Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුකින් මිදෙන හැටි සිතට දැනෙන

බුදුරජාණන් වහන්සේ දුකෙන් පෙළෙන්නා වූ සත්වයන් සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් සදාකාලිකව මුදවා ගැනීම පිණිස දේශනා කළා වූ ධර්මය අවබෝධ කර ගැනීම තුළින් ලද හැකි දුකින් මිදීම ප්‍රායෝගිකව සාක්ෂාත් කළ හැකි අත්දැකීමකි.

බුදුවරයෙක් ලොව පහළ වන්නට පෙර ද දුකට පත් සත්වයෝ එම දුක්වලට බියෙන් තැතිගෙන තමන් දුකින් මුදවා ගන්නා ලෙස, ගස්, ගල්, ගින්න, සුළඟ, ජලය, ඉර, හඳ, තාරකා වැනි බාහිර වස්තූ®න්ට වන්දනාමාන කරමින්, යාග හෝම පවත්වමින්, බලි බිළි පූජා පවත්වමින් ඔවුන් දුකින් මුදවා ගන්නා ලෙස ස්වාභාවික වස්තූ®න්ට මෙන්ම නොපෙනෙන බලවේගවලට ද යාඥා කරමින් බැගෑපත් වූහ. කන්නලව් කළහ. තවත් විටෙක ගුණ ගායනා කිරීමෙන්, වර්ණනා කිරීමෙන් එම බලවේග සතුටු කිරීමෙන් තමන්ට දුකින් මිදීමට හැකි යැයි සිතා ප්‍රශස්ති ගීත ගැයූහ. වේද මන්ත්‍ර ගායනා කළහ.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් කිසි සත්වයකුට දුකින් මිදීමට නොහැකි බව එම ක්‍රම අනුගමනය කරමින් අත්හදා බැලීමෙන්ම වටහා ගත් සිදුහත් තවුස්තුමෝ ඒ සියල්ල මිථ්‍යා දුෂ්ටි ලෙස බැහැර කළහ. සම්මා දෘෂ්ටිය හෙවත් නිවැරැදි දැකීම තුළින් පසක් කර ගත් දුක, දුක ඇතිවන හැටි, දුක නැතිවන හැටි, දුක නැතිකරන මාර්ගය යන චතුරාර්ය සත්‍ය වෙන කිසි ශාස්තෘවරයකුට, පණ්ඩිතයකුට හෝ බලවේගයකට කිසිම අභියෝගයකට ලක් කළ නොහැකි උත්තරීතර ශ්‍රේෂ්ඨ දහම බුද්ධත්වයට පත්වීම තුළින් අනාවරණය කර දුන් සේක.

ලොව්තුරා බුදු දහම තුළින් පෙන්වා දෙන්නේ මරණයෙන් පසු සැප ඇති තැනක ඉපදීමෙන් සෑහීමට පත් විය යුතු බව නොව මෙලොවදීම දුකින් නිදහස් විය හැකි වැඩ පිළිවෙළකි. නමුත් බොහෝ දෙනෙක් සිතන්නේ දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත්, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම සම්පත් ද, මනුෂ්‍ය ලෝකවල මනුෂ්‍ය සම්පත් ද විඳ සසර කෙළවර බුදුන් දැක නිවන් දකින්නට ය. එහෙත් ඒ සසර කෙළවර වන දිනය හෝ නැවත බුදුවරයකු පහළ වන කාලය එසේ ප්‍රාර්ථනා කරන කිසිවෙක් නොදනිති.

එබැවින් නුවණ ඇති බෞද්ධයන් වශයෙන් මැරුණාට පසු නොව ජීවත්ව සිටියදීම තම තමන්ට සියලු දුක් වලින් මිදීමට හැකි බැවින් තුනුරුවන් කෙරෙහි විශ්වාස කොට, ශ්‍රද්ධා - බුද්ධි සම්පන්නව ජීවිතය ගත කළ හොත් දිනෙන් දින ටිකෙන් ටික තමන් දුකින් මිදෙන හැටි සිතට දැනෙන්නට වෙයි.

