Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රතිමා නිර්මාණය කරන බටකැත්තර පුණ්‍යානන්ද හිමි

උන් වහන්සේගේ අතේ ඇති කර ගැට වලින් හා යකඩ නියං පහරින් වූ සීරිම් වැනි තුවාල මගින් කියා පාන්නේ කුමක්ද? ඒ අකරුණාවන්ත මොළොක් දැව කඳකට , කළු ගලකට බුදු සුවඳ කැවූ ඒ සුන්දර නිර්මාණයක මතක සටහන් නොවන්නේද?

කළු ගලක් ලී කොටයක් දකින්නේ කොතැනද? එහි පිළිමයක් නිර්මාණය කිරීමට තරම් උන් වහන්සේ ගේ් සිත තුළ ඇති වන උනන්දුව ඉතා ප්‍රබලය. උන්වහන්සේ තම දෑතේ සවියෙන් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමාවකට කිසිදා මිලක් නියම නොකළහ. ඒ නිසා දහස් ගණන් මුදල් දී උන්වහන්සේ ගේ හැකියාවන් , දක්ෂතා මුදලට ගැනීමට සිතූ ව්‍යාපාරිකයිනට උන්වහන්සේ හසුකර ගත නොහැකි විය. උන් වහන්සේට අවැසි වූයේ ශක්තිමත් තත්ත්වයකින් යුතු ලී කොටයක් හා ඒ සඳහා අවශ්‍ය උපකරණ කීපය පමණි. උන් වහන්සේට යම් පන්සලකින් ලී කොටයක් හෝ කළු ගලක පිළිමයක් නිර්මාණය කර දෙන්නට යැයි කළ ඉල්ලීමක් කිසිවිටෙක බැහැර නොකළහ. උන් වහන්සේ ඉතා ඕනෑකමින් එම ලී කොටය ගෙන එයට බුදු කරුණා ගුණ එක් කරනුයේ භාවනාවක් වඩන විලසින්ය. උන්වහන්සේ එය සිදු කරනුයේ තමන් වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයට ඉටුවිය යුතු වගකීමක් සේ සලකා ගෙනය. උන් වහන්සේ වනාහි බටකැත්තර පුණ්‍යානන්ද හිමියන්ය. මේ උන්වහන්සේ සමඟ කළ සංවාද සටහනකි.

ඔබ වහන්සේ මේ වන විට බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇති සංඛ්‍යාව?

හැත්තෑ ගණනක් නිර්මාණය කර තිබෙනවා. බොහෝ පිළිම ප්‍රමාණයෙන් ඉතා විශාල ඒවා. මගේ අතපයේ තියෙන ශක්තිය නැති වීමට මත්තෙන් කොහොම හරි පිළිම වහන්සේ සියයක් නිර්මාණය කරනවා කියන අධිෂ්ඨානය මා තුළ තිබෙනවා.

බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන්නේ මොනවා ද?

මාධ්‍යයන් කිහිපයකින්ම බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්න පුළුවන් . මැටි, පිත්තල, සිමෙන්ති, ලීකුඩු, ආදියෙන් මා පිළිම නිර්මාණය කරනවා. නමුත් කළුගල් වලින් පිළිම නෙළීම නම් ටිකක් අපහසුයි. ඊට වැඩි වේලාවක් වැයවනවා. ඒ වගේම ගල් කටුත් ඉක්මනටම ගෙවෙනවා. ඒ නිසා මම වැඩිපුරම කරන්නේ ලී වලින් පිළිම නිර්මාණය කිරීමයි.

පිළිම නිර්මාණය සඳහා යොදා ගන්නා ලී වර්ගය?

දැනට රුක්අත්තන, කිහිරිය , කොහොඹ, කීලිය, මාර, මහෝගනී, වැනි දැව වලින් පිළිම නිර්මාණය කර තිබෙනවා. කළුවර වලින් පිළිමයක් නිර්මාණය කළොත් එය ලස්සනයි. ඒත් ඒ දැව සොයා ගන්න අපහසුයි.

දැව වර්ග සොයා ගැනීමට අපහසු නැද්ද?

මා ඉන්න “ මහමැද්දෑව“ ගමේ වැසියන් දැව වලින් පිළිම නෙළීම ගැන හරි භක්තියෙන් ඉන්නේ. ඔවුන්ට පුළුවන් අයුරින් මට ලී සොයා දෙනවා. ඒ වගේම මුදල් තියන පිට පළාත්වල අය මුදලට පවා දැව දෙනවා. බොහෝ අය කියන්නේ මට, හාමුදුරුවෝ පිළිම නෙළන්න කොහොම හරි ලී සොයා දෙන්නම් කියලා. ඒ වගේම මේ ගමේ ඉන්න ජෝතිපාල , රත්නසිරි, චන්ද්‍රසේන, යන මහත්වරුන් ඊට හරියට මහන්සි වෙනවා. ඉතින් මට ඒ ගැන ඇත්තටම සතුටුයි.

