UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - මහලු කාලය හා මරණය අසිරිමත් එකක් වනු දැක්ම සඳහා අවශ්‍ය කරුණු දශයක් ‘ජනසන්ධ’ ජාතක දේශනා වෙහිදී බෝසත්හු වදාළහ. ඒ මොනවාද?

පිළිතුර- අලද්ධා චිත්තං තප්පති පුබ්බේ අස මුදානිතං ඉති පච්චානු තප්පති

ධනය රැස්කළ හැකි තරුණ කාලයෙහි දී ධනය සඳහා උනන්දුනොවී මහලු කල අපතේ ගිය තාරුණ්‍ය දෙස බලා පසුතැවිල්ලට පත්වන්නේ ය.

සක්‍ය රූපං පුරෙ සන්තං
මයා සිප්පං න සක්ඛිතං
කිච්චා වුත්ත අප්ප සිප්පස්ස
ඉති පච්චානු තප්පති

උගතමනා කල ශිල්ප ඉගෙන නොගෙන මහලු කල අතීතය දෙස බලා උගත යුතු බාල කාලය අපතේ හැරීම මෙන්ම මා විසින් ශිල්ප නූගත්තා සේම ශිල්ප නොදත් මට ජීවත්වීම ද අපහසුතාවය මහලු කල දැනීමෙන් වඩාත් පසුතැවිල්ලට පත්වන්නේය.

කූටවෙදි පුරෙ ආසිං පිසුණෙ
විට්ඨිමංසිකො
චණොඩාච ඵරුසොවාසිං ඉති පච්චානු තප්පති

පෙර මම කපටිකම් කළෙමි. කේළාම් කියන්නෙක් වීමි. අල්ලසට ඇබ්බැහි වූයෙක්මි. නපුරු සිත් ඇත්තෙක් වූයෙමි. මගේ අතීතය මෙසේ වූයේ යයි වර්තමානය මහලු වියෙහි දී බලවත් සේ දුකකට පත්වන්නේය.

පාණාතිපාතී පුරේ ආසං ලද්දොවාපි
අනාරියො
භූතානං නා පවායිස්සං ඉති
පච්චානු තප්පති

මගේ අතීතය ප්‍රාණ වධය කෙරෙමින් නපුරු දිවි මඟකට ගියෙමි. මෙත් සිතින් බැහැරව පාපකාරී දිවියකම ගත කළ මගේ අතීතය මට වධයක් වන්නේ යැයි මහලු කල ඔහු සිතයි.

බහුසු වත සාන්තීසු ආනාපදාසු ඉත්ථිසු
පදෙරං අසෙවිස්සං ඉති
පච්චානු තප්පති

පරදාර ගමනය මගේ එක් දුරාචාරයකි. අස්වාමික ස්ත්‍රීන් සොයමින් පරදාර සේවනය කළෙමි. අතීතය මට අමිහිරිය. මහලුවියට පත් මම පසුතැවිලි වෙමි.

බහුම්පි වත සන්තම්හි
අන්නපානෙ උපට්ඨිතෙ
න පුබ්බේ අදදිං දානං
ඉති පච්චානු තප්පති

බොහෝ වත්කම් ඇතිව සිටි මම දන් නොදුන්නෙමි. අතීතයෙහි නුදුන් දේ ගැන සිත සිතා පසුතැවිලි වෙමි.

යො මාතරං පිතරංවා ජින්ණකං
ගත යොබ්බනං
පහුසන්තො න පොසිස්සං
ඉතිපච්චානු තප්පති

මම පෙර කාය හා ධන බලය ඇති ව සිටිය දී මහලු වී දුබල ව විසූ මාපියන් පෝෂණය නොකෙළෙමි ය. මව්පිය උපස්ථානය නොකොට පසුතැවිලි වන්නේ ය.

ආචරිය මනුස්සත්ථාරං සබ්බ
කම රසාහරං
චිතරං අතමඤ්ඤිස්සං ඉති
පච්චානු තප්පති

මාගේ ආචාර්ය වූ ද අනුශාසක වූද වූ සියලු රසයන් ගෙන දී මා පෝෂණය කළ වූද මාගේ පියාණන්ට මම අකීකරු වීමියි . එසේ කළ තැනැත්තේ පසු කාලයේ දී තැවෙන්නේය.

සමණො බ්‍රාහ්මණො චාපි
සීලවන්තෙ බහුස්සතෙ
න පුබ්බේ පයිරුපාසිස්සං ඉති
ච්චානු තප්පති

උගත් සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් මම පෙර ඇසුරු නොකෙළෙමියි එසේ නොකළ තැනැත්තේ පසු කාලයේදී තැවෙන්නේය.

