Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස්වර්ණමාලි චෛත්‍ය රාජයාගෙන් බුදු රැස් විහිදෙයි!

බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටීමෙන් අති පාරිශුද්ධත්වයට පත්ව පවත්නා අනුරාධපුර ශුද්ධ ස්ථාන වන්දනාවෙහි, මම වප් මාසයෙහි දිනක යෙදුණෙමි. මෙසේ මා වන්දනාමාන කිරීමට යෙදුණු ශුද්ධ භූමි නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්වර්ණමාලි මහා චෛත්‍යරාජයාණන් වහන්සේ හා පැරැණිම දාගැබ් වහන්සේ වන ථූපාරාමයද වේ. මම නොකඩවා දින පහක් මේ ශුද්ධ භූමිවල භාවනානුයෝගීව කල් ගත කළෙමි. අවසාන දිනයෙහි පැයක පමණ කාලයක් ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් අබියස බුද්ධානුස්සතිය වැඩීමෙන් පසු, මගේ ජීවිතයේ පරමාර්ථය වන බුද්ධ ශාසනයට සේවය කිරීමේ හා අවිද්‍යා අන්ධකාරයේ නිමග්න වී සිටින ජනතාව අතරෙහි බුදුරජාණන් වහන්සේගේ අමරණීය දහම් පණිවිඩය පතුරුවා හැරීමේ ද වූ මගේ අධිෂ්ඨානය සාර්ථක වේවායි ඉටා ගතිමි. මේ අධිෂ්ඨානයෙන් පසු මා නැගී සිටිත්ම “ඉතිපිසො භගවා අරහං ...පාඨය මිහිරි ස්වරයකින් සජ්ඣායනා කරන නාදයක් මට ඈතින් ශ්‍රවණය වන්නට විය. මේ සුමිහිරි බුදු ගුණ ගායනය මා දෙසවන් වැකෙත්ම, මගේ මුළු ශරීරය පුරා සැනසිල්ල දනවන පී‍්‍රතියක් පැතිර ගොස් මගේ සිත ශ්‍රද්ධා භක්තියෙන් ඉපිල ගියේය. ස්වල්ප වේලාවකින් එම මිහිර නාදය ළඟ ඇසෙත්ම , මා ඉදිරියෙහි මට දක්නට ලැබුණේ සුදුවතින් සැරැසී මහත් ශ්‍රද්ධාවෙන් බුදු ගුණ ගායනා කරමින් ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වටා ගමන් ගන්නා සැදැහැතියන් පිරිසකි. මේ සැදැහැතියන්ගේ තේජස්හි ගමන් විලාසයද ගාථා මිහිරි අන්දමින් සජ්ඣායනා කිරීමද එමෙන්ම එම බුදුගුණ පාඨයන්හි ගැබ්ව තිබුණු උත්තරීතර චින්තාවන්ද හේතුවෙන් මා සන්තානය වර්ණනා විපයාතික්‍රාන්ත වූ සැනසීමක් හා නිසසල පී‍්‍රතියක් දනවන සිතිවිල්ලෙන් පිරී ගියේය. මා චිත්ත සන්තානයේ මෙවැනි සන්සිඳීමක් රජයද්දී, දැනටත් මා සිත්හි පැහැදිලි මෙන්ම විචිත්‍ර අන්දමින් සිතුවම් වන දර්ශනයක් මට දක්නට ලැබිණි. අහස උසට නැගී පවත්නා ඒ අති විශාල චෛත්‍යරාජයාණන් වහන්සේ දෙස මා හිස ඔසවා බලත්ම මාගේ නේත්‍රයනට රසාංජනයක් මෙන් දක්නට ලැබුණේ, චෛත්‍යයේ චූඩා මාණික්‍යයෙන් ශ්වේත වර්ණ රශ්මි කදම්බයක් විහිදී ගිය ආකාරයයි. මේ දර්ශනය ඇති වූයේ උදය කාලයේ 9.30 ට පමණ වූ අතර, ඒ වනාහි සූර්ය රශ්මියද එතරම් දීප්තිමත්ව පැවැති අවස්ථාවක් නොවීය . මේ කුමක් විය හැකි ද යනුවෙන් මම කල්පනා කරන්නට වීමි. මේ ගැන මගේ කුතුහලයද ඇවිස්සුණි. ඒ වනාහි සූර්ය රශ්මිය චූඩා මාණික්‍යය මත වැටීමේ හේතුවෙන් ඇති වූ දර්ශනයක් දෝහෝයි මම වරෙක සිතන්නට වීමි. එකල්හි මෙහි ගැබ්ව ඇති සත්‍යතාව දැනගැන්මේ ආශාවෙන් විචාරමත් වූ මම නුදුරින් සිටි සැදැහැවතුන් දෙතුන් දෙනකුගෙන් ඒ ගැන විමසීමි. එහෙත් ඔවුන් ඒ දෙස බලත්ම එම ශ්වේත වර්ණ රශ්මිය අතුරුදන් වී ගොස්ය.

