Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්වයා භවගාමී වන්නේ කෙසේ ද?

සත්වයා සැරිසරන්නේ පඤ්ච ස්කන්ධය පිළිබඳ ඇතිකර ගන්නා තණ්හාව හා අස්මීමානය හේතුවෙනි. එනම් කය “මම ය. කය මගේ ය” ආදී වශයෙන් ආත්ම දෘෂ්ටිය නිරන්තරයෙන් ඇතිකර ගැනීම නිසා භවගාමීවීමයි. මෙසේ ගැනීම නිසා සසරින් මිදීමක් දැකිය නො හැකිය. සත්වයා ඒ අනුව තමන් නිරන්තරයෙන් අත්විඳනු ලබන අරමුණු කරා යොමු වී ඒ අරමුණුම නැවත නැවත සොයයි. බුදුරජාණන් වහන්සේ,”තණභක්ඛයො, විරාගො, නිරොධො, නිබ්බනං” යන උත්තරීතර ධර්ම පාඨයෙන් පැහැදිලි කළේ “තෘෂ්ණාව ක්ෂය කිරීම හෙවත් නැති කිරීම නිවන බවයි.” එහෙත් එය ක්ෂය කළ යුත්තේ සමුච්ඡේද ප්‍රහාණයෙනි. එනම් සම්පූර්ණයෙන්ම නැති කිරීමෙනි.

“යථාපි මූලෙ අනුපද්දවෙ දළෙහ

ඡින්තොපි රුක්ඛො පුනරෙව රූහති

එවම්පි තණ්හානුසයෙ අනුහතෙ

තිබ්බත්ති දුක්ඛමිදං පුනප්පුනං”

“දලුලන ගසක් මුලින් උදුරා නොදමා එහි අතු පතර පමණක් බිඳ දැමුවහොත් නැවත ගස ලියලයි. එමෙන්ම තෘෂ්ණාව අනුසය වශයෙන් ප්‍රහාණය නොකළහොත් නැවත නැවතත් සත්වයා දුකට පැමිණේ.”

මේ අනුව පැහැදිලි වන්නේ සත්වයා භවගාමී වන්නේ “සක්කාය දිට්ඨිය” මුල්කර ගත් තණ්හාව නිසා බවයි. සතර මහා භූතයන්ගෙන් සැදුම් ලද්දා වූ මේ ශරීර කූ®ඩුව සැපවත් කිරීම සඳහා සත්වයා වෙහෙසෙනවා මිසක් එයින් මිදීමක් කරා යොමුවීමට උත්සාහ නොකරයි. මේ ආත්ම දෘෂ්ටිය වැඩියෙන් වර්ධනය වූ අවධියක් ලෙස වර්තමානය සඳහන් කළ හැකිය. සොරකම් කිරීම, මංකොල්ලකෑම් හා දූෂණ අපරාදාදී අයහපත් ක්‍රියා දිනෙන් දින වර්ධනයවීම යනු තෘෂ්ණාදී කෙළෙස් ධර්මයන්ගෙන් පුද්ගලයාගේ සිත කිළිටිවීමයි. “සක්කාය දිට්ඨිය” සම්පුර්ණයෙන්ම නැතිවන්නේ සෝවාන් මාර්ගයට පිවිසීමෙනි. එහෙත් බෞද්ධයන් වශයෙනුත් සිතීමට උසස් මනසක් ඇති මිනිසුන් වශයෙනුත් මෙය යම් තාක් දුරට හෝ අවබෝධ කරගෙන ජීවත්වීම සාරධර්ම පූර්ණය කිරීමේ මාර්ගයට උතුම් පියවරකි.

පුද්ගලයා භවගාමී වන්නේ “පඤ්චස්කන්ධය” මගේ යැයි උපාදානය කර ගැනීමෙනි. ඒ තුළින් ‘පඤ්චඋපාදානස්කන්ධයන්ගේ පහළවීම සිදු වේ. බුදුරජාණන් වහන්සේගේ සිය මංගල දේශනය හෙවත් දම්සක් පැවතුම් සූත්‍රයේ දී දුක්ඛාර්ය සත්‍යය පිළිබද දේශනා කරන තැන මෙසේ පෙන්වා දී ඇත.

“ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යං පිච්ඡං න ලභති තමපි දුක්ඛං සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා, ඉදං වුච්චතාවුසො දුක්ඛං අරියසච්චං”

මේ ධර්ම පාඨයෙන් පැහැදිලි වන්නේ ද සත්වයා මුහුණපාන දුක් සමුදාය පිළිබඳවයි. එනම්, ඉපදීම, දිරා යෑම, ලෙඩවීම, මරණයට පත්වීම, අප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දේ නොලැබීම යන මේ දුක් සියල්ල ඇතිවන්නේ පඤ්චස්කන්ධය උපාදානය කර ගැනීමෙනි. එය “සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධො” යන්නෙන් සඳහන් වෙයි

එමෙන්ම සක්කාය දිට්ඨිය පිළිිබඳ මනාව පැහැදිලි වන සූත්‍ර දේශනායක් ලෙස මජ්ඣිම නිකායේ මූලපණ්නසකයේ චූලයමක වග්ගයේ 3 වන සූත්‍රය වන “චුලවෙදල්ල සූත්‍රය” නම් කළ හැකිය. මෙහි දී ධම්මදින්නා භික්ෂුණිය විසාඛ උපාසකයාට සක්කාය දිට්ඨිය පැහැදිලි කරන්නේ මෙසේය.

“පඤ්චඛො ඉමෙ ආවුසො විසාඛ උපාදානක්ඛන්ධො සක්කායො වුත්තො භගවතා, සෙය්‍යථීදං රූපුපාදානක්ඛන්ධො වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සංඛාරූපදානක්ඛන්ධො, විඤ්ඤානුපාදානක්ඛන්ධො, ඉමෙඛො ආවුසො විසාඛ පඤ්චුපාදානක්ඛන්ධො සක්කාය වුත්තො භගවතාති.”

මෙයින් දේශනා වන්නේ ස්කන්ධ පහක උපාදානය ප්‍රත්‍යය කොට ගෙන සක්කාය දිට්ඨිය ඇතිවන ආකාරයයි. එම උපාදානස්කන්ධ පහ මෙසේ සඳහන් කළ හැකිය.

1. රූප උපාදාන ස්කන්ධය

2. වේදනා උපාදාන ස්කන්ධය

3. සංඥා උපාදාන ස්කන්ධය

4. සංඛාර උපාදාන ස්කන්ධය

5. විඤ්ඤාණ උපාදාන ස්කන්ධය

වශයෙනි.

මෙහි දී රූප උපාදාන ස්කන්ධය නම් පඨවි, අපෝ, තේජෝ, වායෝ ආදී සතර මහා භූ®තයන්ගෙන් හටගත් රූපය “මගේ” යැයි දැඩිව ග්‍රහණය කර ගැනීමයි. එමෙන්ම විඤ්ඤාණය තුළින් ඒ ඒ අරමුණු දැනීමත්, වේදනා තුළින් වින්දනය කිරීමත්, (සැප - දුක - මැදහත්) සංඥාව තුළින් අරමුණු හඳුනා ගැනීමත්, සංඛාර තුළින් ඒ ඒ අරමුණු ඔස්සේ සිත් පහළ කර ගැනීමත් ඉන් සිදු වේ. මේ සෑම ස්කන්ධයකම උපාදානයක් සිදුවන බව සඳහන් කළ යුතුය. බුදු දහමේ දී මෙම පඤ්චස්කන්ධය “නාම රූප” වශයෙන් ප්‍රභේද ගත කැරේ. නාම වශයෙන් වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණයත්, රූප වශයෙන් රූපස්කන්ධයත් විග්‍රහ කැරේ.

