Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

වැසි සමයෙන් ඇරැඹුණු මහ පිනැ’ති පින්කම

“අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං කඨිනං අත්ථරිතුං අත්ථත කඨිනානං වෝ භික්ඛවේ භික්ඛවේ පංච කප්පිස්සන්ති අනාමන්තචාරෝ අසමාදානචාරෝ ගණ භෝජනං යාචදත්ථ චීවරං, යෝ ච තත්ථ චිවරුප්පාදෝ සෝ නේසං භවිස්සති, අත්ථක කඨිනානං වො භික්ඛවෙ ඉමානි පංච කප්පිස්සන්ති”

කාරුණික පින්වත!

විනය පිටකයට අයත්, මහාවග්ග පාලියේ කඨිනක්ඛන්ධකයෙහි එන මෙම පාඨය මාතෘකාව වශයෙන් යොදා ගත්තේ, ඒ සම්බන්ධයෙන් කථා කරන්නට සුදුසු ම කාලය එළැඹ ඇති බැවිනි. බුද දහමත්, බෞද්ධ විනයත්, බෞද්ධ සංස්කෘතිය හා ශාසන ඉතිහාසයත් එකට කැටිවුණු ඉතා වැදගත් සංසිද්ධියක් වන කඨින මහා පුණ්‍ය කර්මය පැවැත්වෙන්නේ මේ කාල සීමාව තුළ දී වීම ඊට හේතුවයි. භික්ෂූන් වහන්සේට වස් සමාදන්වීම ගැනත්, වස් කාලය නිසියාකාර නිම කිරීමෙන් පසු කඨිනයක් ලබා ගැනීම ගැනත් කඨිනය ලබන භික්ෂුවට ශාසනික පක්ෂයෙන් ලැබෙන වරප්‍රසාදත් සඳහන් වන මෙම පාඨය, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ විසූ ක්‍රි. පූ, 6 වන ශත වර්ෂය දක්වා වසර 2550 ක දීර්ඝ ඉතිහාසයක් වෙත අපගේ අවධානය යොමු කරවන්නක් ලෙස හඳුන්වා දිය හැකි ය.

බුදු දහම ව්‍යාප්ත වන විට, විශාල වශයෙන් බුද්ධිමත් පිරිස් බුදු දහම පිළිගත් විට, බුදු දහමට එරෙහි චෝදනා, දෝෂාරෝපණ මෙන් ම බලවේග ද ඉහළ යන්නට වූ බව පෙනේ. අන්‍යාගමික ශාස්තෘවරුන් තුළ තම තමන්ගේ අනුගාමික පිරිස් අඩුවීම නිසා ඇති වූ ද්වේෂයත්, බුදු දහමට ලැබුණු අසීමිත අනුග්‍රහයත් නිසා හටගත් ඊර්ෂ්‍යාවක් මේ විරෝධතාවන්ට මුල් වූ බව නිසැක ය. මේ පසුබිම සැකෙවින් හෝ සිිහියේ තබා ගත යුත්තේ . අප කථාකරන්නට යන මාතෘකාවට පදනම් වන්නේ ද මේ තත්ත්වය වන බැවිනි.

බුදුරජාණන් වහන්සේ තම අනුගාමිකයනට අවවාද කළේ “චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය, අත්ථාය හිතාය සදේව මනුස්සානං” (මහණෙනි, දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිස සදහම් චාරිකාවෙහි හැසිරෙන්න) යනුවෙනි. මේ අවවාදයට අනුගත වූ භික්ෂූන් වහන්සේ, එකී අරමුණු උදෙසා පූර්ණ කාලීනව කැපවෙමින් ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නට වූහ.

අවු - වැසි නොතකා, දිවා - රෑ නොබලා, සැප - දුක නොසලකා සංචාරය කරමින් බුද්ධාවවාදය අනුව ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදුණු භික්ෂූන් වහන්සේට වැසි සමයේ දී සමාජයෙන් එල්ල වූ බරපතළ දෝෂාරෝපණයක් වූයේ, නව තණ පත්‍ර මඩිමින් ක්ෂුද්‍ර ප්‍රාණීන් නසමින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් මහත් නොකටයුත්තක් කරන බවට යි.

