Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ බෝ සමිඳුනි, කමා කළ මැනව

මුළු රටටම වාසනාවක් වූ සිල්වතුනට මහා පින් කෙතක් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සෙවණෙහි මම වැඳ වැටුනෙමි. බෝ පත්‍ර ආසිරි පතන්නාසේ සුළඟේ සෙලවෙති. එක් පත්‍රයක් ආසිරි මලක් මෙන් පහළට වඩින සඳ මා සිත පී‍්‍රතියෙන් ඇලලී යයි. ඒ දෙසට දිගු කළ පාත්‍රයේ ඇසළ මල් කිනිති වැනි බෝ පත්‍රය වැඩ සිටී. සිතේ දස දහසක් ඇසළ මල් පිපුණා සේය. බුදුපියාණෝ ශ්‍රී හස්තය මගේ හිසමත තබා ආශීර්වාද කළා සේය.

පරිවාර බෝධීන් පිරිවරා සමවත් සුවයෙන් වැඩසිටින ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සිසිලස උතුරා යන පහත මාලයේ මාස ගණන් එක දිගට බවුන් වැඩූ කාලයක් මට තිබිණ. දහම් සිසිලස ගම් දනව් හරහා උතුරා යන අෂ්ඨඵල බෝධීන් වහන්සේලා හා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා සෙවණෙහිද මා බවුන් වැඩූ අතීතයක් විය. හාස්කම් ඇතැයි ජනප්‍රවාද ගොඩ නැඟී ඇති බෝධීන් කරාද ගියෙමි. මහා ජනගංගාවක් නොකඩවා ගලා ගිය පිල්ලෑවේ බෝධිය වෙතද ගියෙමි.

කුමන වනෝද්‍යානය අසල මහවනයේ වැඩ සිටින ‘කාබලිත්ත’ බෝධිය පිළිබඳව මා සිත අවදි කළේ කීපවරක්ම එහි ගොස් ඇති හිතාදර චිත්‍රපට නාළු ජෝ අබේවික්‍රම මහතා ය. මීටියාගොඩ ගුණරතන හිමියන් ප්‍රමුඛ හිතවත් පිරිසක් සමඟ ජීප් රියකින් පානම වනාන්තරය හරහා කැබලිත්ත බෝධිය වඳින්නට ගිය ගමන වනගත චාරිකාවක සුන්දර අත්දැකීමක් විය.

කැලණිය සෑරදුන් වහන්සේ මෙන්ම බෝ සමිඳුන් අප කාගේත් ගෞරවාදරයට පත් වූ පින් බිමකි.දිනක් කැලණිය බෝසමිඳුන් සෙවණෙහි බවුන් වැඩීමට හිඳගත් මට සිත කෙලෙසන අපවිත්‍ර දසුනක් පෙනිණ.

මල් පුදන අසුන මතට නැගගත් කීප දෙනෙකු බෝ සමිඳුන් වෙත ජලය ඉසින ලද්දේ එළවළු කොරටුවට දිය ඉසින්නා සේ ය. බෝධිය නෑවීම කළ යුත්තේ ගෞරවය, සංවරය පෙරදැරිකරගත් සිතින් යුතුව බවත් මල් ආසනය පෑගීම පාපයක් බවත් විග්‍රහ කරමින් එදින රාත්‍රියේ ලිපියක් සකස් කළ මම පසුදින දිවයින පත්‍ර කාර්යාලයට ගොස් එවකට කර්තෘ ධූරය දැරූ හිතවත් උපාලි තෙන්නකෝන් මහතාට දුන්නෙමි. ඒ ලිපිය පත්‍රයේ පළවීමෙන් පසු දිනක යළිත් කැලණි ගිය මා තුළ ප්‍රසාදයක් ඇති වූයේ, මල් අසුනට නොනැඟ බෝ සමිඳුන් නැහැවීම සඳහා හිනිපෙළක් සකස්කර තිබෙනු දැකීමෙනි.

