UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිලක බෝධි පූජා පුරාණය

ලක්දිවට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසු ව මහත් උත්සවාකාරයෙන් එම බෝධීන් වහන්සේට පූජා පැවැත්වීය . දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වඩමවන ලද බෝධි ශාඛාව දේවානම්පියතිස්ස රජු විසින් අනුරාධපුර මහාමේඝ වනෝද්‍යානයෙහි පිහිටුවනු ලැබීය. මෙම බෝධි ශාඛාව දඹකොල පටුනේදී පිළිගෙන අනුරාධපුරයට වැඩම කිරීම හා රෝපණය කිරීම නිමිතිකොට විශාල උත්සවයක් පවත්වා ඇත.

බෝධි ශාඛාව අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත් කර මගදිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමවා ගෙන එනු ලැබූ බව සමන්තපාසාදිකාවෙහි 1 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙම පෙරහර සම්බන්ධයෙන් සමන්තපාසාදිකාවෙහි සඳහන් නොවන තොරතුරු කිහිපයක් මහාවංසයෙහිත්, බෝධිවංසයෙහිත් සඳහන් වී තිබේ. දඹකොළ පටුනෙන් පිටත් වූ බෝධි ශාඛාව රැගත් පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණාගේ් ගමෙහිත් , පුද සත්කාර පිණිස නතර වූ බව මහාවංසයේ හා බෝධිවංසයේ සඳහන්ව තිබේ. අනුරාධපුර ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රති ඝෝෂා මධ්‍යයේ ගමන්ගත් මෙම පෙරහර මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි බෝධි ශාඛාව පිහිටුවීම සිදුකළ බව මහාවංසයෙහි 19 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි.

වාර්තාගත තොරතුරුවලට අනුව අනුරාධපුර මහමෙවුනා උයනෙහි උස්බිමක බෝධිය රෝපණය කෙරිණි. ඒ වටා පනා බැමි සතරක් වූ අතර උඩට නැගීමට පියගැට පෙළක් ද විය. ශ්‍රී මහා බෝධි ශාඛාව භූමියෙහි රෝපණය කර වූ වේලාව නිශ්චිත ලෙස සටහන් කරන වංශ කථාකරුවන්ගේ ප්‍රකාශනත් අනුව එම වේලාව උඳුවප් මස පුර තුදුස්වක් දා සන්ධ්‍යාවෙහි රෙහෙණ නැකත උදා වූ වේලාවයි. වර්ෂය බුද්ධ වර්ෂ 236 යි. මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා පැමිණි විශේෂ අමුත්තන් පිළිබඳ සටහන්ද ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්ය. මෙම මහෝත්සවයට කතරගම ක්ෂත්‍රිය රජදරුවෝද, සඳුන්ගම රජ දරුවෝද , තිවක්ක බ්‍රාහ්මණයා ද , සහභාගී වූ බව මහාවංසයේ 19 වන පරිච්ඡේදයෙහි දැක්වෙයි. මෙහි දී සමන්තපාසාදිකාව “යෙභුය්‍යෙන ච සබ්බදීපවාසිනො සන්නිපාතිංසු “ (සා.පා.1 පරි 58 ගාථාව ) යනුවෙන් “ බෙහෙවින් සියලු දිවයින් වැස්සෝ ගස් වූහ “යි කියා නිහඬව ඇත. එහෙත් අෂ්ටඵලරුහ බෝධීන් පිහිටු වූ ස්ථාන නම් කරද්දී “ ...ඒකං තිවක්ක බ්‍රාහ්මණස්ස ගාමද්වාරෙ ...ඒකං රෝහණ ජනපදම්හියෙව චන්දනගාමෙ ..” (ස.පා 1 පරි . 59 ගාථා) යනුවෙන් දක්වා තිබීමෙන් ඒ මහාවංස අදහස හා බෝධිවංස අදහස ඉබේම තහවුරු වනු ඇත.

මේ අනුව ශ්‍රී මහා බෝධිරෝපණ මහෝත්සවය ලංකාවේ සියලුම ක්ෂත්‍රියයන්ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස සිදු වූ බව මෙම වාර්තාවලින් තහවුරු වෙයි. මෙය බුදුදහම ලංකාවට පැමිණීමෙන් පසුව සිදුකළ විශාලම උත්සවය විය හැකිය. සතියක් පුරාම පැවැති මෙම උත්සවයේදී නගරවාසීහු නටමින්, ගී කියමින්, බෙර වයමින් පී‍්‍රතිවූහ යි, සිංහල බෝධි වංසයෙහි මෙසේ විස්තර වෙයි.