බුද්ධ ප්‍රතිමා ලබා දී තිබෙන්නේ විහාරස්ථානවලට පමණක්ද ?

පිළියන්දල කැස්බෑව නගරසභාවට මේ දින වල කුඹුක් කොටයක පිළිමයක් නිර්මාණය කරනවා. මේ කුඹුක් කොට ලබා ගන්න කැස්බෑව නගර සභාව මට උදව් කළා. ඒ කුඹුක් කොට වලින් පිළිම හතරක් මේ දිනවල මා වේරහැර ගංගාරාමයේ නේවාසික වී නිර්මාණය කරනවා.

බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමට අමතරව සිදුකරන වෙනත් දෑ මොනවාද?

ඡ්‍යොතිෂය සෙත්කවි වගේම රේඩියෝ, ශීතකරණ, ජංගම දුරකථන ආදී නොයෙක් විදුලි උපකරණ අලුත්වැඩියාවද දන්නවා. ඒ වාගේම තොරන් වල විදුලි ආලෝක කරණයත් කරනවා. ටින්කරීන් , වයරීන් ආදිය වුනත් පුළුවන්. ගායනය හා වාදනයත් මම තරමක් දන්නවා. මම කාලයක් අති දුෂ්කර ගම්මානයක පිහිටලා තිබුණු පොළොන්නරුව කාශ්‍යපුර සඳගල විහාරයේ ගල් පිළිමයක් නෙළන්න ගිහින් සෑහෙන් කාලයක් එහි වැඩ සිටියා. ඒ සිටි කාලය තුළ වාදන කටයුතු පිළිබඳව මම එහේ දුප්පත් දරුවන්ට නොමිලයේ ඉගැන්වූවා

ගිහියන්ට අයිති රැකියා කරනවා යැයි යම් කෙනකු චෝදනා කළොත් ?

වෙන්න පුළුවන්. ඒත් මම දැනට වාසය කරන්නේ මහමැද්දෑව කියන අති දුෂ්කර ගමේ පිහිටලා තියෙන ශ්‍රී නිර්මලාරාමයේ . ඒ බව අමතක නොකළ යුතුයි. ඒ ගමේ ඉන්නේ ආර්ථික අපහසුතා ඇති අය. ඉතින් ගමේ ඉන්න බොහෝ දෙනා දන්නවා මට මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා. ඒ අය ඇවිත් අර විධියට යමක් අලුත් වැඩියා කර දෙන්න පුළුවන්දැයි ඇසුවාම ඉතින් කොහොමද අහක බලා ගන්නේ, කොහොමද මම ඒ අයට කියන්නේ වෙන තැනකට ගිහිල්ලා අලුත්වැඩියා කරගන්න කියලා. එහෙම කිව්වොත් ඒ පුද්ගලයා හෙට පන්සල් එන්නේ නෑ. එනිසා මට පුළුවන් දේ මම කර දෙනවා . අනික මම මේ දේවල් කරන්නේ ව්‍යාපාරයක් ලෙස නෙවෙයිනේ. යමක් කරලා දෙන්නේ මා මුදල් බලාගෙනම නෙවෙයි. ඒත් සමහර අවස්ථා වලදී මට ඔය දේවල් වලට මුදල් ලැබෙන අවස්ථාත් තියෙනවා. ඉතින් මම ඒ මුදල් යොදවන්නේ මේ පිළිම නෙළන්න අවශ්‍ය උපකරණ ටික ගන්නයි. බස් ගාස්තු හොයා ගන්නයි.

ඔබ වහන්සේ මෑතකදී නිර්මාණය කළේ කුමන ආකාරයේ ප්‍රතිමාවක් ද?

ගමේ මිනිස්සු මට කිව්වා පුළුවන් නම් හාමුදුරුවනේ මිහිඳු පිළිරුවක් හදලා දෙන්න මේ සැරේ පෙරහරේ ගෙනියන්න කියලා. ඉතින් මට ඒ අය හොඳ කොහොඹ කොටයක් ගෙනත් දුන්නා. මම එහි මිහිඳු පිළිමයක් නිර්මාණය කළා. ඒත් නොවැළැක්විය හැකි හේතුවක් මත එදා පෙරහර කරන්න ලැබුණේ නෑ.

