Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදිව කොසඹෑ නුවර එදා සහ අද


කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ නටබුන්


කුක්කුටාරාමයේ නටබුන්


පාවාරිකාරාමයේ නටබුන්

බුදුරජාණන් වහන්සේ ජීවමාන දවස කොසඹෑ නුවර අයත් වූයේ කෝසල ජනපදයටයි. එවකට එහි රජ කළේ උදේනි රජතුමාය. වර්තමානයේ කොසඹෑ නුවර අයිති වන්නේ උතුරු ඉන්දියාවටයි. බරණැස ඉසිපතනයේ සිට කිලෝ මීටර් දෙසිය පනහක් දුරින් සහ අලහබාද් නගරයේ සිට කිලෝ මීටර් පනහක් දුරින් රමණීය සශ්‍රීක ප්‍රදේශයක ගංගානම් ගඟ ආශ්‍රිතව කොසඹෑ නුවර පිහිටා ඇත. ගමන් පහසුව ඉතාම හොඳින් ඇත.

බුදුරදුන් අනුරාධපුරයට වැඩම කොට මගුල්මහසෑය, සිරිමා බෝමැඬ ශෛලමහ චෛත්‍ය යන ස්ථානයන්හි මද වේලාවක් සමාධි සුවයෙන් වැඩ සිට සැවැත් නුවරට ජේතවනාරාමයට වැඩම කළ සේක.

මේ අවස්ථාවේ දී කොසඹෑ නුවරින් ව්‍යාපාර සඳහා පැමිණි ව්‍යාපාරිිකයින් තුන් දෙනෙක් බුදුරදුන්ගෙන් බණ අසා සෝවාන් වූහ. මාස හයක් මේ අය බුදුපාමොක් මහා සංඝරත්නයට දන් දී කොසඹෑ නුවරට ගොස් තම තමන්ගේ අඹ වතුවල ඝෝසිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකාරාමය නමින් ආරාම තුනක් කරවා බුදුපාමොක් මහ සඟනට වඩින ලෙස ආරාධනා කළහ. ඒ අනුව බුදුරදුන් පා ගමනින් කොසඹෑ නුවර බලා භික්ෂු මහා සංඝ රත්නය සමග වැඩම කළහ.

ගෙපිළිවලින් පිඩුසිඟා වඩින විට තම දුව සරණ පාවා දීමට සුදුසු බමුණකු ලැබුණා යැයි සිතා මාගන්දියගේ පියා සතුටු වුණි. තම දුව ලස්සනට සරසා බුදුරදුන් හමුවට එව්වත් මල මුත්‍ර පිරුණු මේ ගඳ ශරීරයට තමන් අවනත නොවන බව කියූ නිසා මාගන්ධි තරුණිය බුදුරදුන්ට වෛර කරන්නට ගත්හ. මාගන්ධිගේ දෙමව්පියන් බුදු බණ අසා පැවිදි වී රහත් බවට පත් වූහ.