“ නුවරවාසී සත්ත්වයන් නටමින් ගී කියමින් බෙර වයමින් ගන්ධර්වය කෙරෙමින් එළුසන් ඔල්වර හඬ ගසමින් අත්පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටියදී නුවර මධ්‍යයෙනි මඟුල්මහ වීථියෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙවුනා උයනට පමුණුවා ...”

ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලද්දේ දෙවනපෑතිස් රජු විසිනි. එම පළමු පූජාව ලෙස නම් කළ හැක්කේ බෝධිය රැගත් නෞකා නැංගූරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන් යලක් ශ්‍රී ලංකා රාජ්‍යයෙන් බෝධියට පූජා කිරීමයි. අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ද , සංඝමිත්තා රහත් තෙරණියද , රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජ දරුවෝද , තිවක්ක බ්‍රාහ්මණයාද පිළිවෙළින් පූජා පැවැත් වූ හයි සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධව විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.

දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 - 137 ) විශාල වියදමක් දරා මහා බෝධි පූජාවක් සිදු කළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. භාතිකාභය රජු (ක්‍රි.ව. 141 - 165 ) අතිශයින් සිත්ගන්නාසුළු බෝධි පූජාවක් සිදු කළේය. මෙම උත්සවය සඳහා මහාවංසයෙහි යොදා තිබෙන්නේ “ බෝධි සිනාන පූජා” යන වචනයයි. මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට වතුර ඉසීමක් විය හැකි බව වචනාර්ථය අනුව විග්‍රහ කළ හැකිය. මෙම සිනාන පූජා උත්සවය ගැන එක් අදහසක් මෙම රජු විසින්ම සිදුකරන ලද තවත් පූජෝත්සවයක් අනුව වටහාගත හැකිය. එනම් ස්වර්ණමාලී චෛත්‍යය උදෙසා කරන ලද “ ථූප සේවන” නම් වූ (ස්තූපය නෑවීම ) පූජාවයි. මහාවංසයෙහි සඳහන්ව ඇති පරිදි මෙය ජල පූජාවකි. මෙයම මීට ප්‍රථම බෝධියට ද සිදුකර ඇති බව අනුමාන කළ හැකිය. නියං කාලවලදී වර්ෂාව ලබාගැනීම මෙහි ප්‍රධාන පරමාර්ථයි.

ධාතුසේන රජු ද (ක්‍රි.ව 463 - 479 ) බෝගෙයක් තැනවීය. එමතු ;නාව එතුමා දෙවනපෑතිස් යුගයේදී සිදුකරන ලද ආකාරයේ බෝධි පූජා පෙරහරක්ද බෝධියට විශේෂ නානුමුර පූජාවක්ද සිදු කළේය. සීලාකාල් රජු (ක්‍රි.ව. 526 - 539 ) දිනපතා කඩ නොකොට බෝධි පූජා පැවැත්වීය. 1 වන දප්පුල රජු (ක්‍රි.ව.661 - 664 ) මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බෝධි පූජා උත්සව කිහිපයක්ම පැවැත්වීය. “ වඩ්ඪමාන බෝධි” යන නමිනුදු ආමන්ත්‍රණය කළ මහින්ද නැමැති යුවරජු විසින්ද බෝධි පූජා උත්සව කිහිපයක්ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු විසින්ද දෙටුතිස් රජු විසින්ද තවත් එවැනිම බෝධි පූජා උත්සව කිහිපයක්ම පවත්වනු ලැබූහ.

ඪම වන මහින්ද රජු (ක්‍රි.ව. 975 - 991 ) බෝගෙයක් ඉදි කිරීමට ගිය අවස්ථාවකදී බෝ අත්තන් කැපීම නිසා ද මහා බෝධි පූජා උත්සවයක් සිදුකරන ලදී . ඪම වන මහින්ද රජු විසින් පිහිටුවන ලද ඉතා ප්‍රකට මිහින්තලා සෙල් ලිපියේ මෙම උත්සවය ගැන මෙසේ සඳහන් වෙයි.

