Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුඩමාදුව ශ්‍රී සංඝිකාරාමය


චෛත්‍යය

කොළඹ දිස්ති‍්‍රක්කයේ හෝමාගම ආසනයේ සිද්දමුල්ල කුඩමාදුව නම් වූ කුඩා මනරම් ගම් පියසේ 1890 පමණ වන පැරණි ඉතිහාසයක් සහිත රට ජාතිය ආගමට අනුපමේය සේවාවක් සපයන පින් බිමකි. කුඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානය මූලික වශයෙන්ම කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කළ දායක දායිකාවන් ගේ උත්සාහය සහ අනන්ත කැපකිරීම් වල ප‍්‍රතිඵලයක් ලෙස සුවිශාල ජන පදනමකින් යුතුව අංග සම්පූර්ණ විහාරාංගයන්ගෙන් හෙබි විහාරස්ථානයක් බවට අද දිනයේ මෙම විහාරස්ථානය පත් වී ඇත. එම අතීතයේ සිහිවටන වත්මන් සමාජයට ලබා දී ඇති දායාදය සුලු පටු නොවේ.

විහාරස්ථානයේ වර්තමාන සෞභාග්‍යයේ ආරම්භය පටන් ගැනෙනුයේ 1968 අගෝස්තු මස 8 වන දින වර්තමාන ගරු විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත පූජ්‍ය පරගස්තොට පියරතන ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයේ වර්තමානයේ පවතින විහාරස්ථානය ආරම්භ කිරීමය. එතැන් පටන් අද දක්වා ප‍්‍රදේශ වාසීන්, අවට ප‍්‍රදේශ වාසීන් ඇතුළු ශ්‍රී ලාංකික ජනතාවගේ නොමද සහාය ලබමින් විහාරස්ථානය පමණක් නොව දායක දායිකාවන් ගේ ආධ්‍යාත්මික මෙන්ම භෞතික වර්ධනය සඳහා සලසන සේවය විශාල වෙයි.

1968 වන විට කුඩමාදුව ගම්මානය පහසුකම් කිසිවක් නොතිබුණු දිළිදු ගම්මානයක් වූ අතර එහි පදිංචිව සිටියේද අතලොස්සක් පමණ වූ දායක දායිකාවන් පිරිසකි. කෙසේ වෙතත් ඔවුන් විසින් විහාරාධිපති ස්වාමින් වහන්සේට දක්වන ලද අපරිමිත කරුණාව දයාව මෙන්ම ලබා දුන් නොමද සහාය විහාරස්ථානය අද පවතින තත්වයට ගෙන ඒමට මහඟු අත්වැලක් විය. එයින් උපරිම


බෝධීන් වහන්සේ

ප‍්‍රයෝජනය ලද උන්වහන්සේ ආගමික කටයුතු වලට ප‍්‍රමුඛත්වය ලබා දුන් නමුත් සමාජීය ආර්ථික මෙන්ම භෞතිකව ගමේ සංවර්ධනය උදාකර දීමට නොමද වෙහෙසක් දරණු ලැබුවේ , ඒ තුළින් තම දායක දායිකාවන් මෙන්ම ගමද සංවර්ධනය කර යහපත් දිවි පෙවෙතකට ඔවුන් යොමු කර ලිය හැකි බවට උන්වහන්සේ තුළ වූ අචල විශ්වාසය සහ දූරදර්ශි දැක්ම නිසාය.

ගමට විදුලි බලය ලබාදීමට ගමේ මං මාවත් වැඩි දියුණු කිරීමටද උන්වහන්සේ ප‍්‍රමුඛව කි‍්‍රයාත්මක වූහ. අනතුරුව ප‍්‍රවාහන පහසුව සඳහා බස් රථ කිහිපයක් යෙදවීමේදී ද ගමට දුරකථන පහසුකම් ලබා ගැනීමේදීද උන්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් විහාරස්ථානය කේන්ද්‍ර කොට සිදු වූ වැදගත් සේවාවන් වේ. වර්තමානයේ දී ගමට ජල පහසුකම් ලබා දීමේ මහඟු සේවය ද සාර්ථකව ඉටුකරමින් ජන ජීවිතයේ පෙරලියක් ඇති කිරීමට විහාරස්ථානය මූලිකව යොදා ගන්නා ලදී.

සිදුහත් ළමා සමාජය ආරම්භ කිරීම තුළින් දරු දැරියන් ගේ ගුණධර්ම වර්ධනයට පදනම ඇති කළ උන්වහන්සේ අද වන විට කුඩමාදුව නවෝදයේ පෙර ගමන්කරු වන සණස සමිතිය ඇතුලු තවත් සමිති රාශියක ගරු අනුශාසකත්වය දරමින් ඒ තුළින් ප‍්‍රදේශ වාසීන් ගේ ජීවන තත්වය නංවාලීමට බෞද්ධ පරිසරයක් තුළ ලබාදිය හැකි උපරිම ශක්තිය සපයා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ පමණක් කුඩමාදුව සණස සමිතිය මගින් රුපියල් ලක්‍ෂ 75 ක මුදලක් ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය උසස්කර ගැනීම සඳහා ණය වශයෙන් ලබා දීමට සමත් වී ඇත.


පරගස්තොට පියරතන හිමි

මෙතරම් මුදලක් ඉතිහාසයේදී කිසිම රජයකින්වත් කුඩමාදුව ගමට ලබා දී නැත. මීට අමතරව එක්සත් අන්‍යොනාධාර සමිතිය මගින් අවමංගල්‍යය අවස්ථාවන් චාම් සහ අර්ථවත් ලෙස ඉටු කිරීමටත් දිලෙන තරු කී‍්‍රඩා සමාජය හරහා ප‍්‍රදේශයේ තරුණ කැල යහපත් පුරවැසියන් බවට පත් කිරීමටත් විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන සිදු කරනු ලබයි.

විහාරස්ථානයේ කටයුතු විහාරස්ථාන කාර්යය සාධක සමිතිය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ගේ සභාපතිත්වයෙන් යුතුව ඉටු කරනු ලබන අතර එහි සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා ආගමික, අනු කමිටුව, සමාජීය අනු කමිටුව, සංස්කෘතික අනුකමිටුව, සහ සංවර්ධන අනු කමිටුව, වශයෙන් අනුකමිටු හතරක් මගින් පුලුල් පරාසයක් ආවරණය කිරීම සිදු කෙරේ.

හැටේ දශකයේදී ආරම්භ කරන ලද ශ්‍රී පියරතන දහම් පාසල විහාරස්ථානයේ මූලිකව සිදු කරනු ලබන සුවිශාල ගමන් මෙහෙවරේ තවත් එක් අංගයකි. දැනට මෙහි සිසුන් 250 කට අධික ප‍්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබන අතර එය වර්තමාන දරු පරපුරේ යහපත් හෙට දවසක් වෙනුවෙන් එහි ආදි සිසු සිසුවියන් සහ ස්වේච්ඡා ගුරු භවතුන් ගේ සමාජ මෙහෙවරේ ප‍්‍රතිඵලයකි. විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය යටතේ මෙම දහම් අධ්‍යාපන මෙහෙවර ඉදිරියට ගෙනයනු ලබන්නේ එහි වර්තමාන විදුහල්පති ධූරය දරන විහාරාධිපති හිමියන්ගේ පැවිදි ශිෂ්‍ය ශාස්ත‍්‍රපති කලවැල්ලාරේ චන්ද්‍රානන්ද හිමියන් විසිනි.

යසෝදරා කුලඟන සමිතිය හරහා ආගමික කටයුතු වලට අමතරව සමාජීය හා සංස්කෘතික පිබිදීමත් ගම තුළ ඇති කිරීම සඳහා ලැබූ පන්නරය අතිමහත්ය. දුෂ්කරතාවයන් රාශියක් මධ්‍යයේ වුවද විහාරස්ථානයේ වර්තමාන තත්වය කරා ආ ගමන ගම් වාසින්ගේ සහ විහාරස්ථානයේ එකමුතුව විදහා පාන්නකි.

කුඩමාදුව ශ්‍රී සාංඝිකාරාම විහාරස්ථානය සැම විටම ගමේ එකමුතු බව අවට ගම් හා සහයෝගිත්වයෙන් කටයුතු කිරීම සහ අන්‍යොන්‍ය උපකාරය ගම තුළ ඇති කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකර ඇත. වර්තමානයේ පවුල් දහසකට අධික සංඛ්‍යාවක් ජීවත්වන මෙම ගම්මානයේ අනාගත සාර්ථකත්වය තව දුරටත් විහාරස්ථානය හා බැදී පවතින අතර එහි නියමුවා ලෙස විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම ප‍්‍රදේශ වාසීන්ගේ ප‍්‍රසාදයට භාජනය වී ඇත.

කලක් ඇමරිකාවේ ධර්මදූත සේවාවේ යෙදුනු විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඒ තුළින් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පැවැත්ම උදෙසා මහඟු සේවාවක් ඉටුකරන ලදී. වර්තමානයේදීද කුඩමාදුව විහාරස්ථානය මූලික කොට ගෙන කුඩමාදුව ප‍්‍රජා සංවර්ධන පදනම පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකරන උන්වහන්සේගේ බලාපොරොත්තුව නුදුරු අනාගතයේදීම ඒ තුළින් ප‍්‍රජාවට බෞද්ධ පරිසරයක් තුළ ආධ්‍යාත්මික මෙන්ම භෞතික සංවර්ධනයක් ලබා දීම වේ. හදිසි ආපදා අවස්ථාවලදී විහාරස්ථානය මුල් කරගෙන නිවාස ඉදිකර දීම හා වෙනත් පහසුකම් සැපයීම තුළින් දායක දායිකාවන් ගේ අපහසුතාවයන් මගහරවාලීමට පියවර ගැනීම මානුෂික මෙහෙවරේ තවත් එක් අංගයකි. ශීල ව්‍යපාර සංවිධානය කිරීම ධර්ම සාකච්ඡා පැවැත්වීම ප‍්‍රවීන දේශකයාණන් වහන්සේලා ලවා හරවත් ධර්ම දේශනා පැවැත්වීම තුළින් අර්ථවත් දිවි පෙවෙතකට ජන සමාජය යොමු කිරීම කුඩමාදුව විහාරස්ථානය මූලිකව සිදු කරනු ලබන තවත් සුවිශාල සේවාවකි.

මෙම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේලා පස් නමක් වැඩ වාසය කරන අතර ගම්වාසීන් ගේ මෙන්ම අවට ගම්වාසින් ගේද ආගමික කටයුතු නොපිරිහෙලා ඉටුකර දීමට උන්වහන්සේලා ඇප කැප වී සිටියි. සෑම පොහෝ දිනකම සියයකට අධික සැදැහැවත් උපාසක උපාසිකාවෝ පිරිසක් මෙහි දී සිල් සමාදන් වෙයි. මෙවන් සුවිශාල සේවාවක් සපයනු ලබන කුඩමාදුව ශ්‍රී සංඝිකාරාම විහාරස්ථානය කුඩමාදුව ජනතාව ගේ පමණක් නොව අවට ප‍්‍රදේශ වාසින් ගේද ගෞරවාදරයට හා ප‍්‍රසාදයට පත් වී ඇති අතර ඇත්ත වශයෙන්ම එය කුඩමාදුව ප‍්‍රදේශයට මිණිපහනකි.

ඡායාරූප - බන්දුල විජේසුරේන්ද්‍ර


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.