රූපශ්‍රීයෙන් යුක්තව සිටි නිසා උදේනි රජතුමා මාගන්ධි කුමරිය සරණ පාවා ගත්හ. මාගන්ධි කුමරිය, බුදුරදුන්ගෙන් පළිගන්න හොඳම අවස්ථාවක් ලැබුණා යැයි සිතුවාය. බුදුරදුන් කෝසම්බියට භික්ෂු මහ සංඝ රත්නය සමග වැඩම කළ බව ආරංචි වී මැරවරයින් ලවා බුදුරදුන් සහිත මහා සංඝයාට අපහාස කිරිම් කළහ. මේ සිද්ධීන් නිසා කම්පාවට පත් ආනන්ද හිමියන් පළාත අතහැර වෙන පළාතකට යන ලෙස බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ. මේ සිද්ධිය ඇසූ බුදුරදුන්, ආනන්ද ලෝකය ඔහොම තමයි, කලබල වන්න අවශ්‍ය නැහැ. අප අටලෝ දහමෙන් කම්පා වන අය නොවෙයිනේ. මේ කියන කතා දවස් හතරකට පස්සේ නැතිවෙනවා. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාම හොදයි වදාළහ. බුදුරජාණන් මහන්සේ තමන් වහන්සේගේ නව වන වස කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ වැඩ වාසය කරන ලදී. උදේනි රජතුමාට “හදවතිකා” නමින් ශක්ති සම්පන්න ඇතින්නක් සිටියා. සෑම සටනකදීම ඇය පෙරමුණේ දී ජය ගත්තා. වයසට පත්වී කිසිවක් කර කියා ගත නොහැකි අවස්ථාවේ රජතුමා එකී ඇතින්නව සලකන්නේ නැතිව අතහැර දැම්මා. දවසක් බුදුරදුන් කොසඹෑ නුවර පිණ්ඩපාතය වඩින වේලාවේ “හදවතිකා” ඇතින්න උන්වහන්සේ ඉදිරියට විත් අඬන්න පටන් ගත්තා. බුදුරදුන් රජතුමා හමු වූ අවස්ථාවේ දී ඇතින්න ගැන විමසූහ. රජතුමා ඇතින්න දැන් මහලු හෙයින් වැඩකට නැති නිසා අතහැර දැමූ බව කීය. ශක්තිය ඇති කාලයේ දී හැකි තරම් වැඩ ගෙන පසුව අතහැර දැමීමේ පාප ක්‍රියාව ගැන බුදුරදුන් උදේනි රජතුමාට කරුණු වටහා දුන්නා. වයසට පත්ව දුර්වල වූ විට තවත් හොඳින් සැලකිය යුතු බව දේශනා කළ පසු රජතුමා ඇතින්නව මාලිගාවට ගෙන්වා වෙනදා වගේම ඉතා හොඳින් සැලකීමට පටන් ගත්තා.

ඝෝෂිතාරාමයේ බුදුරදුන් වැඩ වාසය කරන අවස්ථාවේ දී ධර්ම විනයධර භික්ෂූන් අතර වැසිකිළියේ අතපය සෝදන භාජනයේ ඉතිරි වී තිබුණ ජල ප්‍රශ්නයක් නිසා පිරිස දෙකට බෙදුණහ. අන්තිමේ දී දානය දෙන දායක පිරිසත් දෙකට බෙදුණහ. අකිකරු පිරිස බුදුරදුන්ගේ වචන කිසිම ගණනකට නොගත්හ. බුදුරදුන් අන්තිමට පිණ්ඩපාතයට වැඩම කළ ගමන්ම පාරිලෙය්‍ය වනයට වැඩම කළහ. සියලුම දෙනා අතහැර පාරිලෙය්‍ය වනයට වැඩම කළ විට ඇතෙක් වඳුරෙක් යන තිරිසන් සතුන් බුදුරදුන්ට ආවතේව කළහ. ඇතාගේ උපස්ථාන දැක සතුටට පත් වඳුරා අත්තෙන් අත්තට පනින විට අත්තක් කඩා වැටී බඩේ උලක් ඇනී මරුමුවට පත්වී පසු කලෙක ඒ පිනෙන් තුසිත දෙව්ලොව උපන්හ.

