Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදු හිමියන් අනුදැන වදාළ ‘ධර්ම සංගායනා’ පිළිවෙත

ගායනා යන්නේ අර්ථය “සාමූහිකව කියවීමය” පිරිසක් සාමූහිකව කියවීමෙන් සම්මුතියක් පහළ වෙයි. ආගමික හෝ වෙනත් ඕනෑම සංස්ථාවක ආයතනයක ඉදිරි පැවැත්ම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යය. ඒ සංවිධානාත්මක වැඩ පිළිවෙළ ඔස්සේ සංගායනා සංකල්පය බිහි වී ඇත. එපරිදි සාමූහිකව සජ්ක්‍ධායනා කිරීමෙන් සංඝ සංම්මුතිය ලද සංගායනා තුනක් (ථෙරවාදී සම්මුති අනුව) දඹදිව දී පවත්වා ඇත. මින් ප්‍රථම ධර්ම සංගායනාව අනෙක් ඒවාට වඩා වෙනස් වන්නේ මෙහිදී බුදුහිමියන් විසින් දේශිත ධර්මය හා විනය පළමු වරට එක්රැස් කිරීම නිසා ය. අනතුරුව පැවැති සංගායනාවලදී සිදුව ඇත්තේ එසේ එක්රැස් කළ ධර්ම විනය ත්‍රිපිටකය වශයෙන් සාමූහිකව සජ්ඣායනා කිරීමය.

සංඝ සමාජය ශීඝ්‍රයෙන් වර්ධනය විය. එසේම මහරහතන් වහන්සේ මෙන්ම තණ්හාධික භික්‍ෂුහු ද වූහ. එවිට ආකල්ප මත දැරුවෝ වූහ. බුදුරදුන් ධර්මානුකූල භික්‍ෂූන් අතර යම් යම් මතභේද, වාද විවාද පැවතියත් බුදුරදුන් වැඩ සිටි නිසා ධර්මයට හානියක් නොවීය. එහෙත් බුදුහිමියන්ගේ පරිනිර්වාණයෙන් පසුව විශාල අඩුවක් සංඝ සමාජයට දැනුනි. ඊට කළ යුතු ව තිබුණේ බුදුහිමි දෙසූ දහම ශාස්තෘ වශයෙන් උසස් තැන තැබීමය. එහෙයින් ධර්මයේ ආරක්‍ෂාවට කටයුතු සිදු කළ යුතු අතර බුද්ධ පරිනිර්වාණයත් සමඟ ශාසන භාරධාරී මහරහතන් වහන්සේට මේ නිසා මහත් වගකීමක් සිය ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් ඉටු කළ යුතු විය. එපරිදි වැඩ පිළිවෙළ එනම් පන්සාළිස් වසක් දෙසූ විසිරී පැවැති ධර්ම විනය ඒකරාශී කොට ගොනුකර, කැටිකොට ඉදිරියට ගෙනයෑමට උන්වහන්සේ ඉදිරිපත් වූහ. බුදුහිමි කල වැරැදි දෘෂ්ටි නිවරදි කළත්, පිරිනිව් පසු වැරැදි දෘෂ්ටිවල එල්බගෙන ධර්මය විකෘති කිරීමේ හැකියාව දක්නා හෙයින් බුද්ධ දේශනය ඒකරාශීව සාමූහිකව සජ්ඣායනා කිරීම වැදගත් විය.