ඉහත දක්වන ලද කරුණු අනුව සක්කාය දෘෂ්ටිය කුමක්ද යන්න පිළිබද අවබෝධයක් ලබා ගත්තා සේම එය සමුදය වන්නේ කෙසේද යන්න මෙතැන් සිට විමසා බලමු. “චූල වේදල්ල” සූත්‍රයේ දී සක්කාය දෘෂ්ටිය ඇතිවීමට බලපාන කරුණු කිහිපයක් පෙන්වා දෙනු ලබයි.

“යායං ආවුසො විසාඛ තණ්හාපොනොභවිකා නන්දිරාග සහගතා තනු තත්‍රාභිනන්දනී. සෙය්‍යථීදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා අයං ඛො ආවුසො විසාඛ, සක්කාය සමුදයො වුත්තො භගවතාති.”

මෙයින් පැහැදිලි වන්නේ සක්කාය දෘෂ්ටිය ඇතිවීමට කාරණා තුනක් හේතුවන බවයි. එනම් ත්‍රිවිධ තෘෂ්ණාවයි.

එනම් :–

1. කාම කණ්හා

2. භව තණ්හා

3. විභව තණ්හා

යනුවෙනි.

ඒ අනුව ඉහත සඳහන් කළ ත්‍රිවිධ තෘෂ්ණාව එකිනෙක ගෙනහැර විමසා බලමු.

1. කාම තණ්හා -

සත්වයා පඤ්චෙන්ද්‍රියන් තුළින් ලබන අරමුණු කෙරෙහි තෘෂ්ණාව ඇතිකර ගැනීම කාම තණ්හාවයි.

එනම් :-

ඇසට - රූපය ද

කනට - ශබ්දය

නාසයට - ගඳ සුවඳ

දිවට - රසය

ශරීරයට - ස්පර්ශය

යන ඉන්ද්‍රියයන් තුළින් ලබන ඒ ඒ අරමුණු කෙරෙහි ඇතිවන තණ්හාවයි. මේ සෑම අරමුණක් හා ගැටීම නිසා සැප හා දුක ඇති වේ. අප ව්‍යවහාර ලෝකයේ සැප හෝ දුක යැයි කියනුයේ පඤ්චේන්ද්‍රියන් හා අරමුණු ගැටීමෙනි. ඒ අරමුණු හා ගැටීම තුළින් පුද්ගලයාට තාවකාලික ලෞකික සුවයක් ලැබේ නම් එය සැපය ලෙසත් සිය අපේක්ෂා භංගත්වය නිසාම ඇති වන දුක් කම්කටොළු දුක් ලෙසත් පුද්ගලයා විසින්ම ව්‍යහාර කරනු ලබයි. එහෙත් බුදුරජාණන් වහන්සේ වරක් භික්ෂූන් අමතා, “අච්ඡරා සංඝාතමත්තපිචෙ අහං භික්ඛවෙ භවංන වණ්ණෙමි” යනුවෙන් දේශනා කළේ භවගාමී ජීවිතය තුළ තිබෙන භයංකරත්වය පිළිබඳවයි.

“මහණෙනි, මම අසුරු සැණක් ගහන මොහොතක් පවා තමන් වහන්සේ භවය වර්ණනා නොකරමි. පුද්ගලයා මොහොතක් මොහොතක් පාසාම සිතට නැගෙන අරමුණු හා ගැටෙයි. එය පුනර්භවයට හේතු වන්නා සේම භවයේ පැවැත්මට ද කර්ම රැස්කිරීමකි. පෘථග්ජන පුද්ගලයා පඤ්චද්වාරයෙන් ගන්නා අරමුණු සියල්ලක්ම මනොද්වාරයෙන් සිහිපත් කරයි. ඒ ලැබෙන අරමුණු සියල්ලේම ගැටීමක් හා ඇලීම නිසා නිරතුරුවම භවගාමී දිවිය සඳහා කර්ම රැස් කරයි. එහෙත් අර්හත් භාවයට පත් වූ පුද්ගලයන්ට පඤ්චද්වාරයෙන් අරමුණු ලැබුණ ද ඒ කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් ඇතිකර නොගනියි. එනිසාම රහතුන් වහන්සේට මනෝද්වාරා වජ්ජන සිත පහළ නොවේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ “සම්මා සංකප්ප” පිළිබඳ සඳහන් වන තැන, “නෙක්ඛම්ම සංකප්ප” යන්නෙන් පැහැදිලි වන්නේ ද ආර්ය මාර්ගයට පිළිපන් තැනැත්තා පඤ්චකාම ගුණ පිළිබඳ කල්පනාවන්ගෙන් බැහැර විය යුතු බවයි. ඒ අනුව කාම තණ්හාව යනු ඉන්ද්‍රිය තුළින් ලබන අරමුණු හා ගැටීමෙන් ඇතිවන ආශාව යැයි මෙයින් පැහැදිලි වේ.

