Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සමඟිය උදෙසා බුද්ධි වාදය මුදුන්පත් කළ යුතුයි

මූලික අධ්‍යාපනය පාණදුර – පිංවත්ත සද්ධර්මාකර පිරිවෙනින් හා මාදන්වල ශ්‍රී ධර්මෝදය මහපිරිවෙනින් හැදෑරූ නා හිමිපාණෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ප‍්‍රථම ශාස්ත‍්‍ර පරීක්‍ෂණයෙන් ද සමත් වූහ. කැලණිය විශ්වවිද්‍යාලයෙහි පුස්තකාල විද්‍යා පාඨමාලාව හදාරා මොල්ලිගොඩ ප‍්‍රවචනෝදය මහ පිරිවෙනෙහි ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමේ ආචාර්යවරයෙකු ලෙස අතිගරු රාජකීය පණ්ඩිත ලබුගම ශ්‍රී ලංකානන්ද මහානාහිමි, මහාචාර්ය උඩුවේ ජනානන්ද නා හිමි වැනි කීර්තිධර පඬිවරුන්ගේ ඇසුර ද ලබමින් අධ්‍යාපන සේවාව ආරම්භ කළහ. ලෝක ධර්මදූත සේවය සඳහා ව්‍යවහාර වර්ෂ 1984 දී තායිලන්තයේ වටිපට්නාම් විහාරයේ ප‍්‍රා ධම්මධීර රාජමහාමුනි උපසංඝරාජයන් වහන්සේ යටතේ ආගමික කටයුතු පිළිබඳ පුහුණුවක් ද ලැබූහ. නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයෙහි සමාජ විද්‍යා පාඨමාලාවක් ද හදාරා ඇති අප නාහිමිපාණෝ කලක් ජපානයෙහි වැඩ සිටිමින් අධ්‍යාපන කාර්යයන්හි නිරත වූහ.

උන්වහන්සේගේ සේවය ඇගයීම් වස් ලෝක තරුණ භික්‍ෂු සංගමයේ උපසභාපති තනතුර ද පිරිනමා ඇත. සුදුස්සාට සුදුසුතැන ලබාදීමේ න්‍යාය මත කෝට්ටේ පාර්ශවයෙහි අතිගරු මහා නායක හිමියන් ප‍්‍රමුඛ සානුනායක කාරක මහා සංඝසභාව මගින් මැලේසියාවේ ප‍්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. ඒ පිළිබඳ අක්තපත‍්‍ර ප‍්‍රදානය 2007 .08.25 පෙරවරු 9 ට කෝට්ටේ රාජ මහා විහාරයේදීත්, පිළිගැනීමේ උත්සවය 2007.08.26 දින පස්වරු 3 ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ මහත් උත්සවාකාරයෙන් සිදු විය.

ප‍්‍රශ්නය - අපේ හාමුදුරුවනේ පින්කෙත පුරන් වෙනවා පේනවා. ඒක වළක්වා ගන්න විදිහ ඔබ වහන්සේට පෙන්වාදිය හැකි ද?

උන්වහන්සේගේ නළල් තලය රැළි ගැන්වෙනු පෙනිණි. මේ නම් මහ දිග කතාවකට මුලක් නොවේදැයි සිතෙන්නට ඇත. කොහෙන් පටන් ගනිමුදැයි නිනව් තැනි සුසුමක් හෙළුවේ ඒ නිසාම විය හැකි ය. මම එකත්පස්ව ඒ බිම්පලසේ හිඳගෙන සිටියෙමි.

පින්කෙත කියන්නේ අපේ සාසනේටනෙ. පින් කෙත වෙන සාසනේ පිරිහීමට ප‍්‍රධාන කාරනා දෙකක් මම දකිනවා. පළමු කාරණාව තමයි සංඝයා වහන්සේ අතර තිබෙන අසමඟිය, කුල භේදය, නිකාය බේදය, දේශපාලන භේදය ආදී වශයෙන් සඟ පරපුර බෙදීම් වලට ලක්වෙලා තිබෙනවා. සාම ශ්‍රී සඟ පරපුර කියලා කිව්වාට චීවරයෙන් පමණයි නාමිකව සමඟිය දකින්න ලැබෙන්නේ.

බොහොමයක් හාමුදුරුවෝ අද බුද්ධිවාදය යටපත් කරලා භක්තිවාදයම වපුරන්න පටන් අරනි තියෙනවා. එයම තමයි එක් පලිබෝධකයක් වන්නේ.

