Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තරහයි - ඉරිසියාවයි අපට ම දුක් දෙන හැටි

සැදැහැවත් පින්වතුනි, මෙතරම් අති දීර්ඝ කාලයක් තිස්සේ අප කවුරුත් මේ දුක්ඛිත සසර ගමනේ උරුමක්කරුවන් වූයේ, අප කාටත් උතුම් බුදුදහම අවබෝධ නොවුණු නිසා ම ය. ඒ උතුම් දහම අවබෝධ නො වුණේ අපගේ සිත් සතන් රාග, ද්වේෂ, මෝහ යන අකුසල ධර්ම වලින් වැසී තිබුණු නිසා ය. ගෞතම බුදු සසුන තුළ දුර්ලභ මිනිසත් බවත් ලැබූව ද, තවමත් මෙම අකුසල ධර්ම අප තුළ රජ කරමින්, අපට බොහෝ දුක් පීඩා ගෙන දෙයි. මෙලෝ වශයෙන් ද, පරලෝ වශයෙන් ද මෙම අකුසල් මගින් මිනිස් ජීවිතය විශාල අනතුරකට පත් කරන බව පෙනෙයි.

අන්න ඒ අනතුර බොහොම ලස්සනට පෙන්වා දෙන සූත්‍ර දේශනාවකි, කෝධන සූත්‍රය. අංගුත්තර නිකායේ හතර පොත් වහන්සේට ඇතුළත් මේ දේශනයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් ක්‍රෝධ කරන යම් කිසි ස්ත්‍රියකට වේවා, පුරුෂයකුට වේවා, විඳින්නට සිදු වන දුක් විපාක 7 ක් දේශනා කරන ලදී.

සැවැත් නුවර ජේතවනාරාම දම් සභා මණ්ඩපයේ දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මේ විදිහට දේශනා කරනවා.

“සත්ති මේ භික්ඛවේ ධම්මා සපත්තකන්තා සපත්තකරණා කෝධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා කතමේ සත්ත?”

“මහණෙනි, වෛර කිරීමට කැමැති, වෛර කරන ස්ත්‍රියක කරා හෝ පුරුෂයකු කරා මේ ධර්මතා 7 ක් පැමිණෙන්නේය. ඒ කවර හතක් ද?

විරූපීවීමට හේතුවක්

මේ ලෝකයේ තරහකාරයෙක් තමාගේ සතුරා ගැන මෙහෙම කැමැත්තක් ඇති කර ගන්නවා. “අනේ! මොහු විරූපී වේවා!” ඒකට හේතුව මොකක් ද? මෙයා තමන්ගේ තරහකාරයාගේ ලස්සන දැකලා සතුටු නොවීම. ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්විම. ඒ වගේ කෙනෙක් හොඳට නාලා, සුවඳ විලවුන් ගා ගෙන, කොණ්ඩය සරසාගෙන, ලස්සන ඇඳුම් ඇඳගෙන හිටියත් ක්‍රෝධ කිරීමේ විපාකයක් හැටියට ඔහු හෝ ඇය විරූපී වනවා.

මිනිස් සමාජය තුළ අනුන්ගේ ලස්සන දැකලා ඉරිසියා කරන අය බොහෝ දෙනෙක් ඉන්නවා. කවුරු හරි ලස්සන ඇඳ පැළඳගෙන පාරෙ ගියොත්, මේ අයට ඉවසගෙන ඉන්න බැහැ. ඉස්සරහට මුණගැසුණොත්, “නො දකින් මේකා” කියා අනිත් පැත්ත බලා කෙළ ගහගෙන යනවා. මේවා කරන්නේ, මෙයින් දුක් විපාක විඳින්නේ තමාම බව නො දන්නා අයයි. එ නිසා ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් – එහි දුක් විපාක පෙන්වාදීමට පෙ‍්‍ර්ත වස්තු දේශනයේ සඳහන් මත්තා ප්‍රේත වස්තුව ලියා දක්වමි. දවසක් තිස්සා නමැති කාන්තාවක් තවත් කාන්තාවක් දැක මෙහෙම අහනවා. “නුඹගේ ශරීරයේ ඇඳුම් නැහැ. බොහොම විරූපී වෙලා, සිරුරේ නහර, ඇට පෑදිලා. මේ විදියට ඉන්නා නුඹ කවුද?” ඇය පිළිතුරු දෙනවා, “මගේ නම මත්තා. ඔබේ නම තිස්සා. ඉස්සර අපි දෙදෙනාම එකම සැමියාගෙ බිරින්දෑවරු වෙලා හිටියෙ. මම පවුකම් කරලා මිනිස් ලෝකයෙන් මිදී පෙ‍්‍ර්ත ලෝකයට ගියා.” තිස්සා නැවත ප්‍රශ්න 6 ක් මේ පෙ‍්‍ර්තියගෙන් විමසනවා.