කළුතර නගරය සදා සුන්දරත්වයෙන් බබළවන කළුගංගා තීරයෙහි පිහිටි කළුතර බෝධීන් වහන්සේ ගාලුපාරේ යන එන සැමෝගේම ගිම් නිවාලන සිත් සනසන ගෞරවාදරයට පාත්‍ර වූ පුණ්‍ය භූමියකි.

එදා මෙන්ම අදත් සන්සුන් නිහඬ වාතාවරණයකින් යුත් කළුතර බෝ සමිඳුන් සෙවණ සදන බිම පින් කෙතකි.

පින්වත් ශ්‍රී මහා බෝ සමිඳුනි, ඔබ වහන්සේගේ සෙවණ සෙසු සැදැහැවතුන්ට මෙන් මට ද අපමණ සුවදායක ය. නිබඳව කෙරෙන ආගමික චාරිත්‍ර වල සංවර භාවයක් ඇත. බෝ සෙවණකදී දැනෙන මහා සිසිලස සැදැහැවත් සිතට අපමණ සහනයකි. තම සිත විභාග කරමින් සත්‍යාවබෝධය කරා පිවිසීමට එදා බෝධිසත්වයන් වහන්සේ ඇසතු වෘක්‍ෂයේ සෙවණ තෝරා ගන්නට ඇත්තේ ද ඒ නිසාම විය හැකි ය.

එහෙත් පින්වත් බෝ සමිඳුනි, ඒ විවේකී පරිසරය පසුගිය කාලය පුරා බොහෝ බෝධීන් වහන්සේලා කෙරෙන්, බැහැර වෙමින් පවතී. දේවාල නවග්‍රහමණ්ඩල ආදිය බෝ මැඩ අරක් ගනිමින් දේවස්තෝත්‍ර කන්නලව් හඬත් පරිසරය ඝෝෂාකාරී තත්ත්වයට පත් වෙමින් පවතී. බෝ මැඩට හින්දු දෙවියන් කැඳවීම ජාතික සමඟියක් බිහි කිරීමට දරන සර්ව ආගමික වෑයමක් දැයි නොවැටහේ. කෙසේ වෙතත් මේ බව ඔබවහන්සේ වෙත දන්වා සිටින්නේ මහත් සංවේගයෙනි.

නිහඬ පරිසරයේ දී මානසික සංවර භාවය සමඟින් අවබෝධ ඥානය ද පහළ වෙයි. ඝෝෂාකාරී පරිසරයේ දී අසහනයට පත්වන සිතට සදහම් සුවය නොදැනේ. අවාසනාවන්ත ලෙස බුදු සමයේ බාහිර ස්වරූපය චණ්ඩ මාරුතයකට ගොදුරු වෙමින් පවතී. මෙය වාණිජ බලපෑම් නිසා හටගත් රැල්ලකි.

පංච ශීලයෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන්, වන්දනා මාන කිරීමෙන්, මෙත් වැඩීමෙන්, බුදුගුණ මෙනෙහි කිරීමෙන් තමන් තුළ ශාන්තිය උපදවාගත හැකි ය. ආශීර්වාද මඟින් වෙනත් අයකුගෙන් අප එය බලාපොරොත්තු වන්නේ නම් ඒ උතුමා ගුණදම් පුරණ උතුමෙක් ම විය යුතු ය. බුදුගුණ දේශනා දේව ස්තෝත්‍ර මිහිරි හඬින් ගැයූ පමණින් කෙලෙස් බර පුද්ගලයකුට ශාන්ති දායකයකු විය හැකි ද? එදා භාග්‍යවතුන් වහන්සේ මහ රහතන් වහන්සේලාත්, පසුකල බිහි වූ ගිහි පැවිදි පඬිවරුනුත් අඳුරේ , අභාග්‍යයෙ වෙලී අතරමං වූවන් නිසි මඟට යොමු කළේ, ශාන්තිකර්ම කිරීමෙන් නොව ඔවුන්ගේ අධ්‍යාත්මයට කථා කිරීමෙනි. බුදු දහම, පුද්ගලයන් අධ්‍යාත්මික පාරිශුද්ධ භාවය කරා යොමුකරන ශ්‍රේෂ්ඨ ඖෂධයක් වැනිය. බාහිර ඔපය පමණක් සොයන්නෝ බුදු දහමේ නිවැරදි අරුත වටහා නොගනිති. මම මේ ධර්මය දේශනා කරන්නේ පණ්ඩිතයන්ට (අවබෝධය ලබාගත හැකි අයට) විනා අඥානයන්ට නොවේ යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ එබැවිනි.