කරන්නන් වාලේ කරමින් පූජා පවත්වමින් බාලයන් සේ කටයුතු නොකර, තම තමන්ගේ සිතෙන් විමසා බලමින් බුදු දහමට අනුව හැඩගැසෙන විට දුක නැතිවන්නට පටන් ගනී. කසාවතක් පොරවා ගෙන පැවිදි වේශය ගත්ත ද සතර පෝය දිනයට සුදු රෙදි ඇඳ උතුරු සළුවක් කරේ දාගෙන සිල්වතකුගේ වේශයක් ගත්ත ද තම තමන්ගේ චිත්ත අභ්‍යන්තරයේ පවතින රාග, ද්වේෂ, මෝහ යන අකුසල මූල හඳුනා ගන්නේ නැතිව, “අභ්‍යන්තරං ථෙ ගහනං බාහිරං පරිමජ්ජති” යැයි වදාළ පරිදි තම චිත්ත අභ්‍යන්තරය ගැන විමසන්නේ බලන්නේ නැතිව බාහිරෙන් කොපමණ අලංකාර ලෙස ගිහි පැවිදි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වේශධාරියකු වුව ද, දුක නැතිවන හැටි නොදැනෙයි. එසේ තමනුත් මුළා වී අනුන් ද මුළාවට පත්වන විදියේ පැවැත්මක් ඇතිව සිටීමෙන් තව තවත් දුක් පීඩා වැඩි වී අතෘප්තිය, අසහනය සමග භය, ශෝකය වැඩිවන්නට වෙයි. බුදු දහමන් ඉගැන්වෙන සත්‍යය ඕනෑම අයකුට අත්හදා බැලිය හැකිය. එහි සැඟවුණු කිසිවක් නැත.

මූලිකව කළ යුත්තේ තුනුරුවන් සරණ ගොස් පංච ශීලය ආරක්ෂා කිරීමට හැකියාවක් ඇතිකර ගැනීමයි. පන්සිල් සුරකින පුද්ගලයාගේ කය, වචනය හික්මීම තුළින් සිතේ් සංවරකම ඇති වෙයි. පන්සිල් පද වාක්‍ය වශයෙන් ලක්ෂ වාරයක් කීවත්, ඒ තුළින් කියැවෙන ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, වැරැදි කාම සේවනයෙන්, බොරුකීමෙන්, සුරාපානයෙන් යන කාරණා වලින් වැළකී නොසිටී නම් කිසි සහනශීලී ප්‍රතිඵලයක් නොලැබෙයි. එය දහමේ වැරැද්දක් නොව, නොහැකියාව නැත්නම් කුසලතාව නැතිකම හෙවත් අකුසලය නිසා ලැබෙන ප්‍රතිඵලයයි.

යමෙක් පන්සිල් තම හෘද සාක්ෂියට එකඟව රකින්නේ ද, එවන් අයගේ සිත් තුළ බිය හා සැක පහවී යන අතර, ඒ වෙනුවට ඍජු ගතිගුණ ඉස්මතු වෙයි. උජුපටිපන්න පුද්ගලයකු බවට පත්වෙයි. බොරුකීමෙන් වැළකීම නිසා එවැනි පුද්ගලයන් කෙරෙහි සමාජයේ විශ්වාසයක් ගොඩනැගෙන අතර, ප්‍රිය මනාප, ගරු බුහුමන් ලබන අයකු බවට පත් වෙයි. එහෙත් එවන් අය ආඩම්බර නොවෙයි. තව තවත් නිහතමානී වෙයි. එසේ වන්නේ එම ගෞරව සැලකුම් ලැබෙන්නේ තමන් සුරකින දහමේ බලයට බව ඔවුන් නුවණින් දකින නිසා ය.

ප්‍ර‍්‍රාණඝාතයෙන් වැළකී සිටින කෙනෙකුට බාහිර සතුරු උපද්‍රව අඩු වන අතර, එනිසාම ඔහුට බියෙන් හා සැකයෙන් තොරව සෑම මොහොතකම සිටීමට හැකියාව ලැබෙයි. වැරැදි කාම සේවනය හා සුරා පානයෙන් වැළකීම නිසා දන්නා හඳුනන, ඇසුරු කරන අය තුළ පැහැදීමක්, ගෞරවයක්, විශ්වාසයක්, පිළිගැනීමක් ඇති වෙයි. මිනිසුන් වැරැදි වැඩ කර හෝ බලන්නේ සමාජයේ ගෞරවයක් නම්බුවක් කීර්තියක් ඇතිකර ගෙන කැපී පෙනෙන අයකු ලෙස ඉන්නටයි. එහෙත් වැරැදි ක්‍රම තුළින් සතුටක් විඳීමට දරන උත්සාහය ද මුළාවකි. බාහිරව පෙන්වන සතුට එවැනි අයගේ අධ්‍යාත්මය තුළ නැත. එනිසා ඇතුළාන්තයෙන් හඬා වැළපෙන්නකු බවට පත්ව සිටියි.