තිස්සා - නුඹ විසින් සිත, කය, වචන යන තුන් දොරින් කුමන පාප කරලාද මිනිස් ලෝකයෙන් මිදී පෙ‍්‍ර්ත ලෝකයට ගියේ?

පෙ‍්‍ර්තිය - මම ක්‍රෝධ කරන, පරුෂ වචන කියන, ඉරිසියා කරන. මසුරු සිතක තිබුණු, කපටි ගති ලක්ෂණ තිබුණු කෙනෙත්. ඒ නිසයි පෙ‍්‍ර්ත ලෝකයට ගියේ.

තිස්සා - මමත් දන්නවා නුඹ තරහ ගන්න කෙනෙක් කියල. නුඹගෙන් වෙනත් කරුණක් අහන්නම්. ඔය ශරීරය පස් වලින් වැහිලා තියෙන්නේ මොන වගේ පවුකමක් කරලා ද?

පෙ‍්‍ර්තිය -ඔබ නාලා අවසන් වී බොහොම පිරිසුදු ඇඳුම් ඇඳ ගත්තා. මමත් ඔබට වඩා ලස්සනට සැරසුණා. ඒ වෙලාවෙ මම බලා ඉන්න කොට ම ඔබ සැමියත් එක්ක කතා කළා. ඉතින් මට ඉරිසියා හිතිල පස් අරගෙන ඔබට ගැහුවා. ශරීරය පස් වලින් වැහිලා තියෙන්නේ අන්න ඒ් පව නිසයි.

තිස්සා - නුඹ මට පස් වලින් ගහපු බව මමත් දන්නවා. නුඹගෙන් වෙනත් කරුණක් අහන්නම්. නුඹ කැසීම් රෝගයකින් දුක් විඳින්නේ ඇයි?

පෙ‍්‍ර්තිය - අපි දෙදෙනාම බෙහෙත් සොයාගෙන එන්න කැළයට ගියා. නුඹ බෙහෙත් ගෙනාවා. මම ගෙනාවේ කහඹිලියා ගෙඩි. ඉතින් මම නුඹට හොරෙන් නිදන ඇඳේ කහඹිලියා ගෙඩි දැම්මා. ඒ පව නිසා කැසීම් රෝගයෙන් දුක් විඳිනවා.

තිස්සා - මමත් දන්නවා නුඹ මගේ නිදන ඇඳට කහඹිලියා ගෙඩි දමපු බව. නුඹගෙන් වෙනත් කරුණක් අහන්නම්. නුඹ ඇඳුම් නැතිව ඉන්නේ ඇයි?

පෙ‍්‍ර්තිය - එක දවසක් නෑ - මිතුරන්ගේ රැස්වීමක් තිබුණා. නුඹටයි සැමියාටයි එන්න කිව්වා. කවුරුවත් මට එන්න කියා ආරාධනා කළේ නැහැ. ඉතින් මම නුඹගේ ඇඳුමක් හොරකම් කළා. ඇඳුම් නැතිව ඉන්නේ අන්න ඒ බව නිසයි.

තිස්සා - මමත් දන්නවා නුඹ මගේ ඇඳුමක් හොරකම් කළ බව. නුඹගෙන් වෙනත් කරුණක් අහන්නම්, ඔය ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ ඇයි?

පෙ‍්‍ර්තිය - නුඹගේ ඉතාම වටිනා සුවඳ වර්ග, සුවඳ විලවුන්, මල් මාලාවක් මම අසූචි වලක දැම්මා. ඒ පව නිසා ශරීරයෙන් අසූචි ගඳ හමනවා.

තිස්සා - මමත් දන්නව නුඹ ඒ වගේ වැඩක් කළා කියලා. නුඹගෙන් තවත් කරුණක් අහන්නම්. නුඹ ඔච්චර දුප්පත් වුණේ ඇයි?

ප්‍රේතිය - ගෙදර යම් කිසි ධනයක් තිබුණ නම් අපි දෙදෙනාටම සමානව තිබුණා. එච්චර වස්තුව තිබිලත් තමන්ට පිහිට පිණිස පවතින පිනක් දහමක් මම කළේ නැහැ. ඒ දවස්වල ඔබ මට කිව්වා, නුඹ පවු වැඩ කරනවා. පවු කිරීමෙන් නම් සුගතියේ යන්න බැහැ කියලා.

තිස්සා - නුඹ හිතුවේ මම තරහකාරියක් කියලයි. නමුත් නුඹමයි මට ඉරිසියා කළේ. දැන් පේනවා නේද පව්කම්වල විපාකය?

