Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දාන පාරමිතා පුරනා කළුබෝවිටියන පොඩි හාමුදුරුවෝ

තමා සතු දේ සඳහා පමණක් නොව අන් සතු දේ කෙරෙහි ලොල්ව මෝහයෙන් අන්ධ වූ අය අප සමාජයේ කොතෙකුත් සිටිති. එයින් ම සසර දිගු කර ගනිති.

තිදොර සංවර කර ගත් යම් තැනැත්තකු වේ ද ඔහු සැනසුම කරා ළඟා වන බව බුදුන් වදාළ ධර්මයේ සඳහන් වේ. ලෝභ, ද්වේෂ, මෝහයෙන් මිදුන තැනැත්තා දාන පාරමිතා පුරන්නේය. අප මහා බෝසතාණෝ ද එසේ දාන පාරමිතා පිරූ වග බෞද්ධ පොත පතෙහි සඳහන් වේ. දහම්සොඬ හා සස ජාතක එයට කදිම උදාහරණ වෙයි. සියලු ලෞකික සැප අතහැර තවුස් දම් පුරමින් හිස දන් දුන් සිරිසඟබෝ පුරාවෘත්තය ලංකා ඉතිහාසයේ සඳහන් වන තවත් දාන පාරමිතාවකි. එලෙස දාන පාරමිතාවන් පිරූ උතුමෝ වර්තමානයේ ද වෙසෙති. ඒ අතර බුද්ධ පුත්‍රයන් වහන්සේලා ද බොහෝය.

තම ශරීර ඉන්ද්‍රියයන් පරිත්‍යාග කරමින් දාන පාරමිතාවන් පිරීමට සිත් ඇති වන්නේ පින්වත් උතුමන්ටමය. එවැනි සුපින්වතුන් මෙලොව පහළ වන්නේ කලාතුරකින් බව ඉඳුරාම පිළිගත යුතු සත්‍යයකි.

තවත් කෙනකු ජීවත් කරවීම සඳහා තම ශරීරයේ අභ්‍යන්තර අවයව පරිත්‍යාග කරමින් දාන පාරමිතා පුරනා පුද්ගලයන් අද බහුල නැත. එහෙත් එවැනි දුර්ලභ ගණයේ උතුම් හිමිනමක් පසුගිය දා අපට හමු විය. සෞම්‍යවූත්, සෝභමානවූත්, නෙළුව ප්‍රදේශයේ කළුබෝවිටියන දනගිරිගල ආරණ්‍ය සෙනසුන් භූමිය වෙත පියමන් කරන්නෙකුගේ සිතට ගෙන දෙන්නේ අපරිමිත සැනසුමකි. නිහඬ පරිසරය පුරා රැව්දෙන කුරුල්ලන්ගේ ඉමිහිරි නාදය දෙසවනට ආශ්වාදයක් එක් කරයි. එවැනි පරිසරයක දී දාන පරමිතා පුරණ පින්වත් යතිවරයාණන් වහන්සේ නමකගේ පාද ස්පර්ශය ලැබ මේ පුණ්‍ය භූ®මිය පුරා විසිරී ඇති වැලි කැට පයට පෑගෙන්නකුට ඇතිවන්නේ පින්බර හැඟීමකි. මන්ද යත් උන්වහන්සේ ඒ තරමටම සාදු චරිතයක් වන බැවිනි.

මරණයේ සෙවණැල්ලට හසුව සුසුම් හෙළන්නන් හට යළි ජීවිත සුවය විඳ ගැනීම සඳහා තම ශරීරය කැප කළ උන්වහන්සේට ජව සම්පන්න සිරුරක් නොතිබුණ ද සංසාරගත පරිත්‍යාගශීලීත්වය අප්‍රමාණ ශක්තියකින් පෝෂණය වී ඇති සේය.

