Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

‘පින-කුසල’ පැනය අභිධර්මයෙන් විසඳිය නො හැකි ය

පැවිදි උතුමන්ටත්, ගිහි ඕදාත වසන ජනතාවටත්, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවනට එකම මගකි. ඒ සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා අංග අටකින් ප‍්‍රකට උතුම් මගක් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මේ මග හැරුණු විට නිවනට වෙනත් මගක් පෙන්වා නැත. එය එසේ වුවත්, අභිධර්මය උගත් බොහෝ දෙනා ආර්ය මාර්ගයට සම්බන්ධ දහම් ගැටලු විසඳීමට අභිධර්මයෙන් පමණක් පිළිතුරු සැපයීමට උත්සාහ දරති. බුදුරදුන් නිවනට හෙළි පෙහෙළි කරදුන් මග අතහැර, බුදුන් වහන්සේ නොවදාළ අභිධර්මයෙන් කරුණු ගෙනහැර දක්වමින් පිනත් - කුසලයත් එකක්ම යැයි තහවුරු කිරීමට තැත්කිරීමෙන් ප‍්‍රශ්ණයට නිවැරැදි විසඳුමක් නොලැබෙනු ඇත.

පින හා කුසලය මෙන්ම සර්ව හා ධර්ම යන පද දෙක අතර ද සමාන අර්ථ ඇති සේ පෙනේ. එහෙත් නිර්වචන වශයෙන් ධර්ම යන පදය සර්ව යන පදයට වඩා පුළුල්ය. සර්ව නාමයෙන් සංගෘහිත වන්නේ ඉඳුරන් හා පසිඳුරන්ට අරමුණු වන දේ පමණක්ය. එහෙත් ධර්ම නාමයට ඉඳුරන්ට අරමුණු වන දේ මෙන්ම අතීන්ද්‍රිය ඥාණයට හසුවන සියල්ල ද ඇතුළත්ය.

පින හා කුසලය ගැන ද මේ ආකාරයටම අපි විමසා බලමු. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර භාරතයේ විසූ බොහෝ දෙනා මිථ්‍යා සංකල්ප, මිථ්‍යා චර්යා ආදියේ බැඳී සිටි බව ඉතිහාසය අපට පෙන්වා දෙයි. එදා තිබූ මිථ්‍යා දෘෂ්ඨි හැට දෙකක් ගැන බුදුන්වහන්සේ විස්තර කළ අයුරු බ‍්‍රහ්මජාල සූත‍්‍රයේ දැක්වේ. පූර්ව භව වල කළ පව් ගෙවීමට ශරීරයට දැඩි දුක් දෙමින්, මිථ්‍යාවිපල්ලාසයන්ට බොහෝ දෙනා ගොදුරුව සිටි බව සූත‍්‍රාන්ත වලද දක්නට තිබේ.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර කිසිම ආගමික කණ්ඩායමක් විසින් කුසල්- අකුසල් හඳුනාගෙන නොතිබිණි. ඒ වෙනුවට ආචාර විද්‍යාත්මක පද මාලාවට “ හොඳ නරක “ “ හරි වැරදි” යන පදයන්හි අදහස් දැක්වීම පිණිස සූකෘත දුස්කෘත , සාධු - අසාධු , පුණ්‍ය - පාය යන යුගල පද ව්‍යවහාරයේ තිබී ඇත.

සියවස් ගණනාවක් තිස්සේ මිථ්‍යා දෘෂ්ඨීන් වැළඳගෙන අවිද්‍යාන්ධකාරයේ නිමග්න වූ මිනිසුන්ට සම්‍යක් දෘෂ්ඨියක් ලබා දීම පිණිස ලෝකයේ ප‍්‍රථම වරට කුසල් -අකුසල් හඳුන්වා දුන්නේ, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. ආත්ම දෘෂ්ඨියට අයත් පින් - පව් නමැති යුගල පදයට හාත්පසින්ම වෙනස් වූ කි‍්‍රයා ගුණයක්, කුසල - අකුසල යුගල පදයෙහි ගැබ් වී තිබේ. සත්ව පුද්ගල ආත්ම වාදය ප‍්‍රතික්ක්‍ෂෙප කොට අනාත්මය හඳුන්වා දීමට කුසල් - අකුසල් පදය නිර්මාණය කළේ සම්‍යක් දෘෂ්ටිය පිණිස ය.