2, භව තණ්හා -

තවත් භවයක් සඳහා ඇති කැමැත්ත භව තණ්හාවයි. මෙලොව වශයෙන් ලබන සැප සම්පත් ඊළඟ භවයේ ලැබිය යුතු යැයි භවය ප්‍රාර්ථනා කිරීම, ආශා කිරීම භව තණ්හාවයි. මෙසේ පුද්ගලයා භවයෙන් භවය ඇති කරගනු ලබන තෘෂ්ණාවේ සීමාවක් නැත. එනිසාම අනන්ත වූ කල්ප ගණනක් සත්වයා සංසාරයේ සැරිසරයි. මෙය අවබෝධ කර නොගත් අපි හැම දෙනාම අනන්ත වූ කාලයක් සතර අපායෝප්පත්තිවල සුගති භවවල ඉපදෙමින්, මැරෙමින් සංසාරයේ ගමන් කරන්නෙමු.

බුදු දහමේ දී “ආත්මය” වෙනුවට “භවය” යැයි විග්‍රහ කරනු ලබන්නේ පුනර්භවයක් පිළිබඳ බුදු දහමේ දී දේශනා වන හෙයිනි. බුද්ධකාලීන භාරතයේ ශාස්වතවාදී දෘෂ්ටිය ඇති වූයේ ආත්මවාදී සංකල්ප බමුණු සමාජය විසින් ඉදිරිපත් කිරීමත් සමඟය.

විභව තණ්හා -

භවයක් නැතැයි සිතා තෘෂ්ණාවෙන් යුක්තව කටයුතු කිරීමයි. අන් සතු වස්තු පැහැර ගෙන හෝ ජීවත්වීම, විභව තණ්හාව ඇති පුද්ගලයාගේ ගති ලක්ෂණයයි. එමෙන්ම කුසල් පිළිවෙතෙන් බැහැරව කටයුතු කිරීමත්, මිථ්‍යා දෘෂ්ටික බව නිසාත් විභව තණ්හාව ඇති තැනැත්තා සතර අපායාදී දුගතිවල ඉපදෙමින් මැරෙමින් අනන්ත වූ කල්ප ගණනක් සසර දුක් විඳියි.

මේ අනුව අප සසර සැරිසරන්නේ මේ ත්‍රිවිධ වූ තෘෂ්ණාව හේතුපාදක කරගෙනය. බුදුරජාණන් වහන්සේ හේතුඵල දහමේ දී ද විග්‍රහ කරනු ලබන්නේ සත්වයාගේ භයගාමීත්වය පිළිබඳවයි.

“අසමිං සති ඉදං හොති” යන්නෙන් විස්තර වන ආකාරයට මෙය ඇති කල්හි මෙය ඇති වේ. එනම් තෘෂ්ණාව තුළින් උපාදානයත්, උපාදානය තුළින් භවයත්, භවය තුළින් ජාතියත්, ජාතිය තුළින් ජරාමරණාදී නොයෙක් දුක් කම්කටොළුවලට සත්වයා මුහුණපායි. කෙළවරක් නැති සංසාර චක්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලැබීමට හේතු වන්නා වූ උතුම් බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාදය හෙවත් හේතු ඵල වාදයයි. බීජය නිසා ගස හා ගෙඩිය හටගන්නා සේ තෘෂ්ණාව නමැති මූල බීජය නිසා භවය නමැති ඵලය ලැබේ. අප මෙපමණ කලක් සසර සැරිසරන්නේ මේ උතුම් දහම පිළිබඳ අවබෝධය නොමැතිකම නිසා අන්ධකාරයේ ඇලී ගැලී සිටින හෙයිනි.