මෙයට වර්ෂ විසි හතරකට පෙර මෙළොව එළිය දුටු ඒ උත්තම පුරුෂයා වයස දහ නවයක් වූ විට දී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කළුබෝවිටියන ධම්මසිරි නමින් පැවිදි බව ලද්දේය. උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයෙහි සඳහන් වන පරිදි ප්‍රාණය තණ අග පිනි බිඳුවක් බව අවබෝධ කර ගත් නිසාම ගත වූ සෑම නිමේෂයකම කුසල් රැස් කරන්නට සිතූ®හ. දිනක් ධම්මසිරි හිමියන් තම කුටියේ විවේක සුවයෙන් වැඩ සිටිනා මොහොතක එහි පැමිණි ගම්පහ ප්‍රදේශයේ එක්තරා තරුණ කාන්තාවක්, “ අනේ පොඩි හාමුදුරුවනේ මම මරණය පෙනි පෙනී ජීවත්වන කෙනෙක්. මගේ වකුගඩු නරක්වෙලා. වකුගඩුවක් බද්ධ නොකළොත් මාව මැරේවි . . .! මට මැරෙන්න බැහැ අපෙ හාමුදුරුවනේ. . .! මට ජීවත් වෙන්න ඕන . . .!” යනුවෙන් පවසමින් හිමියන්ගේ පාමුල වැටී වැළපෙන්නට වූවාය.

මරණය ආසන්නයේ සිටි ඒ අසරණ කාන්තාවගේ දුක්බර අඳෙීනාව උන්වහන්සේ ගේ සිතේ් ඇති කළේ කම්පාවකි. එනිසාම දෙදහස් පහේ පෙබරවාරි හතරවැනි දින ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ දී තමා සතු එක් වකුගඩුවක් එම කාන්තාව වෙනුවෙන් පරිත්‍යාග කර ඇයට යළි ජීවිතය ලබා දී දාන පාරමිතාව පුරන්නට පටන් ගත්හ.

සියලු සත්වයන් කෙරෙහි කරුණා සිත් යොමු කළ උන්වහන්සේ දෙදහස් හතේ ජුලි මස පස්වැනි දින මිනිස් සිරුරේ වටිනාම ඉන්ද්‍රියයක් වන අක්මාවේ පඨක දන්දීම මරණය හමුවේ සිටි තවත් ජීවිතයක් බේරා ගන්නට තරම් පරිත්‍යාගශීලී වූහ. තමා සතු වකුගඩු දෙකෙන් එක් වකුගඩුවක් පරිත්‍යාග කළ අයකුගේ ඉතිරි වකුගඩුව ඉතා පරෙස්සමින් රැක ගත යුතු වන්නේ, යම් හෙයකින් එම වකුගඩුවට අනතුරක් සිදු වුවහොත් ඔහුගේ ජීවිතයට ද අනතුරක් ඇති නිසාවෙනි.

පිළිකා රෝගයකින් පෙළුණු තවත් අසරණයකු ජීවත් කරවීම සඳහා තම වකුගඩුවේ රුධිර පටක පරිත්‍යාග කිරීමට ධම්මසිරි හිමියෝ ඉදිරිපත්වීම අපට හිතා ගැනීමට අපහසුය. උන්වහන්සේගේ මෛත්‍රියත්, කරුණාවෙන් පිරි සිත සෑම විටම අන් අයගේ දුක්ඛ දෝමනස්සයන් හමුවේ කම්පනය වේ. “දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ” යන්න වටහා ගත් ධම්මසිරි හිමියෝ දුර්ලභ වූ මිනිසත්කමේ උපරිම ඵල නෙලා ගැනීමට නම් කුසලයේම පිහිටිය යුතු යැයි නිතර පවසති.

මිනිසාට ජීවත්වීමට අවශ්‍ය ප්‍රධාන ඉන්ද්‍රියයක් වන පෙනහළු ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ මූලික කාර්ය ඉෂ්ට සිද්ධ කරයි. එහි යම් දුර්වලතාවයක් හට ගනී ද එමගින් ගැටලු රැසකට මුහුණදීමට සිදු වී හදවත නිෂ්ක්‍රීයවීම සිදු වේ. පෙනහළු දුර්වල වී හුස්ම පොද අහිමි වෙමින් ජීවිතයත් මරණයත් අතර සටන් කළ හැටන් ප්‍රදේශයේ පුද්ගලයකු ගැන මේ ධම්මසිරි හිමියන්ට අසන්නට ලැබිණි. ධම්මසිරි හිමියන් නැවත උතුම් දාන පාරමිතා මඟට පිවිසියහ. දෙදහස් හතේ සප්තැම්බර් මස දහ හතරවැනි දින තමන් වහන්සේගේ පෙනහළු රුධිර පටක මේ අසරණ මිනිසා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට උන්වහන්සේ කටයුතු කළහ. ඉන්දියාවේ චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ දී සිදු කළ මේ සියලු සැත්කම් සඳහා අවශ්‍ය මූල්‍ය වියදම් දරමින් රජයේ උසස් නිලධාරීන් තිදෙනකු (නම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළහ) මේ සත් ක්‍රියාවට දායක වී ඇත. මේ ස¼ඳහා උන්වහන්සේට සහයෝගය ලබා දුන් තවත් බොහෝ අය සිටිති.

