Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිවිධ ශික්ෂාවේ ශීල ශික්ෂණය

ත්‍රිවිධ ශික්ෂාවේ ප්‍රඥා ශික්ෂණය පිළිබඳව අප විසින් ලියූ විස්තර සහිත ලිපියක් පසුගිය වප් පුර පසළොස්වක පොහෝ දින “බුදුසරණ” පුවත් පතේ පළ විය. ඊට සම්බන්ධ ශීල ශික්ෂණය ගැන විස්තර සහිත විවරණයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ශීල සමාදානය පංච ශීල අෂ්ටාංගික ශීල, දස ශීල යනුවෙන් හඳුන්වා තිබේ. මෙය සියවස් ගණනක සිට පෝය දිනවල දී විහාරස්ථානවලට උපාසක උපාසිකාවන් කැඳවාගෙන කරනු ලබන සම්ප්‍රදායික වැඩ පිළිවෙළකි. පෝය දිනවල දී බොහෝ දෙනා විහාරස්ථානවලට පැමිණ සිල් සමාදන් වන්නේ පැය දොළහක් හෝ විසි හතරක් සිල්වතකු වශයෙන් විසීමට ය. පෝය දිනවල දී සිල් සමාදන් වූ සියලු දෙනා හැට පැයක් (පැය විසි හතරක්) ශීලයෙහි පිහිටා විහාරස්ථානයේ විසීම සම්ප්‍රදායයක් වුවත්, අද එය අට පැයකට පමණ සීමා වී තිබේ.වේද කාලීන භාරතීය ජනතාව පෝය දිනවල දී ශුද්ධ ස්ථානවලට පැමිණ, දෙවියන් සිහි කරමින් උපවාසයේ යෙදීමට පුරුදුව සිටියහ. උපවාසයට අමතරව නොයෙකුත් වත් පිළිවෙත් ද පිරූහ. 1. මෙවුන් දම්හි නොයෙදීම, 2. කාම රාගාදී කෙලෙස්වලට හේතුවන සුවඳ විලවුන් ගැල්වීමෙන්, මල් දම් පැලඳවීම් වලින් වැළකීම, 3. ස්ත්‍රී සේවනයේ නොයෙදීම ආදී පිළිවෙත්වල යෙදෙමින්, බඹසර රකිමින් උපවාසයේ යෙදුණහ. මේ කාලයේ දී බෞද්ධයන් අතර උපෝසථ කර්ම කිරීමේ ක්‍රමයක් නොතිබිණි. එය බොහෝ බෞද්ධයන්ගේ අප්‍රසාදයට හේතු විය. මේ අතර බෞද්ධයින් තමන්ගේ අප්‍රසාදය ප්‍රසිද්ධියේ පැවසීමට පසුබට නොවූහ. මේ බව දැනගත් බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේට ද දන්වා, සතර පෝයටම බෞද්ධයින් රැස්වී උපෝසථ කර්ම කිරීම ආදී කටයුතු සඳහා ප්‍රථම බෞද්ධ අධ්‍යාපන ආයතනය වශයෙන් වේළුවනාරාමය සාදවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූ සංඝයාට පූජා කළේය.

උපොසථ (උපවසත) යන වචනයෙහි තේරුම “සමීපව වාසය කිරීම” යන්න ය. මෙහි අදහස වන්නේ ගුරුවරයා ළඟට ගෙන ඉගැන්වීමයි. කුලයෙන් උසස් යැයි සම්මත බමුණන් වැනි අය පමණක් ගුරුවරයා සමීපයට ගෙන බාහිර අයට නොඇසෙන සේ වේදය ඉගැන්වීම, ‘උපොසථය’ නමින් එදා හැඳින්විණි. මේ ක්‍රමයටම බෞද්ධයන්ගේ අධ්‍යාපනය ද දියුණු කිරීම ආරම්භ විය. කුලවතුන්ට පමණක් රහසිගතව සමිපයේ තබාගෙන වේදය ඉගැන්වීමට සීමා වී තිබීම නිසා කුල භේදයෙන් තොරව ගිහි පැවිදිි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ සමීපයට ගෙන ධර්මය ඉගැන්වීම බෞද්ධ උපොසථය යනුවෙන් හැඳින්විණි. බෞද්ධ උපොසථ ශීලයේ ආරම්භය සිදු වූයේ එලෙසිනි. මේ දිනවල දී ම භික්ෂූන් විසින් පාමොක් දෙසීම ද ආරම්භ කරන ලදී. අද දක්වාම මේ සිරිත් නොකඩවා පැවත එයි. මෙය භික්ෂූන්ට සිල්වත් ජීවිතයක් ගත කිරීමටත්, විනය රැක ගැනීමටත්, ධර්ම ඤාණය වැඩි දියුණු කර ගැනීමටත් ඉවහල් විය.

