Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාර (විශ්‍රාමික) පරිවෙණාධිපති, ශාස්ත්‍රාචාර්ය
වහුමුවේ විජයවංස නාහිමි

ප්‍රශ්නය - අශෝක අධිරාජයා බුද්ධ ධර්මයෙහි අභිවෘද්ධිය තකා වෙහෙසෙමින් මහත් උද්‍යෝගයක් හා දැඩි භක්තියක් දැක් වූ නමුත් අනෙකුත් ආගම්වලට නින්දා අපහාස කළ කෙනකු නොවේ. සැබවින්ම ඔහු ආගම්වලට ගරු කොට ලෞකික සැප සම්පතින් ද ඔවුනට සංග්‍රහ කළේය. මේ අශෝක පිළිවෙත සමකාලීන යුගයේ ජාතික පිළිවෙතක් වූ අතර එම යුගයේදී එය ජාත්‍යන්තර ආගමික සහනශීලි පිළිවෙතක් කරා ගිය බව දක්නට ලැබෙයි. මේ පිළිබඳ ව සාධක සහිත ව පැහැදිලි කරන්න.

පිළිතුර - බුදුන් වහන්සේ වදාළ ආගමික සහනශීලිත්වය අශෝක අධිරාජයාගේ සිතට තදින්ම කාවැදුණු බව පැහැදිලිය. සියලුම නිකායයෝ මවිසින් නානා පූජා සංග්‍රහවලින් පුදනු ලබත්” යයි ඔහු හයවන ටැම් ලිපියේ දී කියයි. තවත් තැනක දෙවපි‍්‍රය පි‍්‍රයදර්ශී රජු ගේ කැමැත්ත නම් සෑම තැනම සියලු ම සමය වාදීන් වාසය කටයුතු බවයි. හත්වන සෙල්ලිපියෙහි සඳහන් කරයි.

එක නිකායක ලබ්ධිකයන් වෙනත් නිකායක ලබිධිකයන්ට නින්දා අපහාස නොකොට යුතුයයි අශෝක අධිරාජයා විශ්වාස කළේය. ස්වකීය ලබ්ධීන්ට පමණක් ගරු කරමින් අන්‍ය ලබ්ධීන්ට ගර්හා කිරීම නොකොට යුතුය. යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ට ද පූජා කටයුතු වේ. එයින් උභය පක්‍ෂයේම අභිවෘද්ධිය සිදුවේ. එසේ නොකොළහොත් තමන් ගේ ලබිධියට පාඩු ද අන්‍ය ලබ්ධිකයන්ට අපකාර ද වේ. ඉදින් යමෙක් තම නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය පිණිස හෝ ස්වකීය ලබ්ධියට පූජා කරමින් අන්‍ය ලබ්ධීන්ට නිගා කෙරේ නම් හෙතෙම තම නිකායට හානි පමුණුවයි. සියල්ලෝම ඔවුනොවුන් ගේ ආගම ධර්මය දැන ශ්‍රවණය කරත්වා. අනුන් අදහන ධර්මය ඇසීමට රුචි උපදවත්වාය” අශෝක රජතුමා දොළොස්වන ලිපියෙන් කියයි.

නැණවත් කුළුණුබර පාලකයෙකු හැටියට අශෝක රජතුමා නානා ආගම් ඇදහු ස්වකීය රට වැසියන් සියල්ලන් ගේ සිත්ගන්නා පොදු ධර්ම පද්ධතියක් පිළියෙළ කරගන්ට වෑයම් කළේ බුදුසමයේ ආභාෂයෙන් රාජ පිළිවෙත් මෙන් ම තම ජීවිත චර්යාව ද සහාය කරගත් නිසායි.

ප්‍රශ්නය - අශෝක අධිරාජයාගේ ධර්ම රාජ්‍යය පිළිබඳ ව ඔහුගේ සෙල්ලිපි ටැම්ලිපි හා වෙනත් සාධක ඇසුරු කරගනිමින් කෙටි සටහනකින් පැහැදිලි කරන්න .

පිළිතුර - අශෝක ධර්මරාජ්‍ය මනුෂ්‍ය සත්වයන්ට පමණක් වෙන් කරන ලද්දක් නොවේ. අධිරාජයා මිනිසුන්ටත් සතුන්ටත් වෙදහෙදකම් කිරීමට කටයුතු සැලසූ බවත් මනුෂ්‍යයන්ට ගුණ දෙන බෙහෙත් පැළෑටිත් එසේම සතුන්ට ගුණදෙන බෙහෙත් පැළෑටිත් විදේශ රටවලින් ගෙන්වා ඒවා එවකට නොවැවුණු තැන්වල වැවූ බව දෙවන සෙල්ලිපියෙන් කියැවේ. එකම පණ ඇති සතකුවත් නොමැරිය යුතු යයි ද බිලි නොදිය යුතු යයිද පළමුවන සෙල්ලිපියෙන් නියම කොට ඇත.