මෙම දර්ශනය පැවැතියේ මිනිත්තු තුනක පමණ කෙටි කාලයක් තුළ වූ අතර එම සැදැහැවත්හු මෙම දුර්ලභ දර්ශනය දැක ගැනීමට තරම් භාග්‍යවත් නොවූහ.ඉන්පසු මම නැවත නැවතත් මේ ගැන මෙනෙහි කරන්නට වීමි. අන්තිමේදී මගේ නිගමනය වූයේ ඒ වනාහි අන් කිසිවක් නොව බුදුරැස් විහිදීමක් බවයි. චූඩා මාණික්‍යය මත හිරු රැස් වැටීම හේතුවෙන් එම බැබළීම ඇතිවූයේ නම්, එය එතරම් කෙටි කාලයක් නොපවතිනු ඇත. මෙවැනි දැයක් ස්වර්ණමාලි චෛත්‍ය රජයා කෙරෙන් දර්ශනය වීම එතරම් මවිතකර හෝ අද්භූත හෝ දෙයක් නොවේ. ඈත අතීතයේදී පවා මෙවැනි ප්‍රාතිහාර්ය සිදු වී ඇති අතර මීට දස වර්ෂයකට පමණ පෙර, මෙම චෛත්‍යරජයාණන්ට කොත් පළඳවන ලද අවස්ථාවේදී බොහෝ දෙනකුට මෙසේ බුදුරැස් විහිදීම දැක ගැනීමේ භාග්‍යය උදාවී ඇත. තවද වරින් වර සැදැහැති භක්තිමතුන් මෙවැනි ප්‍රාතිහාර්ය දැක ඇත.

අති උදාර, තේජස් පෙනුමකින් බබළන්නා වූ මේ ස්වර්ණමාලි චෛත්‍යරාජයා, එහි ධාතු ගර්භයේ නිදන්කොට ඇති ධාතුන් රාශිය හේතුවෙන් අසදෘශ මහා ස්ථූපය වශයෙන්ද හඳුන්වනු ලැබේ’ තවද චෛත්‍යයක් නිර්මාණය කළ හැකි විශාලම ප්‍රමාණයට මේ චෛත්‍යරාජයා නිමකොට ඇත. මේ චෛත්‍ය රාජයාගේ විෂ්කම්භය අඩි 300 ක් පමණ වන අතර එය උසින් අඩි 147 ක් පමණ වේ. මේ චෛත්‍යරාජයාණන් හඳුන්වනු ලබන අනෙක් නාම නම් “ මහා චෛත්‍ය” හා “ මහා ස්ථූපය “ ද වේ. ලක්දිව ඇත්තා වූ චෛත්‍ය අතරින් වැඩි වශයෙන් ගරු පැසසුම් ලබන්නා වූ චෛත්‍යය මෙය වන අතර, මේ චෛත්‍ය මෙතරම් ප්‍රසිද්ධියට පත්වූයේ එය සාදන ලද්දේ මහා සිංහල වීරයෙකු වූ දුටුගැමුණු මහරජතුමා විසින් බැවිනි. මහාවංසයෙහි දැක්වෙන පරිදි ස්වකීය ජීවිත කාලයේ දී මෙය සම්පූර්ණ කිරීමට දුටුගැමුණු රජතුමා අසමත් වූ නිසා එතුමා මරණාසන්නව සිටින මොහොතේදී එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරු විසින් සිය සොහොයුරාට චෛත්‍යයේ වැඩ අවසන් බව ඇඟවීම සඳහා අවසන් නොකරන ලද කොටස සුදු තිර වලින් ආවරණය කොට දැක්වූ බව මහාවංසයෙහි සඳහන් වෙයි.

