UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ

1818 කැරැල්ලට පණ පෙවූ වීර කැප්පෙටිපොළ , 1848 කැරැල්ලට ජීවය දුන් කුඩාපොළ හිමි, ඉංගී‍්‍රසි ධජය බිම හෙළා සිංහ ධජය එසැවූ වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි, වැනි මහ හෙළ විරුවන්ගේ සිංහල වීර නාමාවලියට එක්වන මහ වීරෝදාර හිමි නමකි උඩකැන්දවල සිරි සරණංකර මා හිමියෝ .

සරණංකර හිමියන් විසින් ලියන ලද “ සටනක සටහන් නමැති පොත කියැවූ කෙනෙකුට උන්වහන්සේ කවුරුන්ද යන්න මැනවින් වටහා ගත හැකිය.

ලංකාවේ සුදු අධිරාජ්‍ය වාදීන්ට බෞද්ධයන් මෙහෙයවමින් බුදු දහමේ ආරක්ෂාව, උපන් බිමේ නිදහස වෙනුවෙන් සටන් කළ අනගාරික ධර්මපාලතුමාගේ අනුගාමිකයෙකු වූ මුන් වහන්සේ නිදහස් සටන් ව්‍යාපාරය සඳහා ඉන්දියාට වැඩම කළහ. එහිදී රවීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ශාන්ති නිකේතනයට බැඳී ඉගෙන ගෙන එහි උපාධියක්ද ලබාගනිමින් ඉන්දීය සටනේ පුරෝගාමීන් සමඟ ඉන්දීය නිදහස් සටනට එක්වූහ. එම සටනේ පුරෝගාමීන් සමග සිරගෙවල්වල සිරබත් කමින්, අනන්ත දුක් විඳි උන්වහන්සේට අඳුරු කාමර සිරකුටිවල ගත කළ දුෂ්කර ජීවිතය නිසාම ඇස් පෙනීම පවා දුර්වල විය. අධිරාජ්‍ය වාදීන්ගේ මහා ප්‍රතිවාදියෙකු ලෙස පසුව උන්වහන්සේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී.

ඇස් පෙනීම දුර්වල නිසා උපැස් යුවලක් පැළඳගෙන තම මවුබිමට පැමිණි සරණංකර හිමියෝ මෙහිදී සුදු අධිරාජ්‍යවාදී සටන් දියත් කළහ. ඉන්දීය නිදහස් සටනත් , ශ්‍රී ලංකා නිදහස් සටනත් එකක් ලෙස සැලකූ® මේ හිමියෝ 1935 දී ඇරඹුනු ලංකා සමසමාජ පක්ෂයට එක්වී සුදු අධිරාජ්‍ය වාදීන්ගෙත් මවුබිම නිදහස් කරගැනීමේ මහා සටන දියත් කළේ ලක්දිව වෙසෙන ජනතාවගේ නිදහස හා උන්නතිය උදෙසාය. සූරියමල් ව්‍යාපාරය මුළු සිරිලක පුරා ව්‍යාප්ත කරමින් නගර ගම් දනවු සැරිසැරූ උන්වහන්සේට මල් පොකුරු මෙන් ගල් මුගුරුද එකසේ එල්ලවිය. 1939 සමූපාකාර අර්බුදය හමුවේ කොමියුනිස්ට් ව්‍යාපාරයට එක් වු සරණංකර හිමියන් 1941 ජුනි මස 28 වැනි දින දොඩන්දූව තිරණාගමදී කළ අධිරාජ්‍ය විරෝධී දේශනයක් නිසා වසර දෙකකට සිරගෙට නියම විය 1941 දී “ නවලෝකය “ සඟරාව අරඹමින් අධිරාජ්‍යවාදී සටනට නවපණක් දුන් උන්වහන්සේ 1966 නොවැම්බර් 13 දින අපවත්වන තුරුම “ නව ලෝකය” සඟරාව පවත්වාගෙන යන්නට සමත් වූහ .

ජන සමාජය තුළ සාමය සමගිය, සමානාත්මතාවය, ගොඩනගන්නට මහත් ප්‍රයත්නයක යෙදුනහ. උන්වහන්සේගේ සිල්වත් බව, ගුණවත් බව, ලොවම පිළිගත්හ. කීර්තිමත් සාම දූතයෙකු වූ සරණංකර හිමියෝ ලොවටම කරන ලද සාම මෙහෙවර උදෙසා “ලෙනින් සාම ත්‍යාගය” උන් වහන්සේට හිමි වීම අප රටට විශාල ගෞරවයක් විය. ලෝක සාම මණ්ඩලයේ ක්‍රියාකාරි සාම සාමාජිකයෙකු වූ මුන් වහන්සේ 1955 “ හෙල්සිංකි “ නගරයේ පැවැත්වුණු ලෝක මහා සාම සම්මේලනයට ලංකාව වෙනුවෙන් සහභාගි වෙමින්” ලොව ඇති සියලුම පරමාණු අවි ගබඩා විනාශ කළ යුතුය” යන ආයාචනයද ඉදිරිපත් කළහ.

උන් වහන්සේ මේ රටේ උපන් දුප්පත් දුක්විඳින ජනතාව හොඳින්ම හඳුනාගෙන සිටියහ. 1966 නොවැම්බර් 13 දින උන්වහන්සේ අපවත් වී වදාළහ.

සරණංකර හිමියෝ නිහතමානීය, චාම්ය, එඩිතරය, ක්‍රියා ශූරය, සාමකාමීය, ගුණ ගරුකය, සිල්වත්ය, උන් වහන්සේ අපවත් වීමෙන් අපට ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණ නමක් දේශපේ‍්‍රමී හිමි නමක්, සාම දූතයෙක් , ජනහිතකාමී යතිවරයෙක් අහිමි විය. උඩකැන්දවල සිරි සරණංකර හිමියන්ට නිවන් සුව අත්වේවා!

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]