Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වදනින් පැවසිය නොහැකි ගුණ කඳ

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ගුණ කඳ වදනින් පැවසිය නොහැකිය. ඉතිපිසෝ ගාථා පාඨයේ දැක්වෙන ඒ ගුණ කඳෙන් බිඳක් දැක්වීම මේ ලිපියේ අරමුණයි.

අරහං ගුණය

ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ සියලු කෙලෙස් බැමි සිඳ ලූ සේක. ඔබ වහන්සේ ඍතුවෙන් ඍතුවට සැප විහරණ ලැබූ ත්‍රිවිධ මාළිගා කෙරෙහි තණ්හාවක් ආශාවක් ඇතිකර නොගත් සේක. ඔබ වහන්සේට ලැබුණු සක්විති රාජ්‍යයට තණ්හාවක් ඇතිකර නොගත්සේක. ඔබ වහන්සේගේ රාජ්‍ය වංශයට තණ්හාවක් ඇතිකර නොගත් සේක. ඔබ වහන්සේගේ රාජ්‍ය සම්පත් වලට තණ්හාවක් ඇතිකර නොගත් සේක. සියලු රාජ්‍ය ආභරණ ඉවත දැමූ සේක. කසාවත පමණක් පිළිසරණ කරගත් සේක.

අවිද්‍යා, තණ්හා, උපාදාන ආදී සසර බැමි සිඳලූ සේක.

ඔබ වහන්සේ යසසින්, කීර්තියෙන්, බලයෙන්, ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ධනයෙන්, අගතැන් පත් වූ සේක. මේ කිසිවකින් ඔබ වහන්සේ මානයෙන් උඩඟු නො වූ සේක.

සියලු කෙලෙසුන් නැවත කිසිවිට නූපදනා පරිදි විනාශ කර දැමූ සේක.

ඔබ වහන්සේ පසුපස හඹා ආ කෙලෙස් සතුරන් ඔබ වහන්සේ විසින් නසන ලදී.

රහසින්වත් පාපයක් සිදු කිරීමට අයෝග්‍ය වූ සේක. එසේ හෙයින් සියලු දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආදීන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු වූ සේක.

එනිසාම ත්‍රිවිධ ලෝකයට පින් කෙතක් වූ අමා මෑණියන් වහන්ස, ඔබ වහන්සේ ‘අර්හත්’ නම් වන සේක. ඒ අර්හත් ගුණයෙන් යුතු බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

සම්මා සම්බුද්ධ ගුණය

ස්වාමීනි භාග්‍යවත් බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේ පංචස්කන්ධයෙහි (රූප , වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ) පැවැත්ම දුක්ඛ සත්‍යය බව , පිරිසිඳ අවබෝධ කළ සේක.

මේ දුක ඇතිවීමට හේතුවන්නා වූ ත්‍රිවිධ තෘෂ්ණාව (කාම තණ්හා , භව තණ්හා, විභව තණ්හා ) සමුදය සත්‍යය යැයි අවබෝධ කරගත් සේක.

මේ දුක ඇති වන්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව හේතු කොට ගෙන බවත් ඒවා නැති කිරීමෙන් දුකෙහි පැවැත්ම අවසන් කිරීම නිරෝධ සත්‍යය පවත් ප්‍රත්‍යක්‍ෂ කළ සේක.

ඔබ වහන්සේ ඒ සඳහා, ආය¸ අෂ්ටාංගික මාර්ගය උපයෝගී කර ගත් සේක. ඔබ වහන්සේ පස් වැදෑරුම් ඥෙය්‍ය ධර්ම (සංඛාර , විකාර, ලක්ඛන , පඤ්ඤාත්ති , නිබ්බාන ) අවබෝධ කර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අතීත , වර්තමාන, අනාගත තුන්කාලයටම අයත් සියලු ධර්ම තම නුවණින් අවබෝධ කර උතුම් වූ බුද්ධ රාජ්‍යයට පැමිණි සේක. එසේ හෙයින් ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඒ සම්මා සම්බුද්ධ බුදු ගුණයෙන් සමන්නාගත ලෝක නාථයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ් නමස්කාරය වේවා!

