UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලළාට ධාතු පූජෝත්සවය පවත්වන සේරුවිල

මේමහා භද්‍ර කල්පයේ ලොව පහල වී වදාල කකුසඳ ,කෝණාගමන, කාශ්‍යප, ගෞතම නම් වූ සිව් බුදුවරුන්ගේ ධාතුන් වහන්සේලා පිහිටි පින්බිම සේරුවිල මංගල රජ මහා විහාරයයි. අප මුළු හදවතින්ම සරණ ගිය ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 නමක් සමග මෙම පුණ්‍ය භූමියට වැඩම කොට සමවත් සුවයෙන් වැඩ සිටිමින් මෙවන් ශ්‍රී මුඛ වදනක් දේශනා කොට ඇත. ශ්‍රී ලංකාද්වීපයේ මහවැලි ගඟ දකුණුතෙර සේරු නම් විල කෙලවර වරාහ කොණ්ඩ නම් වූ ගල් කෙමිය අසල කාවන්තිස්ස නම් රජෙකු විසින් තමන් වහන්සේගේ ලළාට ධාතූන් වහන්සේ පිහිටුවා ඉතා සිත් කළු වූ දාගැබක් පිහිට වනු ලබන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ මෙම ප‍්‍රකාශය වචනයට පමණක් සීමා වූයේ නැත. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතු බෙදා දෙන අවස්ථාවේ මේ ලළාට ධාතුන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ කොටසට අයත් විය. එවිට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ලළාට ධාතුව ශ්‍රී ලංකාදීපයේ පිහිටු වන ලෙස තථාගතයන් වහන්සේ අනු දැන වදාල බව කියා ඒ ධාතුන් වහන්සේ ඔවුන්ගෙන් ඉල්ලාගෙන තමන් වහන්සේගේ සද්ධි විහාරික වූ මහානන්ද තෙරුන් වහන්සේ ළඟට කැඳවා එම්බා නන්දය මේ ලළාට ධාතුන් වහන්සේ ලංකාද්වීපයේ මහවැළි ගඟ දකුණු තෙර සේරු නම් විල් කෙළවර වරාහ සෙණ්ඩ ගල් කෙමිය අසළ කාවන්තිස්ස නම් රජෙක් දා ගැබක් හා සංඝාරාමයක් කරවන්නේය. තෙපි මේ ධාතුන් වහන්සේගෙන් විශාලා මහනුවර මහ වන විහාරයේ කූටාගාර ශාලාවෙහි බුදුන් විසූ ගන්ධ කුටියට වඩමවා ගන්ධ මාලාදියෙන් පූජා කරවයි වදාරා දුන් සේක. මහා නන්ද තෙරුන් වහන්සේ ඒ ලළාට ධාතුන් වහන්සේ ගෙන් බුදුන් විසූ ගඳ කිලියෙහි තබා ධාතුන් පූජා කරන ලදී. ඉන් පසු මෙම ලළාට ධාතුන් වහන්සේ චන්ද්‍රගුප්ත, භද්‍රසේන, ජයසේන, සංඝරක්ඛිත මහාදේව යන මහ රහත් පරපුරෙන් ආරක්ෂා වෙමින් පැමිණ ,අවසානයේ චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් විසින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ විවරණය කාවන්තිස්ස රජතුමාට දැන ගන්න ලැබී රජතුමා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව එම ලළාට ධාතුන් වහන්සේ පිළිගෙන සෝම නුවර ගිරි අභා රජුගේද සේරු නුවර සිව රජුගේද ලෝන නුවර මහා නාග රජුගේද සහාය ඇතුව මෙම සේරුවිල පුණ්‍ය භූමියේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලළාට ධාතුන් වහන්සේ තැන්පත් කොට රමණීය චෛත්‍යරාජයෙක්ද පන්සියයක් භික්ෂූ සංඝයාට සංඝාරාමයක්ද ඉදිකරවන ලදී. කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද ඒ චෛත්‍යරාජයාණන් වහන්සේ පරසතුරු ආක‍්‍රමණ නිසා අවුරුදු අටසියයක් පමණ කාලයක් වල්බිහිවී තිබුණි .එහෙත් කාලයාගේ ඇවෑමෙන් නැවත මේ පින්බිම බැබලෙන්නට විය.

එයට උර දුන්නේ, අභීත යුග පුරුෂයෙකි. එදා ගරා වැටි තිබුණු දාගැබ, දුටුවේ උන්වහන්සේය. එදා අනේක විධ දුක් කම් කටොලු වලට මුහුණ පෑවේ උන් වහන්සේය. වන්දනා කරුවන් කිසිවකු නොයන එම කැලයේ තනියම විසුවේ උන් වහන්සේය. වන මෘගයන් මැද තනිව එහෙත් කිසිදු අනතුරක් නැතිව ජීවත්වූයේ උන් වහන්සේය. එනම් අති ගෞරවනීය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහා නාහිමිපාණන් වහන්සේය. උන් වහන්සේ මේ පින්බිම වන්දනීය භූමියක් බවට පරිවර්තනය කිරීමට ගත් උත්සාහය හෙලූ දහඩිය ප‍්‍රමාණය කොලයට වචන වලට සීමා කිරීමෙන් අවසන් කළ නොහැක. එතරම් අභීත සටනක් උන්වහන්සේ විසින් මේ පින්බිම වෙනුවෙන් කරන ලදී. එම සේවය ලක්වැසියන්ගේ ජීවිතවලට නව ආලෝකයක් එක්කළ බව නොරහසකි.

මෙසේ ශාසනික වශයෙන් ඉමහත් සේවයක් කළ නාහිමිපාණන් වහන්සේ අවුරුදු 90 දී පමණ අපවත් වී වදාල සේක. ඉන් අනතුරුව එම දැවැන්ත ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යාමට දිවාø නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට යෙදුනේ වත්මන් විහාරාධිපති සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේද තම ගුරුවරයා මෙන් බෞද්ධ අබෞද්ධ ජනී ජනයාට යහපත පෙන්වා දෙමින් යහපත් සමාජයක් රටක් ගොඩ නැගීමට කටයුතු කරන අභීත යුග පුරුෂයෙකි. උන්වහන්සේ විහාරාධිපති වශයෙන් මේ සේරුවිල පුණ්‍ය භූමිය ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධනය කරමින් යන ගමනේදී උන් වහන්සේ පිටුපසින් සිටිමින් නොමසුරු සහයක් ලබාදෙන තවත් හිමි නමකි. මුංහේනේ මෙත්තාරාම ලොකු ස්වාමීන් වහන්සේ සේරුවිල පුණ්‍ය භූමිය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා මුලින්ම අදහස් කළේ උන්වහන්සේය. ඒ අදහස ඉටු කර ගැනීම සඳහා නා හිමි සමග ඉදිරියට යාමට පෙරමුණ ගත්තේය. මෙම සත් කි‍්‍රයාවට ඉතා අගනා මෙහෙවරක් කිරිම සඳහා අග විනිසුරු සරත් නන්ද සිල්වා මැතිතුමා ඇතුළු චෛත්‍යවර්ධන සමිතිය උපරිම සහයක් ලබා දෙමින් සිටී. තවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මැති ඇමති සෑම දෙනෙකුගේම උදව් උපකාර මේ සඳහා ලැබෙමින් පවතී. මේ නිසා සේරුවිල පුණ්‍ය භූමිය අනාගතයේ දඹදිව බුද්ධගයාව ලුම්බිණිය ඉසිපතන මිගදාය කුසිනාරාව වැනි උදාරතර ශ්‍රේෂ්ඨ පුණ්‍ය භූමියක් වන බව නිසැකය. මෙවන් උතුම් පින් බිමක් මතු පරපුරට ආරක්ෂා කරදීම ඔබ අප කාගේත් යුතු කමකි. ඒ සඳහා රට වාසී ලෝක වාසී බෞද්ධ සුපින්වත් සැමගේ නොමසුරු ආධාරය ඇප කැපවීම මහත් පිටුවහලක් වන්නේය. එසේ නම් අප සැම එක්ව මේ පුණ්‍ය භූමිය රැක ගනිමින් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි ඉමහත් ශ‍්‍රද්ධා ගෞරවයකින් යුතුව නිවන් මඟ පසන් කර ගැනීමට උත්සුක වෙමු. මෙවර 83 වන පින්කමේ විශේෂත්වය වන්නේ සිංහළ දෙමළ මුස්ලිම් ජාතින් එකතුවෙන් මෙම මහා පින්කම පැවැත්වීමයි. එය ලංකා ඉතිහාසයේ තවත් ඓතිහාසික මොහොතක් සනිටුහන් කරන්නෙකි.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]