මින් පව් හා කුසල් අකුසල් හඳුන්වා දීමට අභිධර්මයෙන් පමණක් නිදර්ශණ ගැනීමත් , හැඟවෙන්නේ එ වැනි ප‍්‍රයත්න දරන ගිහි පැවිදි උභය පාර්ශ්වයම ආර්ය මාර්ගය හඳුනා ගෙන නො මැති බවය. හිත කොටස් අසූ නමයකට බෙදා කටපාඩම් කර ගැනීම හිත පිරිසිදු කර ගැනීමට සම්බාධකයක් මිසක , උපකාරයක් නොවේ. අභිධර්මය බුදුරජාණන් වහන්සේ විසින් නො වදාළ ස්ථවිරවාදීන්ගේ නිර්මාණයන් වූ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ කිහිපයකි. බුදු සමයෙහි ශාස්තී‍්‍රය වශයෙන් ගත යුතු කිසිවක් නැත. එය ධර්ම පද්ධතියක් හා චරණ පද්ධතිය කි. බුදුදහමෙන් අවධාරණය කර ඇති සියල්ල ප‍්‍රායෝගික විය යුතුය.

බුදුගොස් හිමියන් ලංකාවට එන්නට අවුරුදු හැත්තෑපහකට පමණ පෙර උපතිස්ස තෙරුන් විසින් ලියන ලද විමුක්ති මග්ගය අතුරුදන් කර, ඊට පසුව අභිධර්මය ද ඇතුළත් කර බුද්ධඝෝෂ හිමියන් විසින් විසුද්ධි මග්ගය ලියා ඇති බව පොත පතෙහි දක්නට තිබේ. ලෝකයේ රටවල් ගණනාවක අන්තර් ජාතික විශ්ව විද්‍යාල රාශියක අභිධර්ම මහාචාර්යවරයකු වශයෙන් සේවය කර ඇති අප රටේද වියත් භික්ෂූන් වහන්සේ බොහෝ දෙනකුගේ ගුරුවරයකු වූ මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා ජීවතුන් අතර සිටියදී ප‍්‍රසිද්ධ මහා බෞද්ධ රැස්වීම් වලදී පවා අභිධර්මය ගැන සඳහන් කළේ, බෞද්ධයාට බුද්ධාගම එපා කරවීමට , ධර්මය නීරස කරවීමට ස්ථවිර වාදීන් විසින් කරන ලද මහා කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලය අභිධර්මය බවයි. එතුමා 1982 වර්ෂයේදී මහාබෞද්ධ රැස්වීමක් අමතා කළ එම දේශනයක හඬ පටය තවමත් මා ළඟ තිබේ.

අභිධර්මය පිළිබඳව මාටින් වික‍්‍රමසිංහ මහතා ද මෙවැනි ම අදහසක් ඉදිරිපත් කර තිබේ. “ පරමාර්ථ දේශනා නමින් හැඳින්වෙන අභිධර්මය දේශනා කරන ලද්දේ මෙලොව මිනිසුන්ට නොව,දෙව්ලොව දෙවියන්ටය.මේ කථාවෙන් හෙළිවන්නේ අභිධර්මය බුදුන්ගේ දේශණාවක් නො වන බව යි. කාමයෙහි ගැලී සැප විඳීන්නන් ලෙස හැඳින්වෙන දෙව්ලොව දෙවියන්ට අභිධර්මය (අනිත්‍ය, දුඞඛ, අනාත්ම දහම ) දෙසන්නට බුදුන් වහන්සේ යතියි සිතීම උන්වහන්සේට කරන නින්දාවක් වැන්න. කාමයෙහි ගැලී සිටි රජුන් ඔවුන්ගේ අන්තංපුර වල දහම් දෙසූ තවුසන්ට කළ දරුණු වධ හිංසා ජාතක කතා වලින් හෙළි වෙයි “

අභිධර්මය යන අශෝක රජුගෙන් පසුත් කණිෂ්ක රජුගේ කාලය වන පළමු වන කිතු වසත්, අතර තුර බමුණු යතිවරයන් විසින්, නිපදවන ලද චිත්ත චෛතසික ධර්ම විභාගයක් යැයි ස්වාධීනව අභිධර්මය විමසන පඬිවරයෝ කියති’ අභිධර්මයෙහි ඇතුළු වන පරමාණු විභාගය වේදය, උපනිෂද්, සාංඛ්‍ය, බුදුසමය, හින්දු ආදී ආගම් වලට පටහැනි චාර්වක නොහොත් ලෝකායන දර්ශනයෙහි අංගයකි” (බෞද්ධ දර්ශනය හා මාර්ගය - මාර්ටින් වික‍්‍රමසිංහ)

අප රටේ භික්‍ෂු සමාජයේ බොහෝ උතුමන් ගතානුගතික හා සම්ප‍්‍රදායික ක‍්‍රමයට ම කටයුතු කිරීමට ඇබ්බැහි වී ඇති බැවින්, විචාර පූර්වකව යමක් ගැන විමසා බැලීමට තවමත් පුරුදු වී නො මැති බව පෙනේ. එය පැහැදිලි ලෙසම පෙනී යන්නේ අභිධර්මය බුදුරදුන්ගේ දේශනාවක් හැටියට පිළිගැනීමයි. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ අභිධර්මයෙන් ආර්ය මාර්ගයට සම්බන්ධ ගැටලු විසඳීමට තැත් කිරීම නිසා එය තවත් අවුලෙන් අවුලටම පත්වනවා ඇත.

