Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

සසර බිය නසන කුසලට පමා නොවෙමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

“අච්චෙන්ති කාලා තරයන්ති
රත්තියෝ ව යෝ ගුණං අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමානෝ
ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛො”

සැදැහැවත් පින්වත්නි,

ඉහත සඳහන් කළ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් එක්තරා දේවතාවෙක් සඳහා දෙසන ලද පිළිතුරකි. එවේලෙහි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේය. මේ දේවතාවා මධ්‍යම රාති‍්‍රයෙහි එහි පැමිණ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! අප සතුව ඇති කාලය ගෙවී යනවා. ඒ සමඟම ආයු කාලය රාති‍්‍ර කාලයන්ගෙන් ඉකුත් වී සත්ත්වයා මරණයට පත් කරන්නේය. මේ කරුණු සසර බියට හේතුවකි. එය මරණය සමඟ සසඳමින් කුසල් කිරීම යහපත් වේයැ”යි බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ එම දේව භාෂිතය අනුමත කළ සේක.

(සංයුත්ත නිකාය අච්චෙන්ති සූත‍්‍රය - දේවතා වග්ගය)

එහෙත් බොදුනු පිළිවෙත පින්කම් කිරීමට පමණක් ම සීමා වූවක් නොවෙයි. එහි මෙයට වැඩියෙන් ගැඹුරු අරුතක් ඇත. හැම බෞද්ධයකුගේම පරමාර්ථය සසර දුකින් මිදීමයි. එනම් ජාති, ජරා, ව්‍යාධි මරණාදී දුක්ඛයන්ගෙන් විමුක්තිය ලබා ගැනීමයි. ඊට සූදානම් වන තැනැත්තා “සන්තිපෙක්ඛ” නාමයෙන් හඳුන්වා ඇත. ඔහු විසින් පින් දහම් කරන්නේ ද එම පරමාර්ථයෙනි.

දිව්‍යලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ සැප පතමින් නොවෙයි. පින් කිරීමේ දී එසේ යමෙක් සිතත් නම් ඉන් ඔහුගේ භව ගමන දීර්ඝ වී නිර්වාණාවබෝධය දුරස්ථ වෙයි. එයට හේතුව ලෞකික පැතීම් හේතුවෙන් තෘෂ්ණාව වර්ධනය වීමය.

එයින් පුහුදුන් කෙළෙස් භරිත පුද්ගලයා අමිසය හෙවත් වස්තු කාමයට ගොදුරු වෙති. ඒ අනුව ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව පසිඳුරන් පිනවීම පමණය. එයින් තොර වූ ගුණාත්මක දිවි පෙවෙතක් ඔවුන්ට ඇත්තේම නැත. පස් පව්, දස අකුසල් කරමින් හෝ උපභෝග, පරිභෝග වස්තු සම්පත්වලට ම ජීවිතය කැප කරයි. ගේ දොර, ඉඩකඩම්, මිල මුදල්, නඩු හබ කියා හෝ සපයා ගැනීමට හෝ මාන බලනවා. එහි දී ඔහුගේ දිවි මග මෙත්, කරුණා, මුදිතා, උපේක්ඛා යන ආධ්‍යාත්මික ගුණ දහම් ඇති වෙන්නේ නැත. යුක්තිය අයුක්තිය තේරුම් ගත හැකි ප‍්‍රඥාවක් නැත. එය ආමිස තෘෂ්ණාව නමැති අන්ධකාර පටලයෙන් වැසී ඇත.

පින්වත, ඔබට මෙම අදහසින් වැරැදි වටහීමක් ඇති විය හැකිය. එය ද ධර්මානුකූලව වටහා ගත යුතුව ඇත.

බෞද්ධ පිළිවෙතට අනුව බෞද්ධයන්ට ධනය නිෂ්පාදනය සුදුසුු නැතැයි බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එසේ යමෙක් සිතත් නම් එය අන්තග‍්‍රාහී සිතිවිල්ලකි. බුදුරජාණන් වහන්සේ කාමභෝගී ගිහියන්ට ධන නිෂ්පාදනය හෝ පරිභෝජනය වාරණය කර නැත. නිවැරැදි දැහැමි රැකී රක්ෂා කොට ඇති හැකි අයෙක් වෙන ලෙස වදාළහ. සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ ආදී සුත‍්‍ර ධර්මවල ඇති “ධර්ම න්‍යාය” ක‍්‍රම ඊට මනා නිදසුන්ය. ඒවායෙහි සඳහන් වන්නේ ධනයෙන් වර්ධනය වෙන මමත්වය දුරු කොට, උපේක්ෂා සහගත මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන ලෙසයි. එසේ නොමැතිව ආමිෂයට ම ගොදුරු වූවන් “බාල” යන්නෙන් හඳුන්වා ඇත.

ඔවුන් අස්ථිර ති‍්‍රලක්ෂණය හඳුනන්නේ නැත. එතරම් ම ඔවුහු ආමිසයට ලොල්ව කල් ගෙවති. මරණයෙන් සිදුවන සියලු වැනසීම් දකිමින් “මට පුත්තදාරකාදීන් සහිත ධනය ඇතැයි නිසරු සංකල්පයන්ට ගොදුරුව කල් ගෙවති. එම පිළිවෙත සසර දිගුªකරන දෙලොව පසුතැවිල්ලට හේතුය. එහෙයින් ම “ඉධතප්පති පෙච්ච තප්පති”යැයි වදාළහ.