බුදුරජාණන් වහන්සේ ලක්දිව වැඩම වූ ගමනකදී විමුක්ති සුවයෙන් වැඩ සිටීමෙන් මේ ස්ථානය පාරිශුද්ධත්වයට පත් වූ බවද, එමෙන්ම මිහිඳු මහ රහතන් වහන්සේ මල් පිදීමෙන් මෙම ස්ථානය පූජනීයත්වයට පත් කළ බවද දැක්වෙයි. මේ ස්වර්ණමාලි චෛත්‍යරාජයා වනාහි පැරැණි බෞද්ධයන්ගේ අමිල ධනයක් වූ බවට සැකයක් නොමැත.

මේ චෛත්‍යරාජයාණන් ආරක්‍ෂා කර ගැන්ම ගිහියන්ගේ පමණක්නොව භික්‍ෂූන් වහන්සේ ගේ ද යුතුකමක් ලෙස සලකන ලදී. තෙරනමක් චෛත්‍යයෙහි සුණු පිරියම් කිරීමෙහි යෙදුණු අන්දම පංච සුදානියෙහි දැක්වෙයි. ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් හා සමානව පුද සැලකිලි ලබන එකම පූජනීය වස්තුව ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ වෙයි. මේ පූජනීය ස්ථාන දෙක වන්දනා මාන කර ගැනීමට සැදැහැවතුන් යෑම පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වෙයි.

මේ මහා ස්ථූපයේ ධාතු ගර්භය නිර්මාණය කර ඇති අන්දම පිළිබඳ සාකච්ඡා කිරීමද වැදගත් වේ. මහා සෑයේ වැඩ තරමක් දුර කරගෙන ගිය කල්හි ධාතු ගර්භයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාව උදාවිය.

එකල්හි උත්තර හා සුමන යන නම්වලින් හැඳින්වුණු සාමණේරයන් වහන්සේ දෙනමක් හිමාලය පර්වතයේ නුදුරින් ජීවත්වන උතුරුකුරු මිනිසුන් වසන ප්‍රදේශයට වඩමවන ලදී. මේ දෙදෙනා වහන්සේ අඟල් අටක් ඝනකම ඇති විශාල ගල් පර්වත දෙකක් රැගෙන වැඩම කළහ. මේවා සූර්යයා මෙන් බබළන ලද අතර ශාන්ති පුෂ්පයන් වී යැයි විස්තර කර ඇත. ධාතු ගර්භය මධ්‍යයෙහි වූ පුෂ්ප සක්මනෙහි මේ පාෂාණ තැන්පත් කරන ලදී. මින් ගල් සතරක් පෙට්ටියක ආකාරයට සතර දිසාවෙහි තබන ලද අතර, අනික නැගෙනහිර දෙසින් තබන ලදී. මෙය පෙට්ටියක් ආකාර වූ බඳුනට පියනක් මෙන් විය.