ඉහත කතා පුවතෙන් පෙන්වා දෙනු ලැබුවේ මත්තා නම් කාන්තාව තිස්සාගේ ලස්සන ගැන ඊර්ෂ්‍යා කර - පව්කම් කොට - අපායේ ඉපදී දුක් විඳින ආකාරයයි. එනිසා මත්තා මෙන් විරූපීවීමට අකැමැති නම් ඔබ කිසිවෙක් ලස්සන අය දැක ඉරිසියා නො කරත්වා!

නිදි සුව නොලැබීම

දෙවනි කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තරහකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ! මොහු දුක සේ නිදාගනිත්වා!” ඒකට හේතුව මොකක්ද ? මෙයා තමන්ගේ තරහකාරයාගේ සුව නින්දට සතුටු නොවීම .ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම ඒ වගේ, කෙනෙක් සුවපහසු ඇඳ ඇතිරිලි දැමූ, සුදු එළු ලොම් ඇතිරිලි දැමූ, උඩු වියන් දැමූ සුවදායක යහනක’ නිදා ගත්තත් ක්‍රෝධ කිරීමේ විපාකයක් හැටියට ඔහු හෝ ඇය දුක සේ නිදාගන්නේ.

සමහර අයට වෛරයක් හිතේ හටගත්තාම පලි ගන්නකම් ඉවසිල්ලක් නැහැ. පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන් අනෙකා විනාශ කරන්නමයි උත්සාහ කරන්නේ. “ මේකාව ඉවරයක් කරන්නේ කොහොම ද ?” යනුවෙන් , නිදි යහනේ සිටන් කල්පනා කරනවා . “ මුං මට මෙහෙම කළා. මෙහෙම කළා. ඕකුන්ට මම සුවෙන් නම් නිදාගන්න දෙන්නේ නැහැ.” යනුවෙන් ක්‍රෝධ සිතින් කල්පනා කරනවා. ඉතින් මේ විදිහට කරන කියන අය , සුව පහසු යහනාවක සුව නින්දක් කවදා නම් ලබන්නද?

හොඳ - නරක නොදැනීම

තුන් වන කාරණය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් අන් අය ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ ! මොහුට දැන උගත් බවක් ඇති නො වේවා! “ ඒකට හේතුව මොකක්ද? මෙයා තමන්ගේ තරහකාරයාගේ දැන උගත් බවට සතුටු නොවීම . ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම .

මෙහෙම අයට අවසානයේ සිද්ධ වන්නේ හොඳ - නරක කුමක්දැයි තේරුම් ගැනීමට නො හැකි බුද්ධි හීන පුද්ගලයකු වීමටයි.

ධන විනාශය

හතර වන කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, තරකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇති කර ගැනීම ගැන “ අනේ ! මොහුට භෝග සම්පත් නො ලැබේවා ! ඒකට හේතුව මොකක්ද? මෙයා අනෙකාගේ භෝග සම්පත් දැක සතුටු නොවීම . ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම . ඒ වගේ පුද්ගලයකුට යම් භෝග සම්පතක් තිබෙනවා. නම්, උත්සාහයෙන් - වීර්යයෙන් - අත්දෙකේ ශක්තියෙන් දහඩිව වගුරුවා ධාර්මිකව උපයන ලද යමක් වේ නම්, ක්‍රෝධ කිරීම හේතු කොටගෙන ඒ සියල්ල පිරිහී - වැනසී යන්නේය.

තරහකාරයා , අනෙකා භෝග සම්පත් වලින් දියුණු වනවා දකින්න අකැමැතියි. ඔහු කරන්නේම අනෙකාගේ භෝග සම්පත් වලට හූල්ලමින් ඒවා විනාශ කිරීමට උපක්‍රම යෙදීමයි. සතුරාගේ නිවසේ අය පැහැර ගෙන ගොස් “ අපිට මෙච්චර ගාණක් දීපන්. පොලීසියට කිව්වොත් මරල දානවා” කියමින් කප්පම් ඉල්ලමින් තර්ජනය කරනවා. තවත් අය සතුරාගේ දේපළ වස්තුව දිහා බලමින් ඒවා විනාශ කර දැමීමට මන්තර ගුරුකම් කරනවා. මේ නිසා එහි විපාක තමන්ටම විඳින්නට සිද්ධ වනවා.

තමා විසින් ධාර්මිකව දහඩිය මහන්සියෙන් උපයා සපයා ගත් වස්තුව තමන් බලා සිටිද්දීම රාජ භාණ්ඩාරගාරයේ තැන්පත් වනවා. එසේ නම් තමාගේ දේපළ වස්තුව රාජසන්තක වනවා දැකීමට වැනසෙනවා දැකීමට අකැමැති අය , අනුන්ගේ දේපළ වස්තුව දැක ඉරිසියා නො කළ යුතු යි.