ඊට පස්සේ මම ඔවුන්ට යෝජනා කළා පුළුවන් විදිහට මිහිඳු පෙරහරේ ගෙනියන්න ඉට්ඨිය , උත්තිය, සම්බල , භද්දසාල , සුමන සාමණේරයන් , භණ්ඩුක උපාසක ඇතුළු ඒ ධර්මදූත පිරිවරම නෙළමු කියලා. ඉතින් ඔවුන් එයට සතුටු වෙලා මට කොහොඹ , කිලීය , මාර කොට කිහිපයක්ම ගෙනත් විත් දුන්නා. මට පුළුවන් උපරිම ආකාරයට එය සිදු කළා. මෙතෙක් මිහිඳු පෙරහරක ලීයෙන් ඒ ධර්මදූත පිරිසේම කථාව නිර්මාණය වෙලා තිබුණේ් නෑ. එදා මිහිඳු පිළිරුව ප්‍රමුඛ ඒ ධර්මදූත පිරිස රැගත් පෙරහර සාර්ථකව පැවැත්වූවා. ඇත්තටම එදා ඒ මිනිසුන්ගේ සිතේ ඇතිවුන ශ්‍රද්ධාව සතුට දෙනෙතින් ගැලූ කදුළු වලින් මම දුටුවා.

මේ දිනවල නිර්මාණය කරන්නේ කුමන ආකාරයේ ප්‍රතිමාවක්ද?

හමැද්දෑව ශ්‍රී නිර්මලාරාමයට මාර ලීයෙන් සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ පිළිමය නෙළනවා. ඒක අඩි 7 ක් විතර උස පිළිමයක්. ඊට අමතරව වේරහැර ගංගාරාමයේ කුඹුක් කොට හතරක බුද්ධ ප්‍රතිමා හතරක් නිර්මාණය කර ගෙන යනවා. ඒවගේම මම දැනට තවත් කාර්යයකට අතගසා තිබෙනවා. එය 18 රියන්. ඒ කියන්නේ අඩි 27 ක් උසට පිත්තල වලින් අවුකන පිළිමයේ ආකෘතියකට අනුව බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම.

යම් කෙනකුට හිතෙන්න පුළුවන් මෙවැනි දේ සඳහා වැය කරන මුදල් වලින් නරකද අසරණ මිනිසකුට ගෙයක් හදලා දුන්නොත් කියලා ?

එහි යම් සත්‍යයක් තියෙන්නත් පුළුවන්. මම මේ වැඩේට උදව් ලබා ගන්න ගිය විට කෙනෙක් දෙන්නෙක් කිව්වා ඔය වගේ දේවල් කරලා ඇති වැඩේ මොකක්ද ? නරකද බඩගින්නේ ඉන්න මිනිහෙකුට කෑම වේලක් අරන් දුන්නොත් කියලා. ඉතින් මම ඔවුන්ට කිව්වේ දාන දෙන එක උතුම් දෙයක්. ඔබතුමන්ලා ඒවා කරගන්න. මම මට පුළුවන් විදිහට කොහොම හරි මේ දේ කරනවා කියලා. ඒවගේම මට මේ සඳහා උදව් උපකාර කරන විශාල පිරිසක් ඉන්නවා. ඇතැම් අය ජාති ආගම් භේද නොසලකා මට උදව් කරනවා.

විශේෂයෙන් කැස්බෑව නගරයේ තමයි මේ පිළිමය හැදෙන්නේ. ඉතින් කැස්බෑව නගර සභාව මට විශාල ලෙස උදව් කරනවා. ඒ ප්‍රතිමාව නිර්මාණය කළාම කැස්බෑවට විතරක් නොවෙයි. ලංකාවටම එය එළියක් වෙයි කියන එක ගැන මට හොඳ විශ්වාසයක් තියෙනවා. ඒ වගේම එදා දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි මහා සෑය , මිරිසවැටිය වාගේ විශාල නිර්මාණ නොකළා නම් අද අපි ගිහින් වඳින්නේ පුදන්නෙ කොහාටද? එදා හිටපු වීර ඒ නරපතීන් කරපු ඒ දේවල් තමයි අපි අද වඳීන්නේ පුදන්නේ. ඉතින්අප මේ බුද්ධ ශාසනයට , මේ අපේ සිංහල ජාතියට යමක් ඉතිරි කරලා මැරුණොත් අපෙන් පස්සේ ඉන්න පරපුරට වඳින්න පුදන්න යමක් ඉතුරු කළා කියලා අපට ඇත්තටම සතුටු වෙන්න බැරිද ?

ඒ වගේම දුප්පත් කියලා හිටියොත් හැමදාව අපි එතනමයි. මේ වගේ දේවල් වලින් මුළු ලෝකයේම අවධානය ලංකාව වෙත යොමු වෙනවා. මම හදන්න සැලසුම් කරලා තියෙන මෙම බුදු පිළිමය ලෝකයේ ලොකුම පිත්තල බුදු පිළිමය කියලා කැස්බෑව නගර සභාව විසින් මට දැනුම් දුන්නා. එයින් මට ඇත්තටම විශාල ශක්තියක් ආවා. මොන අභියෝගය ආවත් මෙය කරලා මිසක් අතහරින්නේ නෑ කියලා හිතුවා. ඇත්තටම මගේ ජීවිතේටම මේ පිළිමය හරියට කරගත්තොත් ඇති. මම මේ පිළිමයෙන් පස්සේ පිළිම නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන්නේ නෑ. ඊට පස්සේ දිගටම භාවනා කටයුතු වල යෙදීමට අදහස් කර ගෙනයි ඉන්නෙ.

