UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්සාළිස් වසරකට පෙර අපවත් වී වදාළ පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමි

ජාතික , ආගමික , සමාජයික , සාහිත්‍යයික , අධ්‍යාපනික, සංස්කෘතික ආදි විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ජාතික මෙන්ම ජාත්‍යන්තරව මහත් කීර්තිධර අග්ගමහා පණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නා හිමිපාණන්ගේ කීර්ති නාමය දේශයෙහි අවිනෂ්ටව පවතින්නේය.

අම්බලන්ගොඩ පොල්වත්තේ ඕබඩගේ ලුවිස් ද සිල්වා හා තුයියගම්හේවා සාංචිහාමි දම්පතීන්ට 1887 ජූලි 23 දින උපන් පින්වත් කුමරු කාගේත් සිත් සතන් පොබයමින් හැදෙමින් 1899 නොවැම්බර් 02 දින පොල්වත්ත අග්ගරාමාධිපති, පෝරඹ ශ්‍රී ධම්මාධර රාජගුරු නා හිමියන් වෙතින් අග්ගරාමයේ දී පැවිදිබිමට පිවිසියහ.

බුද්ධදත්ත සාමණේරයෝ ඉගෙනුමෙහි අති සමර්ථයහ. පසළොස් හැවිරිදි වියේ දී ප්‍රථමයෙන් බුරුම දේශයට වැඩම කළ අතර ඒ වන විට පාලි වර නැගිල්ල, අභිධර්මත්ථ සංගහ, ධම්මපදය, ධාතු මංජුසා, බාලාවතාරය, ආදි පොත් රාශියක් කටපාඩම් කර ගැනීමේ සමත් වූහ. ඒ හැම පොතක්ම මැනවින් උගෙන බුරුමයේ පැවති අභිධර්ම විභාගයෙන් ප්‍රමුඛස්ථානය ලදහ. ලක්දිව වැඩමවා 1907 දී යළි බුරුමයට වැඩම කළ උන්වහන්සේ එම වර්ෂයේ ජනවාරි 23 දින බුරුමයේ මෝල්මේන් නුවර කොන්තන් විහාරීය සුවණ්ණ මනි විජ්ජොතරතන සීමා මන්දිරයේදී උපසම්පදාව ලදහ.

1908 දී බුරුම බසින් ග්‍රන්ථ ගණනාවක් ලියූ උන්වහන්සේගේ මුල්ම සිංහල පොත වුයේ 1911 පළවු “අභිධර්මමාතෘකා ස්වරූපයයි” සිංහල පාලි, සංස්කෘත , බුරුම , ඉංගී‍්‍රසි ආදී විවිධ භාෂා ඥානයෙන් පරිණත බුද්ධදත්ත හිමියෝ භාෂා රාශියකින් පොත්පත් රාශියක් ලියූහ. සංස්කරණය කළහ. සමය සමයාන්තර ඤාණය, ග්‍රන්ථ විශාරදත්වය බහුශ්‍රැතභාවය පාණ්ඩිත්‍යය බුද්ධි ප්‍රභාව උන්වහන්සේගේ “ථෙරවාදී බෞද්ධාර්යයෝ “ භාරතීය බෞද්ධාචාර්යන්” “අටුවා පරීක්ෂණ හා අටුවා කථාවත්ථු “ ආදි ග්‍රන්ථ රාශියක් පෙන්වා දෙයි.

විවිධ පුවත්පත් “සඟරා ආදියට ලියන ලද ලිපි ලේඛන සංඛ්‍යාව ද මහත්ය.

1926 දී දඹදිව ධර්ම ප්‍රචාරයේ යෙදුණු බුද්ධදත්ත හිමි ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජර්මනිය , එංගලන්තය ආදි යුරෝපා රටවල මහත් වූ ධර්ම දූත මෙහෙවරක් සිදු කළහ.

