Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රථම ධර්මදූත සේවාව ඇරැඹි ඉල් පුන් පොහොය

“චරථ භික්ඛවෙ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය අත්‍ථාය හිතාය ලොකුනාකම්පාය”

“මහණෙනි මම සියලු පාපයෙන් මිදුණෙමි. තෙපිද මිදුණාහුය. බොහෝ දෙනාගේ හිත සුව පිණිස බොහෝ දෙනාගේ දියුණුව පිණිස, සැප පිණිස ගම් නියම්ගම් දනවු සැරිසරවු, දෙදෙනෙක් එක් මගක නොයවු, මුල මැද අග යහපත් වූද, පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරවු”

මෙයින් උන් වහන්සේ වදාළේ මුලින් ශීල සමාධි දෙක ද , මැද විදර්ශනා මාර්ගයද යහපත් අග නම් වූ නිවන ද දේශනා කරන ලෙසය. එකල දඹදිව විමුක්තිය සෙව්වෝ සිරුරට අධික දුක් දීමත්, අධික සැප දීමත් වෙනස් නොවන අනාත්ම සංකල්පයන් වෙත නැඹුරු වන ශාස්වත වාදය ද කෙනෙක් මැරුණු පසු නැවත ඉපදීමක් නැත යන උච්ඡේද වාදයද උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයෙන් ප්‍රතික්‍ෂ්ප කර නිවැරදි අංග අටකින් යුත් ආර්ය අෂ්ඨාංගික මග ඉදිරිපත් කළහ. අන්ධකාරය තුළ ගමන් කරන මිනිසුන් තුළ නැණැස පහළ කිරීමටත් යථාවබෝධයෙන් නිවන ලබා ගැනීමටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉවහල් වන බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට දුන්සේක.

හේතුං පටිච්ච සම්පාදිතං - හේතු භංගා නිරුජ්ජති

සියල්ල හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු භංග වීමෙන් නිරුද්ධ වන බව වදාළහ. බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රකාශන තුළින් උන්වහන්සේ ගේ මහාකරුණාව මහා ප්‍රඥාව පිළිබිඹු වෙයි. සියලු දෙනා පිළිබඳ හිතවාදීව දෙදෙනෙක් එක් මගක නොයා යුතු බවත් අතවශ්‍ය තොරතුරු වලින් තොරව දහම් දෙසන ලෙසත් තම ශ්‍රාවක පිරිසට පෙන්වාදී තමන් වහන්සේද එම කාර්යයෙහි නියැලුණු සේක. බුදුරජාණන් වහන්සේගේ මෙම විශ්ෂ්ට නායකත්වයද ආදර්ශය ද නිසා ධර්ම දූත සේවාව සාර්ථක වීමට හේතුවකි. මේ නිසා ශ්‍රාවක පිරිස තමන්ගේ කාර්යය හරියටම ඉටු කළහ.

රජගහනුවරට වැඩිය අස්සජි මහ රහතන් වහන්සේට සංජය ළඟ පැවිදි වී සිටි උපතිස්ස පිරිවැජියා හමු විය. දෙදෙනා අතර සාකච්ඡාවකින් පසු අස්සජි හිමියන් තමන් ආධුනික භික්‍ෂුවක් බවත්, ධර්මය විස්තර වශයෙන් කීම අපහසු බවත් තමන් දන්නා ධර්මය ඉතා සැකවින් දේශනා කිරීම සඳහා මුළු බුද්ධ ධර්මය හකුලුවා යේ ධම්මා හේ තුප්පභවා - තෙසං හේතුං තථාගතො ආහ” යනාදී ගාථාව වදාළහ. එහි මුල් පද තුන අසා උපතිස්ස පිරිවැජියා සෝවාන් ඵලයට පත්විය. පසුව තම යහලු කෝලිත සොයා ගිය උපතිස්ස පිරිවැජියා එම ගාථාව කීය. ඒ ගාථාව සම්පූර්ණයෙන් අසා කෝලිත පිරිවැජියා සෝවාන් විය. පසුව මේ දෙදෙනා තවත් දෙසිය පනස් දෙනකු සමග බුදුරජාණන් වහන්සේ වෙත ගොස් පැවිදි වූහ.