බෝ මැඩ අතුගා පිරිසුදු කළ හිමිනමක් එයින් ලද ආස්වාදය තුළින් උතුම් මඟට පිවිසුන ආකාරයත් බෝ මැඩ එක් පහනක් දල්වා එය තිබෙන තුරා භාවනා කළ මෙහෙණියක් රහත් වූ ආකාරයන් සද්ධර්මයේ සඳහන් ය. ඔවුන් ඒ උතුම් මඟ කරා තම සිත යොමු කළේ අද මෙන් සිය දහස් ගණන් මුදල් වැයවෙන පූජා මඟින් නොවේ. තම සිත එළිපෙහෙළි කර ගැනීමෙනි.

සෑරදුන් අබියස බෝ සමිඳුන් අබියස විවිධ පූජාවන් පවත්වමින් ගෞරව දක්වන අවස්ථා අද සුලබව දැකිය හැකිය. එහෙත් ගෞරවය යනු පිළිගැනීම නොවේ. පිළිගැනීම යනු සත්‍යාවබෝධයද නොවේ. පුරන් වූ කෙතකට හිරිපොදක් වැටීමෙන් සෙතක් වේද?

සිදුහත් බෝසතාණෝ සත්‍යාවබෝධය ලැබුවේ තම සිතින් දුක දකිමිනි. දුක හට ගැනීමේ හේතුව දකිමින් දුක නැති කළ යුතු බව අවබෝධ කර ගනිමිනි. දුක නැති කිරීමේ මාර්ගය දකිමිනි. තම සිතින් සත්‍යාවබෝධය කරා පිවිසියා විනා අන් සරණක් උන්වහන්සේ නොපැතීය. ඇසතු සෙවණෙහි වැඩ සිටියා පමණය. අශ්වත්ථි හෙවත් ඇසතු වෘක්‍ෂය බොහෝ කාලයක සිට බ්‍රාහමණයින්ගේ ගෞරවාදරයට ලක් වූ පූජනීය වෘක්‍ෂයකි. සම්බුද්ධ ඥානය ලැබීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ සතියක් පුරා ඇසතු මූලයෙහි සමවත් සුවයෙන් වැඩවසමින් දැක්වූ කෘතගුණ වේදී පූජාව , පසුකාලීන බෞද්ධ ලෝවැසියාට මහත් ආදර්ශයක් වූවා මෙන්ම ඇසතු වෘක්‍ෂය පූජනීය බෝධිය බවට ද පත්විය. තමන් සෙවණට එන අය ඉල්ලන ඉල්ලීම් ඉටු කිරීමට හෝ ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට බෝධියට හැකිවේද? වන්දනාව හෝ පූජාව මඟින් සිත සැහැල්ලු කරගත හැකිනම් තමන් තුළින්ම විසඳුම පහළ වනු නිසැකය.

විස්මිත දෑසින් ධර්මය දකින්නා තොරණේ නිවෙන පත්තුවෙන දුවන කැරකෙන ආලෝකය පමණක් දකින්නා වැනිය. සිතුවම් මගින් කියවෙන දහම් පණිවුඩය ඔහුට නොදැනේ.

පසු කල දඹදිව බුදු දහම පුනර්ජීවනය කිරීමේ මහා සංග්‍රාමය ඇරඹූ අනගාරික ධර්මපාලතුමා ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටි භූමිය සොයා පස් හාරා මුල් පාදා නැවත අංකුර හට ගැන්වූ ආකාරය එතුමා ගේ ජීවිත කථා ග්‍රන්ථයක සඳහන් වෙයි. බුද්ධියෙන් විමසා බලනවිට භාග්‍යවතුන් වහන්සේ වදාළ සත්‍ය ධර්මය මේ හැම සිදුවීමකින්ම ඉස්මතු වී පෙනේ. අනිත්‍ය බව දුක් සහගත බව අනාත්ම බව, ලෝකයාට වටහා දුන් බුදුපියාණෝ අවිඳු අඳුරේ ගිලුන සත්වයා සත්‍යාවබෝධය කරා යොමු කළ සේක. එහෙත් අද සිදුවී ඇත්තේ උතුම් භාග්‍යවතුන් වහන්සේගේ නාමය සිතූ පැතූ® සම්පත් ලබාදෙන දේව ප්‍රතිරූපයක් බවට පත් කරමින් ප්‍රඥාව කරා යොමු කළ යුතු සැදැහැවත් සිත් සතන් බොළඳ වාණිජ උපක්‍රමයන්ට ගොදුරු කර ගනිමින්, බුදු දහමේ අධ්‍යාත්මය වසා දැමීමයි.

අද බෝධියට පැවරී ඇති වගකීම් ප්‍රමාණය අසීමිතය. මඟ දෙබස බෝධීන් අසල පින්කැට තබා ඇත්තේ මග යන්නන්ට තම ආරක්ෂාව සලසා දෙන බෝධියට මුදල් පූජා කිරීම සඳහායි. මහ මඟදී වාහන අනතුරු සිදුවන්නේ බෝධියේ පින්කැටයට මුදල් නොදමා ගිය නිසා යැයි කට කථා මගින් තහවුරු කර ඇත. දරුවෙක් කුස පිළිසිඳීමේ සිට මරණය දක්වාම, ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම බෝධියට බාරදී ඇති අතර ඒ වෙනුවෙන් විවිධ පුද පූජාවන් බාරහාරවීම් හා ඉෂ්ට ශිද්ධ කිරීම් සිදු කරනු ලැබේ.

භාරත මාතාවගෙන් ලංකා මාතාව ලද උතුම් දායාදයක් වූද, ශ්‍රේෂ්ඨ භාරත දියණියකවූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් වැඩම කළා වූද ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ ලක්මව පැළදි මිණි කිරුළක් සේ අදත් වැඩ සිටිති.

පින්වත් ජය ශ්‍රී මහා බෝ සමිඳුනි... ඔබ වහන්සේ වාතය හා ජලය උරා ගන්නවාසේම බුදුපියාණන්ට සම්බුදු ඥානය පහළ වූ රාත්‍රිය පුරා සද්ධර්ම ආලෝකයද ඔබ වහන්සේ තුළ තැන්පත්වන්නට ඇත.පුරා සතියක් ඔබ සෙවණේ සම්බුදු පියාණන් සමහන් සුවයෙන් වැඩ සිටි අවස්ථාවේ ඒ උතුම් සුවය ඔබ වහන්සේද විඳින්නට ඇත.

ඔබ වහන්සේ තුළ රැඳුන ධර්ම ආකර්ෂණ ශක්තීන් දිවයින පුරා විහිදුවා, ලක් පොළොවෙන් සෝදා පාලුවට ගිය දැහැමි බව යළිත් හිමි කරදිය හැකිදැයි බලන්න: විනයෙන් තොර සදාචාරයෙන් තොර මානවදයාවෙන් තොර මෙරට වැසියන් යළිත් මිනිසුන් බවට පත් කළ හැකිදැයි බලන්න. දහම් සුවය හඳුනන්නෝ සුවපත් වෙත්වා බෝ මළුවෙන් සෑ මළුවෙන් දහම් ශාලාවෙන්, ආවාස ගෙයිත් බුදු ගුණ විනා අන්හඬක් නොනැසේවා අන්න එදාට, බෝධි මූලයේදී කෙලෙස් මාරයන් පරදවා , දෙවියන්ගේ පී‍්‍රති ඝෝෂා හඬ මැද බුදුන් වහන්සේ ලැබූ ජය , කාටත් වැටහෙනවා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.