Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

සිත පහදවා ගත යුතු කරුණු හතරක්

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චත්තාරෝ මේ භික්ඛවේ අග්ගප්පසාදා, තථාගත සම්මා සම්බුද්ධෝ අග්ගමක්ඛායති. විරාගෝ අග්ගමක්ඛායති. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායති. තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායතී තී.

සැදැහැවත් පින්වත්නි,

අමා මෑණි තථාගතයන් වහන්සේ වදාළනෙ “දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ” කියල. මිනිසෙක්වීම දුර්ලභ වූ විශේෂ ලාභයක්. ඔබත් මමත් මේ මිනිස් ජීවිතය ලැබුවෙ පෙර කළ පින් බලයෙන්. පෙර කළ පින් ඇති අය, පෙර පින් බලයෙන් ඉපදුණු අප මේ ජීවත්වන මොහොතෙත් පිනට දහමට යොමු විය යුතුයි. නැතිනම් වන්නෙ පුරාණය වළඳමින් ජීවත්වීම. අලුත් පිනක් නැහැ, පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සිරි මුව මඬලින් මහා කරුණාවෙන් වදාළ හැම බුදු වදනක්ම සිත සංසුන් කරනව, සිත තැන්පත් බවට පත්වෙනව. පාපයෙන් මුදවනව. පින් පුරනවා. දිනක් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනව, “චත්තාරෝ මේ භික්ඛවෙ අග්ගප්පසාදා”. මහණෙනි. මේ හතර ගැන ඔබේ පැහැදීම ඇති කර ගන්න. ඒ පැහැදීම විශිෂ්ටයි. මොනවද ඒ හතර? “තථාගත සම්මා සම්බුද්ධෝ අග්ග මක්ඛායති” තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම උතුම්ම පැහැදීමයි. “විරාගෝ අග්ගමක්ඛායතී” විරාගී වූ ධර්මය ගැන පැහැදීම උතුම්. “අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අග්ගමක්ඛායතී” ආර්්ය අෂ්ටාංගික මාර්ගය ගැන පැහැදීම උතුම්. “තථාගත සාවක සංඝෝ අග්ගමක්ඛායති” තථාගත ශ්‍රාවක සංඝ රත්නය ගැන පැහැදීම උතුම්. මේ තැන් හතර ගැන පහදින අයගේ දුක සෝක සංකා දුරු වී සැදැහැවත් බව, නුවණ දියුණු වෙනව.

පින්වත්නි,

සමහරු කෙනෙක් දැකීමෙන්ම පහදිනව. සමහරු හඬට පහදිනව. තවත් අය කෙනෙකුගේ දක්ෂතාවලට පහදිනව. ඒත් හැම පැහැදීමක්ම තාවකාලිකයි. සමහර පැහැදීම් යහපතට හේතු වනව. සමහර ඒවා විනාශයට හේතු වනව.

පින්වත්නි, මෙලොව පහළ වන මිනිසුන් අතර නොයෙක් විදිහෙ දාර්ශනිකයෝ, ඉතිහාසඥයෝ, මනෝ විද්‍යාඥයො ඉන්නව. ඒත් ඒ හැම දෙනා අතර බුදුරජාණන් වහන්සේ උත්තරීතරයි. හිතල බලන්න පාරමී පිරූ බෝසත් කාලය. අතීත ජාතිවල ගත කරල තිබෙන ජීවිත බැලුවත් අසිරිමත්. වෙස්සන්තර ආත්ම භාවය ගැන හිතන්න. තමන් සතු වස්තුව දන් දීල ජාලිය - ක්‍රිෂ්ණජිනා දරු දෙන්නත් මන්ද්‍රි දේවියත් සමග මහ මඟට බැස්ස. අතර මඟදි අශ්ව කරත්තය දුන්නා. වනගතවෙලා තවුස් දම් රකිද්දි දරුවන් දන් දුන්නා. මන්ද්‍රී දේවිය දන් දුන්නා. මේ හැම දීමනාවක්ම වගේම යමෙක් නෙත් දෙක ඉල්ලුව නං එවේලෙම ගලවල දුන්න. ඉස් - මස් - ලේ - හදවත් දන් දුන්නා. ජීවිත පූජා කළ වාර අපමණයි. ඒ හැම පරිත්‍යාගයක්ම කළේ ඔබ වෙනුවෙන්. මා වෙනුවෙන්.

