UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යොබ්බන මදය

“තත්ථ කත මො යොබ්බන මදො? යොබ්බනං පටිච්චමදො මජ්ජනා, මජ්ජිතත්තං, මා නො මඤ්ඤනා මඤ්ඤනක්තං, උත්තති, උත්තාමො, ධජො, සම්පග්ලාහො, කේතුකම්‍යතා චිත්තස්ස අයං වුච්චති යොබ්බන මදො”

තරුණ බව හේතුකොට ගෙන ඇති වන මදය ‘යොබ්බන මදය’ නමින් හැඳින්වේ. අන්‍යයන් පහත්කොට තමා කොඩියක් මෙන්, කොතක් මෙන් උසස්කොට සිතාගන්නා බලවත් මානය, මදය, මත්වීම, අහංකාරය, උඩඟුකම මේ මදයෙහි ස්වභාවය ලෙස හඳුන්වා ඇත.

“ අහං තරුණො අවසෙස සත්තානං අත්තභාවො පාපාතෙ ථිත රුක්ඛසදිසො, අහංපන පඨම වයසේ ඨිතෝති උප්පන්නො මානො” යි තවදුරටත් මේ පිළිබඳ පැහැදිලි කිරිමක යෙදෙන අටුවාව තමා තරුණ ය. අවශේෂ ජනයා ප්‍රපාතයක පිහිටි රුකක් මෙනි. මම ප්‍රථම වයසෙහි ඉහළින්ම සිටිමි” යි ඇති කරගන්නා වූ මානය තරුණ මදය ලෙස හැඳින්වෙයි. මේ තත්ත්වය සියලු තරුණ, තරුණියන්ට සාධාරණ නොවේ. යථාර්ථය තේරුම් ගත හැකි ප්‍රබුද්ධ තරුණ තරුණියන් ද නැත්තේ නොවේ.

ජීවිත ස්වභාවය විවිධාකාර ය. පුදුමාකාර ය. සමහරු යොවුන් බව නොලබාම ජීවිතයෙන් සමුගනිති. තවත් අයගේ යොවුන් බව, උගත්කමින්, බුද්ධියෙන්, ගුණයෙන් මෙන්ම ධනයෙන් ද පරිපෝෂිත ය. සමහර ධනවත් තරුණ ජීවිතවල රෝග බහුල වන අතර, තවත් ධනවත් තරුණ අය අශ්ලීල මැරවල සල්ලාට ගතිවලින් යුක්ත ය. ඒ අතර, පරිපූර්ණ නොවූ තරුණ ජීවිත ද දක්නට ලැබේ. විශේෂයෙන් ධනයක් ශික්‍ෂණයත් නැති තැන තරුණ තරුණියෝ මහා අසරණයන් බවට පත් වෙති.

අනාගත වගකීම් පිළිබඳ සිතන්නට පෙළඹෙන වයසයි. තරුණ විය, ගිහි දිවිය ගත කරන ඕනෑම කෙනකුගේ අනාගත ස්ථාවර භාවයට බලපාන එක් සාධකයක් නම් විවාහයයි. එහිදී උභය පාර්ශ්වයේ ආශිර්වාද නැතිව දෙදෙනාගේ හිතුවක්කාර අදහස් මත විවාහය සිදු වුවහොත් ඔවුනට විශාල අභියෝග වලට මුහුණ දීමට සිදුවෙයි. සදාකාලිකවම අවිවාහකව සිටින අයගේ ජීවිතයේ සැඳෑ සමයේ සුරක්‍ෂිත භාවය යහපත් ආර්ථික ශක්තිය මත තරමක් දුරට රඳා පවතී. නැතිනම් රැකවරණයක් ඇත්තේම නැති තරමටම අඩු මට්ටමක පවතී.

පවුලේ සාමාජික සංඛ්‍යාව, මව්පියන්ගේ ආර්ථික මට්ටම, උගත්කම්, කුලමල භේද ආදිය ගැන සලකමින් විවාහය පිළිබඳ තීරණය ගැනීමට සිදුවන අවස්ථා ද තිබේ. පවුලේ බාලම පිරිමි දරුවාට මහගෙදර අයිතිය පැවරෙන සමාජ වාතාවරණය තුළ, තවත් පිරිමි දරුවෝ සිටිත් නම් ඔවුන්ගේ වාසස්ථානය පිළිබඳ ගැටලු ද මතු වෙයි. උරුමයෙන් තමන්ට පැවරෙන ඉඩමක්, නිවසක් නොමැති විට ඒ දෙක ගැන ද ඔවුනට සිතන්නට සිදු වෙයි. මේ සඳහා මුල් විය යුතු යහපත් වැටුපක් සහිත රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොමැති විට ප්‍රශ්නය තවත් උග්‍ර වෙයි. එවැනි අවස්ථාවකට මුහුණ දීමේ දී අවශ්‍ය කරන ශාස්තී‍්‍රය දැනුම, ජීවිත අත්දැකීම්, ආධ්‍යාත්මික ශික්‍ෂණය සහිත ඉවසීමක් නැති නම්, එම ජීවිත වඩාත් ව්‍යාකූල බවට පත්වනු ඇත. තම මව්පියන් පිළිබඳ පමණක් නොව, බිරියගේ මව්පියන් ඤාතීන් ගැන ද එක්තරා ප්‍රමාණයකින් සිතන්නට ස්වාමියාට සිදු වෙයි. අද විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනයත්, ආරක්‍ෂාවත් දෙකම එක හා සමාන ගැටලුවක් බවට පත් වී ඇත. මෙවැනි වාතාවරණයක් තුළ යෞවන මදය කරලියට ඒමේ ප්‍රවණතාව වේගවත් වන්නට පුළුවන.