අඩි 27 ක් උසැති පිත්තල වලින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමට ඉතා විශාල පිත්තල ප්‍රමාණයක් වැය වෙනවා. ඔබ වහන්සේ කෙසේද මේ දෑ සපයා ගන්නේ ?

මට යුද හමුදාව පොරොන්දු වෙලා තියෙනවා ඉවත දමන පිත්තල පතරොම් කොපු විශාල තොගයක් දෙනවා කියලා. ඇත්තටම මම ඊට ස්තුතිවන්ත වනවා. ඒවගේම මෙයට පිත්තල විතරක්ම නෙවෙයි පිටියුටර් (තුත්තනාගම්) තඹ වගේ දේත් අවශ්‍ය වෙනවා . ඉතින් මම සෑම දෙනාගෙන්ම ඉල්ලන්නේ ඔබේ ගෙදර අයින් කරලා තියෙන පිත්තල ඉබ්බෝ , ඉවත දාපු පිත්තල සරනේරු, යතුරු වගේ දේ තියෙනවානම් වෙනත් අහක දාපු පිත්තල භාණ්ඩ තියෙනවානම් ගෙනත් දෙන්න කියලා. එහෙම දුන්නහම ඒවා උණු කරලා පිත්තල ගන්නවා. ඒත් මට ළඟදී ඉතා ලස්සන හොඳ තත්ත්වයකින් යුතු පිත්තල පහනක් ලැබුණා. ඉතින් මම ඒ උදවියට කිව්වා අපි මේක විකුණලා ඒ මුදලට පිත්තල ගනිමු කියලා. මොකද එහෙම කරන කොට වැඩි පිත්තල ප්‍රමාණයක් අපිට ගන්න පුළුවන් නිසා.

යමකු ළඟ ඉවත දමන පිත්තල භාණ්ඩ ඇත්නම් ඒවා ඔබ වහන්සේට ලබා දිය යුත්තේ කෙසේ ද?

අවශ්‍ය ඕනෑම කෙනකුට 077 - 9394147 දරන දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. ඊට අමතරව ඉරිදා දවසට පුළුවන් ඒ අයට උදේ 8 සිට සවස 5 දක්වා එම පිත්තල භාණ්ඩ පිළියන්දල කැස්බෑව නගර සභාවට ඇවිත් භාර දෙන්න. ඒ වගේම ඒ අය ලබා දෙන එක පිත්තල ඉබ්බෙකුට එක පිත්තල සරනේරු කෑල්ලකට වුවත් රිසිට් පතක් ලියා ගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. මොකද මේ සඳහා එක පිත්තල යතුරකින් හරිදායක වන අයගේ නම් අපට පසුව ඉතා වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සඳහා විශේෂ ආධාර කරන අයගේ නම් පිත්තල අකුරින් කෙටීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒවගේම රන් රිදී ලබා දෙන පින්වතුන්ගේ දේත් මේ සඳහා යොදා ගන්නවා. ඒත් මම ඒවා අතට ගන්නේ නෑ. ඒවා උණුකරන දවසට ඒ අයටම ඇවිල්ලා ඒ අයගේ අතින්ම කෝවට දැමීමේ අවස්ථාව මම එහිදී සලසා දෙනවා.

ඔබ වහන්සේගේ ඉදිරි සැලසුම් මොනවා ද?

මට දැන් තියෙන එකම බලාපොරොත්තුව මේ පිත්තල බුද්ධ ප්‍රතිමාව සාර්ථකව නිම කරගන්න එක. ඊට අමතරව මම ඉන්න පන්සලත් දියුණු කර ගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මගේ අදහසක් තියෙනවා ළඟදීම බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට දහම් දෙසූ අවස්ථාව සිමෙන්තියෙන් නිර්මාණය කරන්න. ඒ වගේම ලී කොටයක බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන අවස්ථාව නිර්මාණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ අත්වල ශක්තිය තියනකම් කරන්න තව දේවල් ටිකක් තියෙනවා හිතේ. ඒත් ඒ සඳහා සම්පත් ඉතා හිඟයි. කාටහරි මේ සඳහා මට උදව් කරන්න පුළුවන් නම් ඒක ලොකු පුණ්‍යකර්මයක් වෙනවා යැයිද උන්වහන්සේ පැවසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.