Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිසි ලෙස තැනු සිත ද පෙර පිනද මඟුලකි

මංගල සූත්‍රාගත දහම් කරුණු අතරින් මේ ලිපියෙන් අද සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මංගල සූත්‍රයෙහි දෙවන ගාථාවයි.

පතිරූප දේස වාසො ච
පුබ්බෙව කතපුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච
එතං මංගල මුත්තමං

යන ගාථාවෙහි මංගල කාරණා තුනක් ඇතුළත් වෙයි. සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, පෙර කළ පින් ඇති බව, තම ජීවිතය මනා කොට හසුරුවා ගැනීම, මෙහි අන්තර්ගත මංගල කරුණු ය.

මෙහි පළමු වැන්න සුදුසු ප්‍රදේශයක විසීමයි. සෑම ජීවියකුට ම පරිසරය බලපායි. උපන් හැම සත්වයෙක් ම උපතේ සිට මරණය දක්වා ම ජීවත් වන පරිසරයෙන් උරා ගත් දේවල් අනුවයි, ඉදිරියට ගමන් කරන්නේ. මේ නිසා හැම ජීවියකුට ම පරිසරයෙන් වෙන්විය නො හැකියි. පුද්ගලයාගේ දියුණුව මෙන් ම පරිහානියට ද බලපාන ප්‍රබල සාධකයකි පරිසරය. මේ නිසා සුදුසු පරිසරයක ජීවත්වීම අත්‍යවශ්‍ය වෙයි. මේ පරිසරය යහපත් වන්නේත්, අයහපත් වන්නේත් මිනිසා අතින් සිදු කරන කාර්ය නිසයි. අද පරිසර දූෂණයට මුල් වී ඇත්තේ ද මනසින් උසස් යැයි කියන මිනිසා ම ය. එහි සියලු බලපෑම් එල්ල වන්නේ ද පරිසර ජීවියකු වූ මනුෂ්‍යයාටම ය.

සුදුසු පරිසරය ලෙස මෙහි දී අදහස් කරන්නේ අප ජීවත්වන ගෙදර දොර අපට සරිලන සේ සාදා ගැනීමයි. ගෙදර පරිසරය අපගේ ජීවිතවලට බලපාන අතර, අපගේ ජීවිතවල දියුණුවට හෝ පරිහානියට නිවසේ පරිසරය හේතු වෙයි. මවුපිය වැඩිහිටියන්ගේ කතා බහ, සිතුම් පැතුම්, කාර්ය සියල්ල පුංචි දරුවාට බලපායි. කුඩා කල සිට පෞරුෂ වර්ධනය වන්නේ මෙන්න මේ පාරිසරික බලපෑම් මතයි. ඇස්, කන්, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රිය මගින් ග්‍රහණය කර ගන්නා දේ යහපත් විය යුතුය. අන්න එවන් යහපත් ආරම්මණ ග්‍රහණය කළ හැකි නිස්කලංක හොඳ මිනිසුන් වාසය කරන ප්‍රදේශය පතිරූප දේස ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය. මෙය පුද්ගල දෙලොව දියුණුව ඇති කරවන මංගල කාරණයක් ලෙස මෙහි දී නම් කැරේ.