ඊළඟට බලන්න සිදුහත් කුමාරව ඉපදිලා ළමා කාලය ගත කළ හැටි. ඒ ළමා කාලයෙ හරිම සන්සුන්. අහිංසකයි. එදා වප් මඟුල් දා සිදුවුණු දේ ඔබ දන්නවනේ. දෙව්දත් කුමරු හංසයකුට විදපු වෙලාවෙ සිදුහත් කුමාරය ඒ ඊතලය ගලවල සාත්තු කළානේ. ඊළඟට තරුණ කාලයේ යශෝධරාව විවාහ කර ගෙන රාහුල පුංචි පුතා ඉපදුණු දවසෙ සියලු සැප අත්හැරල තපසට ගියානේ. ඒ අතහැරීමෙන්ම උන්වහන්සෙ මොන තරම් සැහැල්ලු බවට පත් වුණාද? ඉන් පස්සෙ ලොවුතුරා බුදු වුණ දවසෙ උන්වහන්සෙ .... සිත දුකට පත් කරවන සියලු කෙළසුන් කෙරෙන් දුරුවුණා. සියලු සසර බැමි වලින් නිදහස් වුණා. සියලු පූජාවන්ට සුදුසු වුණා. රහසින්වත් පවු නැති අසිරිමත් බුදු සිතක් ලැබුවා.

පින්වත්නි, කෙළෙස් කියන්නෙ සිත දූෂිත කරන - සිත කිළිටි කරන - සිත අපිරිසුදු කරන සිතිවිලිවලට. එයින් එකක් බලන්න. වෛරය. වෛරය - තරහව ඔබේ සිතේ තිබෙනව නම් විශාල වදයක් නේද? සිත ගිනි ගත්ත නේද? එවන් සිතිවිලි මහා බරක්. ඔබ යම් කෙනෙකු සමග වෛර බැඳ ගත්ත කියල හිතන්න. ඒ මොහොතෙ ඉඳලම ඔබේ සිතේ පහළ වන්නෙ නරක නපුරු සිතිවිලි නේද? ඒ ඔස්සෙ ක්‍රියාත්මක වන්නෙ විපත්ති නේද? එය ඔබේ ජීවිතයටම කරගත්ත කොඩිවිනයක් නේද? කිසිම වැදගැම්මකට නැති දේවල් නිසා ඇයි අප අපේ සිත කෙළෙසා ගන්නෙ.

බලන්න, ලොවුතුරා බුදු සිත සියලු කෙළෙස් සහමුලින් දුරු කළ සිතක්. ඒ නිසා නෙ බුදුපියාණන් වහන්සේ මහා කාරුණික වුණේ. ඒ බුදු සිතේ තිබුණු නිවීම, සැනසීම, විරාගී බව, නුවණ බුද්ධිය අපමණයි. ඒ බුදු සිතේ තම පුතා, තම පියා, දෙව්දත් තෙරුන්, ආලවක සෙනෙවි, අංගුලිමාල කියල වෙනසක් තිබුණේ නැහැනෙ. හැමෝටම සම මෙත් කරුණා දැක්වූවා.

පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු අති විශිෂ්ට ගුණයක් තමා නොඇලීම හා නොගැටීම. ඔබටත් හැකිද ඒ විරාගී දහම අනුගමනය කිරීමට. එසේ හැකි නම් විශාල ජයග්‍රහණයක්. සතිපට්ඨාන සූත්‍රය ගැන දන්න ඇත්තන්ට වැටහේවි.

බුදුරජාණන් වහන්සේ තුළ තිබුණ වීතරාගී, වීතදෝසී, වීතමෝහී සිතිවිලි පිළිබද බලන්න. එම සූත්‍රයෙ මුලින්ම දැක්වෙන කය අනුව සිහි නුවණින් බැලීම තවත් කිසිවෙකුට විවරණය කිරීමට ඉඩ නොතබා විවරණය කළා. ශරීරයේ පැවත්මට මහෝපකාරී වන හුස්ම ටික ගැන දී ඇති විවරණය, ඊළඟට සතර ඉරියව් පැවැත්වීම ගැන, හැම ඉරියව්වක් ගැනම, දෙතිස් කුණප කොටස් ගැන, සතර මහා ධාතු ගැන මරණින් පසු ශරීරයේ ඇති තතු ගැන විවරණය කර ඇති අයුරු අසිරිමත්. ඊළඟට බලන්න අපේ සිත ගැන, විඳීම් ගැන, ලෝකයේ ජීවිතයේ සත්‍යතාවය ගැන කර ඇති විවරණය අසිරිමත් නේද? ලෝකයේ මොන තරම් විද්‍යාඥයො ඉන්නවද? ඒත් ඔබේ මගේ සිත ගැන, ඒ සිතේ පහළ වන සිතිවිලි ගැන, ඒ සිතිවිලි වලින් පහළ වන වින්දන. ඒ වින්දන නිසා එක් රැස්වන කර්ම ශක්ති ගැන අපේ බුදුහාමුදුරුවො මහා පුදුම විදිහට විවරණය කරල තිබෙනව.

ඊළ¼ගට බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. පින්වත්නි, සම්මා දිට්ඨිය ගැන හිතන්න. සම්මා දිට්ඨිය පිහිටන්නෙ සිතේමයි. ලොව තිබෙන හොඳම දැකීම තමා පින්වත්නි සියල්ලටම මුල සිත, ඔය සිතේ පහළවන හොඳ නරක දෙකේම ප්‍රතිඵලයක් හැටියටයි ඔබත් මාත් නිර්මාණය වෙලා තිබෙන්නෙ. ඉන් තොරව අපව නිර්මාණය කළ මොනම අදෘශ්‍යමාන හස්තයක්වත් නෑ. මොනම දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් අපව නිර්මාණය කරල නෑ. ඔබ යම් දුකකට පත් වී ඇත්නම් ඒ ඔබේම සිතේ ඔබම පහළ කර ගත්ත රාගය - තරහව - මෝඩකම - මානය - ඊර්ෂ්‍යාව වගෙ අයහපත් සිතිවිලිවල ප්‍රතිඵලයක්. ඔබේ සිතේ අවංක පිරිසුදු සතුටක් තිබෙනව නම් එතැන ඇලීමක් , ගැටීමක් නෑ. පින්වතුනි, ඔබ යම් දෙයකට තදින් ඇලී සිටිනව නම්, ඔබ යම් කෙනෙකුට දැඩිව ආදරය, සෙනෙහස, ඇලීම, බැඳීම දක්වනව නම් මහා දුකක්නෙ. එය ඔබ හොඳින් අත්විඳල ඇති.

ඕනැම දෙයක් සමග හරි ඕනැම කෙනෙක් සමග හරි දැඩිව බැඳෙන එක ගැටෙන එක දුකක්මයි. පුරුද්දක් පිළිබඳ වුණත් එහෙමනෙ. ඒක හිතට මහා බරක්. බැඳීමෙන්, ගැටීමෙන් දුරස් වන්න වන්න හිතට සැනසිල්ල ළඟා වෙනව. එතැන තමා දැහැමිකම. ඒ තමා පරම සත්‍යය. මේ දැකීම ඔබ තුළ තිබෙනවද? මේ උතුම් සංකල්පනා ඔබ තුළ තිබෙනවද? මෙය උතුම් නිවැරදි වචනයක්. අපි වීරිය දැරිය යුත්තෙ මිථ්‍යා විශ්වාසවලින් මිදෙන්න. වැරැදි ක්‍රියා දුර හරින්න. ඔබ උත්සාහ කරන්න පන්සිල් රකින්න. පන්සිල් රැකීමෙන් ලැබෙන සතුට අප්‍රමාණයි.

පින්වත්නි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ අය අතර මහා සංඝ රත්නයම ශ්‍රේෂ්ඨයි. සුපටිපන්න ගුණයෙන් යුක්තයි. ඉන් අදහස් කරන්නෙ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාණයෙන් යුක්තයි. ඒ වගේම උජුපටිපන්නයි. ඒකෙන් අදහස් කරන්නෙ, ඒකාන්තයෙන්ම නිවන් පිණිසම පිළිවෙත් පුරණ නිසයි.

ඔබගේ හද කුටියේ ඉඩක් වෙන් කරන්න, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට, වීතරාගී නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, සුපටිපන්නාදී ගුණ සපිරි මහා සඟරුවනට. එය දෙලොව යහපතට, නිවන් අවබෝධයට උපකාරී වනව. ඔබටත් මටත් ධර්මාලෝකය පහළ වේවා! නිර්වාණාවබෝධය වේවා!


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.