Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්‍යාවබෝධයට මඟ පෙන්වන තිසරණ සරණාගමනය

ශ්‍රී ලාංකීය සමාජය වසර දෙදහස් පන්සිය වරසකට වඩා දුරාතීතයේම සිට බුදුදහමින් ශික්ෂණය ලැබු සමාජ සන්දර්භයක් සහිත දේශයකි. බුදුදහමත් අපේකම හෙවත් සිංහලකමක් එකිනෙකට වෙන් නොකළ හැකි සේ බැඳී පවතී. සිංහලකමත් බෞද්ධකමත් සම්මිශ්‍රණය වී ඇති හෙයින් විවිධ සංස්කෘතික ලක්ෂණයන් ව්‍යාප්ත වූයේ සාධනීය වූ යහපත් ආකාරයෙනි.

සිංහල බෞද්ධයා කලෙක සිට තවෙකකුට ආශිර්වාද කිරීම මෙන්ම , තමාම ආශිර්වාද ප්‍රාර්ථනය කිරීම දක්නට ලැබේ. “ තෙරුවන් සරණයි” , “ බුදුසරණයි “ “දෙවි පිහිටයි” ආදී ප්‍රාර්ථනා එහිදී භාවිතා කරනු ලැබේ. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ බෞද්ධයන් වශයෙන් ව්‍යවහාරයට වඩා උචිතම මුලින් සඳහන් කළ ප්‍රකාශය වෙතය. මෙම ආශිර්වාද කිරීම හුදුවචන මාත්‍රයක්ම පමනක්ද? නැතහොත් මෙලෙස ආශිර්වාද කිරීමේත් සෙත්පැතීමේත් යම් ජීවමය ශක්තියක් පවතීද යන්න විමර්ශනය කළ යුතුය. මෙබඳු ආශිර්වාදාත්මක ප්‍රකාශනයක් මගින් කියන්නාගේත් අසන්නාගේත් සිතිවිලි යහපත් වීම මෙන්ම , කායිකව මානසිකව ජීවමය වෙනස්වීමක් සක්‍රියව සිදුවේ යැයි සිහි බුද්ධියෙන් සලකා බලන කල්හි සිතිය හැකිය.

ඈත අතීතයේ මිනිස්සු සොබාදහම සමග දැඩි සබඳතාවයකින් යුතුව ජීවත් වූහ. ඉර , හඳ , ගහකොළ , තුරුලතා, කඳුපන්ති , පර්වත , සුළඟ , ගින්න, ජලය, ආදිය සලකනු ලැබුයේ පූජනීයත්වයෙනි, දේවත්වයෙනි. අසහාය අනූපම ශක්තියක් ඒවායෙහි සැඟව පවතී යැයි ඔවුහු සිතූහ. එබැවින් ව්‍යාකූල සිතිවිලි භය වේදනාව දුක සන්තාපය හටගත් කල්හි ඒවා මග හරවා ගැනීමට පරිසරයෙහි පැවති විස්මිත වස්තූ®න්ගේ පිහිට සරණ පැතූහ .

බහුං චෙ සරණං යන්ති
පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චේත්‍යානි
මනුස්සා භය තජ්ජිතා

ධම්මපදය - ලෝක වග්ගය , 10 ගාථාව

“ පර්වත , කැළෑ , ආරාම වෘක්ෂ ආදිය බියෙන් තැතිගත් මිනිස්සු වන්දනා කළහ. බියෙන් සන්ත්‍රාසයෙන් යුක්ත වන කල්හි සරණ පිහිට පැතිය යුත්තේ මෙමගින්දැයි විමසිලිමත් වීම වැදගත් වෙයි. පිරිත් සූත්‍ර දේශනා අතරින් ධජග්ග සූත්‍රයෙහිදී බිය ත්‍රාසය වැනි පීඩාකාරි ;ව්දනාවගෙන් මිදීමට තෙරුවන් ගුණ සිහිපත් කරන ලෙස අවධාරණය කරයි.

“ ඒවං බුද්ධං සරන්තානං
ධම්මං සංඝංච භික්ඛවො
භයංවා ජම්භිජත්තංවා
ලෝමහංසො වා
සො නහෙස්සති

බෞද්ධයකු වීමේ මූලික පදනම තෙරුවන් සරණ යාමයි. නව අරහාදි බුදුගුණ මෙන්ම, සූවිසි තෙරුවන් ගුණ මෙනෙහි කිරීම සිතක උපදින චිත්තවේගීය ව්‍යාකූලත්වය මග හරවා ගැනීමට හේතුවෙයි.