සංගායනා සංකල්පය බුදු හිමියන් වැඩ සිටි කළදීම ප්‍රකාශයට පත්වූවකි. නිගන්ඨනාථ පුත්ත ජෛත ශාස්තෘන්ගේ අභාවයෙන් පසු ඔහුගේ ශ්‍රාවකයන් අතර විවිධ ප්‍රශ්න මෙන්ම ජෛන ධර්මය පිළිබඳ විවිධ මත හැලහැප්පිලි මතු වූ නිසා චුන්ද තෙරුන් ඒ බැව් බුදුහිමියන් වෙත සැළ කළ කල්හි බුදු හිමියන් වදාළේ මා අවබෝධ කරගෙන දෙසූ දහම සියල්ලෝම, රැස්ව අර්ථයෙන් අර්ථය, ව්‍යඤ්ජනයෙන් ව්‍යඤ්ජනය සසඳමින් සංගායනා කළ යුතු ය. විවාද නොකළ යුතු ය. ශාසනයේ පැවැත්මට, දෙව් මිනිසුන්ගේ හිත සුවයට ඒ හේතු වන්නේ ය. යනාදී ලෙසිනි. එපරිදි බුදු හිමියන් ජීවත්ව සිටියදීම සංගායනා සංකල්පය දක්නට ලැබුණු බවත්, බුදුහිමියන් එය වැදගත් සේ සැලකූ බවත්, උන්වහන්සේම ප්‍රකාශ කළ බවත් පෙනී යයි. බුදුහිමියන් වැඩ සිටින කලම ධර්ම සංගායනාවක් පිළිබඳ අදහස සැරියුත් තෙරුන් වෙත වූ බව සංගීති සූත්‍රය, දසුත්තර සූත්‍රය පෙන්වයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුද්ධ දේශනය අතුරුදන් වෙතැයි බියට හේතුව ධර්මය විනය එක්රැස් නොවීමයි. නොයෙක් විට නොයෙක් අයුරින් නොයෙක් දෙනාට දෙසූ දහම හා විනය ඒකරාශී කොට තිබිණි නම් ශාසනභාරධාරී මහ තෙරවරුන් අපවත් වූවද බියක් හට නොගනියි. බුදු හිමියන් දැක් වූ පරිදි සංගායනාවේ වැදගත්කම දත් මහතෙරවරු ධර්ම විනය ඒකරාශී කරමින් සංගායනාවක් උදෙසා කටයුතු කිරීමට සුභද්‍රගේ ශාසන විරෝධී ප්‍රකාශය පදනම් විය.

කුසිනාරාවට වඩිමින් සිටි ශාසනභාරධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බුද්ධ පරිනිර්වාණය ගැන අසන්නට ලැබුණොත් ධර්ම සංවේගය පහළ විය. පුහුදුන් භික්‍ෂූහු හඬා වැළපුණහ. කම්පා වූහ. මෙහිදී මහලු කළ පැවිදි වූ සුභද්‍ර නම් භික්‍ෂුව නොහඬව ශෝක නොකරව, නීති පැන වූ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෙමු. දැන් අපට රිසි දෙයක් කළ හැකි ය. නොරිසි දැයක් නොකළ හැකි ය. යනාදී ප්‍රකාශයක් කළෙන් මෙය අනාගත ශාසන පරිහානියක් පෙර නිමිත්තක් ලෙස දුටු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ධර්මසංගායනවක් සඳහා භික්‍ෂූන් මෙහෙයවූහ.ප්‍රථම සංගායනාවට ආසන්න හේතුව ලෙස එය පෙනෙතත් ප්‍රථම ධර්ම සංගායනාවට ඒ එකම හේතුව නොවන බව පෙනීයයි. සංඝ සමාජයේ පටු පරමාර්ථ උදෙසා පැවිද්දේ වූහ. ලාභ සත්කාරය අපේක්‍ෂා කළෝ වූහ. විනයට පටහැනිව ක්‍රියා කළ ජබ්බග්ගිය, සන්තරස වග්ගිය වැනි භික්‍ෂු කණ්ඩායම් වූහ. දෙව්දත්හු පංච වර ඉල්ලූහ. සංඝභේදය කළහ. අස්සජි ආදී භික්‍ෂුහූ අගසව්වනට හා බුදුරදුනට දොස් පැවරූහ.

සුනක් ඛන්ත, අරිට්ඨ, සාති වැනි භික්‍ෂූහු ආත්මවාදීව බුදුහිමියන් හා සෘජුව වාද කළහ. මෙබඳු කරුණු ද පළමු සංගායනාවට හේතු වූ බව පෙනී යයි.

මහා සංඝයා වහන්සේ, සංගායනාවට මහා කාශ්‍යප රහතන් වහන්සේගේ මූලිකත්වය පිළිගත්හ. බුදුරදුන් පිරිනිවී තුන්මසකට පසු අජාසත් රජුගේ අභිෂේකයෙන් අටවන අවුරුද්දෙහි රජගහනුවර වේහාර පර්වත ප්‍රාන්තයෙහි පිහිටි සප්තපර්ණි ගල් ගුහාද්වාරයෙහි, අජාසත් රජුගේ අනුග්‍රහයෙන් සංගායනාව පැවැත්විණි. දඹදිව වන්දනාවේ යන්නෝ අද ‘සොණ් හණ්ඩාර්’ නමින් හඳුන්වන මෙම සප්තපර්ණී ගුහාව දක්නට ද අමතක නොකරති. ගුහාව ඉදිරිපස ගල්තලාව මත හාරා ඇති වළවල් සංගායනාව සඳහා ගොඩනැඟූ ශාලාවේ කණු, බාල්ක රැඳවීමට සකස් කළ ඒවා ය. පුරාවිද්‍යාඥ කබිංහාම් මෙය සප්ත පර්ණී ගුහාව ලෙස හඳුන්වතත්, ඇතමෙක් මෙය බිම්බිසාර රජුගේ භාණ්ඩාගාරය තිබුණු තැන බව පවසති.