“මහත්තයෝ . . . මේ සෑම කටයුත්තකදීම ළඟින් ඉඳගෙන මගේ ම සොහොයුරියක් වගේ කටයුතු කළ යටිනුවර අනුෂා නැගණිය පින්දීමෙන් සිහිපත් කරන්ට ඕන. මොකද, ඒ ඇත්ති තමයි මේ සියලු පරිත්‍යාග කරන්ට මට අවස්ථාව උදාකර දුන්නෙ.”

අනුෂා වෘත්තියෙන් හෙද නිලධාරිනියකි. සියලු සම්බන්ධීකරණ කටයුතු ඇය විසින් ඉටු කරමින් උන්වහන්සේට උපරිම සහයෝගය ලබා දුන්න ද දෙදහස් හතේ සැප්තැම්බර් මස විසිහතර වැනි දින දසසිල් මාතාවක වූ ඇය මේ මොහොත වන විට සසර සයුරෙන් එතෙරවීමට කුසල් රැස් කරන්නීය.

දෙහිවල කළුබෝවිල ඇන්ඩර්සන් මාවතේ සහ කළුබෝවිල ප්‍රදේශයේ සැදැහැවත් පවුල් දෙකක් තමන් වහන්සේට දැක්වූ සහයෝගය ද උන්වහන්සේ පින් දීමෙන් සිහිපත් කළහ.

ලෞකික ජීවිතයට ලොල්ව තම ශරීර ඉන්ද්‍රියයන් මිල මුදලට තක්සේරු කිරීමට හුරු වී සිටින්නන් අප සමාජයේ කොතෙකුත් ඇත. එවන් විෂම සමාජයක දාන පාරමිතාවන් පිරීමේ අදිටනින් සියලු දේ පරිත්‍යාග කරන ධම්මසිරි හිමියන් වැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ හිඳීමත් වාසනාවකි.

මේ මහා පරිත්‍යාගයන්ගෙන් සෑහීමකට පත් නොවී ධම්මසිරි හිමියෝ තව නොබෝ දිනකින් තම ශරීරයේ ඇට මිදුළු පවා දන්දීමට බලාපොරොත්තුවෙන් සිටිති.

උන්වහන්සේට මේ පුණ්‍යකර්මයට කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනයට ඉදිරිපත්ව සිටියි.

මෙතෙක් තමාගේ සිරුරේ කොටස් පරිත්‍යාග කළ ද ඒ උතුම් දාන පාරමිතාවේ පිවිතුරු බලයෙන් තම සිරුරට කිසිදු අපහසුතාවයක් නොදැනෙන බවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක තමන් වහන්සේ සිටින බවත් ධම්මසිරි හිමි ප්‍රකාශ කරන්නේ ඉතා සැහැල්ලුවෙන් හා අධිෂ්ඨානශීලී සිතෙනි.

මේ සියලු පරිත්‍යාගයන් කිරීමේ දී තමාට උපස්ථාන කරමින් උපකාර කළ සැවොම මේ මහා පුණ්‍යකර්මයේ කොටස්කරුවන් වන බව උන්වහන්සේ සිහිපත් කළහ.

ඒ පොසිටිව් (ඒ+) ලේ වර්ගය හිමි ධම්මසිරි හිමියන්, අක්මා පඨක අවශ්‍ය වී ඇති ඕනෑම රෝගියකුට ඉදිරියේදීත් පරිත්‍යාග කිරීමට කැමති බව පවසන්නේ ඉතා සැහැල්ලුවෙනි.

ධන බල තණ්හාවෙන්, වස්තු තණ්හාවෙන් ආශාවන් පොදි බඳිමින් සසර දුක් මඟ තව තවත් දිගුකර ගන්නට වෙර දරණ මිනිසුන් අතර ධම්මසිරි හිමියෝ මේ දුක් පිරි සසරේ අපට කලාතුරකින් හමුවන උත්තම චරිතයකි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.