Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආනන්දයේ සිට ප්‍රඥාව කරා යන කලාවක් අද නැහැ

බුද්ධකාලීන සමාජයේ තරුණයින් අතර බුදුදහම වේගයෙන් ජනපි‍්‍රය වී ගොස් තරුණයින්ගේම දහමක් වුණා. නමුත් වර්තමාන සමාජය තුළ එවැනි ප්‍රවණතාවක් දකින්න නොලැබෙන්නේ ඇයි?

බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච සමාජයේ වෙනස්කම් කිහිපයක් තිබුණා. ඒ සමාජයේ අධිපතිත්වය දරා සිටි බමුණන් තමන්ගේ දර්ශනයෙන් ජීවිතය කොටු කරලා තිබුණු අවස්ථා හතරකට, බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ සහ සන්‍යාසී කියලා.

මේ කොටු කිරීම තවත් තැනක කුල හතරක් විදිහට තිබුණා. එතකොට මේ කොටු කිරීමට එරෙහිව යම් කණ්ඩායමක් වන වැදුනා. කාමසුඛල්ලිකානු යෝගය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් පහ පිනවීමේ දර්ශනය කියලා බමුණන් කිව්වා. එතකොට ෂඩ් ශාස්තෘවරුන්ගෙන් බොහෝ දෙනෙක් කිව්වෙත් එයයි. එතකොට එයට එරෙහිව දාර්ශනිකව ගහපු කැරැල්ලක් තමයි මේ ශ්‍රමණ සම්ප්‍රදාය කියන එක බිහිවීම. එතකොට ශ්‍රමණ සම්ප්‍රදායේ ඉහළම ගුරුවරයා විදිහට තමයි අපි ගෞතම බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නේ.

එතුමන්ට පළමුවෙන්ම හම්බවෙන කණ්ඩායමේ, සියල්ලෝ තරුණයන් නොවෙයි. එක් කෙනෙක් වයෝවෘද්ධ කෙනෙක්. ඒ කොණ්ඩඤ්ඤ තවුසා, අනිත් අය යම් දුරකට තරුණයෝ සමකාලීන විමුක්තිය හොයපු අය.

ඊට පස්සේ භද්ද වග්ගිය කුමාරවරුන් හම්බවෙනවා. සැරියුත් දෙනම ඇතුළු විශාල තරුණ පිරිසක් හම්බවෙනවා. එතකොට එය තරුණයින්ගේ ප්‍රවණතාවක්. බමුණු මහල්ලන්ගේ සමාජ ආධිපත්‍යයට එරෙහිව තමයි මේ නැවුම් දර්ශනය ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ.

තරුණයින්ගේ පැමිණීම එදාට වඩා අඩු වෙන්නේ මොකද කියලා බැලූවිට අපට පෙනෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ දාර්ශනික සමාජ ප්‍රශ්න සමඟ තමයි ඒ තරුණ පිබිදීම ඇතිවුණේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සමඟ එකතු වූ බොහොමයක් අය ජීවිතය විඳලා තිබුණා. නමුත් පෙරදිග ලෝකයේ දුප්පත් රටක් වෙච්ච අප අද ඇමරිකාව දිහා බලාගෙන ජීවිතයේ හීනමානයක් ඇති කර ගනිමින් ඉන්නවා. තවම සිහින තියෙන්නේ. සියලු දෙනා ඒ සිහින පස්සේ දුවමින් ඉන්නවා. එතකොට සිහින සම්පූර්ණ වෙච්ච ඇමරිකාවේ තරුණයෙක් අද බුදුදහම සොයා ගෙන එනවා. තවම සිහින වල සිරවී සිටින ලංකාවේ තරුණ පරපුර දිනා ගන්නා එක අපට ලෙහෙසි නෑ. කොළඹ තරුණයෝ එයි. ඒත් ගමේ තරුණයා එන්නෙ නෑ. ගමේ තරුණයාට තියෙනවා වෙනම ආර්ථික ප්‍රශ්නයක්. සමාජ ප්‍රශ්නයක්. කොළඹ තරුණයන් පන්සල් එනවා. ගමේ තරුණයා පන්සල් එන්නේ නෑ. එතකොට අපි ඒක තේරුම් ගන්න ඕනැ. මෙතන සමාජ ආර්ථික ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ සමාජ ආර්ථික ක්‍රියාවලියට මැදිහත් වෙච්ච මාධ්‍ය සම්ප්‍රදායන් ටිකක් තියෙනවා. මේවත් එක්ක රළ වේග තියෙනවා. ඒ රළ වේග ඔස්සේ තමයි තරුණ පරපුරේ දිශාව තීරණය කළේ. අපි රැල්ලක් හැදුවොත් ඒ රළ වේගය එක්කත් දහස් ගාණක් එයි. සෝම හාමුදුරුවන් ඒක කළා.