පින්කෙතේ පුරන්වීමට හේතුවන එයින් වැළකෙන්නට නම් අපේ සංඝයා වහන්සේ ජනතාව අතරට යන්න කලින් සමගිය ඇති කර ගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඒ සමඟිවීමේ දී යම්යම් කැපකිරීම් කිරීමට සිදුවනවා. ඒකට හැබෑ උවමනාවක් ඇතිව සූදානම් වෙන්න ඕන. සමහරවිට විහාරාධිපතිකම තම තමන්ගෙ ධනය කැපකරන්නත් වෙයි. සමගිය නැතිව සාසනේ රැක ගන්න බැහැ. භක්තිවාදයම හුරු කරන්නේ නැතිව, බුද්ධිවාදයම සමාජගත කිරීමයි. ඊළඟට සිදුවන්න ඕන.

උන්වහන්සේ හරවත්කතිකාවකට අවැසි මං පෙත පාදා ගෙන ඇත. එයින් මගේ අපේක්‍ෂාවටද දළු දමමින් පැවතිණ. එහෙයින්ම මුවගට පැමිණෙන පැන නොවිමසා සිටීමට නොහැකිය.

ප‍්‍රශ්නය - ඔබවහන්සේ කියන්නෙ අද බහුලව පවතින පූජා විධිවලට වඩා බුද්ධිය අවදි කරගෙන ඇස් පාදාගන්න කියන එකද?

අපේ රටේ ජනපි‍්‍රය හාමුදුරුවො කරන්නෙ භක්තිය මුලට අරගෙන විවිධ පූජා ඔස්සේ ශ‍්‍රද්ධාව රැස්වන මහ සෙනඟ අතරේ වැතිරෙන්න අරිනවා. ඒ ශ‍්‍රද්ධාවත්, අනවබෝධයෙන් යුතු ශ‍්‍රද්ධාවයි අර හින්දු පුද පූජා සමඟ පවත්වා ගන්න ශ‍්‍රද්ධාව. ජනපි‍්‍රය හාමුදුරුවන් වටා රැස්වන ඒ මහ සෙනඟත් විසිර යන්නේ, සිත්වල කිසිවක් ඉතිරි කර නොගෙන ඒ කියන්නේ දහමේ අරුත පිළිබඳ හැඟීමකින් තොරව.

බුදුරජාණන් වහන්සේ දෙසා වදාළේ සංඝයා සමඟියෙන් එක් රැස් වී සමඟියෙන් විසිර යා යුතුයි කියලනේ? සංඝයා වහන්සේ අතර සමඟියක් නැතිව ගිහි සමාජයේත් සමගියත් දකින්න බැහැ.

ඕනෑම සමාජයක් මනින්න හැකි වන්නේ ඒ සමාජයේ සිටින සිල්වත්න අනුවයි. ඒ නිසා පෙරගමන් යා යුත්තේ පිරිස සංඝයා වහන්සේමයි.

ඔබ වහන්සේට තවත් පැහැදිලි කිරීමට කරුණු ඇති.

සුදුස්සාට සුදුසු තැන ලැබීමක් අද සංඝ සංස්ථාවේ නෑ අද සඟ සමාජයේත් තරගය පවතිනවා. එක එක්කෙනාට ආවේණික වෙන්වුණු මත තියෙනවා. ඒ මත තුළම ඒ අය එල්ලිලා ඉන්නවා . අපේ ලංකාවේ සංඝ සභා, සංඝසම්මේලන, සංඝ සංවිධාන බොහෝමයක් ඇති වී තිබෙනවා. එයින්ම පේනවා අසමඟිය. එහෙම නං අපෙ හාමුදුරුවනේ, අපේ රටේ තිබෙන සංඝාධිකරණ ගැන ඔබවහන්සේ කියන්නේ කුමක්ද?

සංඝාධිකරණයක් තිබුණට එය නිශ්කි‍්‍රයයි. අකි‍්‍රයයි. පොත පත විතරයි ඒ සම්බන්ධයෙන් මුද්‍රණය වෙලා තියෙන්නේ. සංඝාධිකරණය පිළිබඳ කතා කරන අයම තමයි, එය කඩ කර තිබෙන්නෙ. මෙය යම් දුරකට හරි මැඩ පවත්වාගන්න පුළුවන් වන්නේ සමගිය ඇති කර ගතහොත් පමණයි.

එසේනම් සංගායනා පැවැත්වීම?

“තායිලන්තය වගේ රටක් ගත්තොත් එහේ වැඩ ඉන්නවා සංඝරාජ කියල හාමුදුරුනමක් එහි ශාසනයට රාජ්‍ය අනුග‍්‍රහයත් නොඅඩුව ලැබෙනවා. සංඝරාජ හාමුදුරුවො තම වර්ගයා වූ සඟ පරපුරම ගැන බලා ගන්නවා.