විචාර බුද්ධියෙන් තොරව බුද්ධ වචනය ගැන නො සොයා, සාහිත්‍යයට වහල් වීම නිසා සියවස් ගණනාවක් තිස්සේ නො වියත් බෞද්ධ ජනතාවට කොපමණ බොරු උගන්වා ඇත්දැයි පහත සඳහන් කරුණු විමසා බැලීමේ දී කාටත් වැටහෙනු ඇත.

සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ගේ අභිනිෂ්ක‍්‍රමණය ගැන ද, බුද්ධ චරිතයෙහි දැක්වෙන්නේ අලංකාර වාදයෙන් කරන ලද ප‍්‍රබන්ධයකි. දහම් පාසලේ ද, විදුහලේ ද, පන්සලේ ද සියවස් ගණනක සිට අපට කිය දුන්නේ සිද්ධාර්ථ කුමාරයා මාලිගාවේ සියල්ලන්ට හොරෙන් මහ චන්න අමාත්‍යයා සමග කන්ථක අසු පිට නැගී පලා ගිය බවකි. ති‍්‍රපිටකයේ සූත‍්‍ර කිහිපයකම දැක්වෙන ආකාරයට එම කථාව අමූලික බොරුවකි. පෙළ දහමෙහි දැක්වෙන්නේ මෙසේ ය.

“බෝධිරාජ කුමාරය, තරුණ වයසේ සිටි මා නව යොවුන් වයසේදී ම ගෙදර දීම කෙහෙ රැවුල් බා කසාය වස්ත‍්‍ර හැඳ පොරොවා මාපියන් කඳුළු පිරි දෙනෙතින් හඬා වැළෙපෙද්දී ගිහි ගෙයින් නික්ම පැවිදි වීමි. ඉන් පසුව කිං කුසල ගවේශීව නිවන සොයමින් ආලාර කාලාම තාපසයා වෙත ගිය මා නොබෝ කලකින් එතුමාගේ ධර්මය වටහා ගතිමි.”

(බෝධිරාජ කුමාර සූත‍්‍රය, මජ්ඣීම නිකාය)

මේ ආකාරයට ම අරියපරියෙසන සූත‍්‍රය, මහා සච්චක සූත‍්‍රය හා සංගාරව සූත‍්‍රය ආදී සූත‍්‍රවල ද එය දැක ගැනීමට පුළුවන.

අභිනිෂ්ක‍්‍රමණය ගැන බුදුරජාණන් වහන්සේම කරන ලද දේශනා සූත‍්‍ර ගණනාවකම ඉතාම පැහැදිලිව තිබිය දී සත්‍යය වසන් කර සිය වස් ගණනාවකම සිට අසත්‍යයක්ම දේශනා කර බෞද්ධ ජනතාව මුළා කළේ කුමක් සඳහා දැයි සොයා බැලීම වියත් බෞද්ධ ජනතාවට භාර වගකීමකි.

මහා වග්ග පාලිය හා සසඳා බැලීමේ දී සත් සතිය ද මෙවැනිම මුසාවකි. මහාවග්ග පාලියේ ඇත්තේ සති හතරකි.පළවන හා දෙවන සති දෙක අතරට ඉතිරි සති තුන රිංගවා ඇත්තේ, බෝධි පූජාවට තැන දීමටත්, අභිධර්ම ප‍්‍රකරණයට තැන දීමත් සඳහා ප‍්‍රචාරක කොමිටිය විසිනි. බෞද්ධකම (බුද්ධිමත් කම) යනුවෙන් අදහස් වන්නේ විචාර පූර්ව අවදිකමයි. එම අවදිකම බෞද්ධයා තුළ ඇතිකරවීම පිණිස ඉහත දක්වා ඇති කරුණු ඉදිරිපත් කිරීමට සිදු වූ බව යටහත්ව දන්වමි.

සිද්ධාර්ථ බෝසතුන් වහන්සේගේ අභිනිෂ්ක‍්‍රමණය ද කුසලය කුමක්දැයි සොයනු පිණිස (කිං කුසල ගවේෂීව) කරන ලද්දක් යැයි සූත‍්‍රාන්තවල දැක්වේ. ඊට පෙරාතුව කුසල් - අකුසල් දැන හඳුනා ගෙන සිටියා නම්, අමුතුවෙන් ඒ ගැන පර්යේෂණයක් කිරීමට අවශ්‍යතාවක් ඇත්දැයි පින හා කුසලය එකක්ම යැයි පවසන පැවිදි උතුමෝ විමසා බලත්වා.

