Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරිලක දෙව්රම් වෙහෙර නම් පුද බිම


කැලණි විහාර ආකෘතියට සාදා ඇති විහාර මන්දිරය


සිරි පියදස්සි නා හිමි ගුණ සමරු උපොසථාගාරය


ස්වර්ණ බුද්ධරාජ සර්වඥධාතු මන්දිරය

පන්නිපිටියේ දෙව්රම් වෙහෙර 1999 සැප්තැම්බර් 24 වැනි දින තුනුරුවනට පූජා කළ මොහොත සිහිවීම සඳහා එහි ප‍්‍රතිෂ්ඨාපනය කරන ලද ශිලා ලේඛනයේ - තෛ‍්‍රනිකායික මහ නායක හිමිවරුන්ගේ පහත දැක්වෙන වදන් පෙළ සටහන් වී තිබේ.

‘පාරමිතා පුරන උතුමන්ට මනු ලොව මහා පුණ්‍ය තලයකි. ජීවිතය සැපදායක වන්නේද සිත්වල උපදින සිතිවිලි අනුව ය. සියලු දුක් සැප මධ්‍යස්ථ සිතකින් දරාගත හැකි නම් ඔවුහු ජීවිතයේ කවදා හෝ ජය ලබන්නෝය. නිවන් මඟ පසක් කර ගන්නෝය. පන්නිපිටිය දෙව්රම් මහා වෙහෙර බිහි වූයේ ස්ථාන ගොඩනැගීමට නොව, සන්තාන ගොඩනැගීමට ගත් වෙහෙසකි.

මේ උතුම් පින්බිම බුදුසසුනට ලැදි සියලු දෙව් මිනිසුනට උපහාරයක් වේවා. පාපයට බර ලෝකය පිනට බර කරවන සසර සැනසුම උදාකරන පිවිතුරු පුදබිමක් වේවා.’

බුද්ධ චරිතය හා බැඳුණූ විවිධ අවස්ථා සහ ශාසන ඉතිහාසයට සම්බන්ධ නොයෙකුත් ස්ථාන පිළිබඳ මූර්ති හා සිතුවම් ඇතුළත් දෙව්රම් වෙහෙර රමණීය පින් බිමකි.

එම වදන් පෙළ ආරම්භය සඳහා මා තෝරා ගත්තේ පන්සලක ආකෘතියෙන් ඉදිරියට ගිය දෙව්රම් වෙහෙර පිළිබඳ යම් හැඟීමක් මෙය කියවන සැදැහැති බෞද්ධයන්ට ලබාදීම සඳහාය.

දෙව්රම් වෙහෙරේ නිර්මාතෘ හා එහි විහාරාධිපති ධූරය දරන කොළොන්නාවේ සුමංගල හිමියන් පවසන්නේ එය තමාගේ දක්‍ෂතාවක් නොව, යහපත් සිතිවිල්ලක ප‍්‍රතිඵලයක් බවය.

දෙව්රම් වෙහෙර තුනුරුවන් අභියස පූජා කරමින් සතියක් පුරා පැවැත් වූ ඒ මහා පූජාවට ශ්‍රී ලංකාවේ සියලු මහා නිකායන්හි මහා නාහිමිවරුන්ගේ වැඩමවීම ද ඓතිහාසික සිදු වීමකි.

එදා වසර 2550 කට එපිට බුදුන් වහන්සේගේ සිරි පා පහස විඳ අති පූජනීයත්වයට පත් දඹදිව් තලයේ දෙව්රම් වෙහෙර බොහෝ සැදැහැවතුන් නෙතින් දැක නැතත් බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය පිළිබඳ තොරතුරු පරිශීලනය කිරීමේදී තම තමන්ගේ සිතේ චිත‍්‍රනය වෙන සිහින දෙව්රම් වෙහෙරක් තුළ ඔවුන් සැරිසරන්නට ඇත.

ඇත්තෙන්ම දෙපානම /පන්නිපිටිය දෙව්රම් වෙහෙරට පිවිසෙන්නෙකුට සිතෙන්නේ ඒ සිහිනය තුළ තමන් තවත් සැරිසරන බවයි. ඒ තරමටම දෙව්රම් වෙහෙර තුළ ඓශ්චර්ය හා සුන්දරත්වයද සමග කැටි කළ නිර්මාණ ශිලීත්වය දක්නට ඇත. මේ රම්‍ය කෙම් බිමට පිවිසි විට කුමක් මුලින් ලිවිය යුතු දැ’යි සිතෙන තරමට ලියන්නට දකින්නට බොහෝ දෑ ඒ තුළ ඇති බව පෙනී යයි.