විජ්ජාචරණ සම්පන්න ගුණය

ස්වාමීනි භාග්‍යවතුන් බුදුපියාණන් වහන්ස, ඔබ වහන්සේ ත්‍රිලක්‍ෂණ (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) විදර්ශනා ඤාණයෙන්ද මනෝමය ඍද්ධි (කයෙන් අන්කයක් මවාපාන්නා වූ ) ඤාණයෙන්ද, අනන්ත අප්‍රමාණ ඍද්ධි විධ ඤාණයෙන්ද කැමැති හඬක් වහා අසාගත හැකි දිව්‍ය ශ්‍රෝත ඤාණයෙන්ද, අන් අයගේ සිතිවිලි දැනගත හැකි පරචිත්ත විජානන ඤාණයෙන්ද, පෙර විසූ ආත්ම දැන ගැනීමට හැකි පුබ්බේ නිවාසානුස්සති ඤාණයෙන්ද,

සත්වයන් උපදින ස්ථාන දැන ගැනීමේ නුවණ වූ චුතූපපාත ඤාණයෙන්ද, සියලු ආශ්‍රව (කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ශ්‍රව ) නසන ලද ආශ්‍රවක්ෂය කර ඤාණයෙන්ද යන අෂ්ට විද්‍යාවන්ගෙන් ඔබ වහන්සේ යුක්ත වූ සේක.

එසේම ඔබ වහන්සේ පසළොස් චරණ ධර්මයන්ගෙන් එනම්, ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, පමණදැන ආහාර වැළදීම , නිදිදුරු කිරීම, කුසල් අකුසල් පිළිබඳ ඇති ශ්‍රද්ධාව ,හිරිඔතප්, බහුශ්‍රැතබව , වීරිය , සිහිය, ප්‍රඥාව , ධ්‍යාන සතර ධර්මයන්ගෙන් යන යුක්ත වූ සේක.

එසේ හෙයින් බුදුපියාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ඒ විජ්ජාචරණ සම්පන්න බුදුගුණයෙන් යුත් නිදුකාණනි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

සුගත ගුණය

ස්වාමිනි, භාග්‍යවත් බුදුපියාණන් වහන්ස, ඔබ වහන්සේ දීපංකර පාද මූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය දක්වා යහපත් වූ ගමන් ඇති සේක.

දුටු දුටුවන් මන මෝහනය කර වූ ශෝභනය වූ ගමන් ඇති සේක. දුටුවන් නෙත් ඉවත නොගන්නා ශෝභන රූපකාය සම්පත්තිය ඇති සේක.

මධ්‍යම ප්‍රතිපදාවෙන් අරිඅට මගින් චතුරාර්ය සත්‍යය අවබෝධ කර සතර මග සතර ඵලයන්ට පැමිණ, ශාන්ත සුන්දර වූ උතුම් වූ නිවන් පුරයට වැඩිසේක.

ඕනෑම අයකුට තමන්වම අමතන්නේ යැයි සිතෙන, දෙසවන් මෝහනයට පත් කරවන මිහිර කටහඬ ඇති සේක. අසත්‍ය වූ , අසාර වූ, අනර්ථ වූ, කිසිම වචනයක් නොදෙසූ ඔබ වහන්සේ සත්‍ය වූ, සාර වූ, අර්ථවත් වූ කිසිවකුටත් අසත්‍ය යැයි බැහැර කළ නොහැකි වූ සාරගර්භ වචන ම දේශනා කළ සේක

එබැවින් ඔබ වහන්සේ ‘සුගත’ නම් වන සේක. ඒ සුගත බුදු ගුණයෙන් හෙබි සර්වඥයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