මෙයින් අප විසින් අවබෝධ කොට ගත යුතු කරුණක් වන්නේ, පෝය දින වනාහි චන්ද්‍රයාගේ වෙනස්වීමේ හැටියට ඒ ඒ දිනයන්ට සාදා ගත් නම් ය. පෝය දිනය බෞද්ධයාට විශේෂ වූවක් නොවේ. එය පුරාණ කාලයේ පටන් හින්දුන්ගේ විශේෂ දිනයකි. බෞද්ධයාට පෝය දිනය හා කිසි සම්බන්ධයක් නැත. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව “හිත හොඳ මිනිහාට හැමදාම පොහොය” වේ. (සුද්ධස්සුපොසථොසදා)

බෞද්ධයා පෝය දිනයේ දී උපොසථ කර්ම කිරීමට යොදා ගෙන ඇත්තේ, හින්දුන්ගේ උපවාස දිනයම බෞද්ධයන්ගේ අධ්‍යාපනය සඳහා ද යොදා ගැනීමෙන් දෙපිරිසට ම එකම දිනයක් වීම නිසා ගැටලුවක් පැන නොනගින හෙයිනි. මීට අමතරව මුළු ජීවිත කාලයේ දී ම ශීලය රැක ගැනීමට භික්ෂූන් සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ ශික්ෂාපද, පාතිමොක්ඛයයි. එම ශික්ෂා පද නොකඩා සිට ප්‍රමාදයකින් කැඩුණ ද ආයති සංවරයෙහි පිහිටා ශික්ෂා ගරුකව රකින භික්ෂූ ශීලය, පාතිමොක්ඛ සංවල ශීලය යි. එමෙන්ම ඉන්ද්‍රිය සංවර ශීලය, ආජීව පරිශුද්ධ ශීලය හා ශීල විසුද්ධිය යනුවෙන් භික්ෂූන්ගේ සංවරකම හා හික්මීම ඇතිකරවීම පිණිස ශීල ශික්ෂණය පැහැදිලි කොට තිබේ.

සියවස් කාලයක සිට අප රටේ බෞද්ධයන් උපොසථ ශීලයෙහි සමාදන් කරවීම ගැන විමසා බලන කල පෙනෙන්නේ එදා බමුණන් පෝය දිනවල දී කරන ලද උපවාසයේ යෙදීම වැනි ක්‍රියාවක අප බෞද්ධයන් ද යොදවන බවකි. ශීලයක පිහිටා එය ආරක්ෂා කර ගනිමින් දිනක් ගත කිරීමට හෝ පුහුණුවක් දීම නුසුදුසු යැයි අපි එයින් අදහස් නොකරමු.