“සොම්නස් මහබො මගුලෙහි පිළියම් එක් කලන්දක් ඉසා” මෙහි කියවෙන පරිදි එම උත්සවය සිරිතක් වශයෙන් දිගින්දිගට පැවතීගෙන එන කිසියම් මංගල චාරිත්‍ර උත්සවයක් බව විශ්වාස කළ හැකිය. මක්නිසාද, යත්, “සොම්නස් මහබො මගුල “ යනුවෙන් විශේෂ හැඳින්වීමකින් තොරව එම නාමයෙන් පමණක් දැක්වීමෙන් එය එකල කා අතරත් ඉතා ප්‍රකට උත්සවයක් බව ගම්‍යමාන වීමයි. ශ්‍රී මහා බෝධි ශාඛාව ලක්දිවට වැඩම කිරීමෙන් පසු එය පිළිගැනීමත්, රෝපණය කරවීමත්, සොම්නසින් හා උතුරාගිය හැඟීම් වලින් යුක්තව සිදු වූ බව මෙහි මතු කියැවුණි. මෙම “සොම්නස් උත්සවය” එවක් පටන් රාජ නියෝගයෙන් හා රජයේ මැදිහත්වීමෙන් යුක්තව ඪම වන මිහිඳු යුගය දක්වාම පැවත එන්නට ඇත. එය සොම්නස මුල්ව පැවැති උත්සවයක් වූ හෙයින් කාලයාගේ ඇවෑමෙන් එය “ සොම්නස් මහබො මඟුල” නමින්ම හැඳින්වෙන්නට ඇත. එම නිසා ඪම වන මිහිඳු රජු එම ප්‍රකට නාමයම ස්වකීය සෙල් ලිපියෙහි සඳහන් කළ බව පිළිගත හැකිය.

යථෝක්ත ඪම වන මිහිඳු රජුගේ මිහින්තලා සෙල්ලිපියේම “රුවනසුන් මහබො මගුලෙහි පිළියම් එක් කලන්දක් ඉසා” යනුවෙන් “ රුවනසුන් මහබෝ මගුල “ නමින් හැඳින් වූ උත්සවයක් ගැනද තොරතුරු හමුවෙයි. මෙම උත්සවය ද මහා බෝධිය උදෙසාම පැවැත්වූවකි. මෙහි “ රුවනසුන්” යන වචනයෙන් “ රුවන් අසුන “ “ රන් අසුන” “ස්වර්ණමය ආසනය” යන අර්ථ ගෙනදෙයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේදී වැඩසිටි ආසනය “වජ්‍රාසනය “ හෙවත් “ විදුරසුන “ යි. එම විදුරසුන සිහියට නංවමින් පශ්චාත්කාලීනයන් විසින් වෙනත් මූල ද්‍රව්‍ය භාවිතයට ගෙන “ආසන” හෙවත් “ පර්යංක” නිර්මාණයට පෙළඹුණූ බවට ද සාක්ෂි සොයාගත හැකිය. එය රනින් කරවා පූජා කරන අවස්ථාවේ දී (නූතන රන්වැට පූජාව මෙන්) පැවැති උත්සවය සිරිතක් ලෙස දිගින් දිගටම පැවැත් වූ බැවින් එය “ රුවනසුන් මහබෝ මඟුල” නමින් ප්‍රකට විය. තවද මිහින්තලයේ සිට මිහිඳු පිළිරුවක් අනුරාධපුරයට වැඩමවා ගෙන ගොස් එය එක්තරා ගෘහයක තැන්පත් කොට පසුව මහබෝ මළුවට වැඩමවා ගෙන අවුත් තෙමසක් මුළුල්ලේ පුද පූජා හා උත්සව පැවැත්වීමේ සිරිතක් ද පැවතිණ.

පුරාතන යුගයේදී වැස්ස ලබා ගැනීම සඳහා ද රටට ආරක්ෂාව ලබා ගැනීමට ද, රජවරුන් විසින් බෝධි පූජා සිදු කරන ලදී. ස්ථාන අටක හා දහසයක බෝධි රෝපණය කිරීම නිසා බෝධි පූජාව ඒ ඒ ප්‍රදේශවල ද පැතිරී ගියේය. මෙම බෝධි පූජා උත්සවයන්හිදී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ලෙස කුඩ කොඩි එසවීම්, තොරණ බැඳීම්, චිත්‍ර කර්ම කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම හා සුදුවැලි ඉසීම යනාදිය පෙන්වා දිය හැකිය.

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]