Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමා කලාව

බෞද්ධ කලා නිර්මාණ අතර අග්‍රගණ්‍ය නිර්මාණය බුද්ධ ප්‍රතිමාව යැයි කිවහොත් එය අතාර්කික කියමනකැයි අපට නිසැකවම පැවසිය හැකිය. එසේ වනුයේ තථාගත බුදු පියාණන් වහන්සේගේ අනුපමේය , රූපකාය , අසීමිත ගුණ සමුදාය කිසියම් මාධ්‍යයක් ඇසුරින් මූර්තිමත් කිරීමේ අසීරුතාව නිසාවෙනි. මේ අභියෝගය ජයගැනීම පිණිස මූර්ති ශිල්පියා භාවිතා කළ විවිධ ක්‍රම ශිල්ප පිළිබඳ කෙටියෙන් විමසීම මේ ලිපියේ අරමුණයි.

බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය පිණිස මූර්ති ශිල්පියාට කිසියම් මාධ්‍යයක් තෝරාගැනීමට සිදුවේ. ඒ සඳහා යොදාගන්නා මාධ්‍යයන් අතර

පාෂාණ , මැටි,දැව, හුණු සහ ගඩොල්, ලෝහ, මැණික්, වීදුරු, කිරිගරුඬ , ප්ලාස්ටර් ඔෆ් පැරිස් , ෆයිබර් ග්ලාස් බඳු මාධ්‍යයන් භාවිතා වේ.

භාවිතා වන මාධ්‍ය වගේම යොදාගන්නා ඉරියව් ද වැදගත් වේ. සාමාන්‍යයෙන් ඉරියව් සතරක් අනුව බුද්ධ ප්‍රතිමා නිර්මාණය කෙරේ. මෙයින් ඉරියව් තුනක් බෙහෙවින් ජනපි‍්‍රයය. එබඳු බුද්ධ ප්‍රතිමා ද රාශියක් දක්නට ලැබේ.


අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ


අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ


රිදී විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඒ සතර ඉරියව් මෙසේය

1. හිඳි පිළිම (වැඩහුන් පිළිම)

2. හිටි පිළිම

3. සැතපෙන පිළිම (ඔත් පිළිම)

4. සක්මන් ඉරියව්ව

වැඩ හුන් ප්‍රතිමා

බුද්ධ ප්‍රතිමා නෙළීමේදී භාවිතා වන ඉතාම ජනපි‍්‍රය ඉරියව්වයි. මෙම ඉරියව්වෙන් යුත් බුද්ධ ප්‍රතිමා රාශියක් අනුරාධපුර සහ පොළොන්නරු නටබුන් අතර දක්නට ලැබේ. ඒ අතරින් ඉතා ප්‍රකට වැඩහුන් පිළිමය අනුරාධපුර අභයගිරි විහාර සංකීර්ණයට අයත් සමාධී බුද්ධ ප්‍රතිමා වහන්සේයි. දුටු දුටුවනගේ ආධ්‍යාත්මය සුවපත් කරවන මෙම බුද්ධ ප්‍රතිමාව නෙළන ලද ඒ අසහාය කලාකරුවා සතු නිසර්ග ප්‍රතිභාව කවරකට සමාන කළ හැකි වේද?

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර් ලාල් නේරු මැතිතුමා මෙරට සංචාරයෙක යෙදුණූ අවස්ථාවක එම බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියසට ගොස් විශ්මිතව දෙනෙතින් කඳුළු වැගිරූ බවත්, අනතුරුව එතුමා ධහෙරාධූන්හි සිරගතව සිටිය දී අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාවෙහි අනුරුවක් ළඟ තබාගෙනත් ඉන් උපරිම සතුටක් ලැබූ බවත් ඉතිහාසයේ සඳහන්ය.

අනුරාධපුර යුගයට අයත් සෙසු වැඩහුන් බුද්ධ ප්‍රතිමා අතර දැනට කොළඹ, ජාතික කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇති, අනුරාධපුර තොලුවිල ග්‍රාමයේ නටබුන් අතර තිබී සොයාගත් සමාධි බුද්ධ ප්‍රතිමාවද සුවිශේෂීය. නිරතුරුව දක්නට නො ලැබෙන විශේෂිත මුද්‍රාවකින් යුතු අනුරාධපුර අශෝකාරාමයේ හෙවත් පන්කුලියේ බුද්ධ ප්‍රතිමාව ද වැඩහුන් ප්‍රතිමාවකි. පුරවසන්කුලම බුද්ධ ප්‍රතිමාව, තන්තිරිමලේ බුද්ධ ප්‍රතිමාව, අභයගිරි විහාර සංකීර්ණයේ මහසෙන් මැඳුර අබියස ඇති දෙවන සමාධි බුද්ධ ප්‍රතිමාව ද අනුරාධපුර යුගයට අයත් වැඩහුන් බුද්ධ ප්‍රතිමා අතරට ගැනේ.