උපාදානය පිළිබඳ අප ඉහත දී විමසා බැලුව ද බුද්ධ දේශනාව තුළ උපාදානය ප්‍රභේද හතරකට දක්වා ඇත.

එනම් :-

1. කාම උපාදානය
2. දිට්ඨි උපාදානය
3. සීලබ්බත උපාදානය
4. අත්තවාද උපාදානය

යන සතරයි.

ඉහතින් සඳහන් කළ ආකාරයට මේ උපාදාන සතරම ඇතිවීමට හේතු වන්නේ තෘෂ්ණාවයි.

1. කාම උපාදානය

කාම උපාදානය ඇති වන්නේ ඉන්ද්‍රිය තුළිනි. පඤ්ච ඉන්ද්‍රිය තුළින් ලබන අරමුණු දැඩිව ග්‍රහණය කොට ගැනීම කාම උපාදානයයි. වස්තු කාම හා ක්ලේශ කාම වශයෙන් ද පුද්ගලයා කාමයන් පිළිබඳ උපාදානය ඇතිකර ගනියි. බාහිර ලෝකයේ නොයෙක් වස්තු කෙරෙහි ඇතිවන ආශා මෙන් ම ඒ වස්තුන් කෙරෙහි කෙළෙස් ධර්ම වර්ධනය කර ගනිමින් සිතින් ග්‍රහණය කර ගැනීම වස්තු කාම හා ක්ලේශ කාම තුළින් සිදු වේ.

2. දිට්ඨි උපාදානය

“දිට්ඨි” යනු දැකීමයි. දිට්ඨිය දෙයාකාරය. නිවැරැදි දැකීම සම්‍යක් දෘෂ්ටිය ලෙස ද, වැරැදි දැකීම මිථ්‍යා දෘෂ්ටිය ලෙස ද විස්තර වෙයි. මෙහි දී අප විමසා බලන්නේ මිථ්‍යා දෘෂ්ටිය පිළිබඳවයි. එනම් වැරැදි දෘෂ්ටීන් කෙරෙහි ද දැඩිව බැඳීමයි. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටීන් පිළිබඳ ධම්ම සංගිණීප්‍රකරණයෙහි මෙසේ අන්තර්ගත වේ.

(I) දීමෙන් ලබන කර්ම ඵලයක් නැත.

(II) යාගයෙන් ලබන ඵලක් නැත.

(III) හෝම කිරීමෙන් ලබන ඵලක් නැත.

(IV) කුසල අකුසල ධර්මයන්ගේ විපාක නැත.

(V) මෙලොවක් නැත.

(VI) පරලොවක් නැත.

(VII) මවට කරන හොඳ නරකින් වන ඵලයක් නැත.

(VIII) පියාට කරන හොඳ නරකින් ඵලයක් නැත. පියෙකු නැත.

(IX) මැරී උපදනා සත්වයෙක් නැත. (ය) මෙලොව පරලොව අවබෝධ කරගෙන ප්‍රකාශ කරන සත්‍යාවබෝධය ලැබූ මහණ බමුණන් නැත.

මෙසේ වැරැදි දෘෂ්ටීන් අනුගමනය කරන පුද්ගලයාට නිවැරැදි දැකීමක් කවදාවත් ලැබිය නො හැකි ය. ඉහත සඳහන් දෘෂ්ටිවලට අනුගතවීම යනු උච්ඡේද දෘෂ්ටියට පැමිණීමකි.