ලෝකවිදූ ගුණය

ස්වාමීනි , භාග්‍යවත් බුදු පියාණන් වහන්ස, මුළු ලොවටම අග තැන්පත් වූ අමෘත දායකයාණන් වහන්ස , ඔබ වහන්සේ ලෝකය, ලෝක සමුදය, ලෝක නිරෝධය , ලෝක නිරෝධ ගාමිණී පටිපදාව සහ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය යන ලෝකත්‍රයද , කාම රූප , අරූප යන ලෝකත්‍රයද තිස් එක් භූමිතලයම ද (අපාය, භූමි හතර, කාම භූමි සත, රූපාවචර, බ්‍රහ්මලෝක දහසය , අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර) තත්වාකාරයෙන්ම ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කර ගත් සේක.

එබැවින් කරුණා නිධාන වූ සද්ධර්ම චක්‍රවර්ති ධර්මරාජයාණන් වහන්ස, ඔබ වහන්සේ ‘ලෝකවිදූ’ නම් වන සේක. ඒ ලෝකවිදූ බුදු ගුණයෙන් හෙබියා වූ නරොත්තමයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා!

අනුත්තර පුරිසදම්ම සාරථී ගුණය

ඔබ වහන්සේ අසීමිත මෛත්‍රී බලයෙන් ද, උපාය මාර්ගයෙන් ද, ඍද්ධි බලයෙන් ද, කිසිවෙකුට දමනය කළ නොහැකි යක්ෂ, රාක්ෂ, දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය හා චණ්ඩ නපුරු තිරිසන්ගත සත්වයන් ද දමනය කළ සේක.

එබැවින් අසමසම නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක. අනුත්තර පුරිස දම්ම සාරථී ගුණයෙන් හෙබියා වූ තිලොවට ඇදුරුවරයාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

සත්ථා දේව මනුස්සානං ගුණය

ස්වාමීනි, භාග්‍යවත් බුදුපියාණන් වහන්ස, චතුරාර්ය සත්‍ය ධර්ම ලොවට හෙළි කළ එකම ගුරුවරයා ඔබ වහන්සේ ම ය.

සතර මඟ සතර ඵළ අවබෝධ නිවන් පුරයට පැමිණීමට මග පෙන්වූ එකම ගුරුවරයා ඔබ වහන්සේ වූ සේක. ජාති, ජරා මරණ දුකින් සත්වයන් මුදවා ගැනීම සඳහා ඔබ වහන්සේ අනුශාසනා කළ සේක.

දාන, ශිල, භාවනා දී කුසල් නිසා හටගන්නා සැප විපාක පිළිබඳව පස් පව්, දස අකුසල්, පංච නීවරණ, සහ ලෝභ, දෝෂ, මෝහ, මාන, දිට්ඨි යන ක්ලේශ නිසා හටගන්නා දුක් විපාක පිළිබඳ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ආදීන්ට මෙලොව පරලොව අභිවෘද්ධිය සඳහා අනුශාසනා කළ සේක.

එබැවින් විමුක්ති මාර්ගෝපදේශකයාණන් වහන්ස, ඔබ වහන්සේ ‘සත්ථා දේව මනුස්සානං’ නම් වන සේක. ඒ සත්ථා දේව මනුස්සානං බුදු ගුණයෙන් හෙබියා වූ, මෛත්‍රී සාගරයක් වූ උතුමාණන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!

බුද්ධ ගුණය

ස්වාමීනි, භාග්‍යවත් බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේ සත්‍ය ඤණ, කෘත්‍ය ඤණ, කෘත ඤාණ යන ත්‍රිවිධ ආකාරයට දුක, දුක ඇතිවිමට හේතු, දුක නිවීම, දුක නිවීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍ය ධර්ම දොළොස් ආකාරයකින් අවබෝධ කර ගත් සේක.