පොළොන්නරු, උත්තරාරාමය හෙවත් ගල්විහාරයේ දක්නට ලැබෙන ප්‍රධාන වැඩහුන් බුද්ධ ප්‍රතිමාව ද, විද්‍යාධර ගුහාවේ නෙළා ඇති බුද්ධ ප්‍රතිමාවද මෙහිලා වැදගත් වේ. පොළොන්නරුව වටදාගේ තැන්පත් කර ඇති දුලබ කලා ලක්‍ෂණයන්ගෙන් හෙබි වැඩහුන් බුද්ධ ප්‍රතිමා ද සුවිශේෂී තැනෙකලා සැලකිය හැකිය. පොළොන්නරුවට සමීප මැදිරිගිරියේ වටදාගේ රමණීය නටබුන් බුද්ධ ප්‍රතිමා වහන්සේලාය. ගම්පොළ යුගයේ නිර්මාණය වූ වෙසෙසි බුද්ධ ප්‍රතිමා කිහිපයක් ද මෙහිදී සිහිපත් කිරීම වටී.

උඩුනුවර ලංකාතිලක රජ මහා විහාරයේ වැඩහුන් බුද්ධ ප‍්‍රතිමා වහන්සේ සහ ගඩලාදෙණිය රජමහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ද වැඩහුන් බුද්ධ ප්‍රතිමා අතර සුවිශේෂී වේ. මහනුවර යුගයේ කලා ලක්‍ෂණ ප්‍රකට කෙරෙන වැඩහුන් බුද්ධ ප්‍රතිමා දෙගල්දොරුව, රිදී විහාරය, දඹුල්ල ලෙන් විහාරය, ආදි ස්ථානයන්හි දක්නට ලැබේ.

බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී විශේෂයෙන් හිඳි බුදු පිළිම හෙවත් වැඩහුන් බුදු පිළිම හිඳගෙන සිටින ආකාර ‘ආසන’ වශයෙන් හැඳින්වේ. මේ අතරින් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.

1.වීරාසන ක්‍රමය

2. පද්මාසන ක්‍රමය

1. වීරාසන ක්‍රමය :-

පුරාණ කාලයේ ලංකාවේ බුදු පිළිම සියල්ලක් පාහේ නිර්මාණය කොට ඇත්තේ වීරාසන ක්‍රමයටය. සිරිපතුල් තැන්පත් කරගෙන සිටින විලාසය අනුව වීරාසන ක්‍රමය යන නාමය භාවිතා වේ. දණහිසින් නවාගත් වම් සිරි පතුල මත එසේම නවාගත් දකුණු සිරි පතුල තැන්පත් කරගෙන සිටීම මේ ක්‍රමයේ ස්වභාවයයි. අනුරාධපුර සුප්‍රකට සමාධි බුදුරුව, තොලුවිල බුදුරුව, ගල්විහාර වැඩහුන් බුදුපිළිම මේ සඳහා කදිම නිදසුන්ය .

2. පද්මාසන ක්‍රමය :-

දෙදණින් නවාගත් සිරි පතුල්වල යටි පතුල් දෙකම උඩු අතට තැන්පත් කරගෙන සිටින ඉරියව්ව පද්මාසන ක්‍රමයයි. අතීතයේ ඉන්දියාවේ බුද්ධ ප්‍රතිමාවල මේ ආසන ක්‍රමය සුලභව භාවිතා විය. සුප්‍රකට සාරානාත් බුද්ධ ප්‍රතිමාව මෙයට කදිම නිදසුනකි. වර්තමානයේ අප රටේද මේ ක්‍රමය භාවිතා වේ.

හිටි පිළිම

හිටි බුද්ධ ප්‍රතිමා නෙළීමෙහි ලා ද ශ්‍රී ලාංකික ප්‍රතිමා ශිල්පියා අපූර්ව කුසලතාවයක් දැක්වූ බව ශේෂව තිබෙන බුද්ධ ප්‍රතිමා ඇසුරින් වටහා ගැනීමට පිළිවන. අනුරාධපුර යුගයට අයත් හිටි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර තිබූ බවට දෘෂ්‍යමාන සාධක ජේතවනාරාමය හා රුවන් වැලි සෑය අතර ශේෂ වූ පිළිම ගෙයකින් හමුවේ. හිටි පිළිමයක් තැන්පත් කළ බවට අනුමාන කළ හැකි ශෛලමය පද්මාසනයත්, ඉතා උස් ගල් කණු දෙකකික් හෙබි නටබුන් උළුවස්සත්, ඒ හා බැඳි ගඩොලු බිත්තිත් මේ පරිශ්‍රයේ දක්නා ලැබේ. පුරාවිද්‍යා පර්යේෂණ අනුව තහවුරු කරගෙන ඇති අනුරාධපුර යුගයට අයත් ඉපැරණිම බුද්ධ ප්‍රතිමාව වශයෙන් සැලකෙන මහ ඉලුප්පල්ලමෙන් සොයාගත් බුද්ධ ප‍්‍රතිමාවද හිටි පිළිමයකි. ඉතා විශාල ප්‍රමාණයේ දර්ශනීය , එමෙන්ම කලාත්මක ගුණයෙන් අනූන අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අනුරාධපුර යුගයට අයිති හිටි බුදු පිළිම සඳහා දිය හැකි දෘෂ්‍යමාන හොඳම නිදසුනයි.

පිහිටි ගලෙහිම පූර්ණ උන්නතව නෙළා ඇති මෙම බුද්ධ ප්‍රතිමාව වගේම ප්‍රතිමාවක් අවුකනට නුදුරින් වූ රැස්වෙහෙර හෙවත් සැස්සේරුව දක්නට ලැබේ. අනුරාධපුර රුවන් වැලි සෑ මළුවෙහි දක්නට ලැබෙන හිටි බුදු පිළිම හතරද අතිශය කලාත්මකය. මේ බුද්ධ ප්‍රතිමා නෙළු කාලවකවානුවට සමකාලීනව ලක්දිව දකුණු පළාතේ නෙළා ඇති බුදුරුවගල හිටි බුදු පිළිමය මෙන්ම මාළිගාවිල බුදු පිළිමය ද මෙහිලා සිහිපත් කරනු වටී. මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව අනාබද්ධ බුදුරුවකි. පොළොන්නරුව ගල් විහාර සංකීර්ණයෙන් ද හිටි බුදු පිළිමයක් හමුවේ එය දුලබ මුද්‍රාවකින් යුක්ත වූවකි. මුලින් සඳහන් කළ බුද්ධ ප්‍රතිමා සියල්ලම ගලින් නිමවා ඇති අතර , ගඩොලින් බැඳි හිටි බුද්ධ ප්‍රතිමා කිහිපයක්ද පොළොන්නරුව ලංකාතිලක පිළිම ගේ සහ තිවංක පිළිම ගේ නටබුන් අතර වේ. මහනුවර යුගයට අයත් හිටි බුද්ධ ප්‍රතිමා රැසක් ලේවැල්ල ගංගාරාමය, දඹුලු විහාරය , දෙගල්දොරුව විහාරය, රිදී විහාරය, ගඩලාදෙණිය විහාරය, ලංකාතිලක විහාරය ආදි ඓතිහාසික සිද්ධස්ථානවලින් හමුවේ.

ඔත් පිළිම

වැඩහුන් බුද්ධ ප්‍රතිමා, හිටි බුද්ධ ප්‍රතිමා හැරුණූ විට අනෙක් ජනපි‍්‍රය ඉරියව්ව ඔත් බුද්ධ ප්‍රතිමාය. අනුරාධපුර යුගයට අයත් ඔත් බුද්ධ ප්‍රතිමාවක් නැතිනම් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් තන්තිරිමලෙන් හමුවේ. එය පිහිටි ගලේම නෙළන ලද්දකි. මේ යුගයට අයත්, ඉතා කලාත්මක පරිද්දෙන් හුණු බදාමයෙන් ඔප කළ දර්ශනීය සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් පිදුරංගල ලෙනෙන් හමුවේ. ඉතා සුප්‍රසිද්ධ සැතපෙන බුදු රුව ඇත්තේ පොළොන්නරුව ගල් විහාරයේය. ඉරියව් තුනෙන්ම යුත් බුද්ධ ප්‍රතිමා හතරක් එක ළඟ නෙළා ඇති මෙම ස්ථානයේ රමණීය බව වඩා වර්ධනය කරන සැතපෙන බුදුරුව, සුවිසල් ප්‍රතිමාවකි. පර්වත මුහුණතක නෙළන ලද්දකි. මහනුවර යුගයේ ප්‍රචලිත උඩරට සම්ප්‍රදාය අනුව නිර්මාණය කළ දර්ශනීය සැතපෙන බුද්ධ ප්‍රතිමා දෙගල්දොරුව විහාරය, රිදී විහාරය, කබල්ලෑලෙන විහාරය ආදි තැන්හි දක්නට ලැබේ.

සක්මන් බුදු පිළිම

අතිශයින්ම විරල ඉරියව්වකි. බුදු රජාණන් වහන්සේ සක්මන් කරන විලාසය මෙමගින් නිරූපණය වේ.

දැනට මෙම ඉරියව්වෙන් යුත් ලෝකඩ මාධ්‍යයෙන් නිම කළ බුද්ධ ප්‍රතිමාවක් අකුරැස්ස ගොඩපිටිය විහාරයේ තිබී හමුවිය. මහනුවර යුගයේ බිතුසිතුවම් ඇඳීමේදී ඇතැම් අවස්ථාවල මෙම ඉරියව්ව යොදාගෙන තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.