පින හා කුසලය එකක් ම යයි පුන පුනා පවසන අභිධර්මාචාර්යවරුන්ට ද, විමුක්ති මග සොයා ගැනීමට නො හැකිව මං මුළා වී සිටින සියලු දෙනාට ද මහා චත්තාරික සූත‍්‍රය ඉතා අගනේ ය. එම සූත‍්‍රයේ දී ඉතාම පැහැදිලිව පින හා කුසලය වෙන් වෙන්ව දේශනා කොට තිබේ.

“කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? සම්මා දිට්ඨි පහං භික්ඛවේ ද්වයං වදාමි. අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්ඛා අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගංගා”

මේ අනුව බුදුරජාණන් වහන්සේ සම්‍යක් දෘෂ්ඨිය දෙවැදෑරුම් වශයෙන් වෙන් වෙන් ව දේශනා කොට තිබේ. පිනෙන් භවගාමී සසරත්, කුසලයෙන් නිවන් මගත් වශයෙනි.

“කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපධි වෙපක්ඛා? අත්ථි දින්නං අත්ථි යිට්ඨං . . .” නැවත උත්පත්තියට හේතු වන්නා වූ පින් - පව් භේදය අනුව පින් රැස්කර ගැනීමට දානයක් ඇත. යාගයක් ඇත. පින් - පව් දෙකෙහි විපාක ඇත, මෙලොව පරලොව ඇත යනාදී වශයෙන් දෘෂ්ඨි ග‍්‍රහණය ඇතිකර ගැනීමට හේතුවන සම්‍යක් දෘෂ්ඨිය හා නැවත උත්පත්තියට හේතු නොවන (උපධි විපාක රහිත) ආර්ය මාර්ගය වැඩීමට ලෝකෝත්තර මාර්ගාංගය සඳහා ද සම්‍යක් දෘෂ්ඨිය දේශනා කර ඇත.

“කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගංගා . . . “ මේ අනුව බලන කල ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයාට අනුපූර්ව ශික්ෂණ ප‍්‍රතිපදාවෙන් සියලු දෘෂ්ඨි ප‍්‍රහාණය සාදා ගත හැකි බව පැහැදිලිය.

ආර්ය මාර්ගයේ ගමන ආරම්භ වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙකින් සමන්විත වූ “ප‍්‍රඥාව“ ලබා ගැනීමෙනි. මේ අනුව ති‍්‍රවිධ ශික්ෂණ ප‍්‍රතිපදා මාර්ගය ප‍්‍රඥා ශීල සමාධි යනුවෙන් සැලකිය යුතුය.

ප‍්‍රථමයෙන් ම (සම්මා දිට්ඨි) නිවැරැදි දැකීමක් ඇතිකර ගැනීමට පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය පිළිබඳ නිවැරැදි අවබෝධයක් තිබිය යුතුය. එම අවබෝධයෙන් කුසලයට යොමුවීමට පුළුවන. මම, මගේ යනුවෙන් තිබෙන සක්කාය දිට්ඨිය සුනු විසුණු නොකර කුසල් වැඩිය නොහැකි බව මෙයින් තේරුම් ගත යුතුය. පින් - පව් අයත් වන්නේ ‘මම වෙමි, මගේ වෙමි’ යනුවෙන් තිබෙන සක්කාය දිට්ඨියටය.

සම්මා දිට්ඨි සූත‍්‍ර දේශනා අනුව අකුසලයත්, අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් දකී ද එතැන් සිට ආර්ය ශ‍්‍රාවකයා සම්‍යග් දෘෂ්ඨිකයෙකු වේ. මේ අනුව ආර්ය මාර්ගයට ප‍්‍රවිෂ්ටවීමේ දී අකුසලයෙන් වැළකීමට ප‍්‍රථම කොට සම්මා දිට්ඨිකයකු විය යුතුය.

පින් - පව් සහ කුසල් - අකුසල් හඳුනා ගැනීමට නො හැකි වූ ගතානුගතික ඇදුරන් ති‍්‍රවිධ ශික්ෂණ ප‍්‍රතිපදා මාර්ගය ද උඩු යටිකුරු කර ඇති බව මහා චත්තාරීසක සූත‍්‍ර ධර්ම පර්යාය ක‍්‍රමය මැනවින් විමසිල්ලට භාජනය කරන්නේ නම් වටහා ගැනීමට පුළුවන.

කාම සුඛල්ලිඛානු යෝගