Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සාමයෙන් පිරුණු නව වසරකට සැබෑ ලෙස පියනැගීම

සමාජයේ ජීවත්වන අපි සෑමකෙනෙක්ම පාහේ විවිධ කම්කටොලු වලට ලක් වෙමින් විවිධ දුක් සැප ලබමින් ජීවිත ගෙවමු. අවුරුද්දක් ආරම්භයේදී අපි කවුරුත් සුපුරුදු පිරිදි සාමයෙන්, සෞභාග්‍යයෙන් ජීවත්වීමට ප්‍රයත්න දරුවද , ක්‍රමයෙන් අපගේ සිත් සංකීර්ණ ප්‍රශ්නවලට පැටලුණු ජීවන රටාවට නැවතත් වැටෙමු.

එහෙත් බෞද්ධ දර්ශනයේ ඉගෙනුම් අනුගමනය කිරීමෙන් පසුගිය වර්ෂයේ අප මුහුණ දුන් ගැටුම් කාරී බවෙන් ඉවත් වී කටයුතු කළ හැකි බව ඉතා පැහැදිලි කරුණකි.

මූලික වශයෙන් පුද්ගල අසහනකාරී බවට හේතුවන්නේ සිතේ ඇති නොසන්සුන් භාවයයි. සංයුක්ත නිකායේ “ අස්සුත වත්තු සූත්‍රයට අනුව සිතේ ස්වරූපය වන්නේ “ වඳුරෙක් ගසක අත්තකින් තවත් අත්තක් අල්ලා ගන්නා සේ සිතිවිල්ලකින් තවත් සිතිවිල්ලකට මාරුවීමයි.

කෙනෙකුගේ සිතක් එසේ අසහනයකින් තවත් අසහනයකට මාරුවන ආකාරයේ එකක් නම් ඔහුගේ ජීවිතයම අසහනකාරී බවෙන් මෙන්ම, ගැටුම්කාරී බවෙන්ද යුක්ත වෙයි.

එහෙත් මෙම අසහනකාරී බවෙන් හා ගැටුම්කාරී බවෙන් මිදී කටයුතු කිරීමේ විමර්ශනාත්මක බව, බෞද්ධ දර්ශනයේ නොයෙක් තැන්හි සඳහන් වී ඇති කරුණු මගින් උගත හැකිය.

බුදු දහමේ සඳහන් වන අටලෝදහම ද මේ පිළිබඳ හොඳ නිදසුනකි. ලාභ - අලාභ - අයස - යස ආදී මෙම කරුණු සියලු පුද්ගලයන්ට අත්දැකීමට සිදුවන ධර්මතාය. එහෙයින් මේ බව මනාව පසක්කර ගැනීම මගින් ජීවිතයේ පැන නගින විවිධාකාර ගැටලු- ගැටුම් අවම කර ගැනීමට හෝ සපුරා නැතිකර ගැනීමට හැකිය. මෙවැනි අවස්ථාවලදී පුද්ගලයා වීර්යයෙන් කටයුතු කළ යුතු බව අංගුත්තර නිකායේ ධාන සූත්‍රයෙන් පැහැදිලි වෙයි.

ජීවිතයේ දුක් කම් කටොලු අවම කර ගනිමින් ගැටුම් වලින් තොරව ජීවිතය ගෙන යෑමේ දී පුද්ගලයාට ශක්තීන් කීපයක් අවශ්‍ය බව ධම්මපද යේ එන මෙම ගාථාවෙන් පැහැදිලි වෙයි.

උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ
සඤ්ඤාතස්සච ධම්ම ජීවිනෝ
අප්ප මත්තස්ස යසෝභි වඩ්ඩතී (අප්පමාද වග්ග - 4 ගාථාව )

මේ අනුව උත්සාහය ජිවිතයක දී පුද්ගලයාට ලෞකික මෙන්ම ලෝකෝත්තර කාර්ය ඉටු කර ගැනීම් වස් අතිශයින්ම වැදගත් වන්නකි. උත්සාහයෙන් තොරව ආයුෂය , වර්ණය , සැපය, බලය, ප්‍රඥාව යන ලාභ ලැබිය නොහැකි බවද නොපමා බව නිසා සක්‍රයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨ බවට පත් වූ බවද (අප්පමාදෙන මසවා - දේවානං සෙට්ඨතං ගතො ) ධම්මපදයේ සඳහන් වේ. බුදුන් වහන්සේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදීද දේශනා කර වදාළේ උත්සාහය (උට්ඨාන සම්පදා) සම්පත්තියක් බවයි.