සංගායනාව සඳහා පන්සියයක් රහතන් වහන්සේ ප්‍රමාණවත් යැයි අදහස වූයෙන් සංගායනාවට පෙර රාත්‍රියේ රහත් වූ ආනන්ද තෙරුන් සමඟ පන්සියයක් මහරහතන් වහන්සේ සම්බන්ධ වීම නිසා මෙම සංගායනාව පංචසතිකා ලෙස හැඳිනිවිණි. මුලින්ම සංග්‍රහ කළේ විනය නීතියයි. එය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නෝත්තර ලෙස විමසමින් ද ධර්මය පිළිබඳව ආනන්ද මහරහතන් වහන්සේගෙන් විමසමින් ද සංග්‍රහ කරගත්හ. මෙසේ සංග්‍රහ කළ ධර්ම විනය මුඛ පරම්පරාවෙන් පවත්වා ගෙන යාමට ඒ ඒ රහතන් වහන්සේ වෙත සංගායනාවේදීම පැවරිණි. විනය ශාසනයාගේ ආයුෂය බැවින් මුලින් එය සංගායනා කැරිණි. එය පාරාජිකා පාලිය පාචිත්තිය පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාලි ලෙස පොත් පසෙකි. විනය පොත් පස සංගායනා කොට මේ විනය පිටකය යැයි නම් තබා උපාලි තෙරුන් හා උන්වහන්සේගේ සිසු පිරිසට පැවරිණි. සූත්‍ර පිටකය දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය, ලෙස නිකාය පසෙකි. ප්‍රථමයෙන් දීඝ නිකාය සංගායනා කොට ඒ නම් තබා ආනන්ද තෙරුන්ගේ සිසු පිරිසට ද, දෙවනුව මජ්ඣිම නිකාය සංගායනා කොට නම් තබා සැරියුත් තෙරුන්ගේ සිසු පිරිසටද, තෙවනුව සංයුක්ත නිකාය සංගායනා කොට නම් තබා මහා කාශ්‍යප තෙරුන්ගේ සිසු පිරිසට ද, සිව්වනුව අංගුත්තර නිකාය සංගායනා කොට නම් තබා අනුරුද්ධ ;තරුන්ගේ සිසු පිරිසට ද පැවරිණි.

මෙම සංගායනාවේ දී අභිධර්ම පිටකය නමින් ධර්ම කොටසක් සංගායනා නොවුණු බවත්, එහෙත් එම අභිධර්ම කොටස ධර්ම කොටසෙහිම ඇතුළත් බවත් විශ්වාස කැරේ. සාරත්ථදිපනි ටිකාව, අභිධර්ම පිටකය සියලුම රහතන් වහන්සේ සජ්ඣායනා කළ බව සඳහන් කරයි.

භික්‍ෂු, භික්‍ෂුණී විනය ගැන වැදගත් තීරණයක් ප්‍රථම සංගායනාවේ දී පන්සියක් රහතන් වහන්සේ ගත්හ. එනම් ඛුද්දක ඛුද්ද්‍රානු ශික්‍ෂාපද වෙනස් කිරීමට බුදුහිමියන් අවකාශ දුන්නද, ඒවා වෙනස් නොකිරීමට, පැන වූ නීති සියල්ල ආරක්‍ෂා කිරීමට හා නව නීති නොපැනවීමට තීරණය කිරීමයි. මෙය ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් තීරණයක් සේ සැලකෙයි.

ලංකාවේ අප හඳුන්වන ‘ථෙරවාදී’ බුදු දහම යනු එදා දඹදිව පළමු සංගායනාවේ දී රහත් තෙරවරුන් සජ්ඣායනා කළ ධර්මය හා විනයයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.