UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අට ලෝ දහමට පිටුපා ගිය ගමනක්...!

මිහිකත අඳුරු සළුපට පොරවා ගන්නා යාමයේ දුහුල් සළුවෙන් සිරුර වසාගත් ඇය හුදකලාවම යන්නේ කොහේද? නෙත් සිත් වසඟයට පත් කරවන සුළු රූපයෙන් යුත් ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. ඒ ඇයගේ හැසිරීම් විලාසය නිසාය. රූපය හා බැඳුණු හැසිරීම් රටාවකින් යුත් ඈ දකින්නාගේ සිත් වසඟ කරවන උපායක් දැන සිටින්නීය. එවන් රුසිරු ළඳක් සන්සුන්ව පියවර තබමින් කාහටවත් නොදැනෙන ලෙසින් ගනදුර හා එක්ව මේ යන රහස් ගමන කුමක් විය හැකිද? දැන් දැන් දුටුවන්ගේ සිත්වල කුතුහලය නැගෙමින් පවතී. සැබැවින්ම කෙසේනම් මෙබන්දක් විය හැකිද? තමන්තුළ එවැනි පසුබිමෙක හදිසියේ ඇය අතුරුදන් වීම කාගේත් කුතුහලය දල්වන්නට හේතු විය. ඇය පිළිබඳ සියලු රහස් ගනඳුර ගිලගන්නා බඳුය. කුතුහලයේ ගිනි දැල් ප‍්‍රදේශය පුරා නැගෙමින් පවතී.

පින්වත් රජතුමනි, අර අහිංසක තරුණිය අතුරු දහන්වෙලා. ඇයට කිසියම් විපතක් ද කියන්න බෑ. ඔබතුමා අවසර දෙන්නේ නම් අප සොයා බලන්නම්.

“ වහ වහා සොයා බලාපල්ලා. “ රජ අණ ඍජුය .“ නුඹලා සැක කරන්නෙ කවර ප‍්‍රදේශයද? “

“පින්වත් රජතුමනි ඇය පසුගිය දිනවල සවස් යාමයේ විහාරය දෙසට යනවාත් එළිවන යාමයේ විහාරයේ දෙස සිට ආපසු එනවාත් බොහෝ අය දැක තිබේ.

“කවර විහාරයක්ද ? ගෞරවයේ සියලු පහන්සිළු දැල්වූ උතුමන් වෙසෙන අඩවියට ඇයගේ දෙපා නැගෙනු දකින්නෝ මහත් වේදනාවට මෙන්ම අසරණ භාවයට පත්වෙති. ලොව කවුරුන් කෙරෙහි විශ්වවාසය තැබිය හැකිද? හුදකලාව ගනදුරේ විහාරය දෙසට ගමන්කරන රූමතියක් දකින්නාගේ සිත්තුළ විහාරයේ වැඩ වසන උතුමන් කෙරෙහි තබා සිටින විශ්වාසය පළුදු නොවන්නේ ද?

උතුමන් පිළිබඳව තැන් තැන්වල අප‍්‍රසිද්ධියේ ඇතිවන කථාබහින් හෙළි දරව් වන්නේද සැකය හා අවිශ්වාසයයි. විශ්වාසයේ පවුරු පදනම් බිඳවැටෙමින් විහාරය කෙරෙහි දැන් දැන් ජනතා අප‍්‍රසාදය එල්ලවෙමින් පවතී.

සමාවෙන්න රජතුමනි, අපි මේ කියන්නෙ ඇසින් දුටු අය කියාපු කතාවයි. ඇය පසුගිය දිනවල වැඩිපුරම රාති‍්‍රය ගත කරල තියෙන්නෙ ජේතවනාරාමයේයි. ‍ෙහනයක් පිපිරුනාසේය. රජතුමාගේ සිතෙහි මහත් කුතුහලයක් ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි රජතුමාගේ සිතට කිසිම සැකයක් පහළ නොවේ. එහෙත් මේ සිද්ධිය සිදුවී ඇති ආකාරය දෙස බලනවිට සැවැත්නුවර වාසින් නගන චෝදනාවට කන්දිය යුතුය. රජුගේ සේවය කාටත් එක සමාන විය යුතුය.

“හොඳයි ජේතවනාරාමය අවට සොයා බලපල්ලා.