තරුණ වයසේදීම බුදුදහම කරා පැමිණීමෙන් හා එයින් ධර්මානුකූල ජීවිතයක් ගොඩනඟා ගැනීමෙන් ලෞකික ජීවිතය අසාර්ථක වෙයි කියලා බොහෝ දෙනකු තුළ බියක් පවතිනවා. මෙහි යම් සත්‍යතාවක් පවතිනවාද?

භික්‍ෂූන් වහන්සේලා විදිහට තරුණ පිරිසට අප යෝජනා කළ යුතු නෑ සියලු පිරිස මහණ විය යුතුයි කියලා. සියලු දෙනා ගිහි සැප සම්පත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. බෞද්ධ ගිහියාගේ ගිහි සුඛ එකක්. පැවිද්දාගේ පැවිදි සුඛ කියන එක තවත් එකක්. සියලුම තරුණයින්ට අප ආමන්ත්‍රණය කරන්නේ නෑ ඇවිල්ලා පැවිදි විදිහට ජීවත් වෙන්න කියලා. අපි යෝජනා කරන්නේ ගිහි බෞද්ධ තරුණයා බෞද්ධකම රැකගෙන තාරුණ්‍ය ගොඩනඟා ගෙන ජීවත් වෙන්න කියලා. එතනදී අපි කියන්නේ සියලුම තරුණයන්ට බ්‍රහ්මචාරී වෙන්න කියලා නොවෙයි. බ්‍රහ්මචරියාව රකින්න පුළුවන් යම් ප‍්‍රතිශතයකට විතරයි. අනෙක් සියලුම තරුණ පිරිස කාම මිථ්‍යාචාරීව ජීවත් වීම විතරයි බුදු දහම එපා කියන්නේ. කාමය එපා කියන්නේ නෑ. කාමේසු විනෙයියගේදං කාමය විනයක්. එයට ආචාර ධර්මයක් ඇති කර ගන්න කියලා විතරයි ගිහියාට බුදුරජාණන් වහන්සේ කියන්නේ.

එතකොට ගිහි තරුණයන් බය වෙන්න ඕනේ නෑ බුදුදහමත් එක්ක වැඩ කරන්න. මොකද බුදු දහම තමයි නවීනත්වයට ඉඩ දෙන්නේ. වෙනස් වීමට ඉඩ දෙන්නේ. අනික් හැම ආගමක්ම මිනිසාගේ ජීවිතය එක එක රාමු වලට කොටු කරනවා. බුදු දහම එක එක රාමු වලට කවුරුවත් කොටු කරන්නේ නෑ. බුදුදහම තරුණයින්ට වෙනස් වෙන්නට ඉඩ දෙනවා. බුදු දහමේ පදනම අනිත්‍යතාවයි. අනිත්‍යතාව පිළිගන්න දහමක් මේ නූතන නවීන වෙනස්වීම පිළිගන්නවා. හැබැයි ඒ නවීන වෙනස් වීම සමඟ ආචාරධර්ම පද්ධතියක් තියා ගන්න කියලා බුදු දහම යෝජනා කරනවා. කොච්චර වෙනස් වන සමාජයක වූවත් පංචශීල ප්‍රතිපදාව තාර්කිකයිනේ. කොච්චර වෙනස්වෙන සමාජයක වුවත් අනිත්‍ය, දුක්ඛ, අනාත්මතාව තේරුම් ගෙන ඉන්න එක. හරි වටිනවනේ. ඒ නිසා තරුණ පරපුරට පදනම තියෙන්නේ බුදු දහමේ විතරයි.