පසුකාලයේ දී මේ දෙදෙනා බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක දෙදෙනා වී ශ්‍රේෂ්ඨ භික්‍ෂූන් වහන්සේ දෙදෙනෙකු ලෙස ප්‍රසිද්ධ වූහ. ධර්ම ප්‍රචාරයෙහි යෙදුණු මහා කාත්‍යායන තෙරුන් වහන්සේ අවන්ති ප්‍රදේශයේ ධර්ම ප්‍රචාර කටයුතු කරමින් බමුණන්ට දහම් දෙසා ඔවුන් තෙරුවන් සරණ ගිය උපාසකයන් බවට පත් කළහ.

බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ ධර්මදූත සේවාව සාර්ථකව කරගෙන යෑම සඳහා අවශ්‍ය පරිදි තම ශ්‍රාවක පිරිස සංවිධානය කළහ. මුල් බුදුසමයෙහි බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිස වස් කාලය තුළ එක් තැනක වාසයකොට ඉතිරි මාස අට දහම් දෙසමින් ගම්නියම් ගම් වල දහම් චාරිකාවෙහි යෙදුණාහ.

තමන් වහන්සේ අබියස සිටි මහාප්‍රාඥයන් ඍද්ධිමතුන් , දිවස් අතුරෙන් අගතැන්පත් රහතන් වහන්සේ ධර්ම කථික රහතන් වහන්සේ සදහම් දූත කාර්යයෙහි පසු කාලයේදී ද යෙදවූහ.

එදා දඹදිව අන්‍ය ආගමිකයන්ගේ ප්‍රධාන අරමුණ වූයේ වාද විවාද කරමින් උග්‍ර තපස් දම් රකිමින් ඒ තුළින් විමුක්තිය සෙවීමය. මොවුන් එදා භාරත සමාජය තුළ සිටි ජනතාවගේ දුක් කම්කටොලු අවබෝධ කරගෙන ඒවාට සාර්ථක ප්‍රතිඵල ලබාදීමට පිළියමක් ලබා නොදුන්හ.

නමුත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මදූත සේවාව මිනිසාට නිසි ලෙස ජීවත් වීමත්, මෝක්‍ෂ ලාභයත් යන දෙකටම ඵලදායි විය.

බුදුරජාණන් වහන්සේ සමාජයෙහි පැවැති ආර්ථික සාමාජික දේශපාලන තත්ත්ව කෙරෙහි අවධාරණය යොමු කළහ. උන්වහන්සේ ඒවාට විසදුම් ලබා දුන්හ. බමුණු මත වාද ඛණ්ඩනය කළහ. උගත් නූගත් ධනවත් දුප්පත් කුලවතුන් කුලහීන අය සහ සමාජයේ අසරණ වී සිටි කාන්තාවෝ පවා උන්වහන්සේගෙන් පිහිට ලබා ගැනීමට පැමිණියහ. අඩ්ඩකාශි, අම්බපාලි , ආදී නගර සෝභිනියන් බුදු බණ අසා මඟ ඵල ලබා උතුම් නිවනින් සැනසීම ලබාගත්හ.

උන් වහන්සේ නව මගකින් අරඹන ලද ධර්ම දූත කාර්යය නිසා පසු කාලයේදී විශාල වශයෙන් රජවරු , මැතිඇමතිවරු , සිටුවරු, බමුණු ප්‍රභූවරු ද බුදු දහම වැළඳගෙන සසුනට විශාල සේවයක් කළහ.

උන් වහන්සේගේ විවිධ දේශනා ශිල්පීය ක්‍රම භාෂාව විලාශය ධර්ම ප්‍රචාරක කාර්ය සාර්ථක කළේය. බමුණන් විසින් උගන්වන ලද සංස්කෘත භාෂාව අතහැර පොදු ජනයා අතර භාවිතා වූ පාලි භාෂාව ධර්මදේශනා කිරීමට යොදාගත්හ.

භික්‍ෂූන් වහන්සේ හුදෙක් සංචාරක ජීවිතයක් ගත කළ පිරිසකි. භික්‍ෂු ජීවිතය ගිහි පවුල හා පිරිස කෙරෙහි නොඇලුණු ජීවිතයකි. සිවුපසය සොයා විත් එය ලැබෙන අයුරු සොයන ගමනක් නොවේ, එය පසු කාලීනව බුදුරජාණන් වහන්සේ සමග දස දහස් ගණන් භික්‍ෂු පිරිස ධර්මදූත කාර්යයට එක්වූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.