ඒ වන විට ඉන්දියාවේ මුල්බැසගෙන තිබුණු විශ්වාසවලට අනුව වැසි සමයේ දී දළුලන තෘණ වර්ගයන්ට පවා කිසියම් ප්‍රාණයක් වූ බවට පිළිගැනීමක් විය. තෙත පසෙහි අනන්ත අප්‍රමාණ ක්ෂුද්‍ර ජීවීහු ඉපිද වැඩෙති. ජීවත් වෙති. එසේ හෙයින් උග්‍ර අවිහිංසා වාදය පිළිගත් ආගමික පිරිස් වැසි සමයේ දී තෙත් පොළොව මැඩීම පාපයක් ලෙස පිළිගත්හ. වැසි සමයේ දී භික්ෂුන් වහන්සේගේ සංචාරයට එරෙහි වූයේ මේ පසුබිම මතය.

ජනතා හඬට සවන් දුන් බුදුරජාණන් වහන්සේ, වැසි සමය තුළ දී උපසම්පන්න භික්ෂූන් වහන්සේ විසින් පිළිපැදිය යුතු පිළිවෙත අනුදැන වදාළහ. එනම් සෑම උපසම්පන්න භික්ෂුවක් ම කිසියම් ආරාමයක් කේන්ද්‍ර කර ගනිමින් වස් විසීම අනිවාර්ය කිරීමට විනය ප්‍රඥප්තියක් නිර්දේශ කිරීම ය. වස් විසිය යුතු කාලය, වස් විසිය යුතු පිළිවෙළ, ඒ සමය තුළ අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ආදී වශයෙන් විස්තර වශයෙන් පෙන්වා දුන් වැඩ පිළිවෙළක් ඊට ඇතුළත් වෙයි.

ඉන්දියාවේ ඍතු රටාව අනුව, වර්ෂා ඍතුව මාස 03 ක් වෙයි. සාමාන්‍යයෙන් මේ කාලය අධික වර්ෂාව සහිත, දුෂ්කර කාල පරිච්ඡේදයකි. එකල ගමනාගමනය අතිශයින් අපහසු වෙයි. වර්තමානයේ වුවද, මේ තත්ත්වය එසේ ම ය. බුද්ධ කාලයේ මේ තත්ත්වය වඩාත් කටුක වන්නට ඇත. මාර්ග ජලයෙන් යට වී, ගංගා පිටාර ගලා ඇතිවන බරපතළ තත්ත්වය භික්ෂූන් වහන්සේගේ ධර්ම චාරිකාවලට මෙන්් ම උන්වහන්සේ ගේ සෞඛ්‍ය තත්ත්වයට ද අයහපත් අන්දමින් බලපාන්නට ඇත. මේ කාල සීමාව තුළ එක් තැනක රැඳී ආගමික කටයුතුවල නියැළෙන්නට බුදුරජාණන් වහන්සේ නියම කරන්නට ඇත්තේ සමාජයෙන් එල්ල වූ චෝදනා මෙන් ම, එකී තත්ත්වය ද සැලකිල්ලට ගැනීමෙන් විය යුතු ය.

දායකයන්ගේ ආරාධනයක් ඇතත්, නැතත් සෑම උපසම්පන්න භික්ෂුවක් ම නියමිත කාලය තුළ නිශ්චිත ආරාමයක වස් එළැඹිය යුතු වීම, විනය ප්‍රඥප්තියකි. මේ කාල සීමාව තුළ, බොහෝ විට ම දායක දායිකාවෝ වස් විසූ භික්ෂූන් වහන්සේට වැඩි කැමැත්තකින් සිවුපසය සපයති. වස් සමය තුළ - වස් එළැඹි භික්ෂුව, එම ආරාමයෙහි නිත්‍යවාසී විය යුතු ය. කිසියම් අවශ්‍යතාවක් සඳහා බැහැර යෑමට සිදු වන්නේ නම් සත් දිනක් තුළ නොවරදවාම ආපසු පැමිණීම (සත්තාහකරණය) අනිවාර්ය වෙයි. කිසියම් හේතුවකින් එසේ පැමිණීමට නොහැකි වුවහොත් වස් ඡේදනය වෙයි. එසේ වස් ඡේදනය වුවහොත් කඨිනය ලැබීමට හෝ කඨිනානිශංස වශයෙන් විනයානුකූ®ලව හිමිවන වරප‍්‍රසාද ලැබීමට හෝ නොසුදුස්සකු ද වෙයි.