නමුත් ශීල පද සමාදානය, එක් දිනකට පමණක් සීම කිරීම වැරැදි ය. සිල්වත්කම පන්සලේ දී පමණක් නොව ගෙදර දී ද, සමාජයේ දී ද, ආශ්‍රමයේ දී ද, මග තොටේ දී ද, සියලු තැන්වල දීම ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් අධ්‍යාපනයක්දීම, පොහෝ දිනයේ දී සිදු විය යුත්තකි. නිරන්තරයෙන්ම යහපත් හැසිරීමකින් යුතුව කටයුතු කිරීම සඳහා ධර්මය ප්‍රායෝගිකව ජීවිතයට ඇතුළත් කර ගැනීමට තරම් ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා දීමට නම්, ප්‍රථම කොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරැදි දැකීමත්, නිවැරැදි සංකල්පනාවත් ඇතුළත් ප්‍රඥාව ශ්‍රාවකයෝ තුළ ඇති කර විය යුතු ය. අද විහාරස්ථානවල දී කරගෙන යන වැඩ සටහන් ආර්ය මාර්ගයට අනුකූල නොවන බව දක්නට තිබේ. එසේ හෙයින්, ආර්ය ශීලය කුමක්දැයි අවබෝධ කර ගැනීම, ආර්ය මාර්ගයේ ගමන් කරන සියලු දෙනාගේම යහපතට හේතු වනවා ඇත.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීල ශික්ෂණයට අයත් වන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගත්‍රයයි. මේ නිවන් මගට අයත් ශීලයයි. ලෝකෝත්තර වශයෙන් නිවන සඳහාත්, ලෞකික වශයෙන් යහපත් දිවි පෙවෙතක් ගත කිරීමට හා සුඛිත මුදිත ජන සමාජයක් බිහි කිරීම සඳහාත් අවශ්‍ය ලක්ෂණය ධර්මය තුළ පැහැදිලි කොට ඇත.

ආර්ය මාර්ගයේ අංග අට වෙන වෙන ම ප්‍රගුණ කළ නො හැකි ය. ඒ වාද ප්‍රතීත්‍ය සමුප්පන්න ය; සාපේක්ෂ ය; එක අංගයකට අනෙක් අංගය සම්බන්ධ ය. එනිසා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මුල් අංග දෙක (ප්‍රඥා) ගැන අවබෝධයක් නොමැතිව අනෙක් එකම අංගයක් වෙත යා නො හැකි ය. ඊට ;හ්තුව මම මගේ යනුවෙන් තිබෙන සක්කාය දිට්ඨිය නිස පෞද්ගලිකත්වයෙන් තොරව පරාර්ථය සඳහා හිතන්නට තිබෙන අකැමැත්තය. මම මගේ යන හැඟීමෙන් තොර ව සිතන අයෙකුට නිරන්තරයෙන්ම සිල්වත් කම රැක ගැනීමට පුළුවන. ප්‍රඥාව අවශ්‍ය වන්නේ ඒ සඳහාය.

සම්මා වාචා

නිවැරැදි වචනය නම්, අරගලයට තුඩු නො දෙන, බොරුවක්, කේලමක්, පරුෂ වචනයක් හෝ හිස් වචනයක් නොවන; තමන්ටත්, අනුන්ටත් උභය පාර්ශ්වයටම යහපත් වන වචනයි. මෙම යහපත් වචන සිල් සමාදන් වූ දිනයේ දී පමණක් නොව, කිසිම කල් දැමීමකින් තොරව කතා කරන සෑම අවස්ථාවකදීම භාවිතා කිරීමට නිවැරැදි කල්පනාව තිබිය යුතු ය. භික්ෂූන් වහන්සේ විසින් නො කළ යුතු, දෙතිසක් කතා ද විනයෙහි සඳහන් වෙයි.

ධර්මයේ සඳහන් වන පරිදි, වචනය මනා භයානක අවියකි. පවුල් කඩා ඉහිරවීමට, කලකෝළාහල, පුද්ගලයන් අතර ගැටුම් ඇතිවීමට, සමාජය භේද භින්න කිරීමට, සමාජ ප්‍රගතියට ඉවහල් වන සමාජ සංවිධානවල කටයුතු අවුල් කර ඒවා බිඳ දැමීමට රටවල් හා ජාතීන් අතර යුද ගැටුම් පවා ඇති කරවීමට තරම් වචනය හේතු වී තිබේ. එ වැනි වැරැදි වචන (මිච්ඡා වාචා) කතා කිරීමෙන් සිදු කර ගන්නා අකුසල් මෙපමණ කැයි කිව නො හැකිය. වැරැදි වචන කතා කරන තැනැත්තා, නිතරම බියෙන් තැතිගෙන සිටියි.