අපේ වැඩිහිටියන් අප මගතොටදී සිහිනයක දී බියට පත් වූ කල්හි උපදෙස් දුන්නේ “ ඉතිපිසො ගාථාව “ කීමට හෝ පන්සිල් සමාදන්ව නින්දට යන ලෙසයි. මෙබඳු පිළිවෙත් පුරුදු දෙස විවිධ දෘෂ්ටීන්ගෙන් විමසිය හැකිය. යමෙකු තුළ ඇතිවන චිත්තවේගීය අසමතුලිතතාව තුලනය කර ගැනීමට පාලනය කර ගැනීමට තම ආගම ධර්මය අනුව යහපත් සිතිවිලි සිතීමෙන් හැකිවෙයි. එය ධර්මයෙහි ලෝකෝත්තර පරමාර්ථයට ඉවහල් නො වූවද, එලෙසම ප්‍රතිඵල නොවේයැයි කීමටද ඉක්මන් නොවිය යුතුය. අපේ මුතුන් මිත්තන්ගේ ජන විඤ්ඤාණයේ ගොඩනැගුණු මෙවැනි විශ්වාස මිථ්‍යා ලෙස බැහැර කිරීම සාධාරණ නොවේ.

අප ජීවත් වන්නේ තාක්‍ෂණික යුගයක වුවද අතීත දැනුම් සම්භාරය සාධනීය ලෙස වර්තමානයේ දැඩි අවශ්‍යතාවයන් බවට පත් වි ඇත. නිදසුනක් ලෙස අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයෙහි වටිනාකම දැනුදු සොරා ගැනීමට තරම් බටහිර වෛද්‍ය විශේෂඥයන් උත්සාහ දරනු පෙනේ. ආගමික විශ්වාස හර පද්ධතීන් ශාන්ති කර්ම ආදිය ජන ජීවිතය සමග නිරන්තරවම බැඳී පවතී. බුදු දහම සිංහලයාගේ ආගම ලෙස ගැමි ආගම ලෙස ආගමික සන්දර්භයක් තුළ සැලකිල්ලට භාජනය වී තිබීම , විමසිලිමත් විය යුතු කරුණකි. බියට පත් වූ කල්හි ආගමික ශික්ෂණය මගින් ලැබූ පුරුදු මත බුදුගුණ සිහිකිරීම, අනුවණ ක්‍රියාවක් නොවේ. සිතිවිලි ක්‍රියාත්මක වන ස්වභාවය මත යහපත අයහපත සිදුවේ. ඉතිපිසෝ භගවා අරහං...පාඨය බුදු ගුණ, බුදුරුව මෙනෙහි කිරීම, සිතෙහි බිය සංවේගය පීඩාව දුරලයි. සහනය, සැනසුම ළඟා කරයි. බුද්ධ ප්‍රතිමාවක බාහිර රූප ස්වරූපය දැකීමෙන් පවා එහි දැක්වෙන සමාධි සුවය, කරුණා ගුණය මගින් බිය අසහනය දුරුවෙයි. තවද මෙබඳු පුරුදු නිසා අයහපත් චිත්තවේග පිළිබඳ මතකය අමතක කර අවධානය වෙනත් යහපත් අරමුණකට යොමු කිරීම මගින් සහනය සලසා ගත හැකිය. ජවහර්ලාල් නේරු තුමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක මහමෙව්නාවේ සමාධි බුද්ධ ප්‍රතිමාව දෙස බලා සිටි බව ප්‍රකටය. මුලා වී එසේ ක්‍රියා කළා නොවේ. සැබවින්ම ආගමික සිතිවිල,ි සහනශීලිය.