ධර්ම විනයධර භික්ෂූන්ගේ සටන මුළු ප්‍රදේශයේම පැතිර ගියහ. මේ නිසා බුදුරදුන් ද ඝෝෂිතාරාමය සහ භික්ෂු පිරිස අතහැර වනගත වූ බවත් පැතිර ගියහ. දායක කාරකාදීන් මෙකී භික්ෂූන්ට දඬුවම්දීමට සිතා පිණ්ඩපාතය දීම නතර කළහ. වස් කාලය නිසා භික්ෂූන්ට තවත් අමාරු වුණි. මේ බව විශාඛාවට සහ අනේපිඩු සිටුතුමාට ආරංචි වුණා. බුදුරදුන් වහාම ජේතවනාරාමයට වැඩම කරවා ගෙන එන ලෙස දන්වා සිටියහ. බොහෝ දිනකින් බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණය කිරිමට නොහැකිව භික්ෂූන් වහන්සේ දුකෙන් තම අදහස් ආනන්ද හාමුදුරුවන්ට දන්වා සිටියහ. මේ අනුව පන්සියයක් භික්ෂූන් සමග බුදුරදුන් වෙත පාරිලෙය්‍ය වනයට වැඩම කළහ. බුදුරදුන් හමුවට ආනන්ද හාමුදුරුවන් වැඩම කළ විට වැඩියේ තනිවම ද කියා විමසූහ. තමන් සමග භික්ෂූන් වහන්සේ පන්සියයක් වැඩම කළ බව දන්වා සිටියහ. සියලුම භික්ෂූන්ට තමන් සමීපයට වැඩම කරවන ලෙස වදාරා හැම දෙනාගෙන්ම සැප දුක් විමසූහ. තමන් වහන්සේ තනිවම වැඩ සිටින්නේ ඇයිද යන ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු නොදුන්හ.

ඉන් පසුව ආනන්ද හාමුදුරුවන් අනේපිඩු සිටුතුමාගේ සහ විශාඛාවගේ අදහස් දැන්වූහ. පසුවදා බුදුරදුන් පාරිලෙය්‍ය වනයෙන් සැවැත් නුවරට වඩින්න සූදානම් වූ විට පාරිලෙය්‍ය ඇතා ගමන වළක්වා සිටියා. කෙසේ නමුත් දෙවන දා ගමනට සූදානම් වූ විට පාරිලෙය්‍ය ඇතාත් පසුපස ඒමට සූදානම් වුණා. ගමට යෑමට ඇතුන්ට හොඳ නැති නිසා බුදුරදුන් ඇතාගේ ගමන වළක්වා සිටියහ. අන්තිමේ දී බුදුරදුන් පාරිලෙය්‍ය වනය අතහැර යන ආකාරය බලා සිට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගැනිමට නොහැකිව පාරිලෙය්‍ය ඇතා එතනම මිය ගියා.

බුදුරදුන් සමයෙන් පසුව ධර්ම විනයධර භික්ෂූන් දෙකොටසට අයත් සංඝාරාම විශාල වශයෙන් දියත් වුණි. අශෝක රජතුමා දවස ඝෝෂිතාරාමයේ විශාල භික්ෂූ පිරිසක් වැඩ සිටිය බව සදහන් වේ. අනුරාධපුර රුවන්වැලි සෑය විවෘත කිරීමේ උත්සවයට සද්ධාතිස්ස රජතුමාගේ ආරාධනයෙන් කොසඹෑනුවර ඝෝෂිතාරාමයේ මහා ධම්මරක්ඛිත මහා රහතන් වහන්සේ සමග තිස් දහසක් මහ රහතන් වහන්සේ සහභාගි වූ බව මහාවංශය සඳහන් වේ. පසුව සිදු වූ දඹදිව මුස්ලිම් ආක්‍රමණයෙන් විනාශයට පත් වූ ඝෝෂිතාරාමය කුක්කුටාරාමය යන ආරාමයන්හි නටබුන් අද ද දැකිය හැකිය. ඊට අමතරව එහි සිදු වූ සිද්ධීන් සඳහන් කරන ලද අශෝක සෙල්ලිපිය ද දැක ගත හැක. පුරාවිද්‍යා කැනිම්වල දී ලැබුණ බුද්ධ ප්‍රතිමා ආදිය අලහබාද් කෞතුකාගාරයේ තැන්පත්කර ඇත.

පුංචි පුංචි කඳු ගැට සහ රමණීය කුඹුරු යායකින් අලංකාර වූ කෝසම්බිය අද විවිධ ආගමිකයන්ගෙන් පිරි පුංචි නගරයකි. ගමන් පහසුව ඇති නිසා දැන් ක්‍රමයෙන් වන්දනාකරුවන් යෑම සිදු වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.