එමෙන්ම නිවැරැදි වචනයෙන් මිනිසාට විමුක්තිය ලබා දීමට ද පුළුවන. මිනිසුන් යහමඟට ගැනීමට වචනයෙහි මොන තරම් ශක්තියක් බලයක් තිබේදැයි විමසා බැලීම ද සුදුසු ය. ප්‍රචණ්ඩ පුද්ගලයන් වූ අංගුලිමාල - ආලවක ආදීන් දමනය කිරීමට, භාරද්වාජ වැනි බමුණන් යහමගට ගැනීමට, සුනීත, සෝපාක, පටාචාරා, කිසාගෝතමී වැනි අයට නිවනින් සැනසීම ලබා දීමට, නාලාගිරි වැනි ඇතුන් දමනය කිරීමට බුදුරජාණන් වහන්සේ භාවිතා කළේ යහපත් වචනය යි. පරාර්ථ චර්යාව සඳහා වූ උදාර චේතනාවෙන් බුදුන් වහන්සේ ද, බෞද්ධ ශ්‍රාවකයන්ද ධර්මය දේශනා කරමින් සුඛිත මුදිත ජන සමාජයක් ගොඩ නැගීමට කටයුතු කළේ නිවැරැදි වචනයේ අනුසාරයෙනි. මිනිස් ජීවිතයට සැනසිල්ල - ආනන්දය ලබා දීමට, සමාජ තත්ත්වය උසස් කිරීමට මිනිසාගේ සහජ ආවේග උත්කර්ෂණය කර ඔවුන්ගේ ජීවන දෘෂ්ඨියේ සහ ජීවන මාර්ගයේ පූර්ණ විප්ලවයක් ඇති කරවීමට, වචනයෙන් පු‍්‍රළුවන් විය. අප කතා කරන සෑම මොහොතකම නිවැරැදි වචන කතා කිරීමට, නිවැරැදි කල්පනාව තිබිය යුතු වෙයි. සිල් සමාදන් වූ දිනයට පමණක් යහපත් වචන කතා කිරීමට සීමා නොකර නිබඳව,නිරන්තරව නිවැරැදි වචනම කතා කිරීම, ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ට වූ අයකුගේ ප්‍රතිපත්තිය යි.

සම්මා කම්මන්ත

සම්මා කම්මන්ත යනු නිවැරැදි ක්‍රියාවයි. (කර්මාන්තයයි) ආර්යය ධර්මයට අනුව ප්‍රාණ ඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, නිවැරැදි ක්‍රියා වශයෙන් සලකනු ලැබේ. මේ කාරණා තුනද එකිනෙකට සම්බන්ධව පවතින්නකි. ප්‍රාණ ඝාතය, සොරකම හා කාම මිථ්‍යාචාරය යන වැරැදි ක්‍රියාවන්හි යෙදීම කාම තෘෂ්ණාව නිසා සිදුවන්නක් හෙයින්, ඉන් වැළකීම පිණිස කම්සැප හැරදැමීම, ව්‍යාපදයෙන් තොරවීම හා හිංසනික ක්‍රියා වලින් වැළකීම නමැති සම්මා සංකප්පය පුද්ගලයා තුළ තිබිය යුතු ය. තෘෂ්ණාව නිසා කාම මිච්ඡාචාරයත්, සොරකමත්, ප්‍රාණ ඝාතයත් සිදු වන ආකාරය පියවර දාහතකින් පමණ, ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මතාව අනුව පෙන්වා දී තිබේ. (මහා නිධාන සූත්‍රය, දී.නි)

