Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනගාරික ධර්මපාලතුමාණන් ඉදි කැර වූ බරණැස නව මුල ගන්ධකුටි විහාරය


නව මුල ගන්ධකුටි විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ශාසනවංසාලංකාර කවිධජ විනයාචාර්ය වැලිගම ශ්‍රී සුමංගල මහ නා හිමිපාණෝ (1835 – 1917) පළමු වරට භාරතයේ සංස්කෘත කථා ග්‍රන්ථයක් වූ හිතෝපදේශ 1876 දී සිංහලට පරිවර්තනය කරන ලදී.

ඒ වන විට ඉන්දියාවේ පූනාවේ රාජ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා සංස්කෘත භාෂාව හදාරා එම ග්‍රන්ථය 1861 දී ඉංගී‍්‍රසියට පරිවර්තනය කර තිබිණි. පසුව ඒ මහතා 1879 දී ආසියාවේ ආලෝකය (Light of Asia) නමින් බුද්ධ චරිතය අලලා ඉංගී‍්‍රසි බසින් පළ කරන ලදී.

හිතෝපදේශය ඉංගී‍්‍රසියට පරිවර්තනය වී ඇති බැව් පවසා වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණෝ තමන් වහන්සේගේ සිංහල පරිවර්තනය සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලිපියක් සමඟ ශ්‍රීමත් ආර්නෝල්ඩ් එඩ්වින්තුමා වෙත ලන්ඩනයට යවන ලදී. එය ලැබුණු බැව් උන්වහන්සේට 1881 මැයි 30 දරණ ලිපියෙන් දැන් වූ අතර, උන්වහන්සේට සිය ප්‍රසාදය එවන ලදී. සංස්කෘත යන නාමයද අගය කරන බැව් ද සැල කළේ ය. මේ අනුව ශ්‍රීමත් එඩ්වින් ආර්නල්ඩ්තුමා හා උන්වහන්සේ අතර දැඩි මිත්‍රත්වයක් ද බිහිවිය. එවිට ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා එංගලන්තයේ ‘ඩේලි ටෙලිග්‍රාප්’ (Daliy Telegraph)පුවත් පතේ කර්තෘධූරය හෙබවීය. පසුව 1886 ජනවාරි 07 වැනි දින ශ්‍රී සුමංගල හිමියන් වෙත ලිපියක් එවමින් තමා ශ්‍රී ලංකාවට පැමිණෙන බැව් දැන් වූ අතර 1886 ජනවාරි 30 වැනි දින එතුමා පානදුරයට පැමිණි අතර ශ්‍රී සුමංගල හිමියන් පානදුර රංකොත් විහාරයේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. එහිදී ආර්නෝල්ඩ්තුමා බුද්ධගයාවේ හා බරණැස ඉසිපතන මිගදායේ පාලනය බෞද්ධයන් ලබාගැනීමට ක්‍රියා කළ යුතු බැව් ද එහිලා ශ්‍රී ලංකා බෞද්ධයන් ප්‍රමුඛව ක්‍රියා කළ යුතු බවත් අවධාරණයෙන් පවසන ලදී.

එම උත්සවයට අනගාරික ධර්මපාලතුමා පැමිණ සිටියේ ය. හේවාවිතාරණ, දොන් කරෝලිස්තුමා, කොළඹ සිය සාර්ථකම ලී බඩු ව්‍යාපාරය පවත්වාගෙන ගිය අතර මල්ලිකා ධර්මගුණරත්න මැතිනිය සමග එම දෙපොලගේ වැඩි මහල් පුත්‍රයා ලෙස දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් 1864 සැප්තැම්බර් 17 වෙනි දා උපත ලැබීය. කොළඹ ක්‍රිස්තියානි පාසල් දෙකක සිප් සතර හදාර කෙටි කාලයක් ලිපිකරුවකු වශයෙන් සේවය කළේ ය. අනගාරික වීමේ දී ධර්මපාල නමැති නාමය සුදුසුයැයි ද ඔහුට පැවසුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ ය. එම ගමනේදී ආර්නෝල්ඩ්තුමා මහනුවරට පැමිණ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝපත් සතරක ‘නමෝ බුද්ධාය’ යනුවෙන් සංස්කෘත භාෂාවෙන් ලියා, කරඬුවක තැන්පත් කර ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට පූජා කළේ ය.

ශ්‍රීමත් අර්නෝල්ඩ්තුමා සිය ඩේලි ටෙලිග්‍රාප් පුවත්පතේ බුද්ධගයාව හා සාරානාත් බෞද්ධ පාලනයට නතු කරන ලෙස ලිපි ලියමින් බ්‍රිතාන්‍ය රජයට බල කළේ ය. ඔහු ධර්මපාලතුමාට බුද්ධ ගයාවට යන ලෙස බලවත්ව ආයාචනය කළේ ය. මෙම ආයාචනය ගැන ධර්මපාලතුමා ‘බැංකොක් ටයිම්ස්’ (Bankok Times) තායිලන්තයේ ඉංගී‍්‍රසියෙන් ලිපියක් පළ කරමින් මෙසේ පවසන ලදී. “බෞද්ධයින්ගේ ජෙරුසලම බුද්ධගයාව බෞද්ධයන්ගේ පාලනයට නතු කළ යුතු යන අදහසේ නිර්මාතෘ හා එම ශුද්ධභූමියට 1886 දී ගිය ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා මෙම ශුද්ධ භූමියට යෑමට උද්යෝගිමත් කළේ, 1891 සිට මට හැකි සියලු කාර්යයන් සිදු කර මෙම යෝජනාව ගැන සෑම රටකම බෞද්ධයින් උද්යෝගිමත් කිරීමට සිදු කළෙමි”



