Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම ජයන්තියට දඹදිව දී පින්කම්

අවුරුදු අටසියයක් පමණ දඹදිවින් තුරන්ව තිබූ බුදුසසුන නැවත දඹදිවට ලබාදී බුද්ධගයාව ඇතුළු දඹදිව පූජණීය ස්ථාන ලෝක බෞද්ධයින් අතට පත්කර දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 143 වන ජන්ම ජයන්තිය දඹදිව සෑම බෞද්ධ සිද්ධස්ථානයකම උසස් අන්දමින් පැවැත්වීමට ඉන්දීය මහබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් විසින් කටයුතු සංවිධානය කර ඇත.

ඉන්දීය මහාබෝධි සමාගමේ මූලස්ථානය වන ශ්‍රී ධර්මරාජික විහාරයේදී 2007 සැප්තැම්බර් මස 17 වන දින උදෑසන ධර්මපාලතුමාගේ පිළිරුවට මල් මාලා පැළදවීමෙන් පසුව ආගමික කටයුතු ආරම්භ කෙරේ. සවස 5.30 ට විපස්සනාචාර්ය බෙංගලි ජාතික බුද්ධරක්ඛිත හිමියන්ගේ විදර්ශනා භාවනාව ගැන විශේෂ ධර්ම දේශනාවකි. ඉන්පසුව මහා පිරිත් දේශනයකි. සංස්කෘතික වැඩ සටහනේදී බෙන්ගාලයේ ප‍්‍රසිද්ධ වයලින් වාදක සංජය ගෝස් විසින් ඉදිරිපත් කරනු ලබන රවින්ද සංගීතය අනුව වයලින් වාදනයකි. බිහාරයේ බුද්ධගයා මධ්‍යස්ථානයේදී ධර්මපාලතුමාගේ උපන්දිනය නිමිත්තෙන් සැප්තැම්බර් මස 15 , 16, 17 යන තෙදින උත්සව මාලාවකි. සැප්තැම්බර් මස 15 දා සවස වජ‍්‍රාසනය අභියස ලෝකයේ ධර්මදූත සේවයේ යෙදී සිටින විවිධ රටවල් භික්ෂූන් සහභාගිවන බුද්ධ පූජාව සහ බෝධි පූජාවකි. මෙදින ප‍්‍රධාන අමුත්තා වනුයේ ශ්‍රී ලංකා ජනරජයේ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මැතිතුමායි. සැප්තැම්බර් මස 16 විවිධ රටවල ධර්මප‍්‍රචාරක කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගේ සම්මන්ත‍්‍රණයකි. මෙදින ප‍්‍රධාන අමුත්තා ප‍්‍රංශයේ යුනෙස්කෝ හී උපදේශක ආචාර්ය ටී. ධම්මරතන හිමියන්ය. ප‍්‍රධාන දේශකයාණෝ ශ්‍රී ලංකා ජනාධිපති උපදේශක ආචාර්ය වල්පල පියනන්ද හිමියන්ය. සැප්තැම්බර් මස 17 පවත්වන උත්සවය කථික තරඟ චිත‍්‍ර තරග සහ ජාත්‍යන්තර ධර්මදූත සේවයේ නියුතු භික්ෂූන්ට සහතික බෙදාදීම විශේෂය , මෙදින උත්සවයේ ප‍්‍රධාන අමුත්තා ශ්‍රී ලංකා ජනරජයේ උසස් අධ්‍යාපන ඇමැති මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමාය.

බරණැස ඉසිපතන මිගදාය මූලගන්ධකුටි විහාරයේදී ධර්මපාලතුමාගේ උපන්දිනය නිමිත්තෙන් මහාබෝධි විද්‍යාල අතර කථික තරග, චිත‍්‍ර තරග, ගායනා තරග ආදිය සිදුකෙරේ.

නවදිල්ලි බුද්ධ විහාරයේදී මෙම ජන්ම දිනය ඬඳත්තෙන් විශේෂ බෝධි පූජාවක් හා දේශනයක් ශ්‍රී ලංකා තානාපතිතුමාගේ සහභාගිත්වයෙන් සිදුකෙරේ. නේපාලයේ ලුම්බිණී මධ්‍යස්ථානයේදී ශ්‍රී ලංකා තානාපති සුමිත් නාකන්දල මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි මාමඩවිල ශාන්ත හිමියෝ නිවේදනය කරති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.