Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත පිළිබඳ විද්‍යාව

බුදු දහමේ සිතට ලැබෙනුයේ ඉතා වැදගත් වූ තැනකි. සැබවින්ම බෞද්ධ දර්ශනවාදය හා බෞද්ධ න්‍යාය ධර්ම, සිත හා සම්බන්ධව පවතී. විශ්වය තුළ මිනිසාගේ තත්ත්වය හා දෛවය, ඔහුගේ ජීවන පැවැත්ම, ඔහුගේ කි‍්‍රයා පිළිබඳ ඔහුට ඇති නිදහස ඔහුගේ වගකීම හා අවසාන ඉරණම යනාදිය සිත හා ඉතා කිට්ටු සම්බන්ධයකින් පවතී.

බුදු දහමේ මිනිස් සිතට එතරම් වැදගත් තත්ත්වයක් දෙනු ලබන්නේ විශ්වය තුළ මිනිසාගේ ඉරණම හා දෛවය රඳා පවතින්නේ බහු මත නිසාය. මිනිසා පාලනය කිරීම ඔහුගේ ඉරණමට මග පෙන්වීම සර්වඥවූද සර්ව බලධාරීවුද බලයක් මත සිදු නොවන නිසාය. මෙලොව මිනිසාට වඩා බලවත් කෙනකු නොමැති අතර, මිනිසා තුළ සිතට වඩා බලවත් දෙයක් නොමැත. සිතට, වෙන්වූ තමාගේ ම වූ තත්ත්වයක් තිබෙන බව පවසන මිල්ටන් නමැති සුප‍්‍රසිද්ධ ඉංගී‍්‍රසි කවියාගේ කියමන මෙහිලා බෙහෙවින් උචිත වූවකි. දෙව් විමන අපායක් කිරීමටද, අපාය දෙව් විමනක් කිරීමට ද මේ සිත සමත් වේ. මිනිසා වනාහි සර්ව බලාධාරී දෙවි කෙනෙකුගේ හෝ අහම්බෙන් ඇතිවන සිදුවීම් නිසා නොවෙනස් කළ හැකි වූද, අකාරුණික දෛවයේ මැර පහරින් එහා මෙහා පෙරැළිය හැකි හෝ ඇඹරිය හැකි වන හෝ අසරණ තත්Àවයේ සිටින සත්වයකු නොවේ. තමාගේ සිත නම් වූ බලවත් උපකරණය මගින් මිනිසා විසින් තමාගේ දෙව්ලොව හෝ අපාය නිර්මාණය කරගනු ලබන්නේ ය. සැබවින්ම මිනිසා වනාහි තමාගේ් ඉරණම පිළිබඳ නිර්මාණ ශිල්පියා වේ.

මිනිසා කතා කරනුයේ ද කි‍්‍රයා කරනුයේ ද සිත මුල් කරගෙන, සිතෙහි මග පෙන්වීම අනුව ය යනු බුදු දහමේ ඉගැන්වීමයි. සිතේ බලපෑමෙන් හෝ මග පෙන්වීමෙන් තොරව කැරෙන ඕනෑම කි‍්‍රයාවකට සුචරිතමය හෝ න්‍යායානුකූල හෝ වැදගත් කමක් නොමැත. මේ වනාහි බුදුදහමේ එන කර්මවාදය පිළිබඳ වැදගත් ඉගැන්වීමක් වන පටිච්ච සමුප්පාද ධර්මයයි. කරුණු මෙසේ සළකා බලත්ම , බෞද්ධ මතයෙන් දැක්වෙන පරිදි මිනිසාගේ මෙලොව හා පරලොව ජීවිත කෙරෙහි බෙහෙවින් බලපාන වරද හා නිවරද හොඳ හා නරක, මිනිසාගේ සිත හා කෙළින්ම සම්බන්ධව පවතී. තම සිත මුල් කරගෙන ඇති වන කි‍්‍රයාවනට අනුව මිනිසා සැප, දුක, පී‍්‍රතිය, දොම්නස යනාදිය අත්දකිනු ලැබේ.

