Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජන කවියා දුටු බුදු ගුණ

ජන කවිය කිසියම් සමාජයක තතු නිරූපණය කරන කැඩපතක් වශයෙන් සැළකිය හැකිය. ඓතිහාසික , සංස්කෘතික, සමාජගත තොරතුරු දැන ගැනීමට තිබෙන ප්‍රබල මූලාශ්‍රයක් වශයෙන් ද සැලකීමට පිළිවන් වේ. අතීත හෙළ ජන ජීවිතය ගොඩ නැගුනේ ගමේ විහාරස්ථානය මූලික කැර ගත් සමාජයක් වශයෙනි. ඒ අනුව හෙළ ගැමියාගේ සියලු කටයුතු සිදු වුනේ ආගම දහම මුල්කොට ගෙනය. ඔවුන්ගේ සිතුම් පැතුම් සදහම් සංකල්ප මතම ගොඩ නැගුනි. ඒ නිසා ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට තිබෙන හොඳම සාධකය වන්නේ ජන කවි සහ ජනශ්‍රැතීන් බව පෙනෙයි.

එදා හෙළ ගැමියාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. ගොවිතැන් කිරීමේදී ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන වශයෙන් ක්‍රම දෙකක් තිබුණි. කුමන ගොවිතැන් කළ ද ගොවියා යනු දැහැමින් දිවිපෙවෙත ගෙන යන්නකු වශයෙන් සමාජයේ පිළිගැනීමට ලක් විය. ගොවිතැන් කිරීමේදී ආගම, ධර්මයට, විහාරස්ථානයට ප්‍රමුඛතාවය ලැබුණි. ගොවියා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වශයෙන් සමාජයේ පිළිගැනීමට ලක් විය. ඔහු තුළ සංස්කෘතිය, සදාචාරය, සාර ධර්ම, ශිෂ්ඨාචාරය ආදී සියලු ධර්මතා අන්තර්ගත විය. එදා ගොවියාගේ කුඹුර පන්සල හා සමාන ස්ථානයක් විය. කමත ද බෝධි මළුවට සමාන ස්ථානයක් විය. එපමණකට එම ස්ථාන ශුද්ධ භූමි වශයෙන් සැළකූහ. ගොවියා දැහැමි රැකියාවක් කරන උතුම් පුද්ගලයකු වශයෙන් එදා ජන සමාජයේ පිළිගැනීමට පාත්‍ර විය. ඒ බව,

‘දැහැමින් කන බොන හැටි දැන ගල්ලා
වෙළඳන් පස සොර අත හැර පල්ලා
දැහැමින් වෙළඳන් සමග බොලල්ලා
ගොවිතැන් කර අපි රැකෙමු සියල්ලා’

ගොවි ජන දිවිය තුළ අස්ථිර වූත්, අනියත වූත්, දුක්බර කටුක වූත් ස්වභාවය නිරතුරුව ජනනය කළේය.අද මෙන්ම එදා ද නියගය ගොවිතැනට බෙහෙවින් බලපෑම් කරන ලදී. එලෙස ගොවිතැන් පාළු වූ විට ඔවුහු අහසට, පොළොවට හෝ ආණ්ඩුවට ශාප නොකළෝය. එවැනි අවස්ථා වලදී උපේක්ෂාවෙන් තම සිත්සතන් ශක්තිමත් කැර ගත්හ.

“කල් බලා නොවෙද ගොවිතැන් කරන්නේ
මල් වරා නොවෙද කිරිවැද පැසෙන්නේ
පව් කළා නොවෙද වැසි පල නොදෙන්නේ
ලොව්තුරා බුදුන් කවදද දකින්නේ”

මේ සියලු දුක්වලින් නිදහසක් ලැබිය යුතුය. එය තාවකාලික නිදහසක් නොව සදාකාලික නිදහසකි. ඒ සඳහා ලොව්තුරා බුදුන් දැක නිවන් දැකිය යුතුය. නිවන් දැකීමට නම් හැකිතාක් යහපත් කටයුතු වල නිරත විය යුතුය. එවැනි දැහැමි සිතිවිලි වලින් යුතු ගොවියාගෙන් කෙලෙසකවත් පාප ක්‍රියාවන් සිදු නොවුණි.