ජේතවනාරාමයේ වැඩවසන භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත් උන් වහන්සේ ශ‍්‍රාවක භික්‍ෂූන් කෙරෙහිත් සැවැත් නුවර වාසින් තුළ මෙතෙක් පැවැති ගෞරවය ඉමහත්ය. සියලු නගරවාසීගේ ආදර ගෞරව සැලකිලි ලබමින් බුදුපියාණෝ මෙතෙක් කාලයක් තරු පිරිවරා ගත් පුන් සඳමෙන් ජේතවනාරාමය නමැති අහස් ගැබෙහි බැබලුන ආකාරය කිසිවකුටවත් අමතක කළ නොහැකිය. දැන් දැන් සඳ රාහු මුඛයේ ගිලුනා වැනි මහත් විපතක් සිදුවෙමින් පවතින හැටි සියල්ලන්ටම පෙනේ. ජේතවනාරාම පෙදෙස අද අවමඟුල් පිටියක සිරි ගෙන ඇත. තීර්ථකයන් කිහිප දෙනෙකු විලාප නඟමින් ඔසවාගෙන එන්නේ අතුරුදන් වූ රූමතියකගේ ප‍්‍රාණයෙන් තොර දේහයයි.

අහිංසක තරුණිය කවුරුන් විසින් හෝ මරා ඇත. කාගේත් මුහුණු වල මතු වී ඇත්තේ අප‍්‍රසාදයේ ලකුණු වේ.

වෙනදා ජේතවනාරාමය දෙසට ඇදෙන අයගෙන් දක්නට ලැබුණු සන්සුන් ඉරියව් අද අහලකවත් නැත. අප‍්‍රසාදයේ හා සැකයේ ඡායා ඒ මුහුණු පුරා ලැගුම් ගෙන ඇතුවා සේය. “ බලන්න පින්වතුනි මේ ශ‍්‍රමණයන් මොනතරම් දුශ්ශීලයන්ද කියලා. ස්ති‍්‍රයකගේ කායික පහස ලැබූ පිරිමියෙකුට පුළුවන්ද ඇය මරා දමන්න.

මරාදමන ලද තරුණ සුන්දරියකගේ සිරුර ඔසවාගත් පිරිස අතරින් නැගෙන අදෝනා හඬ බියකරුය. ශෝචනීයය. ඇසුවන්ගේ සිත් සතන් දවාලයි. දුටුවන් ගේ දෙනෙත් කඳුළෙන් පුරාවාලයි. පිරිස අඳෝනා හඬ නඟමින් , අවලාද නඟමින් සැවැත්නුවර වීදියෙන් වීදියට සුන්දරියන් මළකඳ ඔසවාගෙන ගමන් කරති. මුළු මහත් සැවැත්නුවරම කම්පාවට පත්වූවාසේය.

ශෝක ගින්නෙන් වෛර ගින්නෙන් දැවී ගිය සැවැත්නුවර එකම මළ ගෙයක් බඳුය.

සුපුරුදු සන්සුන් ඉරියව්වෙන් පිඬු සිඟා වඩින භික්‍ෂූන් වහන්සේලා දැකීමෙන් නගර වැසියන් තුළ වෛර ගිනි ඇවිලෙයි. උන් වහන්සේලාට දරාගත නොහැකි අවලාදයෙන් නොසරුප් වදනින් චෝදනා කරති. හිස් මතට ගල්වැස්සක් කඩා හැලුණු කලක මෙන් නුහුරු පීඩනයකට ගොදුරු වූ උන් වහන්සේලා ආපසු හැරෙති.

භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට දණින් වැටුන බුදුසව්වෝ තමන් මුහුණ පෑ අහිතකර අත්දැකීම් හෙළිදරව් කරති.

භාග්‍යවතුන් වහන්සේගේ දෑසින් උතුරායන කරුණා, මෙත්තා, මුදිතා, ආලෝකයේ වෙනසක් නැත. ලෝකයේ හැම හොඳම දේ මෙන්ම විෂම දේවල් ද ගොඩගැසී ඇති බව උන්වහන්සේ වටහා දෙති. කම්පාවීමට තරම් දෙයක් සත්‍යාවබෝධය ලැබූවන්ට ඇති නොවේ.