කීර්තිය අහිමිවීම

පස් වැනි කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තරහකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ! මොහුට කීර්ති ප්‍රශංසාවක් ඇති නොවේවා! “ ඒකට හේතුව මොකක්ද? මොහු අනෙකාගේ කීර්තියට සතුටු නොවීම .ඊට හේතුව ඔහු ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම , මොහු විසින් අප්‍රමාදීව යම් කීර්ති ප්‍රශංසාවක් ලබාගෙන තිබුණා නම්, ක්‍රෝධ කිරීම් හේතුවෙන් එය නැති කර ගන්නවා.

සමාජයෙන් කොන්වීම

හය වැනි කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් තවෙකකු ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ! මොහුට මිතුරන් නො ලැබේවා! “ ඒකට හේතුව මොකක්ද? මොහු අනෙකාගේ මිතුරන් දැක සතුටු නො වීම . ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම. එකරුණ හේතු කොට ගෙන මොහුගේ පරම්පරාවේ ඤාතීන් යහළු මිත්‍රයන්, මොහු අතහැර දමනවා.

තරහකාරයා නිතරම කැමැති වන්නේ අනෙකා තනි වනවා දකින්න. අනෙකාගේ නිවසට මිතුරකු ඇවිත් යනකං ඉඳලා , මෙයා දුවගෙන ගිහින් කියනවා , “ අයියෝ! ඔයා මිතුරකු විදිහට තෝරගෙන තියෙන්නේ, මහ නැහැදිච්ච එකෙක්වනේ ? එයාව ටිකක් ප්‍රවේශමෙන් ආශ්‍රය කළොත් හොඳයි එහෙම කියලා අනෙකාගේ මිතුරන්, ඔහුගෙන් වෙන් කරලා දානවා.

ඊට පස්සේ තමන් කරපු කෙරුම්කාරකම වෙනත් අයට කියමින් පුරසාරම් දොඩනවා. “ ඕං බලාපල්ලා මම කියන්නෙ බොරුද කියලා. අහවල් එකා මැරෙන වෙලාවට වතුර පොදක් දෙන්නවත් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ” ඔහු එහෙම කිව්වත් අවසානයේ ඒ තත්ත්වය ඔහු කරාම පැමිණෙනවා. ඔහුගේ යහළු මිත්‍රයන්, පරම්පරාවේ ඤාතීන් සියලු දෙනා ඔහුව අතහැරලා දානවා. ඉතින් ඔබ තනි වන්න අකැමැති කෙනෙක් නම් අනුන්ගේ මිතුරන් දැක ඉරිසියා නොකරන්නට සිතාගන්න.

දුගතිගාමී වීම

අවසාන කාරණය ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තරහකාරයෙක් අනෙකා ගැන මෙහෙම කැමැත්තක් ඇතිකර ගැනීම “ අනේ මොහු මරණින් මතු දුගතිය නම් වූ නිරයට පැමිණේවා!” ඒකට හේතුව මොකක්ද? මොහු අනෙකා සුගතියේ යනවාට සතුටු නොවීම , ක්‍රෝධයට යට වූ සිතින් ජීවත්වීම. මොහු කයින් දුසිරිත් කොට, වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට, කය බිඳී මරණින් මතු දුගතිය නම් වූ නිරයට පැමිණෙයි.

අනුන්ගේ සුගති ගමනට අකැමැති වන තරහකාරයට අවසානයේ සිදුවන දේ මේ කරුණින් මනාව පැහැදිලි වෙයි. සතුරා පින් දහම් කරන විට යහපත් දේ කරන විට මෙයාගෙ ඇස් වලට කටු වලින් අනිනවා වගේ.

ඉවසන්න බැරිම තැන “ ඕකුන් නම් මැරුණට පස්සේ නිරයේම තමයි යන්නේ” කියමින් සතුරා ගැන අනාවැකි පළකරනවා. මේ විදිහට ඔහු කයින් වචනයෙන් , සිතින් අකුසල් රැස් කරගෙන කය බිඳී, මරණින් මතු නිරයේ උපදිනවා. නිරයේ යන්න බියක් තමන් තුළ තිබෙනවා නම් කොයි ;මාහොතකවත් ද්වේෂ සහගත සිතකින් අනුන් මැරුණාට පසු නිරයේ යත්වා කියා හෝ නිරයේ යනවාමයි කියා හෝ නොසිතන්න.

සැනසුමට මඟ

මෙම දෙසුමෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ක්‍රෝධ කරන්නාට විඳින්නට සිදුවන දුක් විපාක මැනවින් පෙන්වා දෙන ලදී. අනුන්ට ක්‍රෝධ කරමින් තමාම ඉන් දුක් විඳිනවාට වඩා, එම ක්‍රෝධය හඳුනා ගෙන, තම ජීවිතය තුළ මෛත්‍රියේ සැනසීම අත් විඳීමට අපි කවුරුත් උත්සාහවත් වෙමු. ඒ සඳහා සුපින්වත් හැම දෙනාටම තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.