යමෙක් සිල්වතකු බවට පත් වූ විට ඔහු කටයුතු කරන්නේ තමාගේ හෘදය සාක්ෂියට අනුකූලව ය. එනිසා එවැන්නන් තුළ ඍජුපටිපන්න භාවය නමැති අධ්‍යාත්මික ශක්තිය හටගනී. එම ශක්තිය හෙවත් බලය තුළින් ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, කීර්ති, අපකීර්ති, සැප, දුක ආදී සෑම දෙයක් ම එක සේ දරා ගැනීමට හැකි නිරවුල් හා පිරිසුදු චින්තනයක් පහළ වෙයි. සත්වයන් වෙත ඇතිවන දුක - සැප දෙක, එකම කාසියක දෙපැත්තක් බඳු බවත්, නිත්‍ය නොවන බවත් මෙම නිරවුල් පිරිසුදු ප්‍රඥාව තුළින් පැහැදිලිවම දකින නිසා ත්‍රිලක්ෂණය පිළිබඳ පරිපූර්ණ වැටහීමක් ඇති වෙයි.

බුදු දහම තුළින් උගන්වන ශික්ෂාපදවලට අනුකූ®ලව කය වචනය හික්මවා ගන්නකුගේ සිත සංවර වී තැන්පත් ගති ගුණාංග නිරායාසයෙන්ම ඇති වෙයි. එම සංසිඳීම හෙවත් චිත්ත සමාධිය හේතුවෙන් ලෝක සත්වයා පිළිබඳ යථාභූ®ත ඤාණ දර්ශනය (ඇත්ත ඇති සැටියෙන් දැකීම) පහළ වන අතර, දුකට හේතුවත්, දුක නැතිවන හැටිත්, දුක නැති කර ගත යුතු මාර්ගයත් යන චතුරාර්ය සත්‍ය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලැබෙයි.

මෙකී අවබෝධ ඤාණය නිසා කලින් දුකක් ලෙස සලකා බියට පත් වූ, අලාභ, නින්දා, අපකීර්ති, මරණ, ලෙඩදුක් ආදී තැතිගන්වන හේතු කාරණා, කම්පා විය යුතු දේ ලෙස නොපිළිගනී. එවැනි කාරණා තුළින් හිතට පීඩාවක් ඇති නො වෙයි. එසේම කලින් සැප යැයි සිතා සිටි ලාභ, ප්‍රශංසා, කීර්ති, භව බෝග, සැප සම්පත් ද එසේ නොවන බව දැන ගනියි.

මෙසේ සිතිවිලිවල පදනම වෙනස් වන විට, කලින් දුක් ලෙස සිතූ දේම නැවත සිදුවන විට ඒවා දුක් ලෙස නොව ඇතිවීම හා නැතිවීම යන (උප්පාදවය) ධර්මතාව ලෙස දකී. සැප යැයි කලින් සිතූ දේවල් ගැන ද එලෙසම තේරුම් ගත හැකි නිසා සැප හා දුක යන දෙකේදීම එක සේ දරා ගැනීමේ හැකියාවක් ලැබෙයි. එවන් අයගේ මරණ මොහොතේ දී පවා මෙම සත්‍ය මත පිහිටා සිටීම නිසා සැප හෝ දුක කියා කිසිම දේක එල්බ නොගැනීම නිසා (පංච උපාදානස්කන්ධ ප්‍රහීනවීම නිසා) මරණයෙන් පසු නැවත උපතක් හට නොගනියි.

එබැවින් බුදු දහමට අනුව ‘දුකින් මිදීම’ යනු ප්‍රායෝගික සත්‍යයකි. එය කිසිවකුට බැහැර කළ නොහැකි පරම සත්‍යයකි. මේ ජීවිත කාලය තුළදීම තමන්ටම දත හැකි හා දැනෙන දෙයකි. සදාකාලික දුකින් තොර සැපෙන් පිරි ලෝකයක් ප්‍රතිසන්ධි තලයක් විශ්වයේ කොතැනවත් නැත. මේ අනුව බුදු දහම යන සම්ප්‍රදායානුකූලව ඇදහිය යුතු ආගමක් නොව ප්‍රායෝගිකව තම තමන්ගේ සිතට දැනෙන මානසික නිදහස් විමුක්ති සුවය වෙත දිනෙන් දින ළංවීමට මඟ පෙන්වන දහමක් බව අවබෝධ කර ගෙන - සියලු දෙනා ඒ සඳහා වෙර වීරිය වඩත්වා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.