UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මියන්මාරයෙන් පිදුම් ලද ඉඟුරුවත්තේ පියනන්ද මහ නා හිමි

ශ්‍රී ලංකාව සහ මියන්මාර් (බුරුමය) රජය අතර ආගමික හා සංස්කෘතික සබඳතා පවතින්නේ ක්‍රි.පූ. 236 වැන්න මහින්දාගමනයත් සමගය. එදා මෙදා තුර ථෙරවාද බෞද්ධ දෙරටක් වශයෙන් මියන්මාරය සහ ශ්‍රී ලංකාව ලෝක ප්‍රසිද්ධය.

ශ්‍රී ලංකාවේ බහුශ්‍රැත ශික්‍ෂාකාමී ගුණවත් මහතෙරවරුවන් පිළිබඳ ව දීර්ඝ කාලීන ගවේෂණයකින් පසු ව එම මහතෙරවරුන් ගේ ලෝක ශාසනික සේවාව අභිනන්දනය කරනු වස් මියන්මාර් රජය විසින් සම්මාන ගෞරව උපාධි පිරිනමනු ලැබේ. මෙය ශතවර්ෂයකට වැඩි කාලයක සිට කරගෙන එනු ලබන උත්තම සේවාවකි. ඒ අනුව බුරුම රජය මඟින් මහ ‘කම්මට්ඨානාචාර්ය’ ගෞරව උපාධියෙන් පුදනු ලැබූ කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, විනයාචාර්ය, ශාසන සෝභන සිරි සුමතිපාලවංශාභිධජ, ඉඟුරුවත්තේ පියනන්ද අප මහ නා හිමියෝ ද සිරිලක නූතන සංඝ සමාජය ශෝභමත් කරන ලෝකාර්ථ චර්යාවේ නිරත මහ තෙරනමකි. 1949 වර්ෂයේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම උඩ ඉඟුරුවත්තේ දී ජන්මලාභය ලබා, 1973 දී කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී බෝධිසත්ව ගුණෝපේත කහටපිටියේ සුමතිපාල නා හිමියන් ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමට පත් අප කථානායකයාණෝ අරංකැලේ මලියදේව අරහන්ත සෙනසුන් සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූයේ 1974 වර්ෂයේ දී ය.

“අපදාන සෝභිනි පඤ්ඤා” යන බුදුවදන යථාර්ථවත් කරමින් ප්‍රඥාවෙන් චරිතය ශෝභමානව බැබළවීම පිණිස මෙම යතිවරයාණන් පියවරෙන් පියවර ඒ සඳහා ක්‍රියාකළ ආකාරය වත්මන් තරුණ භික්‍ෂු සමාජයට ප්‍රබල ආදර්ශයකි. බුද්ධ පුත්‍රයකු සූත්‍ර, විනය, අභිධර්ම යන තෙවලාදහම හදාරන්නේ නම් එම භික්‍ෂුව ගේ ධර්මඥානය ප්‍රමාණවත් පරිදි සංවර්ධනය වන්නේ ය. ත්‍රිපිටකය පිළිබඳ හසල ගැඹුරු ප්‍රඥා පාටචයෙන් පිරිපුන් ඉඟුරුවත්තේ පියනන්ද මහ නා හිමියෝ සමථ විදර්ශනා භාවනා විෂයෙහි මනා ප්‍රාගුණ්‍යයක් ලබා ගත් අතර තමන් ප්‍රගුණ කළ භාවනා ක්‍රම සෙසු ගිහි පැවිදි යෝගාවචරයන් විෂයෙහි පුහුණු කරවමින් ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසන නිර්මල ව පිවිතුරු ව ප්‍රතිපත්ති ගරුක ව පවත්වාගෙන යෑමට අප මහ නා හිමියන් දක්වන දායකත්වය සහ කැපවීම දෙස් විදෙස් බෞද්ධ සාධුන් ගේ සම්මානයට පාත්‍ර වී ඇත.