මිනිසා සැපත හා සතුට ලැබීම (ස්වභාව ධර්මයට අනුකූල) අනුසෝතගාමී ධර්මතාවයක් බව සැලකිය හැකි ය. මිනිසා මතුපිටින් ශිෂ්ට සම්පන්න ගතියක් පෙන්වූවද ඔහු තුළ සියලු සත්වයාටම පොදු වූ මූලික තිරශ්චීන ගති යටපත්ව තිබේ. විවිධ හේතු මුල්කොටගෙන ඔහුගේ තිරිසන් ගති මතු වී ප්‍රචණ්ඩ ලෙස සාහසික ලෙස හැසිරී නොයෙකුත් අපරාධ කරයි. මිනිසා ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ පොළවේ සැරිසැරුවේ ම්ලේච්ඡයකු ලෙසය. මිනිසාගේ ශිෂ්ටාචාරයේ ප්‍රගති ගමන ආරම්භ වූයේ අවුරුදු දහ දහසකට පමණ පෙර ය. ඉන් අවුරුදු දෙදහස් පන්සිය පනහකට පමණ මෙපිට දී මමත්වයෙන් මුලා වූ මිනිසාගේ සියලු වැරැදි වැඩ වල යෙදීමේ සංකල්පය වෙනස් කිරීමට සත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මයක් නොමැති බවත්, ශරීරයේ අයිතියක් තමන්ට නොමැති බවත් බුදුරජාණන් වහන්සේ විසින් උගන්වා, ඔවුන් ආත්ම දෘෂ්ටියෙන් මුදවාගෙන ධාර්මික චර්යාව කෙරෙහි යොමු කරවීමට කටයුතු කළ සේක.

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිථ්‍යාචාරය, යන වැරැදි පිළිවෙත් තුන පිළිබඳව දීර්ඝ විස්තරයක් අනවශ්‍ය ය. යම් ක්‍රියාවක් රාගය වැඩීම පිණිස ද්වේශය වැඩීම පිණිස, මෝහය වැඩීම පිණිස හේතුවේ නම් ඒ ක්‍රියාව මිථ්‍යා කර්මාන්තයකි. යම් ක්‍රියාවක් ලෝභය, ද්වේශය, මෝහය නැසීම පිණිස හේතු වේ නම්, ඒ ක්‍රියාව නිවැරදි කර්මාන්තයයි.

සම්මා ආජීව

සම්මා ආජීව යනු නිවැරැදි දිවි පැවැත්මයි. දිවි පැවැත්මට අවශ්‍ය කරන දේ බොහෝ ය. අද එම සියලු දේ ලබා ගැනීමට මිල මුදල් අවශ්‍ය ය. මිල මුදල් උපයා ගැනීමට කරනු ලබන ක්‍රියාකාරකම් බොහෝ ය. යහපත් දිවි පැවැත්මක් සඳහා අවශ්‍ය ධනය උපයා ගැනීම සාධාරණ අන්දමින් කරගත යුතු වේ. අසාධාරණ ලෙස ධනය උපයාගෙන කොපමණ සැප සම්පත් වින්දත් එවැනි අයට පිරිසුදු ආජීවයක් නැත. අසාධාරණ අන්දමින් ධනය උපයාගැනීමේ දී බොහෝ කොට අනුන්ට දුක් ගිනි දීම මෙලොවදීත් පරලොවදීත් විපාක විඳීමට සිදුවන බරපතල අකුසල කර්මයකි.

ජීවනෝපාය මාර්ගය සඳහා නොකළ යුතු රැකියා හා වෙළඳාම් ගැන ද බුදුසමය අවධාරණය කර තිබේ. මස් පිණිස සතුන් විකිණීම, ආයුධ වෙළඳාම, මත් ද්‍රව්‍ය වෙළඳාම, වහල් වෙළඳාම, වස විෂ වෙළඳාම යනාදිය ඊට ඇතුළත් ය. නමුත් වත්මන් ජනසමාජයේ බොහෝ දෙනා මුදල් ඉපයීමට වැඩි වශයෙන් කරනු ලබන්නේ මෙම ව්‍යාපාරය.

අද ජන සමාජයේ බොහෝ දෙනා අතර මිල මුදල් උපයා ගැනීම පිණිස දැඩි තරගකාරී තත්ත්වයක් පවතී. රුපියල් ශත වලට එකිකෙනා මරා ගන්නා තරම් තත්ත්වයට මෙය අද උත්සන්න වී තිබේ. සම්‍යක් ආජීවය කෙසේ වෙතත් මනූෂ්‍යයාගේ මනුස්සකමත් අතුරුදන් වී ඇති බව පෙනෙන්නේ, දිනකට සිදුවන අපරාධ සංඛ්‍යාව දෙස බලන විට ය.

