UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෙරහරේ විස්තරේ

මහනුවර, ශ්‍රී දළාදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මංගල්‍යයක් වෙයි. ඉන් වසරේ ඇසළ, නිකිණි මාසවල යෙදෙන මහා මංගල්‍යය ඇසළ පෙරහර මංගල්‍යයයි. සිරිලක සතර දිගින් සැදැහැවතුන් ලක්‍ෂ ගණනින් මෙන් විදෙස් සංචාරකයින් පුරා දින එකොළහක් තිස්සේ මහනුවර වීදිවලට රැස් කරවන මේ මංගල්‍යය වනාහී සැබැවින්ම සංස්කෘතික සංදර්ශනයකි. දන්තධාතූන් වහන්සේ වෙනුවෙන් පමණක් නොව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දෙවිවරුන් උදෙසා ද පවත්වනු ලබන මහා උත්සවයකි ඇසළ උත්සවය.

දළදා පෙරහර පවත්වා අවසන් වූ පසු වර්ෂාව ලැබෙන බවට විශ්වාසයක් ජනතාව අතර වේ. ඇසළ මාසය තුළ දළදා වහන්සේට පූජෝපහාර පිණිස උත්සව පැවැත්වීම හා වැසිලැබීම අතර සබඳතාව ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ ඈතට දිව යයි.

ශ්‍රී දළදා මාලිගයේ රාජකාරි කටයුතු හා සම්බන්ධ නිලතල අතර සිටින නැකත් මොහොට්ටාල පිළියෙල කරන ශුභ දවස් හා නැකත් වේලාවන් අනුව ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කෙරේ. නැකත් හා සම්බන්ධ කාර්යයන් පිළිබඳ දැන්වීමක් දියවඩන නිලමේතුමා නිකුත් කරනු ලබයි. ඊට අනුකූලව පෙරහර කටයුතු සිදුවේ.

කප් සිටුවීම, දිනපතා පෙරහර පැවැත්වීම, අවසාන දවල් පෙහර ගෙවැදීම මෙයට නිදසුන් ය. කප් සිටුවීම නමැති ඉපැරණි චාරිත‍්‍ර පෙරහර මංගල්‍යයේ සමාරම්භක කටයුත්තයි. ශ්‍රී දළදා මාලිගයෙහි කප් සිටුවීමක් නොකෙරේ. කප් සිටුවීමෙන් පසු එදින සිට දින පහක් මුළුල්ලේ ඇතුලේ පෙරහර පැවැත්වේ. ඒ ඒ දෙවිවරුන්ගේ රන් ආයුධ දේවාල වටා චාම් පෙරහරින් ගෙනයාම මෙහිදී සිදු වේ.

සයවන දින රාති‍්‍රයේ සතර දේවාල පෙරහර ශ්‍රී දළදා මාලිගයේ පෙරහර මුල් කරගෙන වීදි සංචාරය අරඹයි. අලි, ඇතුන්, නර්තන අංග සහිතව දින පහක් මුළුල්ලේ වීදි සංචාරය කරන මෙම පෙරහර කුඹල් පෙරහර නමින් හැඳින්වේ. මෙහි විශේෂ ලක්‍ෂණය වනුයේ දියවඩන නිලමෙතුමා සුදුපැහැ, නියමිත නිල ඇඳුමෙන් සැරසී පෙරහරේ ගමන් කිරීමයි.

පළමුවන කුඹල් පෙරහර නැරඹූ පසු ලෙඩ, රෝග සුවවේය යන විශ්වාසයක් ජන සමාජයේ ගොඩනැඟී ඇති බැවින් පළමු කුඹල් පෙරහර නැරඹීම පිණිස සැදැහැවත් අතිශය බහුතර ජනතාවක් නුවර වීදිවලට එක්රැස් වෙති.

කුඹල් පෙරහර නිමා වූ පසු ඉතිරි දින පහේ පවත්වන පෙරහරවල ඒ ඒ දේවාලවල දෝලාවන් රැගෙන යන හෙයින් රන්දෝලි පෙරහර වශයෙන් හඳුන්වනු ලැබේ. මහායානික සංකල්පවලට අනුව පෙරහර සංවිධානයවීමේ දී ඒ ඒ දෙවිවරුන් බුද්ධත්වයට පත්වෙන අනුපිළිවෙළ පරිද්දෙන් පෙරහර පෙළ ගැසෙන බව කියැවේ. ඒ නිසාවෙනි, පළමුව නාථ දේවාල පෙරහරත් දෙවනුව විෂ්ණු දේවාල පෙරහත්, තෙවනුව කතරගම දේවාල පෙරහරත්, සිව්වනු පත්තිනි දේවාල පෙරහරත් අනුපිළිවෙළ ගනුයේ, සිව්දිනක් පුරා මෙම රන්දෝලි පෙරහර වීදි සංචාරය කළ පසු එළඹෙන අවසන් දින රාති‍්‍රයේ වීදි සංචාරය කරන රන්දෝලි පෙරහර හඳුන්වනු ලබනුයේ මහ පෙරහර නමිනි. එම දිනය පුරපසළොස්වක පොහොය දිනයක් වේ. එදින අලුයම දේවාල පෙරහර වල දියකැපීමේ චාරිත‍්‍රය නිම කළ පසු පැවැත්වෙනුයේ දවල් පෙරහරයි. දවල් පෙරහර ගෙවැදීමත් සමඳම මහනුවර ඇසළ පෙරහර නිමාවට පත් වේ.