කුරුල්ලන් සහ වෙනත් සතුන්ගෙන් ගොවියාට සිදු වන්නේ බලවත් හිරිහැරයකි. සතුන් ගෙන් කොතරම් හිරිහැර විඳින්නට සිදු වුවත් ගොවියාගෙන් සතුනට හිරිහැරයක් සිදු නොවුණි.කුරුල්ලන් සඳහා කුඹුරෙහි වෙනම ලියද්දක් වෙන් කිරීමට තරම් හෙළ ගොවියා දැහැමි විය. එම ලියැද්ද ‘කුරුලු පාළුව‘ නමින් හැඳින්විය . සතුන් ද ජීවත් විය යුතු බව ගොවියා කල්පනා කළේය. වත්මන් සමාජයේ ඇතැමුන් සතුන්, කෘමීන් විනාශ කිරීමට කෘමිනාශක යොදති. බොරු වලවල්, මර උගුල් අටවති. ඇතැම් විට විදුලි සැර වැදීමට සළස්වති. මේ සියල්ල කළේ ඝාතනය කිරීම, විනාශ කිරීම වැනි චේතනා වෙන්ය. එහෙත් එදා ගොවියා සතුන් පලවා හැරියේ ඉතාමත් අහිංසක ආකාරයටයි.

රෑනින් රෑන උඩ ඉගිලෙන කුරුල්ලනේ
බානෙන් බාන ගල් ගැහුවත් නොයන්නනේ
පුංචි හොටෙන් කුරුවී පොඩි නෙලන්නනේ
මෙදා යලේ ණය නොකරව් කුරුල්ලනේ’

‘පුංචි හොටෙන් වැනි වදන් පවසනුයේ කුරුල්ලා කෙරෙහි හදවත තුළ පැවති ආදරයයි. කුරුල්ලන් දෙස සතුරු හැඟුමෙන් බලන්නේ නම් එවැනි සුමට වදන් ගොවියාගේ මුවින් පිට නොවේ.

අහසේ තරු සේම ගොවිතැන් කරන්නේ
පොළවේ වැලි සේම බෝගත් ඉසින්නේ
මගේ හේනමයි ඌරට පෙනෙන්නේ
විෂ්ණු සමන් දෙවියනි නඩු බලන්නේ’

ඌරන්ගෙන් සිදුවන හානිය ගැන කාට කියන්නද? ඔහු මෙම ප්‍රශ්නය විසඳා දෙන ලෙස දෙවියන්ට ආයාචනා කරයි. දෙවියන් , බුදුන් විශ්වාස කැරගෙන ගොවිතැන් කළ සිංහල ගොවියා මෙම කවි ගායනා කළේ දෙවියන්ට ඇසීමට පමණක් නොවේ. මෙවැනි සී පද හඬ නගා කියන විට, වල් සතුන් ඔහුගේ හේනට කුඹුරට ඇතළු නොවෙති. තමන්ගේ පාළුව , කාන්සියද දුරු වන අතර, අහළ පහළ අනෙකුත් උදවිය ද එයින් මිහිරක් ලබති.

පුරාණ හෙලයා මව්පියන්ට දැක්වූයේ අසීමිත ආදරයකි. ගෞරවයකි. එම ආදර ගෞරව හැඟීම් ඔවුනට උරුම වූයේ බුදු දහමේ ආභාෂයෙනි. තම මව කරපිට හිදුවා මහ සයුරු තරණය කළ බෝසතාණන් වහන්සේ ගැන පන්සලේදී අසා ඇත.

බිතු සිතුවම් වලින් දැක ඇත. මව්පියන් ගේ වටිනාකම පිළිබඳ මංගල, පරාභව , වසල වැනි සූත්‍ර අනුසාරයෙන් අසා ඇත. ඒ නිසාම බුදුන් වහන්සේට මෙන්ම මව්පියන්ට ද ගරු බුහුමන් කළහ. මව්පිය සෙනෙහසට කදිම නිදසුනකි. මෙම ජනකවිය -

වැල්ලේ පිපෙන බිම්මල වාසනා වන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනා වන්
පෝයදාට පුන් සඳ වාසනා වන්
ජාතිත් අපේ මව් පියො වාසනා වන්’

වරක් එක් සොහොයුරෙක් තම මෑණියන්ට වෙනස්කම් කළේය. මෙය දැනගත් වැඩිමහළු සොහොයුරා රණ්ඩුවට පැටලුනේ නැත. ඔහු තම සොහොයුරාට මව් ගුණය පැහැදිලි කර දුන්නේ පරිණත පුද්ගලයෙකු වශයෙනි. මෙමගින් කවියා ජන සමාජයට උතුම් සදහම් පණිවුඩයක් ලබා දුන්නේය.

මල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මා ට
දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නා ට
තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නා ට
බුදුන් වදින ලෙස වැඳපන් අම්මා ට

එදා ජන සමාජයට ලැබී තිබුන සදහම් චින්තනය මගින් ගැමියා කොතෙක් දුරට හික්මුනාද යන්න මෙවැනි ජන කවි වලින් පසක් වේ. එදා මව්වරුන්ගෙන් ලැබුන අව්‍යාජ සෙනෙහස අද මව් වරුන්ගෙන් දරුවන්ට ලැබෙන්නේ ද?

පුංචි පේර ඉන බැඳගෙන ඉනෙන් ගෙනෙයි අම්මා
ගැට නාරං පොදි බැඳගෙන ඉනෙන් ගෙනෙයි අම්මා
පැන් කොරහට පැන් අරගෙන අප නාවයි අම්මා
සතර අපායේ නොවැටී නිවන් දකින් අම්මා’

මවගෙන් බිව් කිරට වන්දි ගෙවීමට නොහැක. එදා සමාජයේ දරුවන් සිතුවේ එලෙසයි. එදා ගැමියාගේ සිතුම් පැතුම් කොතරම් ආදර්ශවත්ද යන්න ;මවැනි ජන කවි විමසීමේ දී පසක් වේ.

‘ වට්ටාරම බෙලිගල වැඳපන් අම්මේ
අළුත් නුවර දළදා වැඳපන් අම්මේ
කිරි වෙහෙරේ රංකොත වැඳපන් අම්මේ
බීපු කිරට පව් ඇරපන් මගෙ අම්මේ’

කිසියම් පාප කර්මයක් කළහොත් එහි විපාකය මේ අත්භවේ දී හෝ මතු අත්භවයකදී විඳීමට සිදුවේ. කර්ම ඵල පිළිබඳ එදා ගැමියා අමතක කළේ නැත.

පතල් රැකියාව ඉතා කටුකය. එවැනි කටුක අත්දැකීම් ලබන්නේ පූරුවේ කළ පව් නිසා බව ගැමියා සිතයි. ඔහුගේ මුවින් නිරායාසයෙන් පිට වූ මෙවන් කවි වලින් සදහම් පණිවුඩයක් සන්නිවේදනය විය.

ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ බතට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව් පියො දකින්න ට

අද මෙන් රථවාහන නොතිබූ එදා යුගයේ ප්‍රධාන වාහනය වූයේ කරත්තයයි. කරත්තය දක්කන විට ගොනුටත්, තමන්ටත් ඇතිවන වෙහෙස මහන්සිය නිවා ගැනීමට කරත්තකරු සීපද කීවේය. බර අදින ගොනු කෙරෙහි ඔහු තුළ පැවති කරුණාව එම කවි තුළ ගැබ්ව තිබිණි.

දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා
කන්නත් නැතිව රෑ දාවල් වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දීලා ගෙන යනවා
දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා

ගොනා බර අදින්නේ ඌ පූරුවේ පව් කළ නිසායි. ඒ ගැන ගැල්කරුවා සැබවින්ම කණගාටු වෙයි. ඔහු කාටත් ඇසෙන්නට මෙම කවිය කියයි. එයින් ඇඟවෙන්නේ පව් කළ කාටත් මෙවන් දුක් අත් විඳීම සිදු වන බවයි. පොතපතේ දැනුම නැතත් ඔහු ලබා තිබෙන ධර්ම ඤාණය කොතෙක්ද? කියා මෙවැනි කවි වලින් ප්‍රත්‍යක්ෂ වේ.