දුටුගැමුණු මහරජතුමා විසින් ශාඛා පහකින් ගැවසීමෙන් අනගිතම දිළිසෙන්නා වූ අලංකාර බෝධි වෘක්‍ෂයක් ධාතු ගර්භය මධ්‍යයෙහි තැන්පත් කරන ලදී. ශාඛාවලින් තනන ලද මුල නිල් මාණික්‍ය මත තැන්පත් කර තිබිණි. තනිකර රිදියෙන් තනන ලද වෘක්‍ෂ කඳ, මාණික්‍ය රත්නයන්ගෙන් තනන ලද පත්‍ර වලින්ද රනින් සාදන ලද ඵලයන්ගෙන් හා දළු වලින්ද සරසා තිබිණි. සිංහ , වෘෂභ, ඇත්, කලස්, චාමර , ශංඛ හා පහන්ද අෂ්ට මංගල ලක්‍ෂණ හා මල් මාලා චතුෂ්පාදක සතුන් හා ශේතවර්ණ තාරාවන් පේළි කඳෙහි දක්නට තිබිණි. බෝධිවෘක්ෂය වටා නා නා රත්නයන්ගෙන් නිම කරන ලද වේදිකාද විශාල ප්‍රමාණ මුතුකැටවලින් නිර්මාණය කරන ලද වේදිකාවන්ද දක්නට ලැබිණි. බෝධි වෘක්ෂ මූලයෙහි මල්වලින් පුරවන ලද්දාවූද සිස් වූද මල් භාජන තබා තිබිණි.මේ මල් භාජන නා නා වර්ණ රත්නයන්ගෙන් සාදා තිබුණු අතර මේවා සතරාකාර සුගන්ධවත් ජලයෙන් පුරවා තිබිණි. ධාතු ගර්භය තුළ බෝධි වෘක්‍ෂයට නැගෙනහිර දෙසින් සාදා තිබුණු අනගිතම සිහසුන මත දිළිසෙන ස්වර්ණමය වැඩ සිටින බුදු පිළිමයක් විය. මේ බුදු පිළිමය නා නා වර්ණයෙන් යුත් බැබළෙන්නා වූ මනහර රත්නයන්ගෙන් සාදා ඇත. ධාතු ගර්භයේ ඇතුළත බිත්ති බුදු සිරිතෙන් මෙන්ම නොයෙක් දෙවිවරුන්ගේ හා දිව්‍යාංගනාවන්ගේ පිළිරූ වලින් සිත්තම් කර ඇත. ස්ථූපයෙහි වූ ධාතු ගර්භයෙහි තැන්පත් කරන ලද දේ පිළිබඳ විස්තරයක් මහාවංසයෙහි දැක්වේ. ඒවා අතර බ්‍රහ්ම , ශක්‍ර හා මාර දිව්‍ය පුත්‍රයන් ගේ පිළිරූ දක්නට ලැබේ. ජාතක කථා පිළිබිඹු කරන දර්ශනද එහි වෙයි. වෙස්සන්තර ජාතකය පූර්ණ වශයෙන් සිතුවම් කර ඇත.

කල් යෑමේදී සිල්වත් තෙර නමක් වූ සොණුත්තර භික්‍ෂුව , මෙම මහා චෛත්‍යයේ නිදන් කිරීමට නියමිත ධාතූන් වහන්සේ වැඩමවා ගෙන ඒම පිණිස ජම්බුද්වීපයට පිටත් කර හරින ලදී. මේ තෙරුන් වහන්සේගේ දූත මෙහෙවර සාර්ථක වූයේ උන්වහන්සේ ධාතූන් වහන්සේ රැගෙන ලක්දිවට පැමිණි දෙවනි දිනයේ දීම ධාතු නිධානෝත්සවය පැවැත්වීමට නියම වීමය. එදින සවස නිධානෝත්සවය පැවැත්වීමට සුළු වේලාවකට පෙර රුවන්වැලි සෑ රදුන්ට ඇතුළුවන ප්‍රධාන දොරටුව අබියස වූයේ අනුස්මරණීය වූද, සිත් කාවදින සුළු වූද දර්ශනයකි. මෙම ධාතු නිධානෝත්සවය පිළිබඳ චමත්කාරය දනවන විස්තරයක් මහාවංසයෙහි දැක්වේ. අතිශය තේජස් සම්පන්න මේ මහා ස්ථූපය වටා දොහොත් මුදුනක තබා වැඳ නමස්කාර කරන රහතන් වහන්සේ අනුහය කෝටියක් වූහ. මේ දැක පී‍්‍රතියෙන් පිනා ගිය රජතුමා ධාතු ගර්භයට ඇතුළුව මේ ධාතුන් වහන්සේ අසිරිමත් වූ ද, අනිගතමවූද, ආසනයේ වඩා හිඳුවමි”යි සිතත්ම ධාතූන් වහන්සේ සහිත ධාතු කරඬුව රජතුමාගේ හිස් මුදුනින් පිටත්ව ආකාශයෙහි සත්තලක් පමණ ඉහළට පැන නැඟ ආකාශයේ පාවෙන්නට විය. ක්‍ෂණයකින් ධාතු කරඬුව ඉබේම විවෘත වී ධාතූන් වහන්සේ එයින් නික්ම සර්වඥ විලාසය මවාගෙන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අනු ව්‍යංජන ලක්‍ෂණ වලින්ද බබළ බබළා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි ගණ්ඩබ්බ රුක මුලදී පානා ලද ආකාරයට යමක මහා ප්‍රාතිහාර්යය පානා ලද සේක. මේ දර්ශනය දැකීමට භාග්‍යය ලත් දොළොස් කෝටියක් දෙව් මිනිස්සු රහත් ඵලයට පත් වූහ. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ඵලයනට පැමිණි අයගේ සංඛ්‍යාව අප්‍රමාණ විය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.