Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පින්කම කෙළවර පැතුම කෙසේ විය යුතු ද?

යම් කිසි පිනක් සිදු කළ පසු ඒ පුණ්‍යානුභාවයෙන් තමන් අපේක්‍ෂා කරන යම් වැදගත් අරමුණක් ඉටු වේවා කියා පැතීම, අතීතයේ සිට බොදුනුවන් වෙත පැවැත එන සිරිතකි. එහෙත් බුදු දහමට අනුව, යහපත් චේතනාවක් මුල් කරගත් පුණ්‍ය ක්‍රියාවකින් පසුව එහිඵල වශයෙන් අප පැතිය යුතු වන්නේ කෙබඳු දෙයක්ද? යන්න පැහැදිලි කරගැනීම, වැදගත් ය. සම්මා සම්බුද්ධත්වයට පත් උතුමකු විසින් දේශනා කරන ලද දහම ලොව පැවැතීම සමඟ මිනිස් භවයක සම්මුඛ වීම අති දුර්ලභ සිද්ධියක් බවයි, බුදුරදුන් විසින්ම දේශනා කර ඇත්තේ. එබැවින්, ‘දෙව් මිනිස් සැප කෙළවර’ වෙනත් බුදු සසුනකදී නිවන් ලැබීමට පැතීම ගැන නම් දහමට අනුව කිසිසේත් එකඟ විය නොහැකි බව පෙනෙයි. වෙද මහතා විසින් නිර්දේශ කරන ලද බෙහෙත විද්‍යාමානව තිබියදී, අනාගතයේ දී පහළ වේ යැයි සිතන තවත් වෙද මහතකු හමුවීමට පැතීමට යටින් සැඟවී ඇත්තේ, කම්සැප විඳීමේ ආශාව හෝ සසර තතු තේරුම් නොගැනීම හෝ ඒ දෙකම හෝ විය යුතු ය.එබැවින්, බුදුවදනින් වැටහෙන ලෝක යථාර්ථයට අනුව, කෙබඳු පිනක් සිදු කළ ද බුද්ධිමතා විසින් එය අවසන පැතිය යුතු සැබෑම පැතුම විය යත්තේ, පහත දැක්වෙන පැතුම යැයි සිතමි. වරදක් ඇත්නම්, ධර්මධරයෝඅදහස් දක්වත්වා! එය, කොටස් වශයෙන් මෙසේ දක්වතොත් පැහැදිලිවේ යැයි සිතමි.

1. මා විසින් කරන ලද මේ පින්කමේ ආනිශංස වශයෙන් මා හට, මේ මොහොතේ සිට නිවැරැදි බුදු වදන පැහැදිලි ලෙස ම වැඩි වැඩියෙන් අසන්නට ලැබේවා!.

2. ඒ පුණ්‍යානුභාවය කරණකොටගෙන, මේ මොහොතේ සිට එසේ අසන්නට ලැබෙන බුදු වදන්වල නිසි අරුත්, මා හට ප්‍රත්‍යක්‍ෂ වේවා!

3. එසේම, මෙහි පින් ඵල වශයෙන්, මා හට මේ මොහොතේ සිට ඉදිරි සංසාර ගමනේ දී දහමේ මඟට නැඹූරු වූ යහපත් ගුණ පිළිවෙත් ඇති, බුද්ධිමත්, බුදු දහම වටහාගත්, ආදර්ශවත් ඤාතීන් ම, මිතුරන්ම, එවැනි හිතවතුන් ම, අසල්වැසියන්ම ඇසුරු කිරීමට ලැබේවා!

4. මේ පින්කමෙහි ඵල වශයෙන් මෙතැන් පටන් මා හට, දහම් අවබෝධයට හා ප්‍රතිපත්ති පුරණයට අවශ්‍ය සියලු ප්‍රත්‍ය හා ඒ සඳහා යෝග්‍ය පරිසර සාධක, අඩුවක් නැතිව ලැබේවා!

5. මේ පින හේතුවෙන්, මෙතැන් පටන් මා හට දහම් අවබෝධයට හා නිවන් සැපත සාක්ෂාත් කිරීමට අවශ්‍ය සියලු පෙළඹවීම් ලැබේවා! ඒ සඳහා මා පොළඹවන සුළු දැනුම හා අත්දැකීම් නිරතුරු මා වෙත ලැබේවා! ඒ අනුව ඉක්මණින් නිවන් සැපත සාක්ෂාත් කිරීමට, මට හැකිවේවා!.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.