Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්බුලුගල ශ්‍රී දන්තපාය රජමහා විහාරය


පැරැණි විහාරය තුළ ඇති සමාධි පිළිම වහන්සේ


දෙමහල් ටැම්පිට විහාර මන්දිරය

රාජකීයයන්ගේ පුදබිමක් වශයෙන් පැවැති අම්බුලුගල රජමහා විහාරය කෝට්ටේ යුගයේ මහරජව සිටි හයවැනි සිරි පැරකුම්බා රජ විසින් ආරම්භ කළේ යැයි සන්නසකින් හෙළිවේ. එම සන්නස හිමි බණ්ඩාර නම් කෙනකු හට හයවැනි බුවනෙකබාහු හෙවත් සපුමල් කුමරු විසින් දුන් සන්නසකි. හයවැනි සිරි පැරකුම්බා රජු තමන්ගේ ජීවතාරක්ෂාව පතා අම්බුලුගල ගමේ ගත කළ තම බාල කාලය සිහිපත් වීම සඳහා මේ ස්ථානය කරවූ බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

ඒ අනුව කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා හයවැනි බුවනෙකබාහු , අටවැනි වීර පරාක‍්‍රමබාහු යන රජවරුන් ගේ හා මායාදුන්නේ යුවරජු හෙවත් පරතාපසිංහ කුමරු යන සිව්දෙනාගේ ජීවිත ප‍්‍රවෘත්ති හා මෙම ස්ථානය සම්බන්ධ වේ.

ජනප‍්‍රවාදයේ එන ලෙසට පරසතුරු උවදුරු වලින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට රහසිගතව මෙහි තැන්පත් තර තිබූ බව සඳහන් ය.

එනිසා ශ්‍රී දන්තපාය යනුවෙන්ද මෙම ස්ථානය හඳුන්වනු ලැබේ. දෙමහල් ටැම්පිට පිළිමගෙයක් වන මෙහි එකල යටි මහලේ පිළිමගෙයද, උඩුමහලේ දන්තධාතුන් වහන්සේ තැන්පත් කර තිබූ බවද සිතිය හැක. නමුත් මෙම විහාරගෙය පිළිබඳව කළ පුරා විද්‍යා සමීක්‍ෂණ වලදී කෝට්ටේ යුගයේදී මෙය දෙමහල් පිළිමගෙයක් ලෙස පැවැති බව පෙනී ගොස් ඇත.

පහත මාලයේ බුදු පිළිමය තිබූගල් පුවරුව තවමත් එතැන දැකගත හැකිය. විහාර මන්දිරය ගොඩ නගා තිබෙන්නේ අඩි 26 ක් දිග අඩි 18 ක් පළල ගෙපලක් මත ය. වේකොළදෙණියේ නල්ල පෙරුමාල් ශිල්පියා විහාරය ඉදිකළ බව සතර කෝරළයේ විත්ති පොතේ සඳහන් වේ.

මෙහි ඇති ගල් උළුවස්ස නිසා මෙම ස්ථානය පුරාවිද්‍යාත්මකව විශේෂ වටිනාකමක් දක්වයි. එහි ඇති කැටයම් කෝට්ටේ යුගයට අයත්වන අතර ලංකාවේ කිසිදු පළාතක විහාරස්ථානයක නොමැති රූප එහි ඇත. මෙහි උළුවහු කණු දෙකක්, හරස් කඩයත් ගලින් නිමවා පසුව ගල් තුනම එකතු කොට කැටයම් කර ඇත. සිංහරූප , ලියවැල්, පලාපෙති,මල්වැල් හා ශූන්‍ය තීරු යොදා මෙය නිමවා තිබේ.

ගල් කණුද කැටයම් කළ ඒවා වේ. ඉහල මහලට නැගීමට ලී තරප්පුවකි. දැනට පවතින උඩු මහලේ චිත‍්‍ර මහනුවර යුගයට අයත් ඒවාවේ. උඩරට සිංහල චිත‍්‍ර සම්ප‍්‍රදායට අනුව විහාර චිත‍්‍ර නිමවා ඇති අතර මෙහි පිහිටුවා ඇති සමාධි පිළිමය නැගෙනහිර දිශාවට මුහුණලා ඇත.

චෛත්‍යය


විහාරයේ ඝණ්ඨාර කුළුණ

මේ අනුව මෙම පැරැණි විහාර මන්දිරයෙන්, කෝට්ටේ යුගයට සහ මහනුවර යුගයට අයත් තොරතුරු අපට සනාථ වේ.

මුල් කාලයේ එනම් කෝට්ටේ යුගයේදී මෙහි පහත මාලය හුදෙක් ශාලාවක් ලෙස වන්දනා කරුවන්ට ප‍්‍රයෝජන ගත හැකි පරිදි සකස් කර ඇත. මෙහි ඇති කැටයම් පිළිබඳ පුරා විද්‍යාඥයකු වශයෙන් ප‍්‍රථම වතාවට සටහනක් තබා ඇත්තේ එච්. සී.පී. බෙල් මහතාය.

ඔහුගේ “කෑගලු “ පුරා විද්‍යා පාලන වාර්තාවේ” පිටුවක්පුරා අම්බුලුගල ගල් උළුවස්ස හා ගල්ටැඹක සිතුවමක් දක්වා ඇත. සමහර පුරා විද්‍යාඥයින්ගේ මතය අනුව මෙම ගල් උළුවස්ස විහාරයට අයත් වූවක් නොවන බවත්, එය නටබුන් වුණු අම්බුලුගල රජ මාළිගය වැනි වෙනත් තැනක තිබී මෙහි ගෙනෙන ලද්දක් ලෙස සිතීමට හැකි බවත් කියැවේ.

පැරැණි ගල් උළුවස්ස

නව විහාර මන්දිරය

මෙහි විශේෂ පිළිසකර කිරීමක් කි‍්‍ර.ව. 1869 - 1885 අතර කාලයක කර ඇත. ඒ අස්ගිරි පාර්ශ්වයේ වැඩ විසු මහානායක වත්තේගම ධම්ම කිත්ති ශ්‍රී සුමංගල මහ තෙරණුවන්ගේ කාලයේය.

වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස පූජ්‍ය අරම සුමණ ධම්ම හිමි කටයුතු කරන අතර ඝණ්ඨාර කුළුණ සංඝාවාසය , ධර්මශාලාව, චෛත්‍යය රාජයාණන් වහන්සේ උන් වහන්සේ ගේ අනුශාසනා ඇතිව ඉදිකර තිබේ.

කෝට්ටේ යුගයේ සිට පැවත එන බෝධිය වටා රන් වැටක් සහිත ප‍්‍රාකාරයක් ඉදිකිරීමට යොජිතය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.