කෙසේ හෝ මුලින්ම දෙව්රම් වෙහෙරේ විහාර මන්දිරය දෙසට හැරෙමු.

මෙම විහාර මන්දිරය කැලණි රජ මහා විහාරයේ බුද්ධ මන්දිරයේ ආකෘතියට අනුව නිර්මාණය කැර තිබේ.

ති‍්‍රපිටකය ශිලා ලේඛන ගත කර ඇති අයුරු

කනේරු කුටිය

දිව්‍ය රම්‍ය වෛත්‍යය සහ බුද්ධ මන්දිරය

මෙම විහාර මන්දිරය තුළ වැඩ සිටිනා පිත්තල ලෝහයෙන් සාදා ඇති මෙතෙක් ලංකාවේ දැක ගත හැකි ලෝහයෙන් සාදා ඇති විශාලම පිළිම වහන්සේ බවද කියැවෙයි. මෙය ශ්‍රී ලංකා කලාකරුවන්ගේ ස්වතන්ත‍්‍ර නිර්මාණයකි.

දෙව්රම් වෙහෙර පුරා ඉදිවී ඇති සෑම ගොඩ නැගීමක්ම නෙත’ඳුනකි. එසේම ඒ සෑම එකකම සුවිශේෂී ගුණයක් පෙන්නුම් කිරීම ද දෙව්රම් වෙහෙරට විශේෂිත වූ ලක්ෂණය කැයි මට සිතෙයි.

ඒ අතර දෙව්රම් වෙහෙර භූමියේ රෝපිත බෝධීන් වහන්සේ ද අමුතුම අපූර්වත්වයක් උසුලයි.

එය සිතක උපන් පරිකල්පන ඤාණය ප‍්‍රායෝගික තලයේ රෝපණය කළ අපූරු සංකේතයක් බඳුය. දෙව්රම් වෙහෙරේ රෝපිත බෝධි අංකුර තුන ‘ආරක්‍ෂක බෝධිය’ , ‘ජනතා බෝධිය ‘ හා ‘සංඝ බෝධිය’ ලෙස නම් කර ඇත.

බෝධීන් වහන්සේ වර්ධනය වන විට එකට බැඳෙන සේ එය රෝපණය කර ඇත්තේ, ‘තුන් සිංහලය වෙන්ව නොයේවා - එක්ව බැඳී පවතීවා’ යන උතුම් පරමාර්ථයෙනි. මෙය සුමංගල හිමියන්ගේ සිතට දැනුණූ අදහසක් අනුව යම් අධිෂ්ඨානයක් කර රෝපණය කරන ලද බව කියැවෙයි.

එම බෝධීන් වහන්සේගේ තවත් විශේෂයක් වන්නේ - අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, දඹදිව බුද්ධගයාවේ දැනට ඇති ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ආනන්ද බෝධියේ අංකුර තුනක් මේ සඳහා යොදා ගැනීමයි.

එසේම දෙව්රම් වෙහෙර තවත් හැඩ කළ, පූජනීය කළ ප‍්‍රධාන අංගයක් ලෙස නිබඳ නෙතු ගැටෙන ශ්‍රී පාද (ධම්මචර්ණ) තෙමහල් මන්දිරය අප ඒ ඓතිහාසික නුවර පුරවරයේ දළදා මැඳුර වෙතට කැඳවාගෙන යයි. මෙය නිමවා ඇත්තේ දළදා මැදුරේ ආකෘතියට ය. මෙහි ඇතුළත චිත‍්‍ර, නුවර යුගයේ චිත‍්‍ර අනුගමනය කරමින් සිතුවම් කර තිබේ.

ජීවමාන බුදුන් වහන්සේ එදා වැඩසිටි දඹදිව රජගහ නුවර දෙව්රම් වෙහෙර සජීවීව සංකේතාත්මක කිරීමේ අපේක්‍ෂාවෙන් මෙහි ඇති ගන්ධ මාළිගය නම් කුටිය ජීවමාන බුදුන්වහන්සේ වෙනුවෙන් සිදු කැරෙන සියලු ඇප උපස්ථාන සංකේතවත් කරන සකලාංගයන්ගෙන් පරිපූර්ණ කර තිබේ.