සානුකම්පිතව. උන්වහන්සේ හරහායි සියලු නිවේදන නියම සඟර පරපුර වෙත ලැබෙන්නේ. ඒ නිසා එසේ සඟ පරපුර අතර හිස් තැන් නැහැ. උගන්නා නැහැ. තම ඒකායන අරමුණ කරා සිත් සතන් මෙහෙයැවීමට හැකියාව එයින් ලැබී තිබෙනවා.

යම්කිසි සංඝයා වහන්සේ කෙනෙක් සංඝරාජ හිමියන්ගේ අනුදැනුමෙන් පිට පනිනවා නම් දුරාචාරයේ විසමාචාරයේ යෙදෙනවා නම් සෘජුවම ඒ භික්‍ෂුව නෙරපා හරිනවා චීවරයෙන් ද මුදවලා. ඒ බලය පූර්ණ වශයෙන් ම සංඝරාජ පදවිය සතුයි”

අප රටේ රාජ්‍ය බලය සසුනට ලැබේ යැයි පැවසුණද පෙනෙන්නේ සැබෑ අර්ථය වෙනුවෙන් එය ලැබෙන්නේ නැති බවක්.

බුදුරජාණන් වහන්සේ සමස්ත සමාජයම බෙදා තිබෙන්නේ කොටස් හතරකටය. භික්‍ෂු ,භික්‍ෂුණී, උපාසක, උපාසිකා, යන සිව්වනක් පිරිසටයි. එහෙත් අද විභේදනය සිදු වී ඇත්තේ කොටස් කීයකට දැයි ප‍්‍රශ්නයකි. එයින් භයානකම ,අකැප විභේදනය වන්නේ, දේශපාලන විභේදනයයි. එසේ බෙදී සිටීම , පිරිහීමේ හේතුව ලෙස සැඟවිය නොහැකි කාරණයයි.

අපේ හාමුදුරුවනේ බෙදෙන්න ඕන නම් ධර්මානුකූලව බෙදෙන්න තිබෙන්නේ කොටස් දෙකකට නේද?

“ඔව් බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන්ම බෙදා වෙන් කළේ සෝඛ, අසේඛ කියලයි. සේඛ පාර්ශ්වය තමයි අපි. ඒ කියන්නෙ සිවුර කියන නිල ඇඳුම ගතට දීල සිත දමනය කර ගන්න මඟ හසර පාදලා කඩ ඉම් හතරක් පෙන්වා දීලා, සෝවාන් , සකෘදාගාමී , අනාගාමී අර්හත් කියන නිවන් මගට අවතීර්ණ කරලායි තියෙන්නෙ. ගිහියාටත් ඒ මගම යා යුතු බව පෙන්වා දීලා තිබෙනවා. වෙනස ගිහියාට තිබෙන බැඳීම් බැමි කන්දරාව මගට අවතීර්ණ වෙන්න කලින් ඒ බැමි වලින් මිදෙන්න ලොකු සටනක් කරන්න ගිහි ඇත්තන්ට සිද්ධ වෙනවා. ඒ අය තමයි අසේඛ ගොඩේ ඉන්නෙ. ඒ අතින් සිවුරට තිබෙනවා අප‍්‍රමාණ බලයක්”

චීවරය පිළිබඳ කතාව නම් බොහෝ දුර දිග යන කාරණයක් නේද? එසේ වුවත් උන් වහන්සේ අගෝස්තු 27 දාට පසුව සඟ නා පදවිය ලබන මැලේසියාවේදී නම් එරට කාලගුණික විපර්යාසයන්ට අනුව හැඩ ගැසිය යුතු වනවා නේද?

“අපේ සංස්කෘතිය හා දේශගුණය අනුව මෙහෙම එක් උරයක් ඇරගෙන සිටීම එහේදී කරන්න බැහැ. උන් වහන්සේ සීත සමයට උචිත චීවරයේ හැඩය පිළිබඳ විස්තර කළේය. උන්වහන්සේ ගේ පෙනුම පමණක් නොව ගති සොබා චර්යා රටාද හේතුවෙන් වඩාත් බුහුමනට ලක් වන්නේය. උන් වහන්සේ පෙර සඳහන් සේඛ ගමන් මගෙහිම සමවතින් පියවර මනින්නාහ.

ලෞකික සැප සම්පත් පස්සේ යෑම කොහොමටවත් වටින්නේ නෑ නේද? සිවුරක් දරාගෙන ?

