UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සක්කාර මදය

අවසේසා සත්තා යං වා නංවා ලභත්ති, අහංපත සුකතං පණීතං චීවරාදී පච්චයං ලභාමීනි උප්පන්නො මානො”

අනිත් පුද්ගලයෝ කුමක් කුමක් හෝ ලබති. මට පමණක් හොඳට සකස් කළ චීවරාදී සිවුපසය ලැබේ යනුවෙන් ඇතිකරගන්නා වූ මානය සක්කාර මදය නම් වන බව දක්වා ඇත.

බෞද්ධ සාහිත්‍යයේ අභිධර්මය තුළ ලාභ සත්කාර පදය දෙකට කඩා වෙන් කොට දක්වා තිබුණද සූත්‍ර විනය පිටකවල තනි යුගල පදයක් සේ දක්වා, එය එකට විස්තර කොට ඇත. සංයුක්ත නිකායේ ඒ සඳහා සුවිශාල කොටසක් වෙන්කොට ඇත. ආත්මාර්ථකාමීත්වයෙන්, මහිචිෂ්තාවෙන්, අධිපෝෂණයෙන්, සුඛවිහරණයෙන් ඉහවහා ගිය භික්‍ෂු ප්‍රතිරූපකයන්ට සූත්‍ර පිටකය නොව, එක නිකායක් නොව මේ ‘ලාභසත්කාර සංයුක්තය’ පමණක් හැදෑරුවද ලජ්ජ සුපේසල භික්‍ෂුවක් වීමට හොඳටම සෑහේ. ලාභ සත්කාර ප්‍රාර්ථනා කරගෙන නොහික්මිය යුතු බව, සුත්ත නිපාතයේ දක්වා ඇත. ‘ලාභකාම්‍ය න සික්ඛති’ (පුරාභේද සූත්‍රය) ලාභසත්කාර විශේෂයෙන් සිව්පසය සම්බන්ධව, දායකයන් සමඟ කතා නොකරන ලෙස තුවටක සූත්‍රයේ දක්වා ඇත. (“ලාභ කාම්‍ය න ජනං ලපෙය්‍ය”)

වළං වෙ කදලිං හත්ති
ඵලං වේලුං ඵලං නලං
සක්කාරෝ කාපුරිසං හන්ති
ගබ්භො අස්සතරී යථා (සං.නි. පරිනිබ්බාණ වර්‍ග)

කෙසෙල් ගස නසන්නේ, ඵලයයි. උණග නසන්නේද ඵලයයි. වෙළඹ නසන්නේ, දරු ගැබයි. නින්දිත පුරිසයාට විනාසය ගෙනෙන්නේ ලාභ සත්කාරයි.

එසේ ක්ලේශ තාපනයට, ඉන්ද්‍රිය දමනයට ලාභ සත්කාර උප ක්ලේශයක් බවත්, ඒවා පිළිගැනීම නිසා මත්වීමත් මුසපත්වීමත්, තමා හුවා දකිමින් අනුන් හෙළා දැකීමට පෙළඹෙන බවත්, මජ්ඣිම නිකායේ දේශනා කොට ඇත.

“සො නේත ලාභය සක්කාර සිලොකෙන මජ්ජති, මුච්ඡති පමාද මාජ්ජති අයං ඛො නිග්‍රොධ තපසිසිනො උපක්තිලෙසො හොති (ම.නි.උදුම්බරික සූත්‍රය)

ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසාකාමී භික්‍ෂූන්ට ඒවා ඒ මොහොතේ තාවකාලික සැනසීමක් ලබා දුන්නද, ඒ ගැන හිතගිය භික්‍ෂූන් වැඩි වැඩියෙන්, ඒවාම ලබාගැනීමට පෙළඹීම නිසා එයින් මත් වී මුලා වී, හොඳ සිහිය, හරි වැටහීම, නැතිවී, නොමඟට වැටී ඒවා වෙනුවෙන් නොයෙක් නොහොබිනා කම්ද කරමින්, ඇස් තිබියදීත් අන්ධව ගොසින් හිසේ මුඩු බව හෝ වතේ කහ බව හෝ නෙපෙනී, කන් තිබියදීත්, බිහිරිව ගොසින් ගුරුවරයන්, වැඩිහිටියන් කියන දේ නො ඇසී, ටිකෙන්ටික එකින් එක අල්ලා බදාගෙන, මුළුමනින්ම නිවන් මඟින් ඈත් වී නොදැනුවත්වම අපාය මඟට වැටෙන නිසා බුදුරජාණන් වහන්සේ විසින් ‘ලාභ සත්කාරාදිය භික්‍ෂූන්ට බරපතලම උපද්‍රව යැයි අන්තරාවයි. කියා වදාළ බව, ලාභ සත්කාර සංයුක්තයෙන් පැහැදිලි වෙයි. “ලාභ සත්කාර කීර්ති – ප්‍රශංසා, මහණෙනි, දරුණුයි, රළුයි, පරුෂයි, නිවන ලැබීමට අනතුරුයි. එ නිසා මහණෙනි, ලැබුණු ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා අත්හරින්නෙමු. ලැබුණු ඒ ලාභාදීන්ට සිත යට නොවන හැටියට ක්‍රියා කරන්නට පුරුදු වෙමු.” කියා ඉගෙනගත යුතුයි. (ලාභ සං - 1-1 )