සිය ජීවිත කාලයේ අඩු ම වයසින් ශාසනික හා සංඝ සමාජයේ ද, ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ ද (අමරපුර) ඉහළම තනතුරුවලට පත් වූ අප මහනායක යතිවරයාණෝ ආයුෂචක්‍රයේ අඩසියවස පසු කළා පමණි. සිරිලක්වාසීන් ගේ පමණක් නොව ථෙරවාද වෙනත් රටවල ද උන්වහන්සේ ගේ බුද්ධි මහිමය ගැන ප්‍රසාදයාව්හය ගෞරවය පුදකර ඇත. ස්ව නිකායේ මහනායක ධූරය වැනි උත්තරීතර පදවියකින් පිදුම් ලැබීමට උන්වහන්සේ තුළ තිබූ නිහතමානීකම, ප්‍රියශීලී බව ස්ථානෝචිත ප්‍රඥාව, තපෝ ගුණය, පරිත්‍යාගශීලී බව, අන්‍යයන් ගේ අදහස් වලට ඇහුම්කන්දීම වැනි ගුණාංග උපස්ථම්භ වූ බව විශේෂයෙන් මෙහි ලා සඳහන් කළ යුතු ව ඇත.

ඉඟුරුවත්තේ පියනන්ද මහ නා හිමියන් සිය ජාතික ශාසනික සේවාවන් ඉදිරියට පවත්වාගෙන යෑම පිණිස පැවිදි සිසුන් රැසක් දායාද කොට තිබේ. එම ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ලා අතර තුඩාවේ ගුණරතන, කම්මට්ඨාචාර්ය ගෝනවල අස්සජි, ත්‍රිපිටකාචාර්ය, ශාස්ත්‍රවේදී අකරැල්ලේ සුමනවංශ, මොරහැල උපාලි, ඇඹිලිපිටියේ විනීත, පනාවැන්නේ සුනන්ද, මාකොළ නන්ද, මොලගොඩ විමලානන්ද, ගිරාඳුරුකෝට්ටේ සුබෝධ යන හිමිවරුන් අප මහ නා හිමිපාණන් වහන්සේ ගේ ශාසනික කටයුතු කෙරෙහි ලබාදෙන සහාය ප්‍රශංසනීය වේ. කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, රත්නපුර ලෙල්ලෝපිටිය රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය, පරකඩුව පත්බේරිය ශ්‍රී බෝධියංගණ මහ විසුද්ධාරාමය යන ස්ථානයන් හී දායක කාරකාදීන් මනා ලෙස මෙහෙයවමින් ඔවුනට නිසි අවවාද අනුශාසනා ලබාදෙමින් තම ආධිපත්‍යය යටතේ පවත්නා ස්ථානයන් හී භෞතික සම්පත් සංවර්ධනය උදෙසා ද මහ නාහිමියෝ ගන්නා උත්සාහය ඉතා අගනේ ය.

ඉඟුරුවත්තේ පියනන්දාභිධාන, ශ්‍රී ලංකා ශ්වේජින් මහ නිකායේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මියන්මාර් රාජ්‍යයෙන් පිදු ‘මහ කම්මට්ඨාචරිය’ ගෞරවෝපාධිය පිළිබඳ ව බුරුම රජයට ප්‍රසාදය පළකිරීම සහ මහ නාහිමියන් පිළිගැනීමේ පුණ්‍ය උත්සවයක් මෙම දෙසැම්බර් මස 02 ඉරු දින සවස 02.30 ට සම්භාවනීය පැවිදි ගිහි උතුමන් ගේ සහභාගීත්වයෙන් රත්නපුර ලෙල්ලෝපිටිය රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. මහ කම්මට්ඨානචරිය, ඉඟුරුවත්තේ පියනන්ද මහ නා හිමිපාණන් වහන්සේට තව චිරාත් කාලයක් ලෝ සසුන් වැඩ වසන්නට අපිදු දිගාසිරි ප්‍රාර්ථනා කරම් හ.

ඉල් අව අටවක

 
ඉල් අව අටවක පෝය දෙසැම්බර් 01 වන දා
සෙනසුරාදා පූර්ව භාග
05.48 ට ලබයි.
02 වන දා ඉරිදා පූර්ව භාග 06.54 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
01 වනදා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
09 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]