“වස් සමාදන්වීම” යනු, ශාසනික ගිවිසුමකි. ගිවිසුමකට කොන්දේසි අයත් වෙයි. එකී කොන්දේසි සපුරාලමින් ගිවිසුම සපුරා ඉටු කළ පසු, නිශ්චිත දින වකවානුවල දී ගිවිසුමෙන් මිදිය හැකි ය. “වස් පවාරණය” යනු එසේ ගිවිසුමෙන් මිදීම ය. වස් පවාරණය කළ භික්ෂුවකට ලැබෙන ප්‍රතිලාභය, කඨින චීවරයක් ලබා ගැනීමට සුදුස්සකු වීම ය. කඨින චීවරයක් ලැබීම, ශාසනික වරප‍්‍රසාද පහක් ලබා ගැනීමට හිමිකම් ලැබීමකි. ඉහත සඳහන් කළ පාලි පාඨයෙන් පැවසෙන්නේ ඒ සම්බන්ධවයි.

කඨින වස්ත්‍රයක් පිදීමත්, ලැබීමත් මහානිශංසදායක පුණ්‍යකර්මයක් ලෙස පිළිගනු ලැබේ. බුද්ධ කාලයේ සිට අද දක්වා ම එබඳු ආකල්පයක් තහවුරු වී තිබෙන්නේ, එම පුණ්‍ය කර්මයෙහි දුර්ලභකමත්, ඉන් ලැබෙන ආනිශංසයෙහි මහත්වයත් නිසා ය. කඨින පූජාවක් යනු, මුළුමනින්ම විනය කර්මයකි. එය විනය කර්මයක් වශයෙන් දෙවන වන්නේ, සීමා සම්මත විනය කර්මයකට පමණකි. ථෙරවාද - මහායාන භේදයකින් තොරව, සමස්ත සංඝ සමාජයම එක සේ පිළිපදින විනය නීති මාලාවකින් ආවරණය වූ එකම පින්කම, කඨින පූජාව ලෙස සඳහන් කිරීම නිවැරැදි ය.

“කඨින දානං සබ්බදානතෝ අග්ගං ච හෝති සෙට්ඨං ච” (කඨින දානය සියලු දාන අතුරින් අග්‍ර ද

ශ්‍රේෂ්ඨ ද වෙයි) යනුවෙන් කඨින වංශයෙහි සඳහන් වන අන්දමට කඨික පින්කමකින් දායකයාට ලැබෙන ආනිශංස පංච ආනන්තරිය කර්මයකින් හැර අනෙක් කිසිදු අකුසල කර්මයකින් අභිභවනය කළ හැකි නොවේ.

බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිද කඨින පූජාවෙන් තමන් ලත් අනේක විධ ආනිශංස පිළිබඳ නාගිත තෙරුන් කරන විස්තරය නාගිතාපදානයෙන් දැකිය හැකි ය. මේ අදහස් පසුකාලීන බෞද්ධ සැදැහැවතුන් කඨින පූජාව කෙරෙහි වඩාත් ඇදී යන්නට හේතුවක් වූ බව නිසැක ය.

සාමාන්‍යයෙන් ඕනෑම පින්කමක ආනිශංස ලබන්නේ, පින්කම කරන්නා හෙවත් දායකයා ය. දානයක් දෙන විට දායකයාට පින් ලැබේ. ප්‍රතිග්‍ර‍්‍රාහකයාට ලැබෙන්නේ එහි ප්‍රතිලාභ ය. එහෙත් කඨින පූජාවක තවත් සුවිශේෂත්වයක් වන්නේ, දායකයාටත්, ප‍්‍රතිග්‍රාහකයාටත් එක සේ එහි ආනිශංස ලැබීම ය.