පෝය සඳට එළිය වෙලා බැන්ද ගොනා
පෝය පසුවෙලත් බඩගිනි නැද්ද ගොනා
මේම පූරුවේ පවකුත් ඇද්ද ගොනා
පෝය ළඟදිවත් පින්කර නැද්ද ගොනා

අව්කන බුදු පිළිම වහන්සේ ළඟට ගිය ජන කවියාගේ නෙතට කඳුළු පිරුනේ ඔහුගේ සිතට ඇතිවූ අසීමිත බුදු බැතිය නිසාමය. ඒ අනුව ඔහුගේ මුවින් මෙබඳු කවියක් කියැවුනි.

වෙලාවට පිපුණු මල වැනි රුකේ සඳුන්
නෙලා බඹර එන ලෙස සහ වැදුම් පිදුන්
බලා ඉන්න බැරි දෙනුවන් පිරි කඳුලින්
කලා වැව බලාගෙන වැඩ ඉඳිති බුදුන්

අද මෙන්ම එදත් ජනතාවට පොදු අවශ්‍යතා තිබුනි. ඒවා ඉටුකැර ගැනීමට ඉහළ තැන් වලට ආයාචනා කිරීමට සිදු විය. පොදු අවශ්‍යතා ඉටු වූ පසු ඒ පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කිරීමට ද එදා ගැමියා අමතක නොකළේය.හුදෙක් පින් සළකා ගෙනමැ එවැනි කටයුතු කෙරිණි. මහජනතාව ද ඒ වෙනුවෙන් නිර්ලෝභීවැ පින් දුන්හ. මේ එවැනි අවස්ථාවකි.

පහළ වලව්වේ නිලමේ බුදු වෙන්ඩ
බැඳපු ඒදණ්ඩ කලකට පසු වෙන්ඩ
ඒදණ්ඩේ යන එන අය පිං දෙන්ඩ
පුර කදිමයි අලකොළ මඩ ඒදණ්ඩ

එදා ගැමියා වන්දනා ගමන් යාමට දැඩි රුචියක් දැක්වීය. බොහෝ විට වන්දනා ගමන් ගියේ පයින්ය. පයින් ගිය එවන් වන්දනා ගමන් පිළිබඳ විස්තර මෙවැනි ජන කවි වලින් පැහැදිළි වේ.

දුම්බර බැද්දේ මඟ සිටලා මැදින් යමු
කඩා පලු වීර කාලා වතුර බොමු
අඬන ළමයි මඟ සිටලා කිරි පොවමූ
මහියංගනේ වැඳලා අඬ අඬා යමු’

දුම්බර බැද්ද හරහා මහියංගනයට වන්දනා ගමනක් ගිය කාන්තාවන් කණ්ඩායමක් පලු, වීර, කමින් වතුර බොමින් දුකසේ ගමන් කළ අයුරු මෙයින් කියැවේ. කොතෙක් දුක් විඳගෙන ගමන් කළත් වෙහෙර වැඳගත් පසු ඇති වූ සතුට නිසා දෙනෙතින් සතුටු කඳුළු ගැලූ බව පවසන්නේ ජන කවියා තුළ පැවති අසීමිත බුදු බැතිය මැනවින් ප්‍රකට කරයි. ඇතැම් කාලවලදී කරත්ත බැඳගෙන වන්දනාවේ යන ලදී. මෙම ගමන්වලදී කරත්ත රාශියක් යොදා ගන්නා ලදී. මඟට අවශ්‍ය ආහාර පාන සූදානම් කැරගෙන එම ගමන් පිටත් වූහ. අතර මඟදී වල්පල් හිස් වචන කථා බහෙන් වැළකුනි. මේ එදා වන්දනා ගමනකදී එක්තරා කාන්තාවකගෙන් අසන්නට ලැබුන අහිංසක ප්‍රාර්ථනාවකි.

අතුල පතුල මගෙ රුව බබලන්ට යි
කිතුල සේම මගෙ වරලස එන්ට යි
ඒ ආ වරලස ඉසෙන් නොයන්ට යි
පිරිමි පුතෙක් මට මහණෙට දෙන්ට යි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.