‘රසවාහිනිය’ නම් පාලි කතා පොතේ සඳහන් අහිකුණ්ඨිකයාගේ කතාව බුදුගුණ මෙනෙහි කිරීමේ අගය අවධාරණය වන කතා පුවතකි. “ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු සේතවති නුවර මිනිසුන් ධාතු නිදන් කොට චෛත්‍යයක් බැන්දවීය. ඔවුහු බුදුගුණ දන්නා බැවින් රාත්‍රියේ නින්දට යෑමට පෙර “ නමෝ බුද්ධාය” යනුවෙන් කීමට පුරුදුව සිටියහ. එම නුවරට පැමිණී අහිකුණ්ඨිකයෙකු මෙය උපහාසයක් ලෙස කියා සිනාසීමට පුරුදු වෙයි. දිනක් කාශ්‍යප බුදුන්ගේ ධාතු නිදන් කළ සෑයට වන්දනා කිරීමට සුදු නයෙකු පැමිණේ. අහිකුණ්ඨිකයා නයා දැක අල්ලා ගැනීමට මන්ත්‍ර ජප කළේය. එයින් කිපුණු නාගයා ඔහු පසුපස ලුහු බැඳීය. වේගයෙන් දිව ගියෙන් පා පැටලී වැටිණි. උපහාසයට විහිළුවට කීමට පුරුදුව සිටී. “ නමෝ බුද්ධාය” යැයි නොදැනුවත්වම කියැවිණි. නාගයා දෂ්ඨ නොකළේය. නාගයා අහිකුණ්ඨීකයාට රන්මල් තුනක් දී එකක් තමාට පින් පිණිසත්, එකක් ඔබට පින් පිණිසත් වෙහෙරට පුදා තුන්වැන්න අලෙවි කර අඹු දරුවන් පෝෂණය කිරීමටත් පින් කිරීමටත් නියම කළේය. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන “ බුද්ධෙනියාවගේ කතාව“ “සරණ හිමියන්ගේ කතාව “බුදුගුණ සිහි කිරීමේ ප්‍රායෝගික වටිනාකම අවධාරණය කරයි.

බෞද්ධයා යනු බුද්ධිමතෙකි. එබැවින් භක්තියෙන්, ඇදහීමෙන් ඔබ්බට ගොස් ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් ක්‍රියා කළ යුතුය. බිය ත්‍රාසය දුරුකර ගැනීමට මෙන්ම තෙරුවන් සරණ යාම නිවන් මග සාධනය කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාවකි.

“ යෝච බුද්ධංච ධම්මංච
සංඝඤ්ච සරණං ගතෝ
චත්තාරි අරිය සච්චානි
සම්මපඤ්ඤාය පස්සති”

බුද්ධ වග්ගය 12 ගාථාව - ධම්මපදය

යමෙකුට තෙරුවන් සරණ යාමෙන් චතුරාර්ය සත්‍යාවබෝධය කිරීමෙන් නිර්වාණාවබෝධය සාක්ෂාත් කර ගත හැකි බව මෙම ගාථාවෙහි සඳහන් වේ. තෙරුවන් ගුණ අවබෝධ කරගෙන තම දිවි පෙවෙත තුළ එම ගුණ පුහුණු කිරීම මගින් ශ්‍රද්ධාව ප්‍රඥාව දියුණු වෙයි. එබැවින් “ බුද්ධං සරණං ගච්ඡාමි “ යනු බුද්ධ චරිතය බුදුගුණ ආදර්ශයට ගෙන ක්‍රියා කිරීමයි. “ ධම්මං සරණං ගච්ඡාමි “ යනු ධර්මය අනුගමනය කිරීමට ඇතිවන අභ්‍යන්තර පෙළඹීමයි. ප්‍රතිපත්ති ගරුක වීමයි “ සංඝං සරණං ගච්ඡාමි “ යනු මහ සඟ රුවනේ ගුණ , ආදර්ශ අනුගමනය කිරීමයි. මෙම ප්‍රතිපදාව තුළ ත්‍රිශික්ෂාව සීල, සමාධි, පඤ්ඤා යන නිවන් මග අනුගමනය කැරේ. බියට පත් වූ විට ඉතිපිසෝ ගාථාව කීම මගින් බුදුගුණ සිහිකිරීම මෙන්ම තෙරුවන් ගුණ සිහිකිරීම ප්‍රායෝගික වටිනාකමකින් යුතු සත්පුරුෂ ක්‍රියාවක් ලෙස බුදුදහම අගය කරයි. බියෙන් තැති ගැනීමෙන් තොරව දිවිපෙවෙත සහනශීලිව ගත කීරීමටත් සංසාර දුක දුරලීමෙන් ලැබෙන ලොවුතුරා සැනසිල්ල සඳහාත් ශ්‍රද්ධාවෙන් යුක්තව තෙරුවන් සරණ යමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.