Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැනසුමට හේතු වන යථාවබෝධය

බුදු දහමේ දැක්වෙන “ති‍්‍ර ලක්ෂණය” යන පදයෙන් අර්ථවත් වන්නේ ‘ලකුණු හෙවත් ස්වභාවික ලක්ෂණ තුන’ යන්නයි. එනම් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ලක්ෂණ තුනයි. සියලු සත්වයින් කෙරෙහිම මෙය බලපාන බැවින් මෙයට ති‍්‍රලක්ෂණ සිද්ධාන්ත යැයි කියති. මෙය ලොව පවත්නා පුද්ගල හා වස්තු යන දෙකටම බලපායි. සිතට ද බලපායි.

මෙහි දී අපගේ අවධානය යොමු වන්නේ “අනිත්‍ය” යන සංකල්පය කෙරෙහිය. එනම් ලොව ඇති මනුෂ්‍ය, සත්ව හෝ වස්තු යන කිසිම දෙයක් නිත්‍ය නැති බවයි. සත්වයා ඉපදී මිය යයි. ද්‍රව්‍ය ද ඇති වී නැති වී යයි.

අප ගේ ජීවිත කාලය තුළ අපගේ ම ජීවිතය දෙස මඳක් විමසා බලන විට මෙම අනිත්‍ය තත්ත්වය අවබෝධ වෙයි. එනම් මනුෂ්‍ය ජීවිතයක කාලය වසර 75 ක් පමණ වන අතර, කුඩා ළමයෙක් කුඩාවට ඉපදී, තරුණ වියට පත් වී, අලංකාර ලෙසට සිට ක‍්‍රමයෙන් වයසට ගොස් අලංකාර ගතිය නැති වී ජරාවට පත් වෙයි. මේ අතර අසනීපවීම නිසා ද ජරාවට පත් වෙයි. ඇතැම් විට තරුණ කාලයේ ද, ඇතැම් විට කුඩා කාලයේ ද, එසේ නැතහොත් වයසට ගොස් ද ජීවිතය නිම කරති. බොහෝ විට වයසට ගොස් අභාවයට යති. ඇතැම් විට අනපේක්ෂිත ලෙස හදිසියේ ඕනෑම කෙනෙක් මිය යා හැකි ය. මෙයින් පැහැදිලි වන සත්‍යයක් නම් කිසිම දෙයක් සැමදාම ඒකාකාරව වෙනස් නොවී නොපවතින බව ය.

මනුෂ්‍යයා වගේම ගස් වැල්, මල් ගෙඩි සියල්ල මැල වී දිරා ගොස් මැරී යන්නේ මොහොතින් මොහොත වෙනස් වීමේ ප‍්‍රතිඵලයක් වශයෙනි. කිසිම දෙයකට සදාකාලික පැවැත්මක් නැත. අවිච්ඡින්න පැවැත්මක් නැත. සියල්ල හේතු ප‍්‍රත්‍ය අනුව සිදු වෙයි.

මෙහි දී පැහැදිලි වන්නේ ඇතිවීමක් හෙවත් හට ගැනීමක් , පැවැත්මක් හා ඉක්බිති විනාශයක්ද වන බවයි. මේ නිසා සත්වයා පිළිබඳ ඇති මූලික ලක්ෂණයක් ලෙස අනිත්‍ය හැඳින්විය හැකි ය.

මෙම වෙනස්වන බව කියතත් එය පිළිගැනීමට අප යටි හිත අකමැති ය. මේ නිසා අප කි‍්‍රයා කරන්නේ වෙනස් වන බව අමතක කර ගෙන ය. අප සියලු දේ අනිත්‍ය බව අවබෝධ කර ගන්නේ නම් වේදනා අඩුය. මෙය අවබෝධ කර ගතහොත් ඇති දේ ඇති සැටියෙන් දැකිය හැකිය. මෙය වඩාත් අවබෝධ කර ගත හැක්කේ විදර්ශනා භාවනා වැඩීමෙනි. විදර්ශනා භාවනා වැඩීමෙන් පංචස්කන්ධයේ අනිත්‍ය බව අවබෝධ කර ගත හැකි ය. ඒ හේතුවෙන් අවිද්‍යාව හා තෘෂ්ණාව නැතිකර ගෙන නිර්වාණය අවබෝධ කර ගත හැකිය. බුදු දහමේ පරමාර්ථය එයයි.

එසේම මෙලොව ජීවිතයේ දී කටයුතු කිරීමේ දී අනිත්‍ය බව අවබෝධ කර ගන්නේ නම් එය අපේ ජීවිතයට ප‍්‍රායෝගිකව ඉතා ඵලදායක වෙයි.

අපේ හිතෛෂියකු මිය ගිය විට අනිත්‍ය යථාර්ථය මෙනෙහි කළහොත් කනගාටුව අඩුකර ගත හැකි වෙයි.

තමාගේ දරුවකු විවාහයෙන් පසු වෙනස් වී මවුපියන්ට සලකන්නේ නැත්නම් ඒ පිළිබඳ ද අනිත්‍ය වටහා ගත් තැනැත්තාට කම්පා නොවී සිත හදා ගත හැකි ය. තමාගේ මිතුරකු හිතවත්ව සිට පසුව වෙනස් වූ විට ද සියලු දේ වෙනස් වන බව දැන සිටි විට කම්පා නොවී සිටීමට හැකි ය. වසර ගණනක් තමන් ළඟ සිටි, නැතහොත් තමන් ඇසුරු කළ සහකාරිය වෙනත් අයකු හා හාද වුවහොත් අනිත්‍යය මෙනෙහි කොට ඒ පිළිබඳ ඇතිවන ශෝකය, කම්පනය අඩුකර ගත හැකිය.

දේපළ - ගේ දොර - ඉඩ කඩම් අනිත්‍ය බව තේරුම් ගන්නේ නම්, ඒ වෙනුවෙන් මිනී මරා ගන්නේ හෝ වසර ගණන් නඩු මඟට යන්නේ නැත. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පෙරටු කර ගෙන දැඩි පාප කර්මවල මිනිසා යෙදෙන්නේ, යමක් නිත්‍ය යැයි යන මතයේ එල්බ ගැනීම නිසා ය.

බුදු දහම මැනවින් වටහා ගත් අයකුට මේ අනුව ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මමත්වය අඩුකොට ගෙන, කරුණාව, මෛති‍්‍රය, මුදිතාව, උපේක්ෂාව ඇති කොට ගෙන සියලු ප‍්‍රශ්න දෙස මැදහත් ඇසින් බලා සිතේ සැනසීම පවත්වා ගැනීමට හැකියාව ලැබෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.