UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනාවේ සැබෑ අරමුණ

ඔබ ජීවිතේ ගෙවා දැමූ අවුරුදු ගණන තුළ කොතරම් තනියෙන් හඬා වැටී ඇද්ද? දිනකට කීප වතාවක් සිත රිදවාගෙන ඇද්ද? ජීවිතයේ ඇතිවන ප‍්‍රශ්න, කරදර, සිත්තැවුල් නිසා කොතරම් මානසිකව පීඩාවට පත්වනවාද?

පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේදීත්, අපි‍්‍රයයන් හා එක්වීමේදීත්, කැමැති දේ නොලැබීමේදීත්, අකැමැති දේ ලැබීමේදීත් සිත රිදවාගෙන හඬා වැටෙනවා.එහෙත් කවදාවත් ඔබ සිතුවාද? මේ දුකින් නිදහස් වන්නට පුළුවන් කියලා. ඔබ කළේ හැමදාම දුකක් එනවිට ඒ දුකෙහි බැඳී ඒ දුකේ ගිලිලා ඒ දුකත් සමඟම ජීවත්වීමයි!. හඬා වැටීමයි, සිත රිදවා ගැනීමයි. නමුත් ඒ දුකෙන් නිදහස් වීමට පුළුවන් බව ඔබ දන්නවාද? සත්තකින්ම ඔබට ඒ දුකෙන් නිදහස් වීමට පුළුවන්. ඒ සඳහා වූ මාර්ගයයි. අපි ඔබට කියා දෙන්නේ. ඒ මාර්ගය මේ දුක් විඳින ලෝක සත්වයාට පෙන්වා දුන්නේ සියල්ල අවබෝධ කළ අප සරණ ගිය අපේ තථාගතයන් වහන්සේයි.

ඔබ තනිවම සිතා බලන්න. එක් දිනකදී ඔබගේ සිත කී වරක් දුකෙන් පෙළෙනවාද? කියා . ඒ වගේම තරහව,ක්‍රෝධය, නිසා පීඩාවට පත්වනවාද කියා. සියුම්ව හෝ බලවත්ව ඔබේ සිතේ ඇතිවන ඊර්ෂ්‍යාව ඔබව කොතරම් අසහනයට පත් කරනවා ද බලන්න. ජීවිතේ ඇතිවන සුළු ප‍්‍රශ්නයකදී පවා ඔබ හැසිරෙන ආකාරය ඔබ සිතා බලන්න. අපි ජීවිතය දිහා නැවත හැරී බලද්දී සතුටට වඩා දුක කනගාටුව , පසුතැවීම ලද අවස්ථා වැඩියි නේද? මේ තත්ත්වයෙන් මිදීමට ඔබත් කැමතියි නේද? ඒ සඳහා ඔබට අපි සපයන්නේ පුංචි අත්වැලකි.

සුළු කරුණකදී උරණ වන ඔබට, විටක මේ ජීවිතය එපාවෙලා ඇති. තවත් විටක ඔබ දිවි නසා ගන්න සිතන්න ඇති. එසේ වූ සිතට ප‍්‍රබෝධයක් ඇති කරවන මේ ධර්ම මාර්ගයට, හරි අවබෝධයක් ඇති වුණොත් ඔබ යොමුවනවා නියතයි.

අටලෝ දහම ඉදිරියේ නොසැලී ජීවිතයට හමුවන ප‍්‍රශ්න, දුක් කම්කටොලු මැද අවබෝධයෙන් ජීවිතය දෙස බැලීමට අපි පුරුදු විය යුතුයි. මේ සඳහා ඇති එකම මාර්ගය “භාවනාවයි” .