3. සීලබ්බත උපාදානය

සෝවාන් මාර්ගයට පිවිසෙන්නේ මෙම උපාදානය බැහැර කිරීමෙනි. සීලබ්බත උපාදානය යනු මිථ්‍යා සීල හා මිථ්‍යා ව්‍රත අනුගමනය කිරීමයි. ඒ තුළින් සසර පැවැත්ම නැවත් විය හැකි ය යන මිත්‍යා මතය ඇතිව ඒවා උපාදානය කරගෙන සිටීම මෙයින් කියැවේ.

බුද්ධකාලීන භාරත සමාජයේ ද මිථ්‍යා සීල හා මිත්‍යා ව්‍රත අනුගමනය කළ බොහෝ පිරිසක් දක්නට ලැබුණි. අජ ව්‍රත, ගෝ ව්‍රත, කුක්කුට ව්‍රත වැනි ව්‍රත අනුගමනය කළ පිරිස් පිළිබඳ බුද්ධ දේශනාවේ නොයෙක් සූත්‍ර ධර්ම තුළ සඳහන් වෙයි. මෙය ද අවැඩ පිණිස අහිත පිණිස හේතු වන්නක් බව බුදුරජාණන් වහන්සේ සිය මංගල ධර්ම දේශනයේ දී මහණුන්ට පෙන්වා දුන්හ. “සීලබ්බත උපාදානය” ශාස්වතවාදී දෘෂ්ටියට අයත් උපාදානයක් ලෙස ද සඳහන් කළ යුතු ය.

අන්තවාද උපාදානය

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පඤ්චකය හෙවත් නාම රූප ධර්ම ආත්මාදී වශයෙන් දැඩිකොට ග්‍රහණය කර ගැනීම අන්තවාද උපාදානයයි. බුදුරජාණන් වහන්සේ මජ්ඣිම නිකායේ අනන්ත ලක්ඛණ සූත්‍රයේ දී අන්තවාද උපාදානය පිළිබඳ මෙසේ දේශනා කර ඇත.

“තං කිං මඤ්ඤථ භික්ඛවෙ රූපං නිච්චං වා අනිච්චංහොති
අනිච්ච භන්තෙ
යමපනානිච්චං දුක්ඛං වා තං සුඛං වාති
දුක්ඛං භනෙත
යමපනානිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලතනුතං
සමණ පසසිතුං
එතං මම, එසො මෙ, එසො මෙ අත්තානි, නොහෙතං භනෙත”

“මහණෙනි, අනිත්‍ය වූ රූපය දුක් සහිත ය. යමක් අස්ථිර නම්, දුක් සහිත වේ නම්, සදාකාලික නොවේ නම්, එබඳු දෙයෙහි මමය, මගේ්ය, මේ මගේ ආත්මය යැයි ගත යුතු කිසිවක් නොමැති බව දක්වයි. තමාගේ පැවැත්ම පිළිබඳ එසේ දැඩිව ගන්නා තෘෂ්ණාව අන්ත උපාදානයයි.”

මේ කරුණු සියල්ලම පිළිබඳ අපගේ අවධානය යොමු කිරීමේ දී සත්වයා භවගාමී වන්නේ තෘෂ්ණාව නිසා බව පැහැදිලි වේ. තෘෂ්ණාව නිසා නිවැරැදි දැකීමක් ඇති නොවේ. එහෙයින් අවිද්‍යාව නමැති අන්ධකාරයෙන් මිදීමක් පිළිබඳ දැනීමක් සත්වයාට නොමැත.

ලෞකික සැප සම්පත් තාවකාලික වුවද අවිද්‍යාව නිසා එම තාවකාලික සැප සම්පත්ම පුද්ගලයා සොයයි. එම සැප සම්පත් කොපමණ ලැබුව ද එයින් සෑහීමකට ද පත් නොවේ. ඒ අනුව සංසාරය යනු මහා මේඝයකට හසු වූ සැඩ පහරකි. මේ සංසාර චක්‍රය මනාව හඳුනා ගත් ප්‍රඥාවන්තයා උතුම් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා අනුගමනය කරමින් භව කතරින් එතෙරව උතුම් නිවන් සුවය ලබයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.