Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පාලි භාෂාව හා පාලි සාහිත්‍ය අධ්‍යයනය

මේ ලිපිය 2005 අපෙ‍්‍ර්ල් 10 වැනිදා “සන්ඩේ ඔබ්සර්වර්” පුවත්පතේ පළ වූ මහාචාර්ය එම්. එස්. කිත්සුඩෝ නගෝයාගේ “ස්ටඩී ඔෆ් පාලි ලැන්ග්වේජ් ඇන්ඩ් ලිට්රෙචර්” (Study of Pali Language and Literature) මැයෙන් වූ ලිපියේ පරිවර්තනයකි.

මේ කෙටි ලිපිය මවිසින් ගරු ධම්මවිහාරි හිමියන් (පැවිද වන්නට පෙර මහාචාර්ය ජෝතිය ධීරසේකර) මුණගැසීමේ ප්‍රතිඵලයකි. එසේ මුණගැසුණේ මගේ එක්තරා පර්යේෂණයක් සම්බන්ධයෙන් කලකට පෙර මා ශ්‍රී ලංකාවට පැමිණි විටක දී ය.

එවක උන්වහන්සේ මැකාර්ති පාරේ ආරාමයක රැඳී සිටියහ. මම කිසියම් පොතක් ගැන තොරතුරු දැන ගැනීමට උන්වහන්සේ මුණ ගැසුණෙමි. ඒ කෘතිය මට ශ්‍රී ලංකාවේ දී කිසිදු පුස්තකාලයක හෝ පන්සල් පොත්ගුලක දී දකින්නට නොලැබුණු එකකි.

එකල්හි මා සබඳකම් දැක්වූ පුස්තකාලයාධිපතිවරු ද වියත්හු ද මට ඒ ගැන අවශ්‍ය තොරතුරු සපයන්නට අසමත් වූහ. එහිලා ධම්මවිහාරී හිමියන් සමග පැවැති සාකච්ඡාවකින් පසු උන්වහන්සේ සඳහන් කළ කරුණක් මෙතෙක් මගේ මතකයේ පිළිරැව් නංවයි. උන්වහන්සේ මෙසේ කීහ.

“මහාචාර්යතුමා, අද නම් ශ්‍රී ලංකාවේ ඒ වගේ පාලි පොත් අධ්‍යයනයේ සාවධානගත කිසිම කෙනෙකු සොයා ගැනීම බොහොම අමාරුයි. ඒ ගැන හැදෑරීම හෝ හැදෑරවීම විශ්වවිද්‍යාල මට්ටමේ දී පවා නිෂ්ඵල වෑයමක්. කරුණාකරලා ඒ උත්තරීතර භාෂාව රැක ගන්නට ඔබතුමා විසින්වත් ඔය පාලි පොත් ගැන සොයා බලන්නට උත්සුක වුණොත් ඉතා ම වැදගත්.”

ඉක්බිති, මම ඒ සම්බන්ධයෙන් ම පේරාදෙණිය සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්. ජී. ඩී. ජයවර්ධන හමුවීමි. එවිට ඔහු කීවේ මෙවක විශ්වවිද්‍යාලයන්හි පාලි භාෂා අධ්‍යයනයට සම්භාව්‍ය පාලි මූල ග්‍රන්ථ හා පාලි ව්‍යාකරණ හැදෑරීමට වඩා, සමාජ විද්‍යා විෂයයෙහි පර්යේෂණ පැවැත්වීමට වැඩි කැමැත්තක් දක්නට ලැබෙන බවයි.

උසස් අධ්‍යාපනයේ දී විෂයයක් හැටියට පාලි භාෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට උවමනාව කුමක්ද? පාලි භාෂාව යනු බුදුන් වහන්සේ කුදු මහත් සමස්ත ජනතාවට දහම දේශනා කළ මාධ්‍යයයි.

උන්වහන්සේ දෙසූ දහම, ධර්මධර හා විනයධර මහ තෙරවරුන් විසින්, සංගායනාවල දී උපරිම අවධානයෙන් අර්ථකථනය කිරීමෙන් පසු, පාලි භාෂාවෙන් මූලාකෘතිය ස්වරූපයෙන් ආරක්ෂා කර තබන ලදී.

බුද්ධ දේශනාව සියවස් කීපයක් ඇවෑමෙන් සිය නිජ බිමෙන් අතුරුදන් වීමෙන්පසු,”ථෙරවාදය” නමින් සුපතල සම්භාව්‍ය ආකෘතියෙන් ශ්‍රී ලංකාව විසින් ආරක්ෂා කරගනු ලැබිණි.

බුදු දහමේ මූලික ආකෘතිය ඉන්දියාවෙන් ලංකාවට හඳුන්වා දුන් අර්හත් මිහිඳු මා හිමියෝ අනුරාධපුරයේ මහා විහාරය ස්ථාපිත කිරීමෙන් පසු, බුදු දහමේ ව්‍යාප්තිය සහ සංස්ථිතිය පිණිස ස්ථාවර පදනමක් සකස් කළ සේක. මියන්මාරය හා තායිලන්තය වැනි වෙනත් ථෙරවාදී බෞද්ධ රටවල් නිරන්තර සබඳතා ඔස්සේ ප්‍රතිලාභ අත්කර ගනිමින්, ශ්‍රී ලංකාවෙන් උත්තේජනීය ආභාෂයක් ලබා ගත්තේය.