ජීවිතයට අර්ථයක්

භාවනාව නිසා ඔබේ ජීවිතය සුවපත් වන අතර, එය ඔබේ ජීවිතය වඩාත් අර්ථවත් කරයි. භාවනාව යනු කුමක්දැයි කෙටියෙන් කියනවා නම්, ඔබ විසින්ම ඔබගේ සිත දියුණුකර ගන්නා වූ සුවිශේෂී ක‍්‍රමයක් බවයි, පැවසිය හැක්කේ. ඔබටත් නොදැනීම ඔබේ සිත ඔබ තුළ සමාහිත වන්න පටන් ගන්නවා. යම් අරමුණක් තුළ ඍජු වන්න පටන් ගන්නවා.අරමුණක් තුළ ඍජු වූ සිතේ තමයි නිරාමිස පී‍්‍රතිය හට ගන්නේ. සිත පී‍්‍රතිමත් වූ විට කය සැහැල්ලු වනවා. සැහැල්ලු කයකින් යුතු වූ විටයි නිරාමිස සැපයක් දැනෙන්නේ. සැපවත් වූ සිත සමාහිත වෙනවා. ඔබම මොහොතක් සිතා බලන්න. භාවනාව තුළ සිදුවන මේ කි‍්‍රයාවලිය කොතරම් ආකර්ෂණීය ද? . මේ අයුරින් පී‍්‍රතිය හා සැපය සමඟ සමාධි ගත සිතක් ඔබට ලබාදෙන සුන්දර වැඩපිළිවෙළ , භාවනාවයි. ඉතිං මේ විදිහට සිත දියුණු කරලා මුලින්ම දුකින් නිදහස් වුණේ, බුදුරජාණන් වහන්සේයි.

මේ ලෝකයේ මිනිසත් බව ලැබූ පිරිසෙන් සිත දියුණූ කරන්නේ බොහෝම සුළු පිරිසයි. ඒ සඳහා ඔබට නිවැරදිව සිතීමේ පුළුවන්කම තිබිය යුතුයි. කල්පනා කිරීමේ හැකියාව ඔබට නැත්නම් ඔබට ඔබේ සිත දියුණු කළ නො හැකියි.

භාවනාවට සුදුස්සකු වීමට

සිත දියුණු කරන්නට බලාපොරොත්තු වන අය තුළ තිබිය යුතු මූලික කරුණ තමයි තුනුරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවට පැමිණීම . ඒ සඳහා අපට බුදුරජාණන් වහන්සේ හැර වෙන කිසිවෙක් නැහැ. උන් වහන්සේ කියාදුන් ආකාරයට ජීවිතය හසුරුවන්න පුළුවන් නම් ඔබ භාවනා කිරීමට සුදුසු පිරිසට එක්වෙනවා. විශේෂයෙන්ම ඔබ මුලින්ම දියුණු කළ යුත්තේ සිතන්න පුළුවන්කමයි. සිතන්න පුළුවන් කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නට ලැබිලා ඒ ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව ඇති වුණාම , එයට කියන්නේ ක්ෂණ සම්පත්තිය ලැබීම කියලයි.

ක්ෂණ සම්පත්තිය දුර්ලභයි

මේ ක්ෂණ සම්පත්තිය ඉතා දුර්ලභ එකක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මේ ක්ෂණ සම්පත්තිය අහිමි වන අය අපායේ වැටිලා දුක් විඳින බව. මිනිස් ලෝකේ අපි ගෙවන ආයුෂ ක‍්‍රමයෙන් ගෙවිලා යනවා. අපට වයසට යන ලෙඩ වන මරණයට පත්වන ජීවිතයක් තමයි, ලැබිලා තිබෙන්නේ. ඒ නිසා වයසට යන්නට, ලෙඩ වන්නට , මරණයට පත්වන්නට, සිහි කල්පනාව නැතිවන්නට කලින්, කල්පනාව තිබෙන වෙලාවේ, දෙයක් තේරුම් බේරුම් කරගන්න පුළුවන් අවස්ථාවේ ඔබත් ඒ දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලබාගන්න උත්සාහ කළ යුතුයි.

දියුණු සිතකට ලැබෙන ලාභ

මෙහිදී සිදුවන විශේෂ දේ තමයි, ඔබ බොහෝ ගුණධර්ම වලින් දියුණු වීම. ඔබේ මනස දියුණු වුණොත් ඔබ තුළ හොඳ පෞරුෂයක් ගොඩ නැගෙනවා. ඒ තුළින් මානසික වශයෙන් ඔබ දියුණු වනවා. එනිසාම ඔබ තුළ, ඊර්ෂ්‍යාව , තරහාව, පලිගැනීම ආදිය හටගන්නේ නැහැ. ඔබ සියලු දෙනා කෙරෙහි මෛතී‍්‍ර සහගත වනවා. සියල්ලන් හමුමේ සතුටු වනවා. ඒ අයත් සතුටු කරනවා. මේ දියුණූව ලබාගත හැකිවන්නේ දියුණු කළ සිතකට පමණයි.