මෙම ගාථා ධර්මයෙහි සඳහන් පරිදි ලෝකාමිසය දුරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ ගිහි පැවිදි හැම දෙනෙක්ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුගතව වාසය කිරිමයි. හෙවත් සීල සමාධි ප‍්‍රඥා යන ති‍්‍රලක්ෂණ පිළිවෙත් අනුගමනය කිරීමයි. පුහුදුන් හැම දෙනෙක්ම ආමිසයට ගිජු වෙති. එනම් පසිඳුරන් පිනවීමට ඇති කැමැත්තයි. එම රුචිය “කාමච්ඡන්ද” යැයි දහමෙහි උගන්වා ඇත. මෙහි දී බුදුරජාණන් වහන්සේ විසින් ප‍්‍රායෝගික ජීවිතවලට වැටහෙන උචිත උපමා උපයෝගී කර ගෙන ඇත්තාහ.

මේවා විමුක්ති අපේක්ෂා කරන්නන්ට වහා වැටහෙයි. ගතවෙන කාලයත් සමග රාති‍්‍ර කාල ගෙවී ආයුස නිමාවට පත්ව මරණයට පත් වෙයි, යන්න අවධාරණය වෙත්ම බුදු දහම පසුබිම් කර ගත් බුද්ධිමතුන්ට ජීවිතයේ යථාවබෝධය තේරුම් ගැනීමට මාවත උදා වෙයි.

ඔවුහු ලෞකික ලෝකෝත්තර කාර්යය සාධනයෙහිලා වහා උත්සුක වෙති. එය අප‍්‍රමාදය හෙවත් අධිෂ්ඨානශීලී ජීවන පැවැත්මයි. එහි දී පුද්ගලයන් නිතැතින්ම අරි අටමගට පිවිසෙයි. දියුණුව අපේක්ෂා කරන සැමට මෙය විශ්ව සාධාරණ සනාතන දහමකි. එය නොදන්නා අයට අවබෝධකරදීම බෞද්ධ පිළිවෙතයි. ඉගැන්වීම, දේශනය කිරීම යන්නෙන් ද අදහස් කරන්නේ එයමය.

එහි දී ආගම් හෝ ජාති හෝ වර්ග බේදයක් නැත. අවශ්‍ය වෙන්නේ, බුද්ධිමත්ව ප‍්‍රතිපත්තිකාමීවීම පමණය. “බුදු දහම” ලොවට සර්ව සාධාරණ පිළිවෙතක් ඉදිරිපත් කොට ඇති බව මෙම දහම් මාවත වටහා ගැනීමෙන් අවබෝධ වෙයි.

මෙම පිළිවෙත් මඟට පිළිපන් අය තිදොරින් සංවරව ආචාර සම්පන්න වෙති. එසේම අධ්‍යාත්මය ශ්‍රේෂ්ඨ ගුණ දහමින් පරිපූර්ණය. එසේ නොවේ නම් ලොව සම්මතව පවත්නා ලෞකික දියුණුවට පත්විය නොහැකිය. දැන් අප මෙහිදී ආමිසයෙන් ඉවත්ව නිර්වාණාබෝධයට “චිත්තය” යොමුකර ගන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

මේ ගාථාවෙන් අරමුණු කර ඇත්තේ ලොව තේරුම් ගත යුතු විපරිණාම දෘෂ්ටියයි. හෙවත් ති‍්‍රලක්ෂණයයි. ආමිසයෙන් බැහැරව විශ්ව ලෝකය තේරුම් ගැනීමට නම්, ඇති වී නැතිවන නාම රූප ධර්මයන් අනිච්චානු පස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානු පස්සනා යන ති‍්‍රලක්ෂණයෙන් බැලිය යුතුය. එම ක‍්‍රමය විපස්සනා භාවනාව හෙවත් පඤ්ඤා භාවනාවයි. මෙම ක‍්‍රමය අන්‍ය සමයාන්තරවල නැත. බුදු දහමෙහි ඇති අනිත්‍යතාවයත් එයමය.

යෝගාවචරයා මෙලෙස සංඛාර ධර්මයන් ගේ ස්වභාවය තේරුම් ගන්නා කල්හි ඔහුගේ අධ්‍යාත්මය පාරිශුද්ධත්වයට පත් වෙයි. ඒ නිවන වසා දමන ආවරණය කරන පඤ්චනීවරණ ධර්ම ඉවත්වීමෙනි.

එසේ ඉවත්ව යන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, ථීනමිද්ධ, විචිකිච්චා යන සසර බැඳ තබන ක්ලේශ ධර්ම සමුහයයි. ඒ සියල්ල ප‍්‍රහීණ කිරීමට අනුබලය දෙන්නේ ආසවක්ඛය ඤාණයයි. (කෙළෙස් නැති කරන නුවණ)

බුදු, පසේබුදු, මහ රහත් යන තුන්තරා බෝධියට හෙවත් නිවණට පැමිණෙන්නේ එසේය. මෙය සසර දුකින් මිදීමයි. නැතහොත් භව ගමන කෙළවරට පත්වීමයි. මෙම ගාථා දහමට අයත් ශ‍්‍රී මුඛ දේශනයෙන් පැහැදිලි කර වදාළේ ආමිසයට ගිජු නොවී නිර්වාණයට පිවිසෙන මාර්ග පිළිවෙතය. එයට අනුගතව කටයුතු කිරීම සැදැහැවත් බොදුනු පිළිවෙත බව අදිටන් කර ගත යුතුව ඇත.

සියලු සත්හට නිර්වාණාබෝධය ඇති වේවා!

තෙරුවන් සරණයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.