සසර දුක වුවද මුලිනුපුටා දැමිය හැකි වන්නේ වීර්යයෙන් බව “ විරියේන දුක්ඛං අච්චේති . යන සංයුක්ත නිකායේ ආලවක සූත්‍ර පාඨයෙන් පැහැදිලි වෙයි. එසේම වීර්යයෙන් උත්සාහයෙන් තොරවීම ගිහි පුද්ගලයාට මලකඩක් (විනාශ වීමක් ) බව

අසජ්ඣාය මලාමන්තා
අනුට්ඨාන මලාඝරා
මලං වණ්ණස්ස කෝසජ්ජං
පමාදෝ රක්ඛනො මලං ...(ධම්මපදය මල වර්ගය )

උත්සාහය මෙන්ම සවිමත් බවෙන් යුක්තවීම ගැටුම්වලින් තොරව නව වර්ෂයක් නව දිවියක් ආරම්භ කිරීමට වැදගත් වූ කාරණයකි. තමා කරන කායික - මානසික කාර්යන් පිළිබඳ නිරතුරු සිහිනුවණින් යුක්තව විසීම , පුද්ගල ගැටලු ඉතා පහසුවෙන් විසඳා ගැනීමට මහත් පිටුබලයකි.

පුහුදුන් පුද්ගලයෙක් බොහෝ විට වෙසෙන්නේ තමා අතීතයේ කළ නොකළ දෑ පිළිබඳ හෝ අනාගත ගැන සිතමින් ය . වර්තමානයේ ජීවත්වන්නේ අඩු වශයෙනි. එහෙත් අප සාමාන්‍ය ජීවිතයේදී වර්තමානයේ කරන දෑ කියන දෑ සිතන දෑ සිහි නුවණින් කරන්නේ නම් එම කාර්යන්හි නිවැරැදිව ඉටුවීමේ හැකියාව ඉතා ඉහළය. මේ අනුව බුදු දහමේ දැක්වෙන සතර අනුපස්සනාව (කායානුපස්සනාව වේදනානුපස්සනාව , චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ) වැඩීමෙන් ලෞකික ගැටලු නිරවුල් කර ගනිමින් ලෝකෝත්තර වීමට හැකියාව ලැබෙයි.

ගැටුම්වලින් තොරව දිවිගෙවීමට හැකියාව ලැබෙන වැදගත් පිළිවෙත වන්නේ ඒ ඒ කාර්යයන් විමසාබලා නැතහොත් නිසම්මකාරී ගුණයෙන් යුක්තව ඉටු කිරීමය. මේ සම්බන්ධයෙන් ඉතා වටිනා අනුශාසනය වන්නේ, අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයයි. ජීවිතයේදී හොඳ - නොහොඳ තෝරා බේරා ගැනීමට , මිතුරන් ඇසුරු කිරීමට විවිධ සමාජ ආකල්ප අදහස් ගැටුමකින් තොරව ග්‍රහණය කර ගැනීමට “ නිසම්මකාරී “ ගුණය වැදගත් වෙයි.

මෙවැනි නිවැරැදි පිළිවෙත් නිසා පුද්ගලයා වේදනාකාරි මානසික ස්වරූපයෙන් මිදී ගැටුමෙන් තොර නිරවුල්ව ක්‍රියා කරන කෙනෙකු බවට පත්වෙයි.

එසේම දැමුණු බව හා දැහැමි ජීවන පැවැත්මක් ඇතිකර ගැනීම ද ගැටුමෙන්තොර දිවියකට එමගින් යහපත් නව වසරකට මඟ පාදා දෙන්නකි. මෙයින් අදහස් වන්නේ තිදොරින් (සිත - කය - වචනය ) මනාව හික්මීම පුද්ගල ජීවිතයට මහත් ශක්තියක් ලබා දෙන්නක් බවයි.

කය වචනය ඇසුරෙන් සිදුවන ගැටුම්කාරී බව “ පඤ්චශීල ප්‍රතිපත්තියෙන් තොරවීම නිසා සිදුවන අතර, සිතේ ඇතිවන ගැටුම්කාරී බව ලෝභය, බද්ධ වෛරය , මිථ්‍යා දෘෂ්ටිය මුල්කොට ඇති වෙයි. ඒ අනුව මජ්ක්‍ධිම නිකායේ සේවිතබ්බ සූත්‍රයට අනුව තිදොරින් කෙරෙන වැරැදි වලින් තොරවීම පුද්ගල පාර්ශුද්ධියට හේතුවන්නකි. සහනශීලි ජීවිතයට හේතුවකි.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් අදහසක් වන්නේ තිදොරින් පිරිසුදු ක්‍රියා කිරීමට සමානවම එදිනෙදා කටයුතු වලදී බාහිර පිරිසුදු බවද අවශ්‍ය බවයි. තම ගෙදර දොර පවිත්‍රව තබා ගැනීම දරුවකු නම් තම අධ්‍යාපනික කටයුතු නිරවුල්ව කිරීම ව්‍යාපාරිකයකු හෝ සාමාන්‍ය වැඩකරුවෙකු නම් තම එදිනෙදා කටයුතු පිවිතුරුව කරගෙන යෑම එම කාර්යවලදී පැන නගින ගැටලු අවම කර ගැනීමට හේතුවෙයි.