සාධු හොති තපො චිණ්ණො
සන්තොච පයිරුපාසිනො
නච පුබ්බේ තපො චිණ්ණො ඉති
පච්චානු තප්පති

සුචරිතයෙහි හැසිරිය යුතු අවස්ථාවෙහි දී හැසුරුණේ නම් ඉතා යහපත් ය. සත් පුරුෂයන් සේවනය කරන ලද්දේ නම් ඉතා යහපත් ය මා ඒ එකකුත් නොකරන ලද්දේ යයි ප්‍රමාද වූ තැනැත්තේ මරණාසන්නයෙහි දී පසු තැවෙන්නේය.

යමෙක් මේ කරුණු දශය නුවණින් සලකා දිවියෙන් සපුරාලන ලද්දේ ද, මිනිසෙකු විසින් සම්පූර්ණ කරගත්තා වූ ඔහුගේ මහලු කාලය මරණ මොහොත අසිරිමත් එකක් වන්නේය.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ වරෙක කොසොල් මහ රජතුමන්ට දුන් අවවාදයකි මේ.

තස්මා කරෙය්‍ය කළ්‍යාණං ණිචයං සම්පරායිකං
ප්‍රඤ්ඤානි පරලොකස්මිං
පතිට්ඨා හොන්ති පාණිනං

මතුවට පිහිට වන්නේ (පරලොවට) පින් නිසා පින් රැස්කළ යුතුය. මරණය දක්වා පිහිටවන්නා වූ භෞතික වස්තූන් සියල්ල මරණයෙන් අවසන් වන්නේය. මරණින් මතු පිහිට වන දෑ සෑම මිනිසකු විසින් ජීවත්ව සිටියදි සපුරා ගත යුත්තේය. මේ බුදු වදනට උපයුක්ත වූ දේශනය පැහැදිලි කරන්න.

පිළිතුර- මරණය තෙක් ගෙන යා හැකි වස්තුව නම් ධන ධාන්‍ය රන්රිදී ආදී භෞතික වස්තුව ද දැසි දස් කම්කරු ආදී තමා නිසා ජීවත් වන්නෝ මරණින් ඔබ්බට නොයා සොහොන් පිටිය දක්වා ගමන් කරයි.

ධඤ්ඤං ධනං රජතං
ජාතරූපං
පරිග්ගහඤ්වාපි යද්ත්ථි කිංචි
දසා කම්මකරා පෙස්සා යෙවස්ස අනුජීවිතො
සබ්බංචාදාය ගන්තබ්බං සබ්බං
නිකම්පිපගාමියං

ජීවත්ව සිටියදී කය වචනය සිත මෙහෙයවා යමක් කෙරේද, එය සත්‍ය වශයෙන්ම ඔහු සන්තකය එයම වෙයි.

මරණින් මතු ඔහු පිටුපස යන සෙවණැල්ල සේ ඒ කර්මය සසර පුරා ගමන් කරන්නේය.

යංච කරොති කායෙන වාචාය
උදචෙතසා
තඤ්හි තස්ස සකංහොති
තඤ්ච ආදාය ගච්ඡති
තඤ්ඛස්ස අනුහං හොති
ඡායාව අනපායිනි

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ කාන්තා බල ශක්තිය පිළිබඳ මාතුගාම සංයුත්තයෙහි විවිධ දේශනා අතුරෙන් එකක් පැහැදිලි කරන්න.

පිළිතුර - (මාතුගාම සංයුත්තය - බල වර්ගය හේතු සූත්‍රය )

පඤචිමානි භික්ඛවේ මාතුගාමස්ස
බලාහිකත මානිපඤ්ච

මහණෙනි මාගමට (කාන්තාව) බල පසෙකි.

රූප බලං - රූප බලය
භොග බලං - ධන බලය
ඤති බලං - නෑදෑ බලය
පුත්ත බලං - දූ දරු බලය
සීල බලං - සිල් බලය

දෙව් ලොව සඳහා කාන්තාවට මේ එකුදු බලයක්වත් හේතු නොවන්නේය. මහණෙනි සීල බලය හේතුකොට ගෙනම කාන්තාව දෙව්ලොව උපත ලබන්නේය.

ප්‍රශ්නය - කාන්තාවගේ විශාරදත්වය පිළිබඳව විසාරද වාස සූත්‍රයෙහි එන කරුණු පැහැදිලි කරන්න.