අලුයම 4 ට උණු පැන්, සිසිල් පැන්, දැහැටි ආදිය පුදා අවදි වූ බුදුන් වහන්සේට මුව දෝවනයට ආරාධනා කරනු ලැබේ. ඉනික්බිති පයට පාවඩ හිසට මුතුකුඩ සහිතව ආසනයට වඩිනා ලෙස ආරාධනා කර අලුයම 6 ට කිරි ආහාර, ව්‍යාංජන හතක්, බත් වර්ග තුනක් සහ කැවිලි පලතුරු සමඟ උදෑසන බුද්ධ පූජාව පිළිගන්වනු ලැබේ. දවල් 10.30 උදෑසන මෙන්ම බත් වර්ග තුනක් ව්‍යාංජන 7 ක් කැවිලි පලතුරු සහිත දවල් දානය ද පූජා කරනු ලැබේ. සවස 6.30 ට ගිලන්පස දානය පිළිගන්වනු ලැබේ. රාතී‍්‍ර 1 ට බුදුන් වහන්සේට සැතපෙන්නට ආරාධනා කිරීමෙන් දෛනික බුද්ධ උපස්ථාන කටයුතු නිම කරනු ලැබේ.

ශ්‍රී ලංකා අමරපුර සිරි සුමන මහා නිකායේ මූලස්ථානයද වන්නේ, දෙව්රම් වෙහෙරයි. ඒ නිසා විනය කර්ම සිදු කිරීමට සීමාවක් අවශ්‍ය බැවින් ඒ වෙනුවෙන් සිරි පියදස්සී නා හිමි ගුණ සමරු උපෝසථාගාරය නම් සීමා මාලකයක් ජල පොකුණක් මධ්‍යයේ සාදා තිබේ.

දෙව්රම් වෙහෙරේ එක් මායිමක අවුකන ප‍්‍රතිමාවේ ලක්‍ෂණ වලින් හෙබි විශාල හිටි පිළිම වහන්සේ නමක් ද සැතපෙන හා සමාධි බුදු පිළිම වහන්සේ ද නිර්මාණය කර තිබේ.දෙව්රම් වෙහෙර තුළ ඇති විශාලතම හිඳි පිළිම වහන්සේ නිර්මාණය කර ඇත්තේ දින 45 ක් වැනි සුළු කාලයකිනි.

කන්ද උඩරට මඟුල් මඩුවේ ආකෘතියට අඩි 100 ක් දිග අඩි 50 ක් පළලින් යුතු සිරි සුමන දම් සභා මණ්ඩපය සාදා ඇත්තේ සුමංගල හිමියන්ගේ මව සිහිවීම පිණිස ය. එය අපගේ පැරැණි සංස්කෘතික ලක්‍ෂණ වලින් පිරිපුන් ය.

දෙව්රම් වෙහෙරේ ඉදි වූ චෛත්‍ය රාජයාණන් කුඩා වූවද එම බුහුටි පෙනුම විහාර භූමියට පිරිපුන් බවක් ලබාදෙයි. එය රුවන්වැලි සෑය ආකෘතියට සාදා ඇති බව කියැවේ. මෙහි කොත මුදුනේ ඡත‍්‍රයක් සවිකර තිබේ. එය දුර්ලභ දසුනකි. බුදුන්වහන්සේගේ ධාතු නිදන් කර සාදා ඇති මෙම වෙහෙර වහන්සේ දිව්‍ය රම්‍ය වෙහෙර ලෙස නම් කර තිබේ.

එමෙන්ම මෙහි නිර්මාණය වී ඇති සෑම ඉදි කිරීමක් සෑම පිළිමයක් පිළිබඳවම ගෙතුණු පුරාවෘත්තයක් කදිම කතන්දරයක්, ඊට පසුබිම් වූ විශේෂ පුවතක් තිබීමද, මෙම විහාරස්ථානයේ විශේෂත්වයකි.

මෑතදී නිර්මාණය කර ඇති ස්වර්ණ බුද්ධ රාජ සර්වඥ ධාතු මන්දිරය වලගම්බා රාජ සමයේ ස්වර්ණාලේපිත බුද්ධ ප‍්‍රතිමාවක් තැන්පත්කර ඇති විශේෂ මන්දරයකි.

මාතෘ දිව්‍ය රාජ මන්දිරය, මෑතකදී නිර්මාණය කරන ලද සැතපෙන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ, මෛතී‍්‍ර බෝධිසත්ව ප‍්‍රතිමාව, මඩිහේ මහා නා හිමියන්ගේ ජීවමාන පෙනුමැති ප‍්‍රතිමාව මෙන්ම ඉන්දියාවේ දෙව්රම් වෙහෙරෙහි ඇති කනේරු කුඨිය සංකේතවත් කරන කුටිය, හා අසූ මහා ශ‍්‍රාවක ප‍්‍රතිමා ආදිය මෙහි විශේෂ නිර්මාණ ලෙස සැළකිය හැකි ය.