මෙම කරුණු හැරුණූ විට බුදු දහමේ අනෙකුත් මූලික ඉගැන්වීම් අනුගමනය කිරීම ද ජීවිතය ගැටුමෙන් තොරව පවත්වාගෙන යෑමට හේතුවෙයි. බුදුන් වහන්සේ දෙසූ තිලක්‍ෂණය අවබෝධ කර ගැනීම මේ සම්බන්ධයෙන් හොඳ නිදසුනකි. ලොව ඇති සියල්ල වෙනස් වෙයි. මේ ක්‍රියාවලිය අවබෝධ කර නොගෙන ජීවිතය උපාදාන වශයෙන් ගැනීමෙන් පුද්ගලයා තුළ දුක ඇතිවෙයි. වෙනස්වීම සහිත ලෝකය ආත්ම වශයෙන් නොගෙන වෙනස් නොවන දෙයක් ලොව නොමැති බව පසක් කර ගැනීමෙන් පුද්ගලයාට ගැටුම්කාරී බවෙන් මිදිය හැකිය. එමෙන්ම බුදු දහමේ උගන්වනු ලබන භාවනා ක්‍රම අතර මරණානුස්මෘති භාවනාවද පුද්ගල හා සමාජ ගැටුම් දුරු කර ගැනීමට අතිශයින් වැදගත් වෙයි. මරණානුස්මෘති භාවනාව යනු, තමා ළඟට මරණය කැඳවා ගැනීමකට කරන ප්‍රයත්නයක් හෝ ජීවිතය පිළිබඳ අසුබවාදී ලෙස සිතීමත් නොවු පොදුවේ ලෝක සත්වයන්ට අනිවාර්යයෙන්ම මුහුණදීමට සිදුවන ස්වාභාවික සිදුවීමක් අවබෝධ කර ගැනීමකි. තම ජීවිතයේ මෙම යථාර්ථය වටහාගෙන ජීවිතය උපාදානයට හේතුවන ඇලීම් අඩුකර ගනිමින් ජීවිතය යහපත් අන්දමින් පවත්වාගෙන යෑම මේ අනුව වැදගත් වෙයි.

බුදු දහමේ දැක්වෙන “ කම්ම “ නියාමය නිසි පරිදි වටහා ගැනීමද හේතුඵල දහම අනුව සිදුවන ජීවිත ක්‍රියාදාමය පුළුල්ව අවබෝධ කර ගැනීම ද ගැටුමෙන් තොරව ජීවිතයට මුහුණ දීමේ ශක්තිය ලැබීමට හේතුවකි.

මේ අනුව බුදු දහමේ දැක්වෙන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණ ජීවිතයට ළඟා කර ගැනීම කෙතරම් ප්‍රායෝගික ක්‍රියාවලියක් දැයි අපගේ දැඩි අවධානයට ලක්විය යුතුයි.

එසේම ධම්මපදයේ සඳහන්

“ නහී වේරේන වේරා නී
සම්මන්තීධ කුදාචනං
අවේරේන ච සම්මන්තී
එස ධම්මෝ සනාත්තනෝ

යන ගාථාවෙන් කියැවෙන “ කිසිකලෙකත් වෛරයෙන් වෛරය නොසංසිඳේ. එය අවෛරයෙන්ම සංසිඳේ. යන බුදුවදන කොතරම් පූජනීය කෙතෙරම් විශ්ව ගෞරවාදරයට පාත්‍රවිය යුතු ඉගැන්වීමක් දැයි සිතෙයි.

සිඟාලෝවාද ව්‍යග්ඝපජ්ජ පරාභව - මංගල යන සූත්‍රවලින් කියැවෙන කරුණුවලට අනුව තෘෂ්ණාවට වහල් නොවී මිතුරු බවෙන් යුතු සමාජයක් බිහිකර ගැනීමේ උතුම් අවස්ථාව අපට ලැබී ඇත.

පුද්ගලයා පිරිහීමට පත් වන කරුණු 4 ක් පිළිබඳ අංගුත්තර නිකායේ ‘ පරිහානි සුත්‍රයේ ‘ සඳහන් වෙයි. ඒවා නම්

1. රාගයෙන් විපුලත්වයට පත්වීම
2. ද්වේෂයෙන් විපුලත්වයට පත්වීම
3. මෝහයෙන් විපුලත්වයට පත්වීම
4. ජීවිතය හා ලෝකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැතිවීම

මෙම කරුණු පුද්ගලයා ගේ පිරිහීමට මෙන්ම සමාජ ගැටුම් සමාජ දුක හා පුද්ගල සන්තාන ගත දුක හටගැනීමේ ප්‍රබල හේතු වෙයි.

එහෙයින් බෞද්ධ දර්ශනය තුළ ඇති විවිධ ඉගැන්වීම් ගැටුම්වලින් තොර නව වසරකට ප්‍රවේශ වීම සඳහා උසස් ශක්තියක් උදාකර ගැනීමට හැකියාව ඇතිකරන බව වටහාගෙන නොපමාව ඒ අනුව කටයුතු කරමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.