අද සමාජයේ ධර්මයේ හැසිරෙන, විශේෂයෙන් භාවනා කටයුතු වල නිරත වන ඇතැම් තරුණ පිරිස් දෙස වැරැදි දෘෂ්ටි කෝණයකින් බලනවා යැයි සිතමින් යම් අසහනයකින් පසුවෙනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ සිතන්නේ කුමක්ද?

භාවනා කරන තරුණයන් තේරුම් ගත යුතු යමක් තියෙනවා. තමන් භාවනා කරන බව රඟපාන්න යාමෙන් වළකින්න ඕනෑ. ඇතැම් භාවනා කරන අයට තිබෙන මානසික ලෙඩක් තමයි සම්පූර්ණයෙන්ම රඟ පාන්න යන එක. අතිශයින්ම කැපී පෙනෙන්නට යනවා. ඒකට මම කියන්නේ මාන්නය කියලා. ඒක භාවනාමය දියුණුව නොවෙයි. අර බොරුවට භාවනා කරනවා වාගේ පෙන්නීමක් ගොඩනඟා ගන්න එකක්.

භාවනාව කියන එකෙන් මනුස්සයෙක් හොඳට හික්මෙනවා. අනිත් එක මිනිස්සු එයා දිහා අවඥාවෙන් බැලුවත් එයා කලබල වෙන්නෝ නෑ. මොකද එයා භාවනා කරන කෙනෙක්. එතකොට සමාජය භාවනා කරන තරුණයා දෙස බලන්නේ වපර ඇසින් නම්, ඔහුගේ පෙ‍්‍ර්මය කඩාගෙන වැටිලා, ඔහු තුළ මොකක් හරි අසාර්ථකත්වයක් තියෙනවා. කියලා හිතන එක, තැන තැන කියවන එක සමාජයේ තියෙන දුර්වලතාවක් මිසක් භාවනා කළ යුතු පුද්ගලයා කලබලයට පත්විය යුතු එකක් නොවෙයි.

මගේ අදහස භාවනාව කියන එක වැඩිහිටියත්, තරුණයත්, භික්‍ෂුවත් සියලු දෙනා පුහුණු විය යුතු දෙයක්. මොකද එයින් තමයි ජීවිතයේ සියල්ල පිළිවෙල කරගන්න පුළුවන් වෙන්නේ. හැම දෙයක්ම දරා ගැනීමේ ශක්තිය එන්නේ. ඒ නිසා භාවනා කිරීමට බිය විය යුතු නෑ. ඒ වගේම භාවනා කරනවා කිය කියා එය ප්‍රදර්ශනය කර කර යා යුතුත් නෑ.

තරුණ පරපුර ගොදුරු කර ගැනීමට විෂම වූ සමාජය අද නිරතුරුවම බලා සිටිනවා. ඔවුන් එළන දැලට හසු වූවා යැයි දන්නේ නෑ. සැබවින්ම මෙයින් බේරීමට අනුගමනය කළ යුත්තේ කුමක්ද?