සැසැඳීමෙන් තමයි, අඩුපාඩු පේන්නෙ. එක් හාමුදුරු නමක් සුපිරි වාහනයක යනවා දැක්කම , අනිත් හාමුදුවන්ටත් එකක් ඕන වෙනවා. සංඝාවාස චක්කහම තමන්ටත් දෙමහල්, තෙමහල් සංඝාවාස ඕන වෙනවා. රන් වැටවල් දැක්කහම තමන්ටත් රන්වැටක් ඕන කරනවා. මේක තමයි , සැසඳීමෙන් උපදින තන්හාව . මේක මුළුමනින්ම අකැපයි,ප‍්‍රාචිත්‍යයි.

අද නායක හාමුදුරුවන්ට පවා අභිමත පරිදි ගත හැකි සුදුසු පිළියම් සහිත පියවරක් නැති ගාණයි. උන් වහන්සේත් අද අසරණයි’ සමාජ , ආර්ථික , දේශපාලනික ව්‍යසන කුණාටු විසින් අද උන්වහන්සේ ද ගොදුරු කරගෙන හමාරයි.

අපේ හාමුදුරුවනේ ! ඔබ වහන්සේ මැලේසියාවේදී ධර්මදූත සේවාවේ යෙදෙන ආකාරය පැහැදිලි කළොත් ..

“මැලේසියාව කියන්නෙ බෞද්ධ රටක් නෙමෙයි. බෞද්ධ නොවන රටකදී බුදු දහම සමාජ ගත කිරීම ඉතා ක‍්‍රමානුකූලව, පරෙස්සමින් උපාය මාර්ගිකව කළ යුත්තක්. මෙහිදී ප‍්‍රචාරණ ශිල්පක‍්‍රම බොහොම වැදගත්. අපේ අද්විතීය සන්නිවේදකයාණෝ වන්නේ, බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ හදාරන කවර හෝ කෙනකුට උන් වහන්සේ අනුගමනය කළ ප‍්‍රචාරණ උපක‍්‍රම ඉතා වැදගත් බව පේනවා. ඒ වගේම ඒවා සියයට දෙසීයක් ඵල සහිත යි.

උන් වහන්සේ සතුව තිබූ සියලු උපාය අප සතුව නැතත්, එයින් භාෂා මාධ්‍යය තෝරා ගැනීම හා එය හැසිරවීම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වනවා.

අපි අපේ පණ්ඩිතකම් පෙන්වන්නට ගියොත් අනාථයි ප‍්‍රතිඵල ලබා ගන්නට බැහැ. ගැඹුරු දහම ඉතා සරලව පොදු ජනතාවගේ භාවිත භාෂාවෙන් ඔවුන් අතරට යැවිය යුතු වනවා. එහිදී බස හැසිරවීමේ ශෛලිය ඉතා වැදගත් . ඒ වගේම දෙසුමේ අන්තර්ගත කරුණු ප‍්‍රමාණය ඒ කියන්නේ ඊළඟට සන්නිවේදන මාධ්‍යය තෝරා ගැනීම වැදගත් වෙනවා.

ඒ රටේ ප‍්‍රධාන වෙනස නම් ඔවුන් බුද්ධිය හරහායි. ශ‍්‍රද්ධාව ගොඩ නගන්නේ . අප ශ‍්‍රද්ධාව හරහායි බුද්ධියට පිවිසෙන්න හදන්නේ. ඒක සාර්ථක ක‍්‍රමයක් නෙමෙයි.

ප‍්‍රචාරණය කියන්නේ විෂයයක්. ධර්මය දැරීම පමණක් සෑහෙන්නේ නෑ. එය පතුරුවා හරින ක‍්‍රමෝපාය දැන සිටීම වෙනමම කළ යුතු අධ්‍යයනයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන අවදියේදී නො තිබූ ගමන් අපහසුව අද නෑ. වර්තමානයේ නොයෙක් වාහන තිබෙනවා. එහෙයින් ඒවා අපගේ ධර්ම ප‍්‍රචාරණ කි‍්‍රයාන්විතයට ඉවහල් කර ගත හැකියි.

හොඳයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින් සිදුවේවා! අප මේ කාරණා ගැන දැනුවත් කළාට . උන් වහන්සෙගේ අපේක්‍ෂාව බෙහෙවින් ප‍්‍රඥාගෝචර බව පෙනෙයි. එහෙත් එය ඉටු කැර ගැනීම ඉතා දුෂ්කර විය හැකිය. අභියෝගාත්මක විය හැකිය. අළුබෝමුල්ලේ රතනසිරි නා හිමිපාණන් වහන්සේ ස්වකීය වගකීම කෙරෙහි වඩාත් අවධානයෙන් අදිටන් පූර්වක හැඟීමෙන් අප වෙතින් නික්ම යනු දක්නට ලැබිණි. අපි උන්වහන්සේට නමස්කාර පූර්වක ආශිර්වාදය පිරිනමමු.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.