ඒ අතරම රජවාසල බොජුන් සඳහා සතුන් මැරීම ද අධිරාජයා තහනම් කොට දිවයින පුරා සියලු සතුන්ට අභය දානය කළ බව ප්‍රකාශයක් කරන ලදී. පස්වන ටැම් ලිපියෙහි සඳහන් වන පරිදි පණ ඇති සතුන් සිටින තැන්වල ලෙලි පවා දැවීම තහනම් කොට සතුන්ට වධහිංසා කිරීමට කැලෑගිනි තැබීමද නොකළ යුතු බවට අණ කළේය. සප්‍රාණයන් අප්‍රාණයන් අහරකොට නොගත යුතු යයි අණ කරන ලදී. හරකුන්ට හා මිනිසුනට සෙවණ සැපයෙනු පිණිස මංමාවත්වල නුග ගස් අඹ ගස් ද සිටුවන ලදී. තැනින් තැන පැන් තොටවල් ද කරවන ලද බව අධිරාජයා හත්වන ටැම් ලිපියෙන් කියා ඇත.

අශෝක ධර්මරාජ්‍ය සංකල්පය ධර්ම නිවේදන මගින් ජනතාවට දැනගැනීම සඳහා පුවරු මගින් ප්‍රසිද්ධ ස්ථානවල සටහන් තබා ඒ පිළිබඳ ව පැහැදිලි කිරීම් සඳහා පුහුණු රාජ්‍ය නිලධාරින් පිරිසක් ද යොදවන ලදී.

ලෝවාමහාපාය

ශ්‍රී මහා බෝධියට මදක් උතුරු දෙසින් දිස්වන ගල්කණු රාශියකින් සමන්විත වූ නටබුන් වු ගොඩනැගිලි ලෝවාමහාපාය නම් වෙයි. දුටුගැමුණු මහරජ මහල් නවයකින් යුතු මෙම ගොඩනැගිල්ලේ සෙවිලි කරන ලද්දේ තඹ උළුවලින්ය. ඊට ලෝවාමහාපාය ලෝහප්‍රාසාදය යන නාම ව්‍යවහාර වූයේද එම නිසයි.

මහා සංඝයා වහන්සේ ගේ ආවාස ගෘහයත් පොහොය ගෘහයත් ලෙස භාවිතා වූ මේ ප්‍රාසාදය සද්ධාතිස්ස රජු දවස පහනකින් නැගුණු ගින්නකින් විනාශ වූයේය.

ප්‍රශ්නය - අනුරාධපුර අටමස්ථානය සඳහන් කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලක්දිවට වැඩම කළ අවස්ථාවේදී අනුරාධපුරයට වැඩ අටමස්ථානයෙහි ධ්‍යාන සුවයෙන් වැඩහුන් බව පූජාවලි ග්‍රන්ථයෙහි සඳහන් වෙයි.

අනුරාධපුර නුවරට වැඩ දකුණු මහ සෑය පිහිටි තැන මහමෙවුනා උයන් මැද ශ්‍රී මහා බෝධිය පිහිටි තැන, ලෝවාමහාපාය පිහිටි තැන, පිරිත් ලා ගෙය පිහිටි තැන, දන්නාදර නම් පොකුණ පිහිටි තැන, ථූපාරාමය පිහිටි තැන, පනස් භූමියෙහි රුවන්වැලි මහ සෑය පිහිටි තැන, මිහින්තලයෙහි මහසල සෑය පිහිටි තැන යැයි යනු මේ අටමස්ථානයයි. කලින් කල අටමස්ථානයට අයත් වූ පූජ්‍යස්ථාන වෙනස් වී ඇති බව සද්ධර්මලංකාරයේ ඒ පිළිබඳව කර ඇති මෙම සටහනින් පැහැදිලි වෙයි .

මහ මෙවුනා උයනේ රජගෙට දකුණු දිගින් පිහිටි මාළක සීමාව , උතුරෙන් පිහිටි ජනිතඝර නම් පොකුණ, නැගෙනහිර වාසල් දොර , මහා බෝධි ස්ථානය , ලෝවාමහා ප්‍රාසාදය, ලහබත්ගෙය, චතුග්ශාලාව පිහිටි ස්ථානය මහා භෝජන ශාලාව රත්නමාලි චෛත්‍යස්ථානය.

පූජාවලියෙහි අටමස්ථානය ලෙස සැලකූ® ස්ථාන දෙවන වාර්තාවෙන් ඉවත්ව ගොස් වෙනත් ස්ථාන දෙකක් ඒ වෙනුවට ඇතුළත්ව ඇත. කෙසේ වෙතත් 1909 ජනවාරි 16 වෙන දින එවක ආණ්ඩුකාර ධූරය දැරූ එච්.ඒ. මැක්ලම් තුමා සහ අටමස්ථාන කොමිටිය මගින් අටමස්ථානය වශයෙන් පහත සඳහන් සිද්ධස්ථාන නම් කොට ඇත. වර්තමාන පූජාභූමි වශයෙන් සදහන් වන්නේද මෙම අටමස්ථානයයි.