කුඹල් පෙරහරට වඩා වැඩිපුර අලි, ඇතුන්, නර්තන අංග රන්දෝලි පෙරහරට සහභාගි වන බැවින් අතිශය විචිත‍්‍රවත් බවක් උසුලයි. කස පුපුරවන්නෝ පෙරහර ළඟ, ළඟම එන බව හඟවමින් මුලින්ම ගමන් කරති. ගිනිබෝල කරකවන ශිල්පීහු මන බඳනා රටා මවමින් සිය දස්කම් පාති. ජාතික කොඩිය, බෞද්ධ කොඩි සහ කෝරළ කොඩි රැගත් අය සන්සුන්ව ගමන් කරති. ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරි සහ දේපළ පිළිබඳව වූ ඉපැරැණි වාර්තා ඇතුළත් ලේකම් මිටිය දෑතින් ගත් පෙරමුණේ රාළ මුලින්ම ගමන් කරනු ලබන ඇතා පිටින් එයි.

ඇසළ පෙරහර මතක් වූ සැනින් සිහියට එන ගමන් පද වයමින් හොරණෑ, තාලම්පට සමඟ දවුල් තම්මැට්ටම් වාදනය කරන හේවිසි කණ්ඩායම ඊළඟට පෙරහරට එක්වෙයි.දෙවනුව එන ඇතා පිට ගමන් කරනුයේ ගජනායක නිලමේ ය. පෙරහරේ අලි, ඇතුන් බාරව ගමන් කරන එතුමා තම රාජකාරි සලකුණ වශයෙන් රජතමය අංකුසයක් රැගෙන යයි. අනතුරුව, පන්තේරු, උඩැක්කි, සවරන්, ලී කෙළි, රබන්, තාලම් නැටුම් කණ්ඩායම් සමඟින් මුසුව අලි ඇත්තු ගමන් කරති.

අලි, ඇත්තු, තනිව, දෙදෙනා බැඟින් මෙන්ම තිදෙනා බැඟින් ගමන් කරනු දක්නා ලැබේ. ඊළගට නයියන්ඩි කණ්ඩායම් පෙරටු කරගත් උඩරට නර්තන ශිල්පීන් ගජගා වන්නමට ද අනුව අඩව්, කස්තිරම් අල්ලද්දී, මාලිගාවේ කවිකාර මඩුව, පිරිවරාගෙන කාරිය කෝරාළ ගමන් ගනී. සමස්ත පෙරහරේ අතිශය චමත්කාර ජනක, එමෙන්ම ශ‍්‍රද්ධාව ජනනය කරන දසුන අනතුරුව එළැඹේ. ඒ අන් කිසිවක් නොව, විසිතුරු රන්සිවිගෙයක තැන්පත් කළ ස්වර්ණමය පෙරහර කරඬුව වැඩම කරමින් දෑලේ ඇතුන් පිරිවරාගෙන, බිමට එලනු ලබන සුදු පාවාඩ මතින්, වියනක් යට ගමන් කරනු ලබන උසස් ඇත් කුලයකට අයත් මාලිගාවේ ඇතා පෙරහරට එකතුවීමයි.

දෑලේ ඇතුන් පිට නැඟී මාලිගාවේ ආවතේව කරුවෝ ඇතුපිට වැඩම කරවන සධාතුක කරඬුව වෙත සුවඳැති මලින් උපහාර දක්වති. සෙමෙර සලති. මාලිගාවේ ඇතා ගමන් කළ පසු ඊට පිටුපසින් ප‍්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේනයන්ගේ උඩරට නර්තන කණ්ඩායම සිය දස්කම් දක්වද්දී ඊට අනතුරුව අභිමානවත් ලීලාවෙන් ගමන් කරනුයේ දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වශයෙන් කටයුතු කරන දියවඩන නිලමේතුමා ය. මුර ආයුධ, සේසත්, තල් අතු දරන්නන් සහ ගම් දහයේ විදානේවරුන් පිරිවරාගෙන දියවඩන නිලමේතුමා ගමන් කරන්නේ ඇසළ පෙරහරට රාජකීයත්වයක් එක් කරවමිනි.