වසර දෙදහස් පන්සියයකට ආසන්න කාලයක් මුළුල්ලේ නිතිපතා පන්සිල් සමාදන් වූ මිනිසුන් සිටින රටක, සතා සිව්පාවාගේ ඉරණම පවා ඛේදවාචකයක් විය. මේ සියල්ලටම මූලික හේතුව මිනිසා තෘෂ්ණාවට දාස වීම ය.

ආජීවය පිරිසුදුව තබා ගැනීමට චාම් සරල දිවි පැවැත්මක් ගත කිරීමට පුරුදු විය යුතු ය. කරුණාව, මෛත්‍රීය, අනුකම්පාව, මානව හිතවාදී බව ඇතිවන්නේ ආජීවය පිරිසුදු වීමෙන් පමණකි. සියල්ල අල්ලා ගැනීමට තිබෙන සංසාරික පුරුද්ද අතහැර ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත වන සියල්ල අතහැරීමට පුරුදු වී තෘෂ්ණාවෙන් මිදී සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම නිවැරැදි ආජීවකින් යුතුව ජීවත්වීමයි. බුදුසමයෙන් අගය කරනු ලබන සැහැල්ලු සුන්දර නිහතමානී දිවිපෙවෙත එයයි.

සාම්ප්‍රදායික ක්‍රමයට පෝය දිනයේ දී පමණක් සිල් සමාදන් වී බෞද්ධ පරමාර්ථ ඉටුකර ගත නොහැකි ය. සිල්වත්කම අප තුළ නිරන්තරයෙන්ම තිබිය යුතු ගුණාංගයකි. බෞද්ධ මාර්ගයට අයත් ශීලය පද සමාදානයට සීමා වී කරනු ලබන එක් දින උපවාසයක් නොවේ. කය, වචනය හා ආජීව නිරතුරු පිරිසුදුව තබා ගැනීම, ආර්ය ශීලය යනුවෙන් හඳුන්වනු ලැබේ. යමෙකු ගුණවත් වනුයේ, නොකඩවාම දිගින් දිගටම යහපත් දේ ප්‍රගුණ කිරීමෙනි. සුලබ ධර්ම උපදේශ දීමෙන් පමණක් තෘප්ත වී සිටීම ප්‍රමාණවත් නොවේ. ඒ උපදෙස්, මිනිසුන් එදිනෙදා කරන කියන කටයුතු වලදී ප්‍රායෝගිකත්වයට පත් කරවීමට තරම් සිත් සතන් තුළට කාවැද්දීම අවශ්‍ය ය. ඒ සඳහා ආර්ය මාර්ගයේ මුල් අංගද්වය (ප්‍රඥාව) බෞද්ධ ජනතාවට ලබා දීමේ කාලය, එළඹ \;බ්. එසේ නොමැතිව ශීලයෙහි පිහිටුවීම පමණක් ප්‍රායෝගික නැත.

බුදු දහමින් අවධාරණය කර ඇත්තේ එක්තරා ධර්ම පද්ධතියක් හා චරණ පද්ධතියකි. සිල්වත්කම යනු යහපත් හැසිරීම ය. හොඳ සිරිත් විරිත්, ගතිගුණ, ඇවතුම් පැවතුම් හා ගුණවත්කම ආදිය නිවැරදි කල්පනාවක් ඇත්නම් කිසිදු අපහසුතාවකින් තොරව සම්පූර්ණ කර ගැනීමට පුළුවන.

නිවන් මඟට පිළිපන් තැනැත්තා දිය පහරකට වැටුණු අයකු සේ ය. (ධම්ම සෝතං සමාපන්නො) ඔහු නිරන්තරයෙන්ම විමුක්තිය දක්වාම උද්‍යෝගයකින් යුතුව එයම වැඩිය යුතු වන්නේ ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.