සිතිවිල්ල වනාහි තනිව පවතින්නක් නොවේ එය කවර මොහොතක හෝ (පමාවී හෝ නොපමාව හෝ) කි‍්‍රයාවට නැඟේ. යම් සිතිවිල්ලක් පුරුද්දෙන්, නැවත නැවත භාවිතය හේතුවෙන් බෙහෙවින් ශක්තිමත්ව පවතිනුයේ නම්, එය වේගයෙන් කි‍්‍රයාවට නැගෙත්ම එය පාලනය කිරීමට සිතිවිල්ල සිතූ පුද්ගලයා සමත් නොවේ. සිතිවිලි ස්ථාවර නොවන බවත්, වෙනස් වන සුළු බවත් මානසික විද්‍යාඥයෝ පවසති. අපගේ සිත් තුළ හටගන්නා යහපත් හෝ අයහපත් සිතිවිලිවලට අනුරූපව හොඳට හෝ නරකට එම සිතිවිලි බලපවත්වන බව අප දන්නා බැවින් අප විසින් උගත යුතු වටිනා පාඩමක් ඇත. එනම් අපගේ සිත් තුළ ඇති වන සිතිවිලි ගැන අප බෙහෙවින් කල්පනාකාරී විය යුතු බවයි. මෙසේ අපගේ සිතේ හටගන්නා සිතිවිලිවලට අනුව අපගේ් කි‍්‍රයා හැඩ ගැසේ. අපේ මේ කි‍්‍රයාවලට අනුව චරිතය හැඩ ගැසේ. සිතිවිලි අවධියේදීම වරද යටපත් කරගැන්ම අපහසු නොවේ. ඊට හේතුව අප ප‍්‍රශ්නය එකල්හි මුදුන් මුලේ දීම විසඳන බැවිනි. “ පැන්ස ආරක්‍ෂා කරගනු ලැබූ විට පවුම ඉබේම ආරක්‍ෂා වනු ඇතැයි යනු කියමන මෙහිලා අර්ථවත් වෙයි. “ඔබේ සිතිවිලි ගැන සුපරික්‍ෂාකාරී වන්න. එකල්හි ඔබගේ කි‍්‍රයා ඉබේම සුරැකෙනු ඇත. “

මුලින් පිළිගත් සිතිවිල්ලෙන් තව තවත් සිතිවිලි හටගැන්ම සිදුවේ. පසුව හටගත් මෙම සිතිවිලි වැඩදායි වේ දැයි නොවිමසා නැවතත් පිළිගනු ලැබුවහොත්, මෙවැනි සිතිවිලි දිගින් දිගටම ගොස් ඒවා ඉබේම සිතේ තදින් කාවැදී පැවැත්මට අවස්ථාව සැලසේ. ඉන් පසු මෙය සෑම වේලේම පවතින සිතිවිල්ලක් වන අතර එය මැඩපැවැත්වීමට අසීරු වනු ඇත. එමෙන්ම මේ සිතිවිල්ල මගින් සිත පාලනය කැරෙනු ඇත. එමෙන්ම සිත තදින් බැඳ තබනු ඇත. මේ සිතිවිල්ල අකුසල සිතිවිල්ලක් වනුයේ නම් කොතරම් පහසුවෙන් එයට අනුරූපව අකුසල කි‍්‍රයා එහි ඵලයක් ලෙස ලැබේදැයි සිතාගත හැකිය. මේ අකුසල කි‍්‍රයාවනට විරුද්ධව නැගී සිටීමට ඔබ සමත් නොවනු ඇත. කරුණු මෙසේ හටගත් අවධියේම ඔබ කොතරම් පරීක්‍ෂාකාරී විය යුතුද? එහෙත් අපි ඒ ගැන එතරම් සැළකිල්ලක් දක්වමුද ? දිනකට කී වරක් අප සිත් තුළ අකුසල පාපකාරී සිතිවිලි පැන නැඟ , ඒ මොහොතේම ඒවා යටපත් කිරීමට කිසිම උත්සාහයක් නොගෙන සිටින්නට ඇත්ද? අපගේ කි‍්‍රයාවනට පිටුපසින් ඇත්තේ සිතිවිල්ලයි. චරිතය නමින් හැඳින්වෙන දෙය අපගේ සිතිවිලි මගින්ම නිර්මාණය වෙයි. ඒ වනාහි අපේ සිතේ ස්වභාවය හා තත්ත්වය වේ. කෲර ලෙස සිතත්ම අපි කෲර වෙමු. වංචාකාරීව සිතතොත් අපි වංචාකාරයන් බවට පත් වෙමු. අප අවංක ලෙස සිතීමට හුරුවුවහොත් අපි අවංක පුද්ගලයන් වෙමු.

සිතිවිලිවලට අනුව අපේ චරිතය ද ගොඩ නැඟෙනු ඇත. මරණයෙන් අප නැවත උත්පත්තිය ලබන විට වර්තමාන යේ හුරු වූ සිතිවිලිවලට අනුව ලැබෙන චරිතයක් ඇතිව පුනර්භවය ලබනු ඇත. අපි අපගේ ස්වභාවයට හෙවත් චරිතයට අනුව හැසිරෙන බැවින්, එනම් කාරුණික පුද්ගලයෙක් කාරුණික අන්දමින්ද, කෲර පුද්ගලයෙක් කෲර අන්දමින්ද කි‍්‍රයා කරත්ම ඔහුගේ අනෙක් භවයේ ඛ්2යා ද , මේ භවයේ එම සිතිවිලි මත රඳා පවතින, බව අවබෝධ කරගැනීම, අපහසු නොවේ. මේ වනාහි ‘කර්මය’ වේ.

එහෙත් සිතිවිල්ලට පිටුපසින් ඇත්තේ ආශාව වේ. තණ්හාව වේ. අපගේ ආශාවට අනුව අප බලාපොරොත්තු දේ ලැබේ. යකඩයක් කාන්දමට ඇදෙන්නා සේ ආශාව කෙරෙහි ද්‍රව්‍යයක් ආකර්ෂණ වේ. අපි ධනවත් වීමටද උගත්වීමටද ආලය කිරීමටද ආලය කරනු ලැබීමටද, බලවත් වීමටද , උගත්වීමටද ආශා කරන්නෙමු. එහෙත් ආශා කිරීමෙන් පමණක්ම අපගේ අවශ්‍යතා සම්පූර්ණ වේද ? නැත. අපගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා මග පාදා ගැනීමට සඳහා අප සිතා මතා අවස්ථාව බලා කටයුතු කළ යුතු වෙයි. කරුණු මෙසේ බැවින් අපගේ ආශා ඉෂ්ඨාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා කි‍්‍රයා කිරීමේදී සිත ඉතාම වැදගත් වන බව පෙනේ. කෙනකුගේ සිත් තුළ හටගන්නා සිතිවිලි ද්වේශ සිතිවිලි, ඊර්ෂ්‍යා සිතිවිලි යනාදී සිතිවිලි කෙනෙකුට සතුරන් ගෙන් ලැබෙන වධ හිංසා වලට වඩා තදින් හිංසා කිරීමට සමත්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරා ඇත. අවස්ථාවට උචිත පරිදි තම සිත හැඩ ගස්වා ගැනීමට අසමත් පුද්ගලයා මිනී පෙට්ටිය තුළ බහා ඇති මළ මිනියක් වැනි ය.

විදුලිය බලය පිළිබඳ වූ නියාමය මෙන් සිත පිළිබඳ වූ සිද්ධාන්තයද කිසිවක් නොතකන අතර, එය කි‍්‍රයා කරනුයේ ඔහුගේ කි‍්‍රයා පිළිබඳ සිද්ධාන්තයට අනුව වේ. විදුලිය බලයේ නියාමයෙන් කම්බිය අල්ලන තැනැත්තා කිසිම සිතා බැලීමක් හෝ පෞද්ගලිකත්වයක් හෝ නැතිව මරණයට පත් කිරීම සිදුවේ.

එම විදුලිය බලයම ඔහුගේ ගෘහය ආලෝකය ඇති කර ආලෝකවත් කිරීමට ද කි‍්‍රයා කරයි. විදුලි සැරය සහිත කම්බිය අල්වාගත් තැනැත්තා මරුවා දෙසට ආකර්ෂණය වේ. ඊට හේතුව ඔහු අනුචිත කි‍්‍රයාවක යෙදුණු බැවින් විශ්වය පිළිබඳ නියාම ධර්මයක් අනුව මරණය හැර අන් කිසිවක් ඔහුට නොලැබේ. එමෙන්ම විනාශකාරී සිතිවිල්ලෙන් සිත පුරවාගත් තැනැත්තා වෙත විනාශකාරී ප‍්‍රතිඵලම ඇදී එන්නේ ය.

බුදුරජාණන් වහන්සේ විසින් සොයා ගන්නා ලද ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයාට ලැබිය හැකි සැපතට සමාන කරන විට අද දක්වා මිනිසා ලබා ඇති භෞතික ලාභ ප‍්‍රයෝජන ඉතාම සුළු වේ. විද්‍යාවේ දියුණුවත් සමඟ රෝග මර්දනය ආදී විපත්ති කරදේ නැති කිරීම ද මඟින් මිනිසාට මීට පෙර අත් නුදුටු අන්දමේ සැනසීම ලැබෙනු ඇත. එහෙත් සිත ජයගත් තැනැත්තේ උසස්ම පී‍්‍රතිය සැපත ලබන්නේ ය. අපගේ සිතුවිලි ඉතා වැදගත් බවද, අප ජීවිත වනාහි අපගේ සිතිවිලිවල ප‍්‍රකාශන බවත්, එබැවින් සිතුවිලි ජයගැනීම අභිබවා යෑම, අපේ ඉරණම යහපත් ලෙස සකස් කර ගැනීමක් බවද බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.

සිත වනාහි අපගේ අනාගත ඉරණම වේ. අපගේ නිර්මාණ ශිල්පියා වේ. යහපත් මෙන්ම අයහපත් දෑ පිළිබඳව ද, සිත මැවුම්කරු වේ. සෑම අයහපත් දෙයකම මුල සිත වේ. ඒවා සිතින්ම නිර්මාන වූයේ ය. අනෙක් අතට සෑම සැපතකටම, දියුණුවකටම, සැනසීමකටම සිත ප‍්‍රධාන වන අතර ඒවා සිතින්ම නිර්මිත වූයේ ය.

අපි අපගේ සිතුවිලිවලට ඵල වෙමු. එබැවින් ප‍්‍රවේණිය හා පරිසරය හේතුවෙන් ඇති වන යම් යම් අඩුපාඩු අපට ජය ගත හැකි වන අතර අධිෂ්ඨාන බලයෙන් අපට අලුත් පරිසරයක් නිර්මාණය කරගත හැකි ය.

භාවනාව හා උත්තරීතර සෘද්ධි බලය මඟින් දියුණු කර ගත් සිත මඟින් විශේෂ කුසලතා රැසක් ලද හැකි ය. භවාංග සිතේ පතුලේ තැන්පත්ව ඇති බල විශේෂයක් මිනිසා සතුව ඇති බව, නූතන විද්‍යාවේ අධි ඉන්ද්‍රිය දර්ශනයේ දී පෙන්වා දෙනු ලැබේ.

ඈත අතීතයේ ජීවත් වූ සෘෂිවරයින්, සාන්තුවරයින්, දාර්ශනිකයින්, මනෝ විද්‍යාඥයින් හා ආගමික නායකයින් විසින් මිනිස් සිත තුළ ගැබ්ව ඇති බලය හා දක්‍ෂකම් ගැන ප‍්‍රකාශ කර ඇත. එහෙත් මිනිසා සතුව පවත්නා, එහෙත් බාහිර දේ කෙරෙහි ඇලී ගැලී කිමිදී සිටින බැවින් ප‍්‍රයෝජනයට නොගත් ඒ ආධ්‍යාත්මික උරුමය එසේ නොසළකා හැර තිබීම ගැන, සොයා දැනගන්නා ලද්දේ මීට දස වර්ෂ කිහිපයකට ඉහතදී ය. මිනිස් සිත රන් ආකාරයක් මෙන්ම කුණු ගොඩක් බවද ඔවුහු අවබෝධ කරගෙන ඇත. අන් අයගේ සිත් කියවීම පූර්ව ජීවිත දැකීමේ ඤාණය, දිවැසි, දිව කන් යනාදිය අද දවසේ මනඞකල්පිත දේ නොව, සත්‍ය දේ බවට පිළිගැනී ඇත.

මෙසේ අප තුළ පවත්නා චිත්ත බලය, සොබා දහම ජය ගනිමින් සෘද්ධි ප‍්‍රාතිහාර්ය පෑමට පමණක් නොව, කෙලෙස් සතුරන් ජයගෙන අධ්‍යාත්මික වූ සර්ව නිර්දෝෂ තත්ත්වය ලබාගැනීම සඳහා ද, යොදාගත හැකි ය. විශ්වයේ ඇති බලවේග අතර චිත්ත බලය ශ්‍රේෂ්ඨතම බලවේගය වන බව, විද්‍යාඥයන් හා මනෝ විද්‍යාඥයන් විසින් සොයා දැගන්නා ලද්දේ, මෑතකදී ය. එහෙත් මීට වර්ෂ 2551 කට පෙර යුගයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාරා ඇත.

මනෝ පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා

සෑම ධර්මයකටම මනස මුල් වෙයි. ඒවා මනසින්ම නිර්මිත වූයේ ය. මනසට ශ්‍රේෂ්ඨ වේ.

මෙවැනි එක් ගාථා ඛණ්ඩයකින් බුදුරජාණන් වහන්සේ කරුණු රාශියක් ප‍්‍රකාශකොට දක්වා ඇත. මෙයින් අදහස් කැරෙනුයේ කුමක්ද? තාත්වික ලොවට ඇතුළුවීමට පෙර සෑම දෙයක්ම පළමුවෙන් හටගනුයේ සිතෙහි වේ. සියල්ලක්ම සිතෙන්ම නිර්මිත වේ යැයි පැවසෙනුයේ එබැවිනි. කි‍්‍රයාවනට පෙර සෑම වේලේම සිතිවිලි පෙරමුණ ගනියි. සිතිවිල්ල කෙතරම් බලසම්පන්න වන්නේ ද වැදගත් වන්නේ ද යත්, සිතිවිල්ල පමණක් එහි ප‍්‍රතිඵලය වන කි‍්‍රයාවෙන් ඈත්ව වූවද, ඉතා පුදුමාකාර බලසම්පන්න බලපෑමකින් යුතුව, මවිතකර ප‍්‍රතිඵල ලබාදීමට යොමු කළ හැකි ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.