මේ ආකෘතියට අනුවම පෙළගස්වන ලද නාථ දේවාල පෙරහර ඊළඟට ඇසළ පෙරහරට එක්වෙයි. පිළිවෙලින් විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල පෙරහරවල් ද අනතුරුව පෙළගැසේ. දේවාලවල ඇත්තු මැනැවින් සරසන ලද ඇතුන් ද පිරිවරාගෙන දෙවිවරුන්ගේ රන් ආයුධ තේජසින් යුක්තව වැඩම කරවති. ඒ ඇතුනට පිටුපසින් දේවාලවල ගිහි භාරකරුවන් වන බස්නායක නිලමේවරු සමාන්තර, පිටිසර දේවාලවල බස්නායක නිලමේවරු ද කැටුව ගමන් කරනු දක්නට ලැබේ. අවසන් දින හෙවත් පුරපසළොස්වක පොහෝදින රාතී‍්‍ර මහ පෙරහර නගරය පුරා දීර්ඝ වීදි සංචාරයක යෙදේ.

අවසානයේ දී පෙරහර කරඬුව අස්ගිරි මහා විහාරයට අයත් ආදහන මළුවේ ගෙඩිගේ විහාරයෙහි තැන්පත් කරනු ලැබේ. මුද්‍රා තබා, ආරක්‍ෂක විධි විධාන යොදා තැන්පත් කරනු ලබන කරඬුව වෙත චාරිත‍්‍ර, වාරිත‍්‍ර ඉපැරණි සම්ප‍්‍රදායනට අනුකූලව ඉටු කෙරේ. දේවාල පෙරහර ඒ ඒ දේවාලවලට ආපසු පැමිණ ඒ ඒ දෙවියන් සඳහා මුළුතැන් බෑම සිදුකරති. අනතුරුව සිව් දෙවාල පෙරහර ඒ ඒ දේවාලවල කපු මහත්වරු කැටුව දිය කැපීමේ මංගල්‍යය සඳහා ගැටඹේ තොටට පැමිණෙති. කඩු සහ කෙණ්ඩි රැගත් ආවතේවකරුවන් සිව්දෙනා බැඟින් කැටුව දේවාල කපු මහත්වරු ගඟට බසිති. සැනින් කපු මහත්වරු ගඟ දියට කඩු පහර එල්ල කරති. ඒ සමඟම ආවතේවකාරයෝ පසුගිය අවුරුද්දේ දිය කැපීමේ චාරිත‍්‍රයේ දී රැගෙන ගිය ජලය ඉවත් කොට නව කඩු පහර වැදුණු තැන ජලය තම කෙණ්ඩිවලට පුරවා ගනිති. දිය කපන අවස්ථාවේ දී එම ජලය ස්නානය කිරීම නිරෝගී බවට හේතුවන බව විශ්වාස කරන හෙයින් සැදැහැවත් පිරිස දිය කපන ස්ථානයට පහළින් රැස් වී සිටිති. සිටුවන ලද කප ද කැබලි කොට ගඟට දමන බැවින් ගොවිබිම්වලට ඉන් කැබැල්ලක් ගෙනගොස් දමන්නට පොර බදන අයද මේ අතර වෙතැයි කියැවේ.

අලුයම දිය කැපීමේ චාරිත‍්‍රය නිම කිරීමෙන් පසු දහවල ආදාහන මළුව ගෙඩිගේ විහාරයෙන් පිටත් වන දළදා මාලිගයේ පෙරහරට සිව් දේවාලවලින් පිටත් වන පෙරහර ද සම්බන්ධ වී නුවර වීදිය ඔස්සේ මාලිගා චතුරශ‍්‍රය දක්වා පැමිණ ඒ වටා තෙවරක් ප‍්‍රදක්ෂිණා කිරීමෙන් ඉක්බිති දළදා මාලිගයේ පෙරහර මාලිගාවටත් සතර දේවාල පෙරහර ඒ ඒ දේවාලවලටත් ශුභ මොහොතින් ගෙවදී. පෙරහර අවසන් වූ පසු දියවඩන නිලමේතුමා සහ දේවාලවල බස්නායක නිලමේවරු ඉපැරණි සම්ප‍්‍රදායට අනුව පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව අතිගරු ජනාධිපතිතුමාට වෙත සැලකර සිටිනුවස් මහනුවර ජනාධිපති මන්දිරයට ගමන් කරති. එහිදී ඊට සහභාගි වන විශේෂයෙන් ඇත් පැටවුනට සංග‍්‍රහ කෙරෙන අතර දක්‍ෂ රංගන ශිල්පීන්ට කුසලතා සම්මාන ප‍්‍රදානය කෙරේ.

නිකිණි පුර පසළොස්වක

පෝය අගෝස්තු 27 වැනි දා සඳුදා
අපර භාග 06.13 ට ලබයි. 28 වැනි දා අඟහරුවාදා අපරභාග 04.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු
28 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය සැප්තැම්බර්
04 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 28

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]