ලාභ සක්කාරාදිය මහණෙනි! දරුණුයි, නපුරුයි, රළුයි, පරුෂයි. මේ ආයුෂ්මතා රිදී කුඩු පිරුණු රත් තැටිය කටත්, රන්කුඩු පිරුණු රිදී තැටියටත් රන් රිදී මුතු මැණික් පිරුණු මුළුමහ පොළොවමත් පමණක් නොව රූපරාජිනියන්, මෑණියන්, පියාණන්, සහෝදරයන්, සහෝදරියන්, දරු දැරියන්, යහළු මිත්‍රයන් හෝ තමාගේ භාර්යාව වෙනුවෙන්වත්, ඒ නිසා තමාගේ ජීවිතය වෙනුවෙන් වත් කවදාවත්ම දැන දැන බොරු කියන්නේ, නැති සත්‍යවාදියෙකි. කල්තියා සිතින් සිතා විමසා මෙසේ මා විසින් දැන වටහාගෙන සිටි පුද්ගලයාත්, මහණෙනි! පසුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවෙලා බොරු කියනවා මට පෙනී තිබේ. ඒ තරමට මහණෙනි! මේ ලාභ සත්කාරදිය දරුණුයි. නපුරුයි, රළුයි, කටුකයි භයානකයි. නිවනට බාධා කරයි. අපායට මඟ පාදයි. (ලාභ සං- 2 – 1- 10 )

අශුචි කන සතා මහ අශුචි ගොඩක් ලැබුණම ‘මම මහා ලොකු කෙනෙක්’ පින්වන්තයෙක්, මට මහ අශුචි ගොඩක් ලැබුණා කියා ආඩම්බර වෙලා ඒ වර්ගයේ අනික් සතුන් පහත් කොට තමා උසස් කොට සිතමින් සිතින් ඉදිමෙන්නාක් මෙන් මහණෙනි! තමන්ට ලැබෙන යම් කිසි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වී එයින් මත්ව ආඩම්බරව මම මහා ලාභියෙක්, පින්වන්තයෙක් මේ අනික් වහන්සේ මහනිකම්මු, අල්පේශාක්‍ය අවාසනාවන්ත මහකාලකන්නි කියා තමා උසස් කොට සිතමින් සිතින් ඉදීමේ නම් ඒක මහණෙනි! ඒ තුච්ඡ පුරුෂයාට චිරාත්කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින්නකි’ මේ අන්දමට මහණෙනි! ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. නපුරුයි, රළුයි, ඵරුෂයි, අනුත්තර නිර්වාණයට අන්තරාදායකයි.

ඒ නිසා මහණෙනි! ලැබුණු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය අතහැර දමන්නටත්, ඒවාට තමා යට නොවන්නටත් පුරුදු විය යුතු යි. (ලාභ - සං 1 –5 )

විශාල ශාසනික වගකීමක් කරපිට පැටවුණු මහා සෙනෙවියන් දෙදෙනකු මෙන් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනම වරක් කළ සාකච්ඡාවක්, මජ්ඣිම නිකායේ අනංගන සූත්‍රයේ එයි.

ලාභ සත්කාරවලින් පාපිච්ඡාවන්ට වසඟ වුණු අලජ්ජී භික්‍ෂූන්ගෙන් තම සුපේෂල ශික්‍ෂාකාමී ධර්ම සේනාව බේරාගැනීමේ සානුකම්පිත උත්සාහයක් එම සූත්‍රයෙහි මනාව දැක්වෙයි. ලාභ කීර්ති ප්‍රශංසාවලට යට වූ, ගැති වූ, ගිජු වූ භික්‍ෂූන්ට ඇතිවන සිතිවිලි පිළිබඳ කරුණු 19 ක් යටතේ කර ඇති විස්තරය, අද භික්‍ෂු සමාජය දෙස බලන විට කොතරම් ගැලපේදැයි සිතා බැලිය හැකි ය.

මහා නායක, කුලපති, පීඨාධිපති, විහාරාධිපති ආදී තනතුරු නම්බු නාම ලබා ගැනීමට සුදුස්සන් පසෙක, සිටියදී මුදල් හදල් විසි කරමින් කරන නොපතත්කම් 2550 බුද්ධ ජයන්තිය සැමරූ පසුවත් තේරුම් නොගතහොත්, තව කොපමණ කලක් මේ සඟ පරපුර පවතීදැයි වගකිව යුත්තෝ සිතුව මනා ය.

මහණ උපසම්පදා උත්සව වලදී ඇතැම් හිමිවරු දේශනා කරන හැටියට, මේ සසුන මෙතෙක් පැවතුණේ ද මතු පවතින්නේ ද ශ්‍රී මහා බෝධිය ධාතු චෛත්‍ය පෙති පිළිම හා පුස්තකාල ආදිය නිසා නොව, භික්‍ෂූන් වහන්සේ නිසාමය. උන්වහන්සේගේ සිල්වත් බව, ගුණවත් බව නිසාමය.

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]