Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බම්බාව රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහ පෙරහර

ගලේවෙල බම්බාව රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සැප්තැම්බර් 7 සහ 8 යන දෙදින තුළ පැවැත්වේ.

ශ්‍රී බුද්ධවර්ෂ 1753 සිට එම විහාරස්ථානයේ ආධිපත්‍යය ඉසිලූ නාහිමිවරුන් ආරම්භ කළ එම ඇසළ මහා පෙරහර මේ දක්වා පවත්වාගෙන එනු ලැබේ. ඒ සඳහා එදා සිට මේ දක්වාම රාජ්‍ය අනුග‍්‍රහයද නොඅඩුව ලැබෙනු ඇතැයි ඓතිහාසික බම්බාව රජ මහා විහාරයේ භාරකාර අස්ගිරි මහා විහාරවාසී ලේනව මංගල හිමියෝ පවසති.

ගලේවෙල ඓතිහාසික බම්බාව රජ මහා විහාරය පිහිටිගම කුවේණියගේ උපන් ගමවේ. බම්බා යනු කුවේණියගේ පියතුමාගේ නමවේ. ප‍්‍රාදේශීය රජකෙනකුවූ බම්බා රජු රාජ්‍ය කළ ප‍්‍රදේශය පසුව බම්බාව නම් විය.

මෙම ඉතිහාස කථාව මාතලේ විත්ති නමැති ග‍්‍රන්ථයේ සඳහන් වේ. පසුකලක වළගම්බා මහ රජතුමා මෙම ස්ථානයේ රැකවරණය සඳහා සිටි බවත් ඉන් අනතුරුව විහාරස්ථානයක් කරවූ බවත් සඳහන් වේ.

පසුව මහනුවර රජකම්කළ කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා පැරණි විහාරය ප‍්‍රතිසංස්කරණය කර අස්ගිරි මහා විහාරයේ එවකට වැඩසිටි උරුලෑවත්තේ ධම්මසිද්ධි මහානායක මාහිමිපාණන්වහන්සේට පූජාකර ඇත.

එතැන් සිට මේ දක්වාම මෙහි ආධිපත්‍ය උසුලනු ලබන්නේ මහනුවර අස්ගිරි මහා විහාරයයි. වර්තමාන පාලක විහාරාධිපතින් වහන්සේ වන්නේ කාරක සංඝසභික දේවහන්දියේ ශ්‍රී සෝභිත නායක හිමිපාණන් වහන්සේය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.