මෙහි ආරම්භයේ දී සඳහන් කළ පාළි පාඨයෙන් කඨිනයක් ලබන භික්ෂුවකට ලැබෙන විනයානුකූ®ල වරප‍්‍රසාද පහක් සඳහන් වෙයි. පාළි වචන වලින් ඒවා නම් කරන්නේ අනාමත්ත චාර, අසමාදාන චාර, ගණ භෝජන, යාවදත්ථ ධීවරුප්පාද සහ චීවරුප්පාද යන නම් වලිනි. මේවා ගිහි පක්ෂයට අදාළ නො වුව ද සිය පණ මෙන් විනය රකින භික්ෂුවකට වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් අගනා විනයානුකූල වරප‍්‍රසාද ය.

“විනයෝ නාම සාසතස්ස ආයු” (සසුනේ ආයුෂ විනය යි) යන බුද්ධ භාෂිතය අනුව, විනය යනු, භික්ෂු ජීවිතයක ජීවය වෙයි. සසුන පවතින්නේ විනය ගරුක භික්ෂූන් වහන්සේ නිසාය. සිය පණටත් වඩා තමන්ගේ විනය සුරැකි භික්ෂූන් වහන්සේ පිළිබඳ කතා පුවත් බෞද්ධ සාහිත්‍යයේ සුලබ ය. එබඳු තත්ත්වයක් යටතේ විනය නීති පහකින් භික්ෂූන් නිදහස් කිරීම යනු අසිරිමත් ස්වාධීනත්වයක් ලැබීමකි. ඒ ස්වාධීනතාව, කඨිනයක් ලබන භික්ෂුවකට නිශ්චිත කාලයකට හිමි වෙයි.

සංඝයා වහන්සේ ගේ අනුදැනීමකින් තොරව ගම් නියම්ගම්හි සංචාරය කිරීම භික්ෂූන් වහන්සේට අකැප ය. සංඝ සමාජයේ සහජීවනයට එබඳු පැවැත්මක් අත්‍යවශ්‍ය වෙයි. එහෙත් කඨිනයක් ලැබූ භික්ෂුවකට ස්වකීය අභිමතය පරිදි එසේ සංචාරය කළ හැකි ය. “අනාමන්තචාරය” යනු එයයි.

භික්ෂුවක් නිරන්තරයෙන්ම තුන් සිවුරෙන් යුක්තව විසීම, අනිවාර්ය වෙයි. නිදා ගන්නා විටක පවා තම අත්පසක තුන් සිවුර තිබිය යුතු බව විනය නීතියයි. එහෙත් කඨිනය ලත් භික්ෂුවට එය බලපාන්නේ නැත. තමන් කැමැති සිවුරකින් - තම අභිමතය පරිදි පරිභෝග කිරීමේ නිදහස උන්වහන්සේට ලැබෙයි. “අසමාදානචාර” නම් ඒ වරය යි.

යමක් ඉල්ලාගෙන වැළඳීම හෝ තමන් වෙනුවෙන් ම දෙන දෙයක් පිළිගැනීම භික්ෂු විනයට පටහැනි ය. කඨිනයක් ලත් භික්ෂුව එකී වාරණයෙන්ද නිදහස් කැරේ. “ගණ භෝජනය” යනු එය යි.

සඟ සසුනේ වැදගත් අංගයක් වන්නේ බහු භාණ්ඩික නොවීම ය. එය අල්පේච්ඡතාවයේ ලක්ෂණයකි. ඒ නිසාම තුන් සිවුරට අතිරේකව සිවුරු පිළිගැනීම හෝ දැරීම හෝ විනය විරෝධී ය.

කඨින චීවර ලබන භික්ෂුව මේ වාරණයෙන් ද නිදහස් වන්නේ ය. “යාවදත්ත චීවර” නමින් දක්වා ඇත්තේ එම වරප්‍රසාදය යි.

“චීවරුප්පාදය” යනු නිශ්චික කාල සීමාවක් තුළ විහාරයට ලැබෙන සියලු වස්ත්‍රවලට හිමිකමන් ලැබීම ය. එසේ ලැබෙන වස්ත්‍ර තම අභිමතය පරිදි බෙදා දීමට කඨින චීවරය ලත් භික්ෂුවට අයිතිවාසිකමක් හිමි වෙයි. එහි අදහස සාංඝික න්‍යායට ඒ දීමනා අයත් නොවන බව ය.

මේ වරප‍්‍රසාද පහ කථින චීවරයක් ලබන භික්ෂුවකට මාස පහක කාලයක් ගත වන තුරු හිමි වෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.