UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වත්තේගෙදර ශ්‍රී පූර්වාරාම විහාරස්ථානය



හිඳි පිළිමය


බෝධීන් වහන්සේ

මිනුවන්ගොඩ නගරයේ සිට වේයන්ගොඩ දෙසට ස්වල්ප දුරකින් වූ වත්තේගෙදර නම් වූ සුන්දර ගම්මානයේ පිහිටි ශ්‍රී පුර්වාරාමය විහාරස්ථානය බොදුනුවන්ගේ ඉමහත් භත්‍යාදරයට පත් වූ සියවස් පැරණි විහාරස්ථානයකි.

සියවසකට පමණ පෙර මෙම ප්‍රදේශය කැලෑබද ප්‍රදේශයක්ව තිබූ අතර, වත්තේගෙදර බැතිමතුන්ට වන්දනා මාන කිරීමට මෙහි විහාරස්ථානයක් නොතිබීම ඉතාමත් අඩුපාඩුවක්ව පැවතුනි. පසුව ගම්වාසීන්ගේ කතිකාවකින් පසු යාබද කලවාන විහාරස්ථානයෙන් සපුගනතම්මිට පඤ්ඤාරාම නාහිමි වැඩම කරවා කුඩා ආවාසයක් ඉදි කොට ප්‍රථම විහාරස්ථානය 1925 දී පමණ මෙහි ස්ථාපිත කොට ඇත. මෙහි ලිපි ලේඛන අනුව 1926 දී පමණ ශ්‍රී පුණ්‍යෙීදය කුළඟන සමිතිය ආරම්භ කර විහාරස්ථානය දියුණු කිරීම සඳහා නොමසුරු අනුග්‍රහය දී ඇත.

පඤ්ඤාරාම හිමියන් කාල සීමාව තුළ දී අවට ප්‍රදේශය එළිපෙහෙළිකොට විහාරස්ථානයේ දියුණුවට අඩිතාලම දමා ඇත. පඤ්ඤාරාම හිමිගෙන් පසුව 1930 සිට 1950 වර්ෂය දක්වා දගෙහවෙල වජිරඤාන නාහිමිපාණන් විසින් විහාරස්ථානයේ විහාරාධිපති ධූරය හොබවා ඇති අතර, එම නාහිමිගේ අභාවයෙන් පසුව කොහෙවේපොල ධම්මානන්ද හිමියන් විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය ඉදි කර ඇත.

මෙම විහාර මන්දිරය තුළ අලංකාර ඉඳි පිළිමයකි. බුදු පිළිමය දෙපස සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ද, මහා කාශ්‍යප හිමියන්ගේ ද, මෛත්‍රී බෝධිසත්වයන්ගේ ද, පිළිම විචිත්‍රවත්ව අඹා ඇත. මන්දිරය වටා බෞද්ධ චිත්‍ර ආදියෙන් ඔපවත් කර ඇත. මෙම විහාර මන්දිරයට පිවිසෙන ඕනෑම අයෙකුගේ ගත සිත නිවී යන සේ මෙහි පිළිම සහ චිත්‍ර නිමවා තිබීම එකල කලා ශිල්පීන්ගේ විශේෂ දක්‍ෂතාවයක් බව මනාසේ අවබෝධ වනු නොඅනුමානය.

1960 දශකයේ මාතම්මන ජයවර්ධනාධිපති කලවානේ ධම්මාලෝක පණ්ඩිත නාහිමි මෙහි වැඩ වසා ඇත. 1970 සිට 1983 දක්වා හිරල්ලුගම සෝමරත්න පණ්ඩිත නාහිමි විසින් විහාරාධිපති ධූරය හෙබවූ අතර, ගම්මානයට විදුලිය ලබා ගැනීම මේ කාලයේ සිදු වූ විශේෂ කරුණකි.

ඉන් පසුව හුණුමුල්ලේ සිරිනිවාස නාහිමියන්ගේ කාලසීමාව තුළදී අභිනව සංඝාරාමය ඉදිකර ඇත. විහාරස්ථානයේ දහම් පාසැල අපවත්වී වදාළ සිරිනිවාස නාහිමියන්ගේ නාමයෙන් නම් කර ඇත. මෙම විහාරස්ථානය ආරම්භ කිරීමෙන් පසුව වර්තමාන නාහිමි දක්වා මෙහි දියුණුවට අපරිමිත සේවයක් කළ හිමිවරුන් අදරින් සිහිපත් කළ යුතු වේ.

ඉන්පසුව වර්තමාන විහාරාධිපති වශයෙන් ත්‍රිපිටකවේදී බුළුගහමුල්ලේ ධම්මික හිමි විහාරස්ථානය දියුණු කිරීමට ඉමහත් කාර්ය භාරයක් ඉටු කරයි. විහාරස්ථානයේ කුලඟන සමිතියේ මූලිකත්වයෙන්ද, විහාර කාර්ය සාධක සමිතියෙන් ද දායක දායිකා සහ අවට ගම්වාසී දානපතියන්ගේ ද නොමසුරු පරිත්‍යාගයෙන් රුපියල් ලක්‍ෂ 7 1/2 ක් පමණ වැය කොට අලංකාර චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් 2001 වර්ෂයේ ඉදි කරවා ඇත.

නාහිමි විසින් අටවිසි බුද්ධ ප්‍රතිමා, බෝධි ප්‍රාකාරය චෛත්‍යය සහ දහම් පාසැල් ගොඩනැඟිල්ල දැනට නිම කරවා ඇති අතර අභිනව දාන ශාලාව දැනට ඉදි කරවමින් පවතී. මෙම කාර්යයන් සඳහා නාහිමිට සියලු සහයෝගය ලබාදෙන විහාරවාසී ශ්‍රාස්ත්‍රවේදී පංසිල්ගොඩ විජිත හිමිගේ ද සේවය අගය කළ යුතු වේ.

2007 වර්ෂයේ දී තායිවානයේ ප්‍රධාන සංඝනායක බෝදාගම චන්දිම හිමියන්ගේ නොමසුරු පරිත්‍යාගයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 57 ක් විහාරස්ථානයට ලැබුණු අතර, අත්‍යලංකාර පෙරහැරකින් එම ග්‍රන්ථ විහාරස්ථානයට වැඩම කරවා ඇත.

විහාරස්ථාන දහම් පාසල අවට ගම්වාසී දරු දැරියන්ගේ දහම් දැනුම දියුණු කිරීම සඳහා අගනා සේවයක් ඉටු කරයි. පොහොය දිනයන්හි විශේෂ ධර්ම දේශනා සීල ව්‍යාපාරයන් ද, සෙනසුරාදා සහ බදාදා දිනයන්හි විශේෂ බෝධි පූජා මල් පූජා ආදිය නොකඩවා මෙහි පැවැත්වේ.

විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් පන්සිල්ගොඩ වත්තේගෙදර පන්සිළුපුර සීදූව වත්ත සහ බුරුල්ලපිටිය යන ග්‍රාමයන්හි බැතිමතුන්ගේ ද විහාර කාර්ය සමිතියේ ද නොමයුරු සහයෝගය මෙම විහාරස්ථානයට ලැබීම සුවිශේෂ වේ. නාහිමියන්ගේ සංකල්පයක් අනුව ගම්වාසීන් වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවයක් ද ආරම්භ කර ඇත.


චෛත්‍යය

විහාර මන්දිරය

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]