එහෙත් ගුප්තාර්ථය මීට වඩා වෙනස් අර්ථ කථනයක් ගෙන එයි. පුද්ගලයා තම පංච ඉන්ද්‍රිය සංවර කර ගෙන සිටින විට ඒ තුළින් ග්‍රහණය කරන අරමුණු ;සෟම්‍ය මෘදු ඒවා වෙයි. එවිට හොඳ සිතිවිලි නිතර හට ගනියි. එවිට ඔහුගේ සිත යහපත් සුදුසු ප්‍රදේශයක වෙසෙයි. එම සිත ඇසුරු කරන ඉන්ද්‍රිය හය, සුදුසු ප්‍රදේශයයි. මෙසේ පුද්ගල සිත සහ ඉඳුරන් යහපත් වන විට එම පුද්ගලයා ජීවත් වන ප්‍රදේශය කෙතරම් නරක එකක් වුවත් ඔහුගේ සිත පවතින පරිසරය හොඳ නිසා පුද්ගලයා වෙනස් නොවෙයි. එබඳු පුද්ගලයාට වට පිටාවෙහි බලපෑම් වලින් පීඩාවක් ඇති නොවෙයි. මෙය ඔහුට දෙලොව සැප පිණිස හේතු වන නිසා මංගල කාරණයකි. මෙම ගාථාවෙහි ඇතුළත් දෙවන මංගල කාරණය වන්නේ, “පුබ්බේ ච කතපුඤ්ඤතා” යන්නයි. පෙර පින් ඇතිව ඉපදීම මින් අදහස් කැරේ. අප උපදින විට අතින් එකතු කර ගෙන එන දෙයක් නොමැත. එසේම මැරෙන විට අප ගෙන යන දෙයක් ද නැත. එහෙත් අප සිතින් එකතුªකර ගත් හොඳ නරක කර්ම පමණකි ගෙන එන්නේ. වෙන තැනකට ගෙන යන්නේ ද මේ කර්ම ටික පමණයි. අප ළඟ ඇති සැ ගැවී තිබෙන මේ පින් පව් දෙක පුද්ගල දක්ෂතා මත මතු කර ගනියි. කළ පින මතුකර ගන්නා පුද්ගලයා දියුණුවට ආලෝකයට පත් වෙයි. එසේම කළ පව මතු කර ගෙන යන පිරිස පිරිහීමට පත්වෙයි. මෙහිදී පෙර පින ඇති බව දෙලොව මංගලයට හේතුවකි. සීවලී මහ රහතන් වහන්සේ ප්‍රත්‍යලාභී වූයේ පෙර පින මතු කරගත් නිසයි. එසේම ලෝසක තෙරුන් ආහාරපාන නොලබා අන්ත දුකට පත් වූයේ උන්වහන්සේ කළ පව නිසයි. මේ නිසා පෙර පින ඇතිව ඉපදීම දෙලොව සැනසුම ගෙන දෙන මංගල කරුණකි.

මේ අදහස අපි එසේ දනිතත් , මෙහි වැදගත්” අදහසක්” ගැන ද ඔබේ අවධානය යොමු කළ යුතුයි. මෙහි ‘පුබ්බේච කත පුඤ්ඤතා යන්නෙන් අදහස් කරනුයේ පෙර කළ පින පමණක් නොව මීට පෙර පුද්ගල විඤ්ඤාණය හෙවත් සිත දියුණු කරගත් තත්වයයි. ‘පුඤ්ඤතා” යනු සිත පිනවීමේ ස්වභාවයයි. මේ අනුව දියුණු කරගත් සිත සහ ඒ සඳහා උත්සුක වීම ‘ පුබ්බේච කත පුඤ්ඤතා ‘ නම් වෙයි. පුද්ගල සිත පින වනු ලබන්නේ කුසල් මූල නිසයි. ප්‍රබලව කුසල් මුල් තුනකි.ඒවා නම් අලෝභය (ඇලීම අත් හැරීම) අදෝස (පි‍්‍රය අපි‍්‍රය දේ අතර ගැටීම ) දුරලා මෙත් සිතිවිලි ගොඩ නැංවීම , අමෝහ හරි වැරැද්ද හරි හැටි තේරුම් ගෙන ඤාණවන්ත වීම යන ඒවාය. මේ අලෝභාදී කුසල මූල නිසා සිත පිනවයි. ඒ සඳහා මෙම සිත කලක් තිස්සේ එම කුසල වැඩීමට හුරු පුරුදු කළ යුතුයි. එම පිනවීම් ස්වභාවය ඇති කුසල් දිගු කලක් තිස්සේ සිදු කළ යුතුය එසේ කුසලයට පුරුදු පුහුණූ කළ සිත ඇති පුද්ගලයා දෙලොව යහපත සාදා ගනියි. එය මංගල කරුණකි.