ඉහත කී සියලු ගැටලු වලට විසඳුම් සෙවිය යුතු සිතිය යුතු අවධිය හැටියට තරුණ විය ඉතා කල්පනාකාරීව ගෙවිය යුතු ය.

බෞද්ධ සාහිත්‍යයේ හමුවන තරුණ චරිත අතර නන්ද-ජනපද කල්‍යාණි යුවළට භෞතික සම්පත්වලින් අඩුවක් නොවන විට ආධ්‍යාත්මික ශික්‍ෂණයේ හෙවත් චිත්ත වේග පාලනයේ ඌණතාවයක් තිබිණි. සම්පත් පිරි පවුලකට උරුමකම් කීවත් වැඩිහිටි අවවාදවලට ඇහුන්කන් නොදීමත් හැඟීම්වලට වහල්වීමත් නිසා දරිද්‍රතාවයේ පතුලටම වැටුණු තරුණ කාන්තාවකි, පටාචාරා. කිසාගෝතමිය දාරක පෙ‍්‍ර්මය නිසා ඇති වූ ශෝකය ඉහවහා ගොස් සිටියා ය. සුනීත සෝපාක, සිරිමා සුලසා, කුණ්ඩලකේශී, රජ්ජුමාලා, වාසෙට්ඨි ආදී තරුණ පිරිස් බුදු හිමියන් හමුවට පැමිණියේ තමන් මුහුණදුන් විවිධ ගැටලු වලට පිළියම් සොයාගෙන ය. ඒ සියලුම ගැටලු වලට විසඳුම් ලබාගත හැකි වූයේ බුදු දහම තුළිනි. තරුණ මදය නිසා ධනයෙන් ද බලයෙන් ද ආත්ම ගෞරවයෙන් ද වේගයෙන් පිරිහී ගොස් බිඳ වැටුණු විවාහ ජීවිතයකට කදිම උදාහණයක්, ධම්මපදයේ එයි. ශික්‍ෂණය නොමැතිකමින් විශාල ධනස් කන්ධයක් අහිමිව අවසානයේ තැවෙන්නට සිදුවන්නේ මසුන් ද වතුර ද නැති මඩ සහිත විලක එරී ලංවන කොස්වාළිහිණියකු මෙනි.

අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජන්න කොංචාව ඣායන්ති
ධීන මච්ඡෙව පල්ලලෙ (ධ.ප.155 )

අධ්‍යාත්මිකව පැනනගින මේ මදයට බීඩි, සිගරැට්, රා, අරක්කු, ජින්, බ්‍රැන්ඩි, විස්කි, පමණක් නොව ගංජා, අබිං වැනි විෂ මත්ද්‍රව්‍ය ද එකතු වූ විට ඇතිවන තත්ත්වය කිව යුතු ද? මව්පිය, ගුරුවරාදීන් මරා හෝ ලේ දැකීමේ තිරිසන් ආශාවක් උපදින්නේ මේ සියලු මද එක්තැන් වීමෙනි. දිළිඳුකම, නූගත්කම එක්තරා ප්‍රමාණයක හේතු සාධකයක් වූවත්, කෙළවරක් නැතිව ජනමාධ්‍යවලින් දුර්විපාක පෙන්වා දුන්නත්, වර්තමාන සමාජයේ දිනෙන් දින උග්‍ර වන ඒඩ්ස් ආසාදිතයන් හමුවන්නේ ද මේ යෞවන මදය තේරුම් ගැනීමට අවශ්‍ය මූලික දැනුම නොමැතිකම නිසා ය. දිළිඳු සහ නූගත් සෑම තරුණ තරුණියක්ම මේ ඉරණමට ගොදුරු වී නැත. විපාකවල බරපතලකම තේරෙන්නේ, දුක අත්විඳින විට ය. එවිට පිළියම් කළ හැකි තත්ත්වයක සිටින්නේ ඉතා සුළු පිරිසකි. මේ සටහන තබන අවස්ථාව වන විට ඒඩ්ස් වසංගතය නිසා දුක් විඳින රෝගීන් මාස තුනක් තුළදී 771 දෙනෙක් හමුවී ඇත. එයින් 147 දෙනෙක්ම මළවුන් අතර ය.

පි‍්‍රය සම්භාෂණවලදී හෝ උපන්දින සාදවලදී දුම්පානය නොකිරීම හා මත්පැන් නොබීම, පිරිසෙන් කොන්වීමට හේතුවක්ය යන අතිශය මිථ්‍ය ආකල්පය් ඇතැම් අය සිටිති. කුමන තැනක හෝ වේවා මම දුම්පානයෙන් වෙන් වී සිටිමියි යන සත් ප්‍රතිපත්තියක පිහිටා සිටින්නකු සමාජයෙන් කොන්වන්නේ කෙසේද? ඒවා කියන්නට දෙයක් නැතිව කියන, කෑදර මෝඩයන්ගේ ප්‍රකාශ පමණකි. යොවුන් බවත් සමඟ ඇතිවන යෞවන මදය තේරුම් අරගෙන වැරැදි පුරුදුවලින් ඈත් නොවුණහොත් ඉදිරි මුළු ජීවිතයම අන්ධකාර වන බව අවබෝධ කරගත යුතු ය.

බිනර
අව අටවක

බිනර අව අටවක පෝය ඔක්තෝබර් 03 වන දා බදාදා පූර්ව භාග
04.18 ට ලබයි. 04 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 03.09 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 03 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
10 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25
 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]