සාරානාත් හි අනගාරික ධර්මපාල කෞතුකාගාරය

මේ අනුව ඉදිරි කටයුතු සඳහා අනගාරික ධර්මපාලතුමා 1891 කොළඹ විද්‍යොදය පිරිවෙන මූලස්ථානය කොට පරිවේණාධිපති අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණෝ සභාපති වශයෙන් ද තමා ප්‍රධාන ලේකම් වශයෙන්ද පත්කොට 1891 මැයි මස 31 වැනි දින ධර්මපාලතුමා බුද්ධගයා මහාබෝධි සංගමය පිහිටුවා බුද්ධගයාවටද ගියේය. ඉක්බිතිව බුද්ධගයාවේ වැඩ සිටීමට ශ්‍රී ලංකා භික්‍ෂූන් වහන්සේලාට ආයාචනය කරන ලදී. මෙම ආයාචනය ප්‍රකාර අමරපුර මහ නිකායේ දුනුවිල චන්ද්‍රජෝති, මාතලේ සුමංගල, අනුරාධපුර පේමානන්ද සහ ගාල්ලේ සුදස්සන යන හිමිවරු බුද්ධගයාවට 1891 ජූලි මස වැඩම කළ සේක. හිමිවරු බුරුම විශ්‍රාම ශාලාවේ ලැඟුම් ගත්හ. එම භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටීමට උරණ වූ බුද්ධගයාව තමා සතු කරගෙන සිටි හින්දු මහන්නා, මැරයන් යොදා 1893 දී හිමිවරුනට පීඩා සිදුකරන ලදී. ධර්මපාලතුමා තමාට ජපානයෙන් ලද බුද්ධ ප්‍රතිමාවක් බුද්ධගයා විහාරයේ දෙවැනි මහලේ තැන්පත් කිරීමට යෙදුණු අවස්ථාවේ ධර්මපාලතුමාටද එම මැරවරයන් 1895 දී පහරදෙන ලද අතර එම ප්‍රතිමාව බුරුම විශ්‍රාම ශාලාවේ වඩා හිදුවන ලදී. මහා බෝධි සමිතියේ මූලස්ථානය කල්කටාවේ පිහිටුවා 1915 සමිතිය ඉන්දීය සමාගම් ආඥා පනත යටතේ ලියාපදිංචි කර තමා ප්‍රධාන ලේකම් වශයෙන් ද කල්කටා විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රීමත් අනුවෝෂි මුකර්ජිතුමා සභාපති වශයෙන්ද යොදාගෙන ඉදිරි කටයුතු දියත් කළේ ය.



මූලගන්ධකුටි විහාරය

මහන්තා සිය බුද්ධගයා භාරකාරත්වයට ධර්මපාලතුමා අභියෝගයක් වන බැවින් ගයා අධිකරණයේ 1906 නඩුවක්ද පැවරූ අතර ධර්මපාලතුමා නඩුවක් පරවරන ලදී. බුද්ධගයා පාලනය හින්දුන් සතර දෙනෙකු හා බෞද්ධයින් සතර දෙනෙකු සමන්විත හා ගයාවේ අය බදු පාලකගේ සභාපතිත්වයෙන් කමිටුවකට භාර කළේ ය. මෙම කටයුතු අතරතුර හොනලුලු දූපතේ රාජකුමාරියක වූ මාරි ඉලිසෙබත් පොස්ටර් මැතිණියගේ සහ ධර්මපාලතුමාගේ මුදල් උපකාර වන බරණැස සාරානාත් හි ධර්මපාලතුමා නව මූලගන්ධිකුටි විහාරය තනන ලදී. එම නව විහාරය එකල ඉන්දියාවේ කොන්ග්‍රසයේ ලේකම් ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා සිය බිරිඳ හා සොහොයුරියන් දෙදෙනා සමඟ, පැමිණ 1931 නොවැම්බර් මස 11 වැනි දින උත්සවශ්‍රීයෙන් විවෘත කරන ලදී. ඉන්පසු එතුමා සාරානාත් කෞතුකාගාරයට ගොස් එහි තිබූ අශෝක අධිරාජයාගේ මුණ, හිස තිබූ ධර්ම චක්‍රය සහ සිංහ රූප සතර දැක එම ධර්ම චක්‍රය නිදහස් භාරතයේ ත්‍රිවර්ණ ජාතික ධජය මධ්‍යයේද රාජ්‍ය ලාංඡනය වශයෙන් ද සිංහරූප සතර යෙදීමට 1947 ජූලි මස 22 වැනි දින ආචාරය රාජේන්ද්‍ර ප්‍රසාද්තුමාගේ සභාපතිත්වයෙන් රුචි වූ ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඒකඡන්දයෙන් සභා සම්මත කර ගනු ලැබිණි.

ඒ අනුව මෙම වර්ෂයේ නොවැම්බර් 24 දින නව මුලගන්ධකුටි විහාරයේ පැවැති මහා කඨින පූජෝත්සවය බරණැස සාරානාත්හි නව මුලගන්ධකුටි විහාරයේ ඉන්දීය මහාබෝධි සමිතියේ නියෝජ්‍ය ලේකම් ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන්ගේ අනුශාසන පරිදි පැවැත්විණි. එය එහි 76 වැනි කඨින පූජෝත්සවය වේ. දැනට සාරානාත් ප්‍රධාන මාර්ගය අනගාරික ධර්මපාල මාවත යනුවෙන් ඉන්දීය රජය නම් කර ඇත.

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.