇතියේ, ක්‍ෂය කළ භව බැඳුම් ඇතියේ, මනා කොට නුවණින් දැන කෙලෙසුන්ගෙන් මිදුණේ වේ ද, ඒ රහත්හු පිළිබඳ යම් ඉන්ද්‍රිය කෙනෙකුන් නිරුද්ධ නොකළ හෙයින් ඉටු අනිටු අරමුණු ලබයි ද, සැප දුක් විඳියි ද ඒ පසිඳුරෝ පවත්නා හුම වෙත්, ඒ රහත් හු ගේ රාගක්‍ෂය, ද්වේශය ක්‍ෂය, මෝහක්‍ෂය, වී ඇත් ද, මහණෙනි මේ (ක්ලේශ පරිනිර්වාණය) සෝපාධිශේෂ නිර්වාණ ධාතු නම් වෙයි.

පසැස් ඇත්තා වූ, තෘෂ්ණා දෘෂ්ටින්ගෙන් ආශි‍්‍රත නොවූ, තාදි ගුණ යුක්ත වූ බුදුහිමියෝ මේ නිර්වාණ ධාතූහු දෙකක් වදාරන ලදහ.දිට්ඨ ධම්මික උපධි සංඛ්‍යාත ස්කන්ධ ශේෂසහිත නිර්වාණ ධාතුව එකකි.

යම් නිර්වාණ ධාතුයෙක්හි සර්ව ප්‍රකාරයෙන් භවයෝ නිරුද්ධ වෙත්ද ඒ අනුපාධිශේෂ නිර්වාණ ධාතු තොමෝ සම්පරායික (හෙවත් මරණින් මත්තෙහි) වේ. එය අනුපධිශේෂ නිර්වාණ ධාතුවයි. වටිනා දහම් අරුත් යථාර්ථ ලෙස වටහා ගන්නට අපට ලැබෙයි නම්, එතරම් වාසනාවක් තවත් මේ මිහිපිට නැත.

සැමට තෙරුවන් සරණයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.