මෙහි සඳහන් වන තුන් වන මංගල කරුණ වන්නේ අත්ත සම්මා පනිධි යන්නයි. එහි අදහස තමා මනාකොට සංවර වීමයි. පුද්ගලයාගේ සිත කය වචන පාලනය කර ගැනීමයි. මේ සඳහා ශීල භාවනා ප්‍රතිපත්ති බුදුරදුන් පෙන්වා දී ඇත. කය වදන පාලනය වන්නේ ශීලයෙහි සිත පාලනය කරගත හැක්කේ භාවනාවෙනි. විශේෂයෙන් මෙහිදී පුද්ගල සිත භාවනාවකින් සන්සුන් කර ගැනීම, පාලනය කර ගැනීම අදහස් කැරේ. මිනිසා තම සිත පාලනය කර ගැනීමට සමත් වෙතොත් ඔහුගේ කාය වාග් සංවරය ද වෙනත් ආයාසයකින් තොරව සිදුවෙයි. අද සමාජගත විවිධ ගැටුම් යුද කෝලාහල ඇති වන්නේ පුද්ගල සිත පාලනය කර නො ගැනීමෙනි. එවිට අසංවර කාය වාග් ක්‍රියාදාම නිසා සමාජ හිංසක ක්‍රියා සිදුවෙයි. එය පුද්ගල සහ සමාජගත මංගලයක් නොව අවමංගලයක්ම වෙයි.

එම නිසා ඔබේ සිත පාලනය කරගෙන, සම්මා සතිය පිහිටුවා ගෙන පාපයෙන් ඈත්ව කුසලයෙහි නිරතව දෙලොවම සැප ගෙන දෙන මංගල ජීවිතයක් උදා කර ගන්න.

මේ අත්ත සම්මා පනීධි යන මංගල කාරණයේ පෙනෙන අප දන්නා අදහසයි. එහෙත් ඊට වඩා ගැඹුරින් වටහාගත යුතු අදහසක් ද මෙහි ගැබ්ව ඇත. මෙහි ‘අත්ත’ යනු ඉන්ද්‍රිය හයයි. ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රිය මනාව පිහිටුවා ගැනීම , සිතිවිලි ඇසුර ලබන එම පංච ඉන්ද්‍රිය නිසිලෙස සකසා ගැනීම ‘අත්ත සම්මා පනිධි’ නම්වෙයි භාවනාවකින් සිත ධ්‍යාන ගත කළහොත් ඔහුගේ සියලු ඉන්ද්‍රිය ඉතා සංවර වෙයි. ඒ සංවර වූ ඉන්ද්‍රිය ඇති පුද්ගලයාගෙන් යහපතක්ම සිදුවෙයි.

“ ඉන්ද්‍රියානි මනුස්සානං
ිතාය අහිතාය ච
අරක්ඛිතානි අහිතාය
රක්ඛිතානි හිතාය ච

යන ධම්ම පද ගාථාවෙන් ද පැහැදිලි වන්නේ මිනිසාගේ හිත අහිත පිණිස සිය ඉන්ද්‍රිය බලපාන බවත්, සිත දියුණු කොට එම ඉන්ද්‍රිය පාලනය කර ගතහොත් ඉන් පුද්ගලයාට යහපතක්ම හිමි වන බවත්, නොදියුණු සිතින් ඉන්ද්‍රිය පාලනයක් නොමැති වුවහොත් ඉන් අයහපතක්ම හිමි වන බවත් ය. එම නිසා සිත මුල් කරගත් ඉන්ද්‍රිය මනාව පාලනය කර ගැනීම, පුද්ගල සුබ සිද්ධියට ඉවහල් වන මංගල කාරණයකි.

මෙම මංගල කරුණු තුන පිළිබඳ ඔබේ අවධානය යොමු කර ඔබත් මංගල ජීවිතයක් උදා කර ගන්න. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින් ශක්තිය ලැබේවායි පතමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.