යොවුන් වියේ හා නව යොවුන් වියේ ඉන්න සියලු දෙනා ලිංගිකත්වයට බරයිනේ. ඒක ස්වභාවිකයි. එතකොට වෙළෙඳ පොළෙන් ආමන්ත්‍රණය කරන්නෙම තරුණයින්ගේ ලිංගිකත්වයට, ආකර්ෂණය කරන්නේ එයයි. ඒ විදිහට තමයි වෙළෙඳ දැන්වීම් හදන්නේ. එතනට තමයි ටෙලිනාට්‍ය හා ගීත හදන්නේ. තවදුරටත් මේ සමාජයේ අපි බලාපොරොත්තු වෙන එකේ තේරුමක් නෑ ආනන්දයේ සිට ප්‍රඥාව කරා ගෙනියන කලාවක් මේ රටේ තියෙනවා කියලා. මේ රටේ තියෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවීම, ඒක තමයි. වෙළෙඳ පොළ ආර්ථිකයේ කලාවන්ගේ ස්වභාවය. එතකොට අපේ තරුණ ළමයි සම්මා සතියෙන් ඉන්න ඕනෑ. මේ කාලයේ ඒ ඇයි. සම්මා සතියෙන් ඉන්න ඕනෑ කියලා කියන්නේ සමහර වෙලාවට තරුණ ළමයකුගේ ජීවිතය විනාශ කරන යක්‍ෂයෙක් සමීප වෙන්න පුළුවන්. ඉතාම අපූරුවට ලස්සනට ඔය ක්‍රීම් වර්ග, ජෙල් වර්ග ගාලා හරි ලස්සනට හැඩවෙලා. යක්‍ෂයා දැන් එන්නේ බොහෝම ආකර්ෂණීය විදිහට. යක්‍ෂයා, යකා විදිහට ආපු කාලය ඉවරයි. ඉස්සර නම් යකා එන කොට අපට පෙනෙනවා මෙන්න දළ ඇදිලා, දිව එළියට දාගෙන යකා තමයි මේ එන්නේ කියලා. දැන් යකා එන්නේ බොහෝම ලස්සනට ඇඳුම් ඇඳලා, ලස්සන ඉදිරිපත් කිරීමක්, ඉතාම හොඳ ප්‍රතිරූපයක් ඉතාම හොඳ පෞරුෂත්වයක් සහිතව තමයි යකා අද එන්නේ. මේක අපේ ජාතක පොතෙත් බොහෝම අපූරුවට නිරූපණය කරලා තිබෙනවා. අපණ්ණක කියන ජාතක කථාවේ සඳහන්වන ආකාරයට කාන්තාරයේ යන වෙළඳ නායකයා ඉදිරියට එනවා නිල් මානෙල් මල් කරේ දාගෙන දිය නාගෙන තෙත පිටින්ම ඉතා ම ලස්සන පිරිසක්. හැබැයි මේ එන්නේ යක්ෂයින්. මේ වෙළෙඳුන් රවට්ට ගෙන තමන්ගේ ගොදුරක් කර ගන්න තමයි මේ පිරිස එන්නේ.

අද ඇතැම් ශිෂ්‍යයින් අසභ්‍ය චිත්‍රපටි හා කාමපත් පොත් පරිහරණය කරනවා. එසේම විවිධාකාර මත්ද්‍රව්‍ය ගැනීමට පවා පෙළඹෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ භූමිකාව සකස් විය යුත්තේ කුමන ආකාරයකටද?

පළමුවෙන්ම දෙමව්පියන් තමන්ට හසුරුවන්නට තේරෙන්නේ නැති වීසීඩී යන්ත්‍ර හා ජංගම දුරකථන ළමයින්ට ගෙනත් දෙන එකෙන් වළකින්න ඕනෑ. මොකද ළමයින්ට පුළුවන් බොහෝම ලස්සනට අම්මලා එනකොට චැනල් මාරු කරන්න. මොකද ළමයි තාක්‍ෂණය දන්නවා. අම්මලා තාක්‍ෂණය දන්නෑ. අම්මලා දන්නේ මුදල් දීලා මේ භාණ්ඩ ගෙදරට ගේන්න විතරයි. අම්මලා එහා කාමරයේ මහගෙදර බලද්දීම ළමයා අනිත් කාමරයේ පරිගණකයේ මහ වැඩක් වාගේ අසභ්‍ය නිල් චිත්‍රපටි බලනවා. අම්මලා එතනට එන කොට පරිගණකය වෙනත් තැනකට යොමු කරන්න ළමයා හොඳට දන්නවා.

ඉතින් දෙමව්පියන්ට කියන්න තියෙන්නේ තමන් දන්නේ නැති යන්ත්‍ර සූත්‍ර ළමයින්ට ළන් කරන්න එපා කියලා. එතකොට ඒ අය මගෙන් අහයි පරිගණකයක් ගෙනත් නොදී කොහොමද ළමයට උගන්වන්නේ කියලා. පරිගණකයක් ගෙනත් දෙන්න. ඒත් පරිගණකය කාමරේ අස්සේ තියනවා වෙනුවට පරිගණකය අම්මටත් හොඳට පේන තැනක තියන්න. ඒක තමයි කළ යුත්තේ වීසීඩී, ඩීවීඩී යන්ත්‍ර ගෙවල් වලින් අයින් කරන්න. වෙන උත්තරයක් නෑ.

මේ තත්ත්වයෙන් ළමයා මුදවා ගැනීමට නම් ළමයින් විභාගයට පෙනීසිටීමට ඉගැන්වීම වෙනුවට මම ළමයෙක් හදනවා කියන මානසිකත්වයෙන් ගුරුවරයා ඒ රාජකාරිය කරන්න ඕනෑ. ළමයෙක් හදනවා කියන්නේ උගන්නලා යවනවා විතරක් නොවෙයි. එතකොට එයාගේ සපත්තුව දැමීම, මේස් එක දැමීම, කොණ්ඩේ පීරීම ඉඳලා එයාගේ පොත් බෑගය ඇතුළේ තියෙන්නේ මොනවද කියලා පරීක්‍ෂා කිරීම දක්වා සියල්ල ඇතුළත් වෙනවා. ගුරුවරයා හදන්නේ ළමයාගේ හදවත හා මොළය හා අතපයත්. ඒ කියන්නේ දැනුමෙන් මොළය, හොඳ ආකල්ප වලින් හදවත, කුශලතා වලින් අතපය කියන මේ අංශ තුනම ගොඩනඟන කෙනකු ලෙස ගුරුවරයා කටයුතු කරන්න ඕනෑ. එතකොට ඕවායින් ළමයව බේරගන්න එක එච්චර අමාරු නෑ.

තරුණයකු හා තරුණියකු අතර ඇතිවන පෙ‍්‍ර්මය තාරුණ්‍යයට එතරම් වරදක් නොවේ. නමුත් ඇතැම් ආදර කතා මල් කිනිත්තෙන් ආරම්භ වී කිනිසි පහරින් අවසන් වෙන අවස්ථාත් නැතුවාම නොවේ. ස්වාමීන් වහන්ස මේ තත්ත්වයදී ඔබ වහන්සේ සැබෑ පෙ‍්‍ර්මය ලෙස දකින්නේ කුමක්ද?

බුදුදහමට අනුව පෙ‍්‍ර්මය, පෙ‍්‍ර්මතෝ ජායතී ශෝකෝ නේ. ඒකනේ කතන්දරේ. ඊට එහා විග්‍රහයක් මුකුත් නෑ. නමුත් දැන් ළමයි පෙ‍්‍ර්ම සබඳතා ගොඩ නඟා ගන්නවා. ඒ ගොඩනඟා ගන්නේම මේක කවදාක්වත් වෙනස් වෙන්නේ නෑ කියලා හිතාගෙන. වෙනස් වුනොත් මම මැරෙනවා කියලා හිතා ගෙන, මේක වැරදියිනේ. බෞද්ධ තරුණයෙක්, තරුණියක් එවැනි සම්බන්ධතාවක් ගොඩනඟා ගනිද්දී දැන ගන්න ඕනෑ ලෝකයේ සියල්ල අනිත්‍යයි කියලා. අනිත්‍යතාව ගැන දන්න කෙනා අර ගොඩනඟා ගන්න සම්බන්ධතාව ගොඩනඟා ගන්නවා. හැබැයි වෙනස් වුනොත් කනේරු ඇට කන්නේ නෑ. මොකද එය ගොඩනඟා ගන්නෙම වෙනස් වන බව දැනගෙන නිසා.

පෙ‍්‍ර්ම සම්බන්ධතාවක් සඳහා ළමයෙක් අඩුම වශයෙන් අවු. 18 – 20 ක් වෙනකල් නොයා යුතුයි. මොකද එතනට ගියොත් වෙන අනතුර තමයි අවු. 18 – 20 කට කලින් ආරම්භ වෙන පෙ‍්‍ර්මය අතිශය හැඟීම් මත ඇති වෙන එකක්. එකිනෙකාට තියෙන ආකර්ෂණය මත ඇති වෙන එකක් මිසක එය අවබෝධයෙන් ඇතිවෙන එකක් නොවෙයි. අවු. 16, 17 දී පෙ‍්‍ර්මසම්බන්ධතා ඇති කරගන්න ගියොත් අංක එක මේ හැඟීම් වලට යටපත් වෙලා අධ්‍යාපනය බිඳ වැටෙන්න පුළුවන්.

ළමයෙක් ඉගෙන ගන්න කාලයේ දී බ්‍රහ්මචාරී වෙන්න ඕනෑ. දැන් බ්‍රහ්මචාරී කම අඳුර ගන්න උදාහරණ නෑනේ.

ඒ නිසා හාමුදුරු කෙනෙක් වාගේ වෙන්න ඕනෑ. සිල් රකින්න ඕනෑ. සිල් රකිනවා කියන්නේ එවැනි අංශ කරා යොමු නොවිය යුතු යි. මූලික අධ්‍යාපනය හමාර කළාට පස්සේ එවැනි අංශයක් ගැන හිතන්න ඕනෑ. ඒකේ වරදක් නෑ. හැබැයි ළමයි තේරුම් ගන්න ඕනෑ දේ තමයි තමන්ට ගැළපෙන කෙනා හරියටම හඳුනාගෙන එයා සමඟ ජීවිතය පටන්ගන්න. ඇඳුම් මාරු කරනවා වගේ ගැහුනු ළමයි පිරිමි ළමයි මාරු කරන එකයි පිරිමි ළමයි ගැහුනු ළමයින් මාරු කරන එකයි නොකළ යුතුයි. මොකද ඒක බටහිර ක්‍රමය. ඒ පුරුද්ද ඇති කරගත්තොත් විවාහ වෙලත් දහ අවුරුද්දක් එකට ජීවත් වෙලා ඉන්න ලැබෙන්නේ නෑ.

අද සමාජයේ දික්කසාද වීම් වැඩි වීමට එයත් බලපානවා නේද?

පැහැදිලිවම බලපානවා මොකද එක එක්කෙනා එක්ක ජීවත් වෙලා පුරුදු වුනහම, අවුරුද්ද දෙක පෙ‍්‍ර්ම කරලා පුරුදු වුනහම ඒ ලබන වෙනස් වෙනස් අත්දැකීම් විවාහයෙන් පස්සෙත් ලබන්න හිතනවා. එයාව රඳවන්න බෑ. කොටු ගහලා නවත්ත ගන්න බෑ. ඒ නිසා අපි ළමයින්ට කියන්නේ එක සම්බන්ධතාවක් විනයානුකූලව දෙමව්පියන්ගේ අනුදැනුම හා අවබෝධය ඇතිව ඇති කරගන්න කියලා.

අනිත් එක තමන් විවාහ කර ගන්න තමන් එක්ක එකට ජීවත් වෙන්න හිතන ළමය එක්ක ගස් අස්සෙයි, බස් නැවතුම් පොළේයි, රස්තියාදු වෙන්න එපා. මොකද මේ තමන් විවාහ කර ගන්න ඉන්න ළමයනේ. ඉතින් ඒ ළමයට ගෞරවණීය ලෙස කටයුතු කරන්න, දෙමව්පියෝ දැනුවත් කරන්න. තමන්ගේ වයස සම්පූර්ණ නම්, සුදුසුකම් සියල්ල හරිනම් බයවෙන්න ඕනෑ නෑ. දෙමව්පියන්ට කියන්න. බය වෙන්න ඕනෑ එය අවුරුදු 16 දී පටන් ගත්තොත් තමයි. එතකොටයි අම්මලට හොරෙන් ඕවා කරන්න වෙන්නේ. අවු 18 දී මූලික පාසල් අධ්‍යාපනය ඉවර නම් අම්මලට ඕක කියන්න බය වෙන්න ඕනෑ නෑ. කෙළින් කියන්න. ඒකට තරුණයෙකුට කොන්දක් තියෙන්න ඕනෑ. මොකද නැත්තන් ඔය දේවල් හොර රහසේ කරන්න ගිහිල්ලා ඔබ කිව්වා වගේ මල් කිනිති වලින් පටන් අරගෙන පිහි පාරවල් වලින් ඉවරවෙන්න පුළුවන්.

චිත්‍රපටි හා ටෙලිනාට්‍ය වල රඟන නළු නිළියන්, ක්‍රීඩකයින් ගායකයන් මෙන්ම වෙනත් නොයෙක් දෙනා තරුණ පරපුර ඉතා ඉක්මනින් අනුකරණය කිරීමට පෙළඹෙනවා. ඇතැම් අවස්ථාවල ඔවුන් එයින් අනිසි ප්‍රතිඵලත් උදාකර ගන්නවා. මෙම අනුකාරකවාදී ලක්‍ෂණයම අපට යහපත් පැත්තට ගත නොහැකිද?

ඔව් ඇත්තටම අනුකරණය කියන එක ඉතාම වැදගත් දෙයක්. තමන්ගේ ජීවිතයේ කවුරුහරි වීරයෙක් ඉන්න ඕනෑ. ඉතින් වීරයෝ ගේ ඇතුළේ නැති වුනාම තමයි වීරයෝ එළියෙන් හොයා ගන්නේ. තමන්ගේ වීර චරිතය ලෙස මේ ජීවන සටන ජය ගන්න වෙර දරන, සටන් කරන අම්මා තමන්ගේ වීර චරිතය කියලා කෙනකුගේ හිතට ආවොත් එයා අම්මව ආදර්ශයට ගන්නවා.

හැබැයි ගෙදර ඉන්න අම්මා පැය 3 – 4 ක් කට ඇරගෙන ටීවි එක දිහා බලාගෙන ඉන්න. තාත්තා කුණු වෙන්න බීලා ඇවිල්ලා වැටිලා, නිදා ගන්න කෙනෙක් නම්, ඔහු වීරයා වෙන්නේ නෑනේ. ඒ බේබද්දා වීරයෙක් කර ගන්නවට වඩා ළමයා ටෙලිනාට්‍යයක නළුවෙක් හරි ක්‍රීඩකයෙක් හරි හොයනවා. මෙතනදී ජෝන් සීනා කියන රෙස්ලින් ක්‍රීඩකයා ළමයට වීරයෙක් වෙනවා. ස්පයිඩමෑන් වීරයෙක් වෙනවා. හැරීපොටර් වීරයෙක් වෙනවා. ඒ චරිත වීරයන් වෙන්නේ ඇයි? ගේ ඇතුළේ වීරයෝ නැති නිසා.

මම හිතන්නේ දෙමව්පියෝ ඒවට බයවෙලා දඟලනවා වෙනුවට තමන් ආදර්ශයක් වෙන්න ඕනෑ. තමන් ආදර්ශයක් වුණොත් ඒ ළමයා හැරි පොටර් වීරයා කර ගන්න එකක් නෑ. ජෝන් සීනා වගේ රෙස්ලින් කාරයෝ වීරයෝ වෙන එකක් නෑ. තාත්තා හොඳ ආදර්ශමත් වෙනවා නම්,

රටේ අනාගතය වන්නේ තරුණ පරපුරයි. තරුණ පරපුර අතරට බුදු දහමේ වැදගත්කම ඔවුනට ගැළපෙන ආකාරයකින් ගෙන යාම සඳහා ජනමාධ්‍යයේ ලා භික්‍ෂූවගේ කාර්යභාරය කුමක් විය යුතුද?

අංක එක භික්‍ෂූන් වහන්සේ මේ මහපොළව තේරුම් ගන්න ඕනෑ. මේ මිනිස්සු විඳින ආර්ථික, සමාජීය පීඩාවන් තේරුම් ගන්න ඕනෑ. මේ මාධ්‍ය හා ලෝකය ගමන් කරන දිශාව හාමුදුරුවෝ තේරුම් ගන්න ඕනෑ. ඒක තේරුම් අරගෙන හාමුදුරුවෝ බණ කිව්වොත් තරුණ පරපුර නිසි මාර්ගයට ගෙනියන්න පුළුවන්. ඒක තේරුම් නොගෙන අහසේ ඉඳලා බණ කිව්වොත් මොකද වෙන්නේ, තරුණයන්ට වෛර කරලා අයින් වෙලා යයි. ඒ වෙනුවට අපි කරන්න ඕනෑ පවතින තත්ත්වය හරියට තේරුම් අරගෙන, පවතින තත්ත්වයට ගැළපෙන ආකාරයට බුදු දහම විග්‍රහ කරන එකයි. එතකොට තරුණයෝ ඉබේම හරිතැනට එයි.

නමුත් මාධ්‍යයට බුදුදහම කියන්නේ තවත් විකිණුම් භාණ්ඩයක් මිසක නිවන් මාර්ගයක් නොවෙයි. ඒ අය ගැන කථා කරලා වැඩක් නෑ. ඒ අය අපව පාවිච්චි කරනවා.

තවත් අයව පාවිච්චි කරයි. කාලේකදී පැෂන් තවත් කාලයකදී අවුට් ඔෆ් පැෂන්නේ. ඉතින් ඊට එහා මුකුත් මාධ්‍යට නෑ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.