උන් වහන්සේ පාලි බසට, කළ මෙහෙය සුවිසල්ය. පාලි භාෂාවතරණය” පළමු කොටස 1923 දී පළ කළ අතර පඨම පාඨාවලි, පාලි සිංහල අකාරදිය පාලි වාක්‍ය රචනා ආදි පොත් රැසක් කරමින් පාලි බසට කළේ අද්විතීය සේවාවකි. එංගලන්තයේ පාලි පොත් සමාගමේ රිස් ඩේවියිස් මැතිතුමා හා මැතිණිය , අයි. බී. හෝනර් මැතිණිය ඊ.ජේ. තෝමස් ආදි වියතුන් සමග අදහස් හුවමාරු කරගත්තේ පාලි භාෂාවෙනි. එංගලන්ත පාලි පොත් සමාගම විසින් මුන් වහන්සේගේ “ අභිධර්මවතාරය” “ රූපාරූප විභාගය” “ විනය විනිශ්චය “ “සම්දේහ විනෝදනී ආදී දුර්ලභ පොත් රාශියක් මුද්‍රණය කරන ලදී. උන්වහන්සේ සොයා පැමිණි විදේශීය විද්වතුන් එකල අග්ගරාමයේ සුලභ ලක්ෂණයකි. 1923 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ පාලි ආචාර්ය වරයා ලෙස පත්ව විශිෂ්ඨ සේවාවක් කළ මුන්වහන්සේ 1935 දී ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධූරයට ද පත් වූහ. බුරුමයේ හයවන ධර්ම සංගායනා ග්‍රන්ථ ශෝධක මණ්ඩලයේ ප්‍රමුඛත්වය බුද්ධදත්ත හිමියනට පැවරිනි. 1953 ජුනි 27 දින ශ්‍රී කළ්‍යාණි වංශ නිකායේ අනුනායක ධුරයට පත් උන්වහන්සේ බුරුමයේ ජට්ඨ සංගායනාවට 1953 ජූලි 17 දින වැඩියහ.

බුරුමයේ උසස්තම සම්මානයක් වන “අග්ගමහා පණ්ඩිත උපාධියෙන් උන් වහන්සේ පිදුම් ලදහ.

1957 නිකායේ මහානායක ධූරයට පත් උන්වහන්සේ නිකායේ සංවිධානය හා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථවල පළ කරමින් අත්‍යුදාර සේවාවක් කළහ. කිසිවිටෙක කීර්ති ප්‍රශංසා පසුපස නොගිය අතර ඒ සියල්ල උන්වහන්සේ වෙත ගලා ආහ. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් සම්මාන පණ්ඩිත උපාධිය ලද නා හිමියෝ ලංකා බෞද්ධ මණ්ඩලය , ත්‍රිපිටක පරාවර්තන මණ්ඩලය බෞද්ධ මණ්ඩලය බෞද්ධ විශ්ව කෝෂය, සාහිත්‍ය උපදේශක මණ්ඩලය ආදිය මගින් විශාල සේවාවක් කළහ. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රථම මහාචාර්ය වූ උන්වහන්සේට එම විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති  ( D . Lit )  උපාධියද , විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍ර (Ph. D )  උපාධියද පිරිනැමිණි.

මහත් ධර්ම ශාස්ත්‍රීය සේවාවක් සිදු කළ දේශ දේශාන්තර පතළ කීර්තිධර පඬිරුවන පන් සැත්තෑ වසරක ආයු ශ්‍රී වළදා 1962 නොවැම්බර් 09 දින අපවත් වී වදාළහ. උන්වහන්සේ පිළිබඳව පන්සාලිස් ගුණානුස්මරණ පුණ්‍යෙීත්සව කටයුතු අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති ශාස්ත්‍රවේදී නින්දානේ වජිරඤාණ මා හිමියන්ගේ අනුශාසකත්වයෙන් තත් විහාරස්ථානයේදී සිදුකෙරේ.

වප් මස අමාවක

 පෝය නොවැම්බර් 09 වන දා සිකුරාදා පූර්වභාග 02.01 ට ලබයි.
10 වන දා සෙනසුරාදා පූර්වභාග 04.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර්
09 වන දා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර්
17 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 09

First Quarterපුර අටවක

නොවැම්බර් 17

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]