1.ශ්‍රී මහා බෝධි ස්ථානය

2. රුවන්වැලි මහ සෑය

3. ලෝවාමහාපාය

4. අභයගිරි වෙහෙර

5. ථූපාරාමය

6. ජේතවනාරාමය

7. ලංකාරාමය

8. මිරිසවැටිය

ප්‍රශ්නය - හිතකාමී සමාජ ධර්මයක් වශයෙන් පි‍්‍රය වචනය (පෙය්‍යවජ) අගැයීමක් කරන්න.

පිළිතුර - අසන්නා පි‍්‍රයවන්නේ අසත්‍යයෙන් රවටනු ලැබීමට නොවේ.සත්‍ය වූ වචනයට ය. මිනිසාගේ සන්නිවේදන මාධ්‍ය කොතෙක් පැවතුණත් ඒ සියල්ලටම වඩා ප්‍රබල එසේම ඒ සියලු සන්නිවේදන මාර්ගයන්හි මූලික ව උපයෝගී වන්නේ වචනයයි. තමා හා අනෙකකු බිඳවන කේළාම් වලට අසන්නා පිළිකුල් කරයි. මිත්‍රශීලී බව තහවුරු කරන වචනවලට ඔහු පි‍්‍රය මනාප බවින් සවන් දෙයි. එමෙන්ම කාලය නිකරුණේ නාස්ති කරන ප්‍රලාපවලට නොවේ. තමනට යහපතක් සිදුවන අර්ථවත් වචනවලට ය. තමනට අහිමිරි ‘අත්තුක්සංස පරවම්භන, පවසන්නා උසස් කොට සලකමින් අනුන් හෙලා දකින වචනවලට නොව කර්ණ රසායන – ප්‍රසන්නශීලී වචනවලට ය.’

ප්‍රශ්නය - පියමතුරා බුදුරදුන් සමීපයෙහි ‘මම මතු බුදු සසුනක ධර්ම කථික භික්‍ෂුණින් අතර අගතනතුර පතමි’ යනුවෙන් කළ ප්‍රාර්ථනාව ඉටු කරමින් ගෞතම බුදුරජාණන් වහන්සේ අබියස පසු කලෙක ධර්ම කථික භික්‍ෂූණින් අතර අගතනතුර ලැබූ රහත් තෙරණිය කවුද?

පිළිතුර - ධම්මදින්නා රහත් තෙරණිය.

ප්‍රශ්නය - සිව්වනක් ශ්‍රාවක පිරිසෙහි තුන්වන ස්ථානය හිමිවන්නේ උපාසකවරුන්ට ය. බුදුරදුන් වැඩසිටි යුගයේ ජීවත් වූ විවිධ චරිත ඇති උපාසකවරුන් අතුරෙන් උපාලි ගහපති හා චිත්ත ගහපති ගැන කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර - නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයා ගේ ගිහි ශ්‍රාවක වූ උපාලි ගහපති නාලන්දා නුවර විසූ ධනවතෙකි. චිත්ත ගහපතිතුමා බුදුරදුන් වෙතින් දහම් අසා ‘ධර්ම කථික’ උපාසකවරුන් අතරෙන් අගතනතුරු ලැබුවේ ය. මොහු මේ සඳහා අනාදිමත් කාලයක සිට පෙරුම්පිරූ කෙනෙකි. මච්ජිකාසසණ්ඩ නුවර සිටු තනතුරක් ද ලැබූහ.

ප්‍රශ්නය - තමා අතහැර නොයන සෙවණැල්ල මෙන් පින්කමක විපාකය පැහැදිලි කරන නිදර්ශනයක් බෞද්ධ ශ්‍රාවක චරිත අතරෙන් පෙන්වා දෙන්න.

පිළිතුර - ලාභීන් අතරින් අගතනතුරු ලත් සීවලී මහරහතන් වහන්සේගේ චරිත කතාව.

ප්‍රශ්නය - ‘කසළ ගොඩෙන් රජ ගෙදරට’ මෙබඳු ප්‍රස්තුතයකින් සුවිශේෂ කොට හඳුන්වා දිය හැකි බුදුරදුන් ධර්මාන කාලයෙහි විසූ ගිහි බෞද්ධ ශ්‍රාවකයා කවුද?

පිළිතුර - ’ජීවක’ යනු බුද්ධ කාලයෙහි දඹදිව ජීවත් වූ දක්‍ෂතම වෛද්‍යවරයෙකි. මොහු රජගහනුවර අභයරාජ කුමාරයන් නිසා සාලවතී නම් ගණිකාව ගේ කුසෙහි උපන්නේ ය. සතුන් විසින් කා දමනු පිණිස කසළ ගොඩක දමා සිටියදී මේ දරුවා අභයරාජ කුමාරයාට දක්නට ලැබිණි. හෙතෙම ඔහු මාළිගාවට ගෙන ගොස් හදාවඩා ගත්තේ ය. ඉවත ලන කසළ ගොඩකට දැමූවත් නොමැරී ජීවත් වූ හෙයින් ජීවක නම් විය. රජ මැඳුරෙහි අභය කුමරුන් විසින් හැදූ වැඩූ හෙයින් ‘කොමාර භච්ච’ නම් විය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.