පිළිතුර- කරුණු පසකින් කාන්තාව විසාරද බව ලබයි. කවර පසකින්ද ,

1. ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි.
2. අන් සතු දෙය ගැනීමෙන් වැළකුණේ වෙයි.
3. කාමයෙහි වරදවා හැසිරීමෙහි වැළකුණේ වෙයි.
4. මුසා බසින් වැළකුණේ වෙයි
5. රහමෙර පානයෙන් වැළකුණේ වෙයි

ප්‍රශ්නය - ඇලීමකින් තොරව රතියෙන් තොරව ආත්මාර්ථකාමීත්වයෙන් තොරව - සුන්දර වස්තුවකින් ආශ්වාදය ලැබීමට කලාරස වින්දනයට, අගැයීමට බෞද්ධ ගිහියාට බාධකයක් නොවේ. බෞද්ධ කලා ශිල්ප පිළිබඳ වියත් මතයයි මේ. ඔබේ අදහස එක්කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර - සිදුහත් බෝසතාණන් වහන්සේ බවුන් වැඩීමට උරුවේලාව තෝරා ගත්තේද එහි සුන්දරත්වය නිසාම බව උන්වහන්සේගේ වචනයෙන්ම මෙසේ ප්‍රකාශ වෙයි. “ මගධ රට පිළිවෙලින් සැරිසරනුයේ උරුවෙලහි සේනානි නියම් ගමට පැමිණියෙමි. ඒ දුටු මට මෙසේ සිතුණි. මේ භූමි භාගය රමණීයය. වන ලැහැබ සිත් සතුටු කරන්නේය. සුදු වැලිතලා ඇති මනා කොට රමණී ඔයද ගලයි. හාත්පසින් ගොදුරු බිම් ද වෙයි. වීර්ය කරනු කැමති කුල පුත්‍රයකු හට භාවනා වැඩීමට මේ ඉතාම මැනවි. මම මෙතැන නැවතී පධන් වීර්ය වඩමි. බුදුන් වහන්සේගේ ඇගයීමට ලක් වූ සොබා දහම බොදුනුවන්ගේද ස්වභාව ධර්මයේ සුන්දර වස්තූන් මිනිස් සිතට ආශ්වාදයක් ගෙන දෙන්නට ඇත. එයින් ජනිත වූ චමත්කාරජනක සිතුවිලි නිසා කවි කියවෙන්නට ඇත. ගී ගැයෙන්නට ඇත. මෙසේම තෙලිතුඩින් සිතුවම් ද, මැටියෙන් ප්‍රතිමාද, ආදී වශයෙන් විවිධ කලාවන් ජනිත වන්නන්ට ඇත්තේ මේ අයුරින් විය යුතුය. බුදුරජාණන් වහන්සේත් කෙළෙස් ප්‍රහීණ කළ රහතන් වහන්සේත් ස්වභාව ධර්මයේ සුන්දරත්වය දැක ප්‍රබෝධයට ලක් වූ බව උන්වහන්සේගේ උදානයන්ගෙන් පැහැදිලි වේ. ස්වභාවධර්මයේ සෞන්දර්යය ආශ්වාදනය කළ උන්වහන්සේ එකී පරිසරයන් චිත්ත සංවර්ධනයට උදව් කර ගත්හ.

පසුකාලීන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විහාර ආරාම සඳහා තෝරාගත්තේ ස්වභාවික සෞන්දර්යයෙන් අගතැන්පත් පර්වත වනපෙත් ආදිය යි. දඹදිව සුප්‍රකට අජන්තා, විල්ලෝරා , භාග් වැනි විහාර පිහිටි ස්ථානත් ලක්දිවට පැමිණි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලු භික්ෂු පිරිස වාසස්ථාන වශයෙන් තෝරා ගත් මිහින්තලේ ඉසුරුමුණිය , වෙස්සගිරිය හා සිතුල්පව්ව වැනි ස්ථානත් ගැන විමසීමෙන් මේ බව තහවුරු වේ. සුන්දර දේවල් උපයෝගී කර ගනිමින් විනෝදාශ්වාදයක් ද ලබමින් බෞද්ධයා ඈත අතීතයේ සිටම කුසල් දහම් කිරීමට පුරුදුව සිටී.

මෙසේ ධාර්මික විනෝදාස්වාදය සමග කුසල් රැස් කර ගැනීම සඳහා සැකසුණු නැටුම් ගැයුම් වැයුම් සහිත පෙරහර බුද්ධ පූජා, පිරිත් පින්කම් ආදී ආගමික උත්සව පැවැත්වීම බෞද්ධයනට නුහුරු දෙයක් නොවේ. මේ අයුරින් බෞද්ධයා කලාව යොදාගෙන ඇත්තේ තෙරුවන් පිදීමට ය.

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]