පින්වත් මහණෙනි, මේ ලෝකයේ ස්වභාවයයි. නමුත් හැම ස්වභාවයක්ම එකදිගට පවතින්නේ නැහැ. සතියක් ඇවෑමෙන් මේ සියල්ල අතුරුදන් වේවි. “

යම් කිසිවෙක් නුඹලාට චෝදනා නඟනවිට නොකැළැඹී ඍජුව සිටගෙන ඔවුන්ට මෙසේ ධර්මය වටහාදෙන්න. බොරු කියන්නා නිරයට පැමිණේ.

වරදක් කර එය නොකළෙමියි කියන්නාටද නිරය උරුමය. පහත් කි‍්‍රයා කළ ඔවුන් දෙදෙනාම පරලොව ගොස් නිරයේ වැටී දුක් විඳිත්. ධර්මය දන්නෝ පව් නොකරති. මුසාබස් නොකියති.

ඒ දහම් වදන් ඇසීමෙන් නොසන්සුන් ජනයා සන්සුන් වන්නට විය. බුද්ධ පුත‍්‍රයන් කෙරෙහි ඔවුන් තුළ හටගත් සැකය දුරු වෙමින් පැවතිණ.

සුරා හලක මධුපානයෙන් මත් වී මුදල් බෙදා ගැනීමේ කටයුත්තකදී කෝලාහල කරන්නට පටන් ගත් දෙදෙනෙකු එහි සිටි කාගේත් අවධානයට ලක්විය. එක් මිනිසෙක් අනිකා දෙස කෝපයෙන් බැලීය .

කොහොමද සමව බෙදා ගත්තම හරියන්නේ. එහෙම බෑ. මට වැඩි කොටසක් ඕනෑ. උඹ සුන්දරියගේ අත්දෙක අල්ලාගෙන හිටිය විතරයි. මමයි බෙල්ල මිරිකුවේ . ඒ හින්දා මට වැඩි කොටසක් ඕනෑ.

ඔවුන්ගේ කෝලාහලය බලා සිටි රාජ පුරුෂයෝ ඔවුන් දෙදෙනා අල්ලාගෙන රජතුමා ඉදිරියට ගෙන ගියෝය.

නඩුව විභාග කළ රජතුමා භාග්‍යවතුන් වහන්සේටත් බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාටත් නින්දා කිරීම පිණිස නිරීක්ෂකයන් විසින් කරන ලද කුමන්ත‍්‍රණයේ සුල මුල හෙළිදරව් කරගත හැකිවිය. වැරැදි කරුවන්ට දරුණු දඬුවම් පැමිණ වීමට කොසොල් රජතුමා ප‍්‍රමාද නොවීය.

අන්‍ය නිරීෂකයෝ අධර්මවාදින් හෙයින් ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර නොවීය. ඔවුන්ට සැදැවතුන්ගේ සත්කාර හිමි නොවීය. භාග්‍යවතුන් වහන්සේත් ශ‍්‍රාවක සංඝයාත් ලබන ගෞරව සත්කාර දෙස ද්වේශයෙන් බලා සිටි තීර්ථක පිරිස්, තමන්ට හිතවත් සුන්දරියට මුවාවී බුදුරදුන්ට නින්දා කිරීමට ලාභ සත්කාර අහිමි කිරීමට ගත් පහත් උත්සාහය සාර්ථක නොවීය. භාග්‍යවතුන් වහන්සේ වදාළාක් මෙන් සත් දිනක් ඉක්ම යෑමට පෙර නින්දා අපහාස චෝදනා හඬ මැකී ගියේය.

පූර්ණ චන්ද්‍රයා ගිලගෙන සිටීමට රාහු අසමත් විය. සැවැත්නුවර ජේතවන අසපුව පසළොස්වක පොහොය සඳ සියලු සිත් සතන් සිසිලසට පත් කරවමින් වෙනදාටත් වඩා ආලෝකයෙන් බැබැලුනේ, තරු කැට වන් බුද්ධ පුත‍්‍රයන් වහන්සේලාද පිරිවරා ගෙනය.

අටලෝ දහම වෙනස් කිරීමට කවර ශක්තියකටවත් නොපුළුවන. වරද කළ අයට සැමදා සැඟවී ගත නොහැකිය.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]