මට මෙහි දී පෙන්වා දෙන්නට වුවමනා වන්නේ, ඉහත කී රටවල බෞද්ධ භික්ෂූන් අතර සංස්කෘතික සබඳතා සහ ක්‍රියාකාරකම් සඳහා දිරි ගැන්වීම් ඇති කළේ ද පහසුකම් සැලසුවේ ද පාලි භාෂාව මගින්ම වූ වග ය.

ත්‍රිපිටකය සහ අටුවා ද ඉක්බිති ලියැවුණු අනු අටුවා ද සාහිත්‍ය, ව්‍යාකරණ, දර්ශනය, කාව්‍යය සහ වෙනත් බොහෝ පාලි නිර්මාණ ඇතුළත් කෘති මහා පරිමාණයෙන් බිහි වන්නට මග සැලැස් වූ බව පෙනෙයි.

ඉතින් මේ ශ්‍රේෂ්ඨ ඤාණ සම්පත යථා යෝග්‍ය පරිදි ද බුද්ධිමත් ලෙස ද පරිහරණය නොකළහොත්, එහි ප්‍රතිඵල ඛේදජනක විය හැකි ය. ඒ අතර 19 වැනි සියවසෙහි පසු අඩෙහි සහ 20 වැනි සියවසෙහි මුල් අඩෙහි, සිංහල අකුරින් ප්‍රකාශයට පත් අමිල අගයෙන් යුත් පාලි ග්‍රන්ථ සම්භාරයක්, පන්සල් හා පිරිවෙන් පුස්තකාලවල ඉමහත් දුෂ්කරතා මැද සුරක්ෂිතව පවතින බව කියන්නට ද මම බල කරනු ලැබ සිටිමි.

බ්‍රිතාන්‍ය පාලකයෝ මේ පාලි ග්‍රන්ථයන්ගේ නොනිමි වටිනාකම මැනවින් හඳුනා ගත්හ. ඔවුහු ඒ ග්‍රන්ථ සංස්කරණයටත්, ප්‍රකාශනයටත් භික්ෂූන් වහන්සේට උදවු කරන්නට කවරදාකවත් පසුබට නොවූහ. එහිලා දුර්ලභ ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරනු සඳහා පහසුකම් සලසන්නට රජයේ මුද්‍රණාලයේ දොර විවර කළහ. මහා බ්‍රිතාන්‍යයේ පාලි පොත් සමාගම මේ කාර්යයෙහිලා මහා පරිමාණ සේවාවක් කරන්නට සැලසුම් කර ගෙන යමින් සිටී.

වස්කඩුවේ සුභූති, බද්දේගම පියරතන, ලංකාගොඩ ධීරානන්ද, එම්. අනෝමදස්සී, බෙන්තර අත්ථදස්සි, හික්කඩුවේ සිරි සුමංගල, රත්මලානේ ධම්මාරාම ආදී පූජනීය හිමිවරු මුල් යුගයේ ද, විදුරුපොල පියතිස්ස, යගිරල පඤ්ඤානන්ද, පොල්වත්තේ බුද්ධදත්ත, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය සහ තවත් බොහෝ ශ්‍රේෂ්ඨ හිමිවරු පසු යුගයේ ද පාලි භාෂාව හා සාහිත්‍යය අධ්‍යාපනයට අපරිමිත සේවාවක් කළහ. ඒ සමගම පාලි සම්ප්‍රදය ආරක්ෂා කර ගැනීමට කැප වූ එම්. ධම්මරතන, දොන් අන්දිරිස් ද සිල්වා බටුවන්තුඩාවේ, ජේමිස් ද අල්විස්, මහාචාර්ය ජී. පී. මලලසේකර සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වැනි ගිහි වියත් පර්ෂදය ද අමතක කළ නොහැකි ය.

පාලි අධ්‍යයන ව්‍යාප්තියට පැරැණි පිරිවෙනින් ලද දායකත්වය සපුරා විශිෂ්ට ය. ප‍්‍රශංසනී ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ මා නිතර අසා ඇති හැටියට, විශ්වවිද්‍යාල වෙත එය යොමු කිරීම හෝ විශ්වවිද්‍යාල ආයතන හැටියට ඒ පිළිබඳ සම්බන්ධීකරණයෙහි හෝ කවරකු විසින් වුවද අව්‍යාජ ප්‍රයත්නයක් දරා ඇති බවක් නොපෙනෙයි. එකී පරිදි පාලි භාෂාව හා සාහිත්‍යය ඉගෙනීමේ හෝ ඉගැන්වීමෙහි ලා යොමු කිරීමේ අරමුණ, ජයග්‍රහණයක් ලබා හෝ කිසියම් ප්‍රගතියක් ලබා නැත.

මට පෙනෙන හැටියට, පාලි භාෂා අධ්‍යයන ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් පූජ්‍ය ධම්මවිහාරී හිමියන්ගේ අපේක්ෂාව ඒ සඳහා හිතකර පදනමක් වනු ඇති අතර, එය පාලි භාෂාව හා බෞද්ධ කටයුතු අධ්‍යයනයේ සංවර්ධනය අරභයා අව්‍යාජ සැලකිල්ලක් දක්වන සියලු දෙනාගේ අවධානයට ලක් විය යුත්තක් වෙයි.

ශ්‍රී ලංකාව තුළ බොහෝ පාලි ග්‍රන්ථ මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්ව ඇති බව මම දනිමි. එසේ ම අතීතයේ බෙහෙවින් කීර්තිමත් බෞද්ධ ප¼ඩිවරුන් සිටි බව ද දැන සිටිමි. මම ඔවුන් කෙරෙහි මගේ අත්‍යන්ත ගෞරවය පුද කරන්නට කැමැති වෙමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.