UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කවි සංක්ල්පනා

සම්බුදු පියේ

සුදු මුදු බුදු රැසින් මිහි පිට සතර     අත
නහවා සනහවන නිය දම් මව ගෙ    වත
සම්බුදු පියේ, මහ කුලුණෙන් අපිරි     මිත
පිහිටුව මැනැවි සිරි පා මගෙ සිරස   මත

වසවත් බලය පළවන මහසත්             ගුණය
තුන් ලොව පුරා බොදු සව් නේ දත්   නැණය
ම පියේ, ඔබට පටහැණි අය                 අපමණය
එ නමුදු ම හිමි නැති දා ලොව           අසරණය

සම්බුදු පදවියට ලොබ බැඳ බොළඳ   කමින්
එරෙහිව පැමිණි දෙව්දත් තෙර හට ද  නොමින්
සම මෙත සම කුලුණ පැතිරෙවු සමිඳු නමින්
බැති මල් පිපේ අද ලොවුතුරු සුවඳ    දෙමින්

පණ්ඩිත කමින් මහ බඩ පිපිරෙතැයි                  කියා
ඇවුරුම් පටි යෙදූ බඩ වට ය පත                     තියා
සච්චක වැනි මහා වාදිහු ති ලොව                    පියා
හමුයේ පැරැද බුදු සිරි පා සරණ                        ගියා

පැරැකුම් විකුම තෙද මහිමය මෙය ය           කියා
මංගල ඇතා යන විට හංසියක                       නියා
දළ දා කරඬුවේ අනුහස සිතෙහි                     තියා
නංවති සාදු නාදය උඩු ගුවනෙ                      ලියා

රජ පෙරහරෙක අනුබිඹුවක් පරිදි                        අද
කර ලන ඇසළ පෙරහර මහනුවර                     මැද
සිංහල සිතේ අබිමානය පෙරට                           ඇද
ජාතික ගතිය ඔද නංවයි සිහල                         හද

මිහි බට සුර පුරෙක සැණැකෙළි කරන හමු
පින් සිත් උදක් බැති රසයට නොදෙන සමු
සනසයි සැදෑ සිත් මිණිබිඳ කුසුම         සුමු
පෙරහර බලන්නට අපි අද නුවර            යමු

- කිවිපති, විමල් අභයසුන්දර


උතුම් පැතුම්

පහන් දොරින්
එබී බලන
ළා අරුණැල්ලේ පැටලී
සවණක් බුදුරැස් මාලා
හදට ගලා ඒවා!
සිත සුවපත් වේවා!

කටුක පොළෝ
පස අත ගා
විඩා රැගත්
ජීවිත සපුරා
මෙත් සිහිලැල්
වැස්ස වැටෙවා!

අරුණු වලා පළා නැඟෙන
සවණක් ගන රැසින් තෙමීලා
මහත් දුබික් ගත් හදවත්
උවදුරු දුරු වී සැනැහේවා!

- හබරකඩ සිරිමංගල හිමි


බුද්ධත්වය

බහල අඳුරෙහි එකුණු පෙරඹර
හදිසියේ පැන නැඟුණු
නුවණැසින් පෙරී ආ
රන් එළිය ගලා ගන වූ ගිරි මුදුන්
සුදු පළිඟු තුඩු ලෙසින් බැබැළිණි

මල් පිපී වැනී ගිය වන සිරසැ
සුවහසක් ළපලු තොල් පෙති සැලී
ලතා තන්තී‍්‍ර බිඳී
බැති බරිත මහා මංගල ගීතයක්
මුදුන් වී ආකාශයෙහි රැඳිණි

රාදොස් එකොළොස් ගිනි වැදී
ඇවිළෙන ගම් දනවු වසා සනහා
ගයාවේ පිපුණු තුරු පතරැ සිට
සැඩොල් ගම් දොර
වසුරු බිම නොහැර එක ලෙස
සුවඳ මඳ පවන් පැටලිණි
ගැඹුරු ළිං පතුල්වල
ලෙළුණු ø තාරකා ඡායා පවා
එක් සැණින්
සුවහස් ප‍්‍රභාවෙන් ඇවිළී
සවණක් රැසින් දිලිසිණි!

මහ කුලුණු සමවතින් සිහිල් වූ
හිමවතින් වැගිරෙන
හිම උරා බී හමන
නෑඹුල් ම පවනැල්ල
අවා ගිනි පිස හැරිය උදෑසන
සාරංගියක මධුර සර ලෙස
අනත සක්වළ පුරා
නින්නාද දී ඇසිණි
සුඛෝ බුද්ධානං උප්පාදෝ....

- වීරනාථ කාරියවසම්


මංචපරායණයේ සිට...

නොවසන්න
වා පියන්
කුටියේ...
ඉඩදෙන්න
වියරු
සුළඟට
නිවාලන්නට
සසැලෙන
පහන් සිළ

අඬගසන්න
සියාතු සීයාට,
දෙසන්නට
පිරිතක්
පහන් කරනට
මාගේ....
අවසාන සිතිවිල්ල

ලණු ඇඳේ
උඩුකුරු ව
දපන සඳ
දකිනෙමි
පියැවෙන
නෙතු කෙවෙනි අතරින්...
අතු වහලට උඩින්....

ගනඳුරු
සීතල
අහස් කුස
දිදුලන
තරු ලකුණ....
හීනියට
ගලා එන
කාන්තිය අතරින්
පාව යමි
සැහැල්ලු ව
එක ම එක
එල්ලයක
තිතක් වැනි
ආලෝක පූංජයක් ව
මම?

දල්වන්න පහනක්
හිසට ඉහළින්
තබා මැද සාලයේ
මගේ රොඩු කය
ගයන්න
සුමධුර ස්වරයෙන්
මළ පොත,
දැනෙන්නට
අර
විඥාන ධාතුවට...!

- අනිල් නිශාන්ත ලොකු ගමරාල


සත්‍යයට මං පෙත්


පෙර මහ වනය පැතුරුණු
කඳු බිම ය මේ
සියලු තුරු වග
එක් ව සම ලෙස
සිසිල විහිදූ

අනෙක නම් ගොත්
ඇතත් එකිනෙක
වෙළී පැටලී ඉහළඅහසට
නැඟී සිටි
මහ වනස්පති පෙළ
ගැවැසි තැන්වල
තුඟු මැඳුරු පෙළ....!

මහත් මොක් මං
රැගත් පුද බිම්
සත්‍යයේ මඟ කියයි නිබඳ ව
මහ නියොන් එළි
නාම පුවරු ද
අඬ ගසයි සත්‍යය දකින මෙන

ඝණ්ඨාව රැවු නඟයි ඈතින්
මහත් දුක් ගීතයකි එය මට!

- උපේන්ද්‍ර කාරියකරවන


බුදුගෙයි...

සුවඳ දුම් පමණි
බුදු ගෙයි!
නොපෙනෙයි
නිවන් නෙත් යුගැති
පිළිම හිමි

- ඉන්දීවරා පෙරේරා


දුම්


හිරු
මිය ගොස් තිබිණ
හමාර ව
මෙහෙවර

ආදාහනාගාරයේ
දුම් රොටු
නැඟෙයි
ඉහළට
ඉහළට
කෙමෙන්
මුසු වී
වා ගැබට
සැණෙන්
නො පෙනී
යයි

- නිරෝෂ කරුණාරත්න

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]