එසේම සම්බුදු ශ්‍රී මුඛයෙන් පන්සාළිස් වසක් මුළුල්ලේ ලෝක සත්වයාගේ විමුක්තිය වෙනුවෙන් දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මය තවත් වසර 2500 ක් නිරුපද්‍රිතව ආරක්‍ෂා කර තැබීමේ උතුම් වූ පරමාර්ථයෙන් දහම ශිලා ලේඛනගත කර තැබීමේ දැවැන්ත කාර්යයට අතගසා තිබීම මෙම විහාරස්ථානයෙන් නිම කිරීමට, අපේක්‍ෂා කැරෙන සුවිශේෂ ශාසන මෙහෙවරක් ලෙස සැළකිය හැකි ය.

මෙය සිතකට සිතා ගැනීමට බැරි තරම් දැවැන්ත, දුෂ්කර ව්‍යාපෘතියකි. මීට වසර 1 1/2 කට පෙර මෙම ශිලා ලේඛන ගත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය.

මෙයට වැය වන මුදල රුපියල් මිලියන 350 ක් පමණ වෙයි. බුද්ධත්වය ලැබීමෙන් වසර 2600 ක් සම්පූර්ණ වන රාජ්‍ය වර්ෂ 2011 වෙසක් පුර පසළොස්වක දිනට මෙම උතුම් කාර්ය නිම කිරීම ශ්‍රී සුමංගල හිමියන්ගේ අපේක්‍ෂාව වී තිබේ. මේ සඳහා අක්කර දහයක පමණ විශාල භූමි භාගයක් අවශ්‍යතාව පැන නැගුණද අක්කර දෙකක් පමණ වූ දෙව්රම් වෙහෙර විහාර භූමියට සමීපව තිබූ පුරන් වූ කුඹුරු යාය මේ සඳහා මිලදී ගැනීම සිදු වූ අතර සමහර ඉඩම් හිමියෝ සැදැහැ සිතින් මේ මහා පුණ්‍ය කර්මයට දායක වීමට තම ඉඩම් පරිත්‍යාග කිරීමට තරම් නොමසුරු වූහ.

මෙම ව්‍යාපෘතිය සමඟ දෙව්රම් වෙහෙර භූමියේ වපසරිය අක්කර 12 ක් පමණ දක්වා පුළුල් විය. මෙහි අඩි 8 ක් උස අඩි 3 ක් පළල අඟල් 4 ක ඝනකමින් යුතු ගල් පවුරු 1700 ක් මත ති‍්‍රපිටක ධර්මය නවීන තාක්‍ෂණයේ භාවිතයෙන් මුද්‍රණය වෙයි. එය පුරාණයේ ගල් කටුවෙන් කිඳා බැසීමට සෑරූ අක්‍ෂරයන් සේම අද තාක්‍ෂණයේ උපක‍්‍රම මඟින් ඉතා පැහැදිලි අච්චු අකුරු සේම හාරා සකස් කරනු ලබයි. මේ වන විට පුවරු 500 ක පමණ වැඩ අවසන් කර ඇත. මීට වසර 38 කට පමණ පෙර එනම් 1969 වසරේ සැප්තැම්බර් 24 වැනි දින පූර්ණ චන්ද්‍ර විජේසිංහ පියතුමාටත්, සුමිත‍්‍රා හෙට්ටිආරච්චි මවුතුමියටත් දාව මෙලොව එළිය දුටු සරත් විජේසිංහ පින්වත් කුමරුවා කුඩා කළ සිටම මහණ දම් පිරීමේ නොතිත් ආශාවෙන් පෙළුණේ භව ගමනේ පුරුද්ද නිසා වන්නට ඇත. එහෙත් මවුපියන් එයට කැමැත්ත පළ නොකළේ දරු සෙනෙහස තම උණුසුමෙන් ගිලිහෙනවාට ඇති අකැමැත්ත නිසා විය යුතු ය.

