Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෙර නොඇසූ විරූ දහම

බුදුරජාණන් වහන්සේ විසින් ඇසළ පුර පසළොස්වක දින පස් වග භික්ෂූන්ට දේශනා කළ සූත‍්‍රය, ධම්මචක්ක පවත්තන සූත‍්‍රයයි. මෙම දේශනය මගින් උන්වහන්සේ තමන් වහන්සේ විසින් සාක්ෂාත් කරන ලද සුවිශේෂ දර්ශනය හැඳින්වූයේ පර නොඇසූ විරූ දහම ( පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු ) කියායි.

වසර 45 ක කාලය තුළ බුදුරජාණන් වහන්සේ ලෝකවාසීන්ට දේශනා කළ සමස්ත දර්ශනයම හකුලුවා දක්වන දේශනය, මෙම සූත‍්‍රයයි. එය බුදු දහමේ සංක්ෂේපයයි, “ පටුනයි, තමන් වහන්සේ ප‍්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරන ලද දර්ශනය , තත්කාලීන සියලු දාර්ශනික හා ආගමික සම්ප‍්‍රදායයන්ට වඩා වෙනස් වූවක් බව පැහැදිලි කර දීම, මෙම දේශනයේ දී උන්වහන්සේගේ ප‍්‍රධාන අපේක්‍ෂාව වූ බව, මෙම ඉගැන්වීම විමසන විට පැහැදිලි වෙයි.

ධර්මාවබෝධයෙන් පසු මෙම දහම දේශනා නොකිරීමට බුදුරජාණන් වහන්සේ අදහස් කළහ. මා විසින් දුක සේ අවබෝධ කළ ධර්මය දැන් ප‍්‍රකාශ කිරීමෙන් වැඩක් නැත. රාග ද්වේශයෙන් පෙළෙන්නවුන් විසින් මේ ධර්මය මැනවින් අවබෝධ කර ගනු නොලබනු ඇත. පටිසෝතගාමී වූ නිපුණ වූ , ගැඹුරු වූ, දුක සේ දැකිය යුතු වූ, සියුම් වූ මෙම ධර්මය , රාගයෙන් රත් වූ, අවිද්‍යාවෙන් වැසුණා වූ සත්වයෝ නොදක්නාහු වෙති ‘ යන අදහස උන්වහන්සේ තුළ ඇති වූ බව, මහාවග්ග පාලියේ සඳහන්ය.

අපිස්සු භගවන්තං
ඉමා අනච්ජරියා ගාථායෝ
පටිභංසු පුබ්බේ අස්සුත පුබ්බා
කිච්ඡේන මෙ අධිගතං
හලංදානි පකාසිතුං
රාග දෝස පරෙතෙභි
තායං ධම්මෝ සුසම්බුද්ධෝ
පටිසෝතගාමිං නිපුණං
ගම්භීරං දුද්දසං අණුං
රාග රත්තා න දක්ඛින්ති
තමෝභක්ඛන්ධෙන ආවටා

බොහෝ කාලයක් බ‍්‍රාහ්මණ හා ශ‍්‍රමණ සම්ප‍්‍රදාවල උගතුන් ඇසුරු කරමින් ඔවුන්ගේ දහම් ඉගෙන ගනිමින් හා පිළිවෙත් ප‍්‍රායෝගිකව වඩමින් කටයුතු කළ සිද්ධාර්ථ බෝසතුන්ට ආලාර කාලාම - උද්දකාරාම පුත්ත වැනි ගැඹූරු දහම් උගතුන්ගේ එම දර්ශන මැනවින් ප‍්‍රත්‍යක්ෂ වී තිබිණි. බෝසතුන් එම ගුරවරුන්ගේ ප‍්‍රමාණයට ධ්‍යාන සමාපත්ති වලට පත් අවස්ථාවල ඒ පිළිබඳ ඉතා සතුටට පත් එම ආචාර්යවරු බෝසතුන්ට යෝජනා කළේ, ගුරුවරයකු හා දේශකයකු බවට පත්වන ලෙසයි. සමාජයේ දක්නට ලැබෙන සාමාන්‍ය වූද සර්වකාලීන වූද පොදු ලක්ෂණයක් නම් යම් විෂයයක් කෙරෙහි අල්ප දැනුමක් ලබා ගන්නා බොහෝ දෙන එම දැනුම නව දැනුමක් ලෙස වහ වහා ප‍්‍රකාශ කිරීමේ අතෘප්තියෙන් හා අභිරුචියෙන් පසුවන බව යි. මෙය, සමාජයේ දර්ශන කුතුහලයෙන් යුතු විමර්ශකයන් තේරුම් ගෙන සිටි දෙයකි. බරණැසට වඩින බුදුරජාණන් වහන්සේට, අතර මග හමුවූ උපක උන්වහන්සේ කෙරෙහි දැරූ ආකල්පයෙන් මෙය පැහැදිලි වෙයි.

ධර්මය දේශනා කිරීමට තීරණය කළ බුදුරජාණන් වහන්සේ සුදුසුම ශ‍්‍රාවකයන් ලෙස සැලකුවේ ආලාර කාලාම සහ උද්දකාරාම පුත‍්‍ර යන තම පුරාණ ගුරුවරුයි. ඒ දෙදෙනාම පණ්ඩිත - ව්‍යක්ත - නුවණැති හා බොහෝ කලක් අල්පරජස්ක (පණ්ඩිතො ඛ්‍යත්තෝ මේධාවි දීඝරත්තං අප්පරජක්ඛජාතිකො ) බැවින් වහා දහම් අවබෝධ කර ගැනීමේ ශක්‍යතාවෙන් යුක්ත යැයි බුදු හිමියෝ සිතූහ. එහෙත් ඒ වන විට දෙදෙනාම අභාවප‍්‍රාප්ත වී සිටි බැවින් පස් වග භික්ෂූන්ට (පඤ්ච වග්ගියා භික්ඛු ) දහම් දෙසීමට තීරණය කළහ. ඔවුන් හැඳින්වීමේදී පණ්ඩිත - ව්‍යක්ත නුවණැති හා බොහෝ කලක් අල්පරජස්ක යන විශේෂණ නොයොදා තමන් වහන්සේට පධන් වීර්ය සමයෙහි බොහෝ උපකාර කළ (බහුපකාර ඛෝ මේ පඤ්ච වග්ගියා භික්ඛු යෙ මං පධානබහීතත්තං උපට්ඨහිංසු ) යන හැඳින්වීමෙන් කෘතවේදී භාවයක් ප‍්‍රකට වෙයි. මෙම දහම් සැකයෙන් තොරව අසන ශ‍්‍රවකයෙකු හා මූලික වශයෙන් වටහා ගන්නා ශ‍්‍රාවකයකු සොයා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ උත්සුක වූහ.

අභිනිෂ්ක‍්‍රමණය කරන්නටද පෙර, බෝසතුන්ගේ අනාගත පැවිදි ජීවිතයට උපකාර කිරීමේ අදිටනින් ගිහි ගෙය හැර වනගතව තපස් දහම් පුරමින් සිටි පස්වග තවුසෝ අත්තකිලමථානුයෝගය පුරන තාක් බෝසතුනට උපකාරී වූහ. උග‍්‍ර පීඩා ජනක අත්තකිලමථානු යෝගය බෝසතුන් අත් හැරී කල්හි බෝසතුන් පධන් වීර්යය අතහැරියේ යැයි, ප‍්‍රත්‍ය බාහුල්‍යයට පත්වූයේ යැයිද සළකා මේ පිරිස බෝසතුන් හැර ගියහ. අනාගතයේ පහළවන බුදු කෙනකු සිද්ධාර්ථ කුමරු රූපයෙන් , වේද ශාස්ත‍්‍රානුකූලව දැක, ඒකාන්තයෙන් බුදු වන බව පවසමින්, තම ශාස්ත‍්‍රය පිළිබඳ බලවත් විශ්වාසයෙන් තම ගිහි ජීවිත පවා හැර, දුෂ්කර තවුස් දිවියට පැමිණි පස්වග තවුසන් අත්තකිලමථානුයෝගය පිළිබඳ කොතරම් විශ්වාසයක් තබා තිබුණේද යන්න මේ හැර යෑමේ සිද්ධියෙන් පැහැදිලි වෙයි.

ස්වකීය පිළිවෙත පිළිබඳ මෙවැනි දාඪ අන්තවාදයක සිටි පස්වග තවුසන් තමන් හමුවීමට පැමිණෙන බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ ජයග‍්‍රාහකයෙක්ය යන ආකල්පයෙන් නොව පරාජිතයෙක්ය යන ආකල්පයෙනි. වාඩිවීමට අසුනක් දීම හැර වෙනත් ගරු සම්භාවනාවක් නොකිරීමට ඔවුන් කතිකා කර ගත් බව මහාවග්ග පාලියේ සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිගැනීමටත් උන්වහන්සේට ඇහුම්කන් දීමටත් පස්වග භික්ෂූහු අකැමැති වූහ. ඉතා දුෂ්කර ව‍්‍රත පුරා ලබාගත නොහැකි වූ උත්තරී මනුෂ්‍ය ධර්මයෙන් යුත් ආර්ය වූ ඤාණ දර්ශනයක් ව‍්‍රත පිරීම හැරදමා කෙසේ ලබා ගත්තේ දැයි උන් වහන්සේ ප‍්‍රශ්න කළහ. මින් පෙර කිසි දිනක තමන් වහන්සේ මේ ලෙස සම්බුද්ධත්වයක් ප‍්‍රකාශ කළේදැයි බුදුන් වහන්සේ විචාල කල්හි කිසි දින එවැනි ප‍්‍රකාශයක් නොකළ බව පිළිගනිමින්, උන්වහන්සේ ගේ සත්‍යවාදී බවට ගරු කිරීම් වශයෙන් ශ‍්‍රවණයට උන්වහන්සේ කැමති වූහ.

තත්කාලීන සියලු ආගමික ඉගැන්වීම් ආත්මවාදී විය. පරමාර්ථ සාධනය සඳහා ගත් චර්යාමය භාවිතය - එක්කෝ කාමසුඛල්ලිඛානුයෝගී විය. නැත්නම් අත්තකිලමථානුයෝගී විය. බුදුරජාණන් වහන්සේ මුලින්ම පැහැදිලි කළේ මෙම චර්යා පැවිද්දකු විසින් අත් හළ යුතු බවයි. (ද්වේ මේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා) තමන් වහන්සේ උභය අන්තයට නොපැමිණි මධ්‍යම ප‍්‍රතිපදාව වැඩූ බවත්, සත්‍යය මැනවින් අවබෝධ කරගන්නා ලද බවත්, එම ප‍්‍රතිපදාව නුවණැස පහළ වීමට , ඤාණය පහළ වීමට, කෙළෙස් සමනය කිරීමට, උසස් වූ ඤාණය ලැබීමට, සම්බෝධියට නිර්වාණයට හේතු වන බව, උන් වහන්සේ වදාළහ. මධ්‍යම ප‍්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි - සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, හා සම්මා සමාධි යන මාර්ගාංග වලින් යුතු පිළිවෙතයි.

අනතුරුව දේශනා කරනුයේ චතුරාර්ය සත්‍යයයි. සංක්ෂිප්තයෙන් මෙම ආර්ය සත්‍ය හඳුන්වා දෙන උන්වහන්සේ, තමන් වහන්සේ තිපරිවට්ට ද්වාදශාකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය ඇති සැටියෙන් දුටු බව විස්තර කරති. මෙම දොළොස් අවස්ථාවේ ම පෙර නොඇසූ විරූ දහම් හී ඇස පහළ විය. ඤාණය පහළ විය. ප‍්‍රඥාව පහළ විය.විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය. (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, චක්ඛුං උදපාදි ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි) යන සීහ නාදය කරති.

චතුරාර්ය සත්‍ය දේශනය බුදු දහමේ හදවතයි. දුක්‍ඛ ආර්ය සත්‍යය විෂයෙහි තිපරිවෘතය නම් එය සත්‍යය බව දැනීම, එය පිරිසිඳ දත යුතු බව දැන ගැනීම (පරිඤ්ෙඤය්‍ය) හා පිරිසිඳ දැන ගත්තා යැයි දැන ගැනීම යන ඤාණයයි. මෙම ඤාණ තුන සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ නම් වෙයි. දුක විග‍්‍රහ කර දුක්‍ඛ ආර්ය සත්‍යයේ ඉපදීම දුකක් බව ප‍්‍රකාශ කරෙයි. එහි දාර්ශනික හා ගැඹුරු ස්වභාවය සාමාන්‍ය අයකුට එකවර තේරුම් ගැනීම අපහසු ය. ඉපදීම නිසා ලෙඩවීම, වයසට යෑම, මරණය ආදිය දුක් වන නිසා එය හේතු දුකක් ය. ආදී තේරුම් ගැනීමට වඩාත් පහසු අර්ථ කථන ඉදිරිපත් කරනුයේ එය පැහැදිලි කර ගැනීමේ දුෂ්කරතාව නිසායි. මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේසන සූත‍්‍රයේ ඉපදීම යන්නෙහි දාර්ශනික විග‍්‍රහය ඇතුළත් ය. පංචස්කන්ධය නොව, පංච උපාදානස්කන්ධය දුකක් යැයි පැවසීම, පෙර නොඇසූ විරූවකි. පංචස්කන්ධයෙන් ප‍්‍රකට වන දුක්ඛිත තත්ත්වයන් ක්ෂය කළ හැක්කේ ආත්මයට දුක් දීමෙන්ය යන සංකල්පයට සපුරා වෙනස් වූ නව අදහසක්, බුදු හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.

දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ සත්‍ය ඤාණය, තෘෂ්ණාව දුක ඇතිවීමේ හේතුව බව දැන ගැනීමයි. එහි කෘත්‍ය ඤාණය තෘෂ්ණාව ප‍්‍රහාණය කළ යුතු යැයි (පහාතබ්බ) දැන ගැනීමයි. එහි කෘත ඤාණය තෘෂ්ණාව ප‍්‍රහාණය කළා (පහීණං) යැයි දැන ගැනීමයි. දුක්ඛ නිරෝධ සත්‍යයේ සත්‍ය ඤාණය තෘෂ්ණාවක්ෂය කිරීම නිවන යැයි දැන ගැනීමයි. එහි කෘත්‍ය ඤාණය නිර්වාණය සාක්ෂාත් කළ යුතු යැයි (සච්ඡිකාතබ්බං) දැන ගැනීමයි. එහි කෘත ඤාණය නිර්වාණය ක්ෂාත්ෂාත් කළා. (සච්ඡිකතං) යැයි දැන ගැනීම ය. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයේ සත්‍ය ඤාණය, මධ්‍යම ප‍්‍රතිපදාව නිරෝධ ගාමිණී ප‍්‍රතිපදාව යැයි දැනගැනීමයි. එහි කෘත ඤාණය එම මග වැඩිය යුතු යැයි (භවේතබ්බං) දැන ගැනීමයි. එහි කෘත ඤාණය එය වඩනා ලද්දේ යැයි (භාවිතං) දැන ගැනීමයි.

මෙම අවස්ථා දොළසම පෙර නොඇසූ විරූ දහම් ලෙස තමන් වහන්සේ යථාර්ථයෙන් දුටු බව වදාළ බුදුරජාණන් වහන්සේ එසේ දක්නාතාක් තමන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය ප‍්‍රකාශ නොකළෙමැ යි ද වදාළහ. මෙම දේශනය කරන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයනට යම් කිසි ධර්මයක් ප‍්‍රත්‍යයන්ගෙන් හටගන්නේද ඒ සියල්ල නිරිද්ධවීම ස්වාභාවික කර ඇත යන ධර්ම චක්ෂුසය පහළ විය. (සෝතාපන්න ඵලයට පත් විය) බුදුරජාණන් වහන්සේගේ අපේක්‍ෂා ව සපුරා සාර්ථක විය. ශ‍්‍රාවකයා උන්වහන්සේගේ සම්බුද්ධත්වය පිළිගත් බවත් මැනවින් ඇහුම්කන් දුන් බවත් කොණ්ඩඤ්ඤ භික්‍ෂුව සෝවාන් ඵලයට පත් වීමෙන් පැහැදිලි විය. තිපරිවට්ට ද්වාදසාකාර විග‍්‍රහයෙන් ලබන ඤාණය චතුරාර්ය සත්‍ය දර්ශනයයි. පරිවෘත තුනක් සහිත දොළොස් ආකාරයෙන් යුත් ආර්ය සත්‍ය පිළිබඳ නිවැරැදි වැටහීමෙන් තොරව කිසිවෙක් දහම් ඇස නොලබන්නාහ. තිපරිවට්ට ද්වාදසාකාර වැනි බර වචන හෝ සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වැනි ශාස්තී‍්‍රය විෂ්ලේෂණ හෝ කෙරෙහි නුපුහුණු නමුත්, මාර්ග ඵල ඤාණය ලබාගන්නා ආර්යයෝ සිටියහ. ඔවුහු ස්වකීය භාෂා ව්‍යවහාර ප‍්‍රමාණයෙන් මෙම දොළොස් ආකාරය වටහා ගත්හ. දැල්වෙන පහන් සිල නිවෙන ආකාරය දැක ධර්මාවබෝධය ලබන මෙහෙණියත්, රෙදි කැබැල්ලක කුණු තැවරෙන බව දකිමින් ධර්මාවබෝධය ලබන කුඩා සාමණේරවරයාත්, දුටු දේ දුටුවා පමණයි සිතා ධර්මාවබෝධය ලබන ප‍්‍රඥාවන්තයාත්, ධර්ම ඤාණය ලබනුයේ දුක පිළිබඳ දොළොස් ආකාර දැනුමත්, අනිත්‍ය දර්ශනයත් ලබා ගැනීමෙන්මයි.

අද භාෂා ශාස්ත‍්‍ර මහා දැනුම් සම්භාර සහිත ශාස්තී‍්‍රය උගත්තු සුලබයි. එහෙත් ධර්ම මාර්ග ඵල ලාභීහු දුලබයි. ශාස්තී‍්‍රය දැනුමෙන් තොර, පිටි කොටමින් සිටි සුමංගල මාතාවන් ලැබූ ධර්මාවබෝධය, අද එසේ දුර්ලභ වී ඇත්තේ ඇයි? ඒ තිපරිවට්ඨ ද්වාදශාකාරය වරදවා පිළිපදින නිසා විය යුතු ය. අද බෞද්ධයෝ දුක ප‍්‍රහාණය කිරීමට වෙර දරති. ප‍්‍රහාණය කළ යුත්තේ දුක නොව ඊට හේතුව වූ තෘෂ්ණාවයි. මැනවින් දත යුත්තේ (පරිඤ්ෙඤය්‍ය) දුකයි. ඒ වෙනුවට නිවනේ ස්වභාවය මැනවින් දැන ගැනීමට වෙර දරති. නිවන යනු තෘෂ්ණාව ක්ෂය කිරීමමය යන්න වටහා නොගනිති. ආර්ය මාර්ගය සාක්ෂාත් කර ගැනීමට වෙර දරති. නමුත් කළ යුත්ත (කෘත්‍ය) වන්නේ, මාර්ගය වැඩීමයි. එවිට නිවන සාක්ෂාත් (සච්ඡිකතං) වෙයි. සත්‍යය, සත්‍ය ඤාණය ලෙස නිවැරැදිව දකින කුසලතා පිරි වර්තමාන බෞද්ධයෝ, කෘත්‍ය ඤාණය පටලවාගෙන ඇත්තේ දැයි විමසීම, සුදුසු ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.