දුක්ඛාර්ථ සතර ද (පීලන, සංඛත, සංතාප, විපරිණාම) සමුදයාර්ථ සතර ද, (ආයුහන, නිදාන, සංයෝජන, පලිබෝධ) නිරෝධාර්ථ සතර ද (නිස්සරණ, විවේක, අසංඛත, අමත) මාර්ගාර්ථ සතර ද (නිය්‍යාණ, හේතු, දස්සන, ආධිපත්තෙය්‍ය) ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය සොළොස් ආකාරයකින් අවබෝධ කර ගෙන අනෙක් අයට ද අවබෝධ කර වදාළ සේක.

ෂට් අසාධාරණ ඤාණ, තෙසැත්තෑ ඤාණ හා අනන්ත වූ බුද්ධ ඤාණයන්ගෙන් යුක්ත වූ ඔබ වහන්සේ කාම, භව, දිට්ඨි, අවිද්‍යා යන ආශවයන්ගෙන් මිදුණු සේක.

කාම, රූප, අරූප භවත්‍රයෙහි තෘෂ්ණාව සිඳලූ ඔබ වහන්සේ අර්ථ, ධර්ම, නිරුත්ති, ප්‍රතිභාන යන ප්‍රතිසම්භිදා ඤාණයන්ගෙන් පිරිපුන් වූ සේක. මේ උතුම් ගුණයන්ගෙන් පිරිපුන් වීරයාණන් වහන්ස, ඔබ වහන්සේ එ නිසාම බුද්ධ නම් වන සේක. ඒ ‘බුද්ධ’ නම් ගුණයෙන් යුතු දසබලධාරී ලෝකනාථයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

භගවා ගුණය

ස්වාමීනී, භාග්‍යවත් බුදු පියාණන් වහන්ස, ඔබ වහන්සේ සවදෑරුම් භාග්‍ය ධර්මයන්ගෙන් (ඓශ්චර්ය භාග්‍යය, කාම භාග්‍යය, යස භාග්‍යය, ශ්‍රී භාග්‍යය, ධර්ම භාග්‍යය, ප්‍රයත්න භාග්‍යය) යුක්ත වූ සේක.

පස් මරුන් (ක්ලේශ මාර, ස්කන්ධ මාර, අභිසංස්කාර මාර, දේව පුත්‍ර මාර, මෘත්‍යු මාර) පැරදවූ සේක. සත් තිස් බෝධි පාක්ෂික ධර්ම, පංච නීවරණ, අට මහ කුසල්, දස පාරමී ධර්ම, දස කුසල ධර්ම, දස අකුසල ධර්ම, පටිච්ච සමුප්පාද ධර්ම මනා කොට දැන පහදා දුන් සේක.

ඉතිරී පැතිරී ගිය මෛත්‍රියෙන් සහ කරුණාවෙන් උත්තරීතර වූ සේක. භජනය කළ යුතු අනන්ත අප්‍රමාණ ගුණ භජනය කළ සේක. නා නා ප්‍රකාර ඍද්ධි බලයෙන් යුක්ත වූ සේක.

එබැවින් තෛ‍්‍රලෝක තිලක වූ අමා මෑණි බුදු පියාණන් වහන්සේ ‘භගවා’ නම් වන සේක. ඒ ‘භගවා’ ගුණයෙන් යුක්ත වූ ශාක්‍ය මුනීන්ද්‍ර භාග්‍යවත්, අර්හත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

නව අරහාදී බුදු ගුණයෙන් පිරි, අසීමිත ගුණ ස්කන්ධයක් ඇති අමා මෑණි සම්බුදු පියාණන් වහන්සේට දොහොත් මුදුන් තබා මම නමස්කාර කරමි.

මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. නිවන් දක්නා ජාති දක්වා උතුම් වූ බුද්ධ රත්නයට මාගේ සිත, කය, වචනය යන තිදොරින් කිසිම වරදක් නොවේවා. මාගේ තිදොරින් යම් කිසි වරදක් සිදු වී නම්, උතුම් බුද්ධ රත්නය මට ක්ෂමා වන සේක්වා. ක්ෂමා වන සේක්වා, ක්ෂමා වන සේක්වා.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.