එහෙත් සරත් කුමරුවා කෙළි දෙලෙන් ගත කරන ගැටවර වියේ දී හිතුවක්කාර වූයේ, පෙරළි කළේ උතුම් වූ චීවරයට තම ජීවිතය පූජා කිරීමේ අධිෂ්ඨානයෙනි. මවුපියන්ගේ අවසර නොලැබෙන විට ඔහු නොකා නොබී හිඳීම නිසා රෝගාතුර වී රෝහල් ගත තිරීමට පවා සිදුවිය. සරත් දරුවා රෝහලේ දී පැවසුවේ තමා මිය ගියහොත් සිරුර කහ සිවුරක ඔතා ඔහුගේ අවසන් කටයුතු කරන ලෙස ය. සිරුරෙන් දුබල වුවද මේ උතුම් අධිෂ්ඨානය භව මග පුරා නොමියෙන ප‍්‍රබල පාරමිතාවක් බව දැන මඩිහේ මහා නාහිමියන්ගේ උපදෙස් මත මවුපියන්ගේ අවසරය ලැබ සරත් කුමරුවා පණ්ඩිත මිරිස්සේ පියදස්සී ලොකු හාමුරුදුවන් යටතේ කොළොන්නාව සාලමුල්ල ආනන්දාරාමයේ දී කොලොන්නාවේ ශ්‍රී සුමංගල නමින් උතුම් පැවිදි බිමට ඇතුළත් විය.

පැවිදි වී දෙවන දිනයේදී ම මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට වැඩම කළ සුමංගල පොඩි හාමුදුරුවන්ට අම්පිටියේ රාහුල, මඩිහේ පඤ්ඤාසීහ වැනි උතුම් යති වරුන්ගේ ගුරුහරුකම් ලැබිණි. ඊට අමතරව වලස්මුල්ලේ, තුඩාවේ අරියවංශ, මහරගම ධම්මසිරි ති‍්‍රකුණාමලය ආනන්ද, යටිරාවන ධර්මාරාම ආදී ගුරු හාමුදුරුවරු යටතේ අධ්‍යාපනය ලැබූහ.

අධ්‍යාපනය හදාරන කාලයේ දී තම ගුරු දේවයන් වූ මිරිස්සේ පියදස්සී හාමුදුරුවන් ගිලන් වූයෙත් ඉමහත් කැපවීමෙන් යුතුව උන්වහන්සේට ඇප උපස්ථාන කළහ. අපමණ වෙහෙසක් ගනිමින් ඒ අතර අධ්‍යාපන කටයුතු ද කරගෙන යෑමට සුමංගල හිමියන්ට සිදු විය. උන්වහන්සේ, ප‍්‍රාචීන, ප‍්‍රාරම්භ, මධ්‍යම ආදී පිරිවෙන් විභාග සාර්ථකව නිම කරන විට ලොකු හාමුරුවන් අපවත් වීම නිසා අත්දැකීම් ද අල්ප වූ 17 වැනි වියේ දී විශාල වගකීම් රාශියක් දැරීමේ අභියෝගයට මුහුණ දීමට සිදු විය.

තරුණ වයසේදීම නායකත්වයට අවශ්‍ය ප‍්‍රබල කුසලතා පෙන්වමින් තම වගකීම් යුතුකම් ඉතා සාර්ථකව ඉටු කිරීමට හැකියාව ලැබුණේ සුමංගල හිමියන් සතුව තුබූ දැඩි අධිෂ්ඨාන ශක්තිය නිසා යැයි අපට සිතෙයි.

කෙසේ හෝ මෙසේ ආ දුෂ්කර ගමන් මගෙහි කෙම්බිම වූ දෙව්රම් වෙහෙරේ ආරම්භය සිදු වූයේ රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ලුතිනන් කර්නල් සුමිත් ධම්මික පෙරේරා නම් රණවිරුවාට අයත්ව තිබූ දෙපානම චීනගහ කොටුන්න පාරේ පර්චස් 16 ක කුඩා බිම් කැබැල්ල ඔහුගේ දෙමවුපියන් විසින් සසුනට පූජා කිරීමෙනි.

සසුන්ගත වී වසර 25 ක් වැනි කාලයක් තුළ වසර 250 ට වැඩි දිගු කාලයකින් වත් කළ නොහැකි තරම් විශ්මකර්ම කාර්ය කිරීමට සුමංගල හිමියන්ට හැකි වූයේ කෙසේදැයි නැගෙන ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමත් ඉතා අපහසු ය. කෙසේ හෝ ධර්මය අනුව සිතුවහොත් පෙර සසර භව මගෙහි දී පුරුදු කළ අධිෂ්ඨාන ශක්තිය නිසා මෙවන් යෝධ කාර්යයක් ඉටු කිරීමට උන්වහන්සේට හැකි වූ බවයි, අපට සිතාගත හැකි වන්නේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.