ඔබේ සිත දියුණු වන විට, ගුණධර්ම වලින් පෝෂණය වන විට ඔබට අනුන්ගේ දියුණුව දැක සතුටුවීමේ හැකියාව ලැබෙනවා. සැමදෙනා කෙරෙහි මෛතී‍්‍ර සහගත වනවා. නිරන්තරයෙන්ම කරුණාව ඔබ තුළ පහළ වනවා. මේ දේවල් ඔබ තුළ තිබෙනවා නම්, ඔබ තේරුම් ගත යුතුයි, ඔබට ඇත්තේ දියුණු කළ හැකි සිතක් බව . ඒ සිත තව තවත් භාවනාව මගින් දියුණු කරගත හැකි ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. විශේෂයෙන් අධිෂ්ඨානයක් ඇතිකරගත යුතුයි. මම ධර්මය හොඳින් දැනගෙන ඒ ධර්මය මතක තබා ගෙන ධර්මය අනුව මගේ චින්තනය මෙහෙයවලා සිත දියුණු කරගන්නවා කියා.

පැහැදිලි චින්තනයක් අවශ්‍යයි

දියුණු කරගන්න උත්සාහ කරන සිතකට ස්වාධීනව හිතන්න පුළුවන් වන්න ඕන. ඔබ පැහැදිලි චින්තනයක සිටිය යුතුයි. බාහිර හැම දෙනාම කියන දේ තුළින් ඔබේ මනස පුරවා නොගත යුතුයි. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙන විට ඒ කෙරෙහි පැහැදීමක් ඇතිවන්න ඕන. මේ කියාදෙන ධර්මය මටත් අවබෝධ කළ හැකියි කියලා හිතන්න ඕන.

අවබෝධය තුළින් ශ‍්‍රද්ධාවට එන්න ඕන. කවුරු හරි කීවොත් “ භාවනා කරලා වැඩක් නැහැ. ජීවිතේ අවබෝධ කරගන්න ඉස්සරවෙලා කොච්චර දේවල් කරන්න ඕන ද? ඔහොම ගිහි ජීවිතේ ගත කරන්න බැහැ. ඉන්න ටික කාලේ හොඳට කාලා බීලා සතුටෙන් ඉන්න” කියලා ඔබ වටහාගත යුතුයි. ඒක වැරැදි මතයක්. වැරැදි අදහසක් වැරැදි දෘෂ්ටියක් කියලා. විවිධ අයගේ අදහස් වලට මුල්තැන දීලා ජීවිතේ අයාලේ යන්න දෙන්න එපා. ශ‍්‍රද්ධාව මුල්කරගෙන ඔබටත් ගෞතම බුද්ධ ශාසනයේ ශ‍්‍රාවකයන් අතරට ටිකෙන් ටික පැමිණිය හැකියි.

එවිට නොදැනීම ඔබගේ ජීවිතයට අමුතු ශක්තියක් , ජීවයක් ලැබෙනවා. ධර්මය තුළින් බලසම්පන්න වනවා. බාහිර අදහස් ස්වාධීනව විමසීමේ හැකියාව ඔබට ලැබෙනවා.

පරම අරමුණු ඉටු නොවීම

වර්තමාන සමාජයේ සමහරු රෝග සුවකිරීමට භාවනා කරනවා. ඒ අරමුණ ඉෂ්ට වුණත් නියම අරමුණ ඉෂ්ට වන්නේ නැහැ.

තවත් පිරිසක් ඍද්ධි පෙන්මීමට සිතා භාවනා කරනවා. ඒ අරමුණ ඉෂ්ට වුණත් එයින් නියම අරමුණ ඉෂ්ට වන්නේ නැහැ.

තවත් පිරිසක් විභාග පාස් වන්නට ඉගෙන ගන්න දේ හොඳින් මතක තබා ගන්නට සිතාගෙන භාවනා කරනවා. ඒ එක් දෙයකින්වත් භාවනාවේ නියම අරමුණ වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නේ නැහැ. භාවනාවේ නියම අරමුණ සංසාරයෙන් එතෙර වීමයි. ඒ සඳහා තිබෙන ගමන් මාර්ගයට පිවිසිලා, ඔබත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න.

නිකිණි
අමාවක පෝය


සැප්තැම්බර් 10 වනදා සඳුදා අපර භාග 05.04 ට ලබයි.
11 වනදා අඳහරුවාදා අපර භාග 06.18 දක්වා
පෝය පවතී.
සිල් සමාදන් වීම 10 වනදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර්
19 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර්10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]