UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මවුපිය උවටැන ද-අඹු දරුවනට සැලකුම නිවැරැදි දිවි ගමන-මඟුලකි ඒ උතුම්

මංගල සූත්‍රාගත පස්වන ගාථාව මංගල කරුණු යටතේ අද ඔබ වෙත ඉදිරිපත් කරමි.

අදත් මංගල කරුණු තුනක් පිළිබඳ ඔබේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.

”මාතා පිතූ උපට්ඨානං
පුත්තදාරස්ස සංගහො
අනාකුලා ච කම්මන්තා
ඒතං මංගල මුත්තමං”

මෙන්න මේ සුප්‍රකට ගාථාව තුළ සඳහන් ඔබ නිතර අසා පළපුරුදු මේ මංගල කාරණා තුන ප්‍රගුණ කිරීමෙන් දෙලොව සැනසුම ගෙන දෙන බව ප්‍රථමයෙන් සඳහන් කළ යුතුªය.

මෙහි පළමු මංගල කාරණය වන්නේ, මවුපිය උපස්ථානයයි.

මෙලොව ජනිත වන අප හැම දෙනාටම මවක් හා පියකු සිටින අතර, ඒ අයගේ් මඟ පෙන්වීම නිසයි අද අපි මෙවන් ජීවිත ගත කරන්නේ. මවුපියන් “ගෙදර බුදුවරු” යැයි නම් කළේ ඒ නිසයි. “බුද්ධො ඉව මාතා, බුද්ධො ඉව පිතා” යනුවෙන් මේ බව දක්වා ඇත. එසේම සිඟාලෝවාද සූත්‍රයේ දී පෙරදිගට මවුපියන් උපමා කොට දක්වා ඇත. පෙරදිගින් හිරු පායා ආලෝකය ලබා දී දවස උදාකරවයි. එසේම සිය දරුවාට මෙලොව ආලෝකය ගෙන දී කටයුතු කරන්නේ මවුපියන් ය. මේ අනුව මවුපිය දූ දරු සබඳතාව සඳහා යුතුකම් මාලාවක් ද පෙන්වා දී ඇත. දරුවන් හදල වඩල හොඳට උගන්වලා, නිසි වයසේ දී ආවාහ විවාහ කර දී දරුවන්ට දායාද පවරා දී දරුවන්ට නිසි මඟ කියා දී දරුවන්් සුවපත් කරවීම මෙහි දී අවධාරණය කැරෙයි. මේ අනුව එම යුතුකම් දිනා ගත් ගුණවත් ‘දරුවන් විසින් සිය මවුපියන් පෝෂණය කරමින් ඔවුන්ගේ අවශ්‍ය කටයුතු ඉටුකර දෙමින් තම පරපුරේ ගෞරවය ආරක්ෂා කරමින් මවුපියන් පැවරූ දායාද සුරකිමින් ආදරණීය ලෙස කටයුතු කළ යුතු ය. ඒ සමග මවු පියන් මියගිය පසු ද පින් දී ඔවුන් සුවපත් කිරිම ද මේ යුතුකම් මාලාවට ඇතුළත් වෙයි. මේ යුතුකම් මාලාවෙන් බැඳුණු විට, අපට කිසි දිනක අම්මා, තාත්තා අමතක කළ නොහැකි ය. පෙරදිග රටවල මවුපිය දූ දරු සබඳතාව ඉතා ඈත් වී අතර, ඔවුහු යහලුවන් ලෙස හැසිරෙති. ඔවුන් අතර ගෞරවනීය හැඟීමක් දක්නට නැත.

එහෙත් අපේ බෞද්ධ රටේ කිසි දිනක නොකැඩෙන සබඳතාවක් මවුපියන් - දූ දරුවන් අතර ගොඩ නැගී ඇත. මවුපිය නමස්කාරය දරුවාට ආශිර්වාදයකි. ඒ අය හදවතින්ම දරුවාට ආශිර්වාද කරති.

මෙය අද දුරස් වෙමින් පවතියි. සමාජයේ තරගකාරී බව නිසා විශාල ධාවන පථයක මවුපියන් හා දූ දරුවන් දිව යන බව පෙනෙයි. මෙයින් මවුපිය – දූදරු සබඳතාව ගිලිහෙමින් පවතියි. එය විශාල පරිහානියකි. විවිධ සමාජ ගැටුම් වලට මේ තත්වය මුල් වී ඇත.

එම නිසා දූ දරු ඔබ, මවුපිය යුතුකම් ඉටු කරමින් මෙලොව ජීවිතය මංගල්‍යමය ජීවිතයක් බවට පත් කර ගන්න. මවුපියෝ දරුවන්ට හිතකර දේම රැස්කර දී පෝෂණය කරති. මේ දෙවර්ගයේ මේ ක්‍රියාදාමය නිසා සැනසිලි දායක චිත්ත ශක්තියක් උදාවෙයි. මෙය දෙලොව සැනසුමට මගකි.

එය ඊළඟ මංගල කාරණය වන පුත්තදාරස්ස සංගහො යන්නෙන් කියැවෙයි. අඹුදරුවන්ට යුතුකම් ඉටු කරමින් සුහදශීලිව පවුල් ජීවිතය ගත කිරීම , මින් අදහස් කැරෙයි. මෙම දෙපාර්ශ්වය බැඳ තබන යුතුකම් මාලාව සිඟාලෝවාද සූත්‍රයේදී පෙන්වා ඇත. මෙහිදී සැමියා විසින් සිය බිරියට ගරු කිරීම, අවමන් නොකිරීම, පරදාර සේවනය නොකිරීම, නිවසේ ප්‍රධානත්වය පැවරීම, වස්ත්‍රාභරණ ලබාදීම, ආදි යුතුකම් ඉටු කෙරණ විට බිරිය විසින් සැමියාට ද එවැනිම යුතුකම් මාලාවක් ඉටු කළ යුතුව ඇත. ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම , පිරිවර පිරිසට සංග්‍රහ කිරීම, පරපුරුෂ සේවනය නොකිරීම සිය සැමියාගේ ධනය ආරක්‍ෂා කිරීම සියලු කටයුතු වල ට දක්‍ෂ වීම යනු ඒ යුතුකම් ය. ඒවා ඉටු වීමත් සමඟ පවුල තුළ පුදුම විශ්වාසයක් ගොඩනැගෙයි. ඉන් පවුලේ වාසනාව උදාවෙයි. මෙවැනි යුවතිපති දෙපළ දෙවො දෙවියා සද්ධිං සංවස්ති” යනුවෙන් දැක්වූ ආකාරයට දෙවියෙක් සහ දෙවඟනක් වැනි වෙයි.

විශාල වශයෙන් මංගල උත්සව පවත්වා එකට එකතු වන සමහර අඹු සැමියෝ පසුව අවමංගලමය ජීවිත බවට තමන්ගේ ජීවිත පරිවර්තනය කර ගනිති. විවිධ ප්‍රශ්න ඇති කරගෙන පවුල් අවුල් කර ගනිති. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුනොවුන් හරියට හඳුනා නොගැනීම , අවබෝධ කර නොගැනීම සේම අවිශ්වාසය පදනම් කරගෙන ප්‍රශ්න සුහදව සාකච්ඡා නොකිරීම යි. එම නිසා ජීවිතය ගත කිරීමේදී උද්ගත වන ප්‍රශ්න නිරන්තරයෙන් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගෙන සැපවත් ජිවිතයකට මඟ සලසා ගත යුතුය.

ඉහත සඳහන් කළ මවුපිය දූ දරුවන් සහ අඹු සැමියන් මේ සියලු දෙනා මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණවලින් බැඳී සිටිය යුතුයි. එවිට ඒ හැම ජීවිතයක්ම නිරවුල් සාමකාමී ජීවිත බවට පත්වෙයි. එසේම එවැනි අය කරන සියලු කාර්ය නිරවුල් වෙයි. මෙය අනාකුලා ච කම්මන්තා යන්නෙන් හැඳින්විය හැකිය. පංච කාම අරමුණු කෙරෙහි ඇලීම හෙවත් කාමරාගය එහි ගැටීම හෙවත් ව්‍යාපාදය යන දෙකම සතර බ්‍රහ්ම විහරණ තුළ තැනක් නොලැබෙයි. එසේම මෙත්තා ආදී යහපත් සිතිවිලි පිරුණු සිතින් කරනා ක්‍රියා නිසා කිසිම අවුලක් ඇතිවන්නේ නැත.

අද මිනිස්සු ජීවත්වීම සඳහා විවිධ කාර්ය කරති. ඒවා හරිද වැරැදිද ‘බොදු පිළිවෙතට එකඟ ද නැද්ද යන්න සොයා බැලීමක් නැත. මුදල් ලැබෙන ඕනෑම දෙයක් සිදු කිරීම සුදුසු නැත. බෞද්ධ ඔබ බහාබල පරිචිතෙන’ දෑත දෙපයේ වෙර වීර්යය දරා සේදා වක්ඛිත්තේන , දහඩිය මහන්සිය යොදා ‘ධම්මේන ධම්ම ලද්ධේන’ දැහැමිව සම්පාදනය කරගත් මුදල ප්‍රශස්ත වෙයි. එසේ නිවැරැදි ලෙස උපයන පිළිවෙත බුදු දහම අගය කරයි. මෙය උතුම් මංගල කාරණයකි.

මෙම දෙලොව සැප ගෙන දෙන මංගල කරුණු ඔබත් ක්‍රියාවට නංවා ඔබේ ජීවිතය ඔපවත් කර ගන්න. ඒ සඳහා ඔබට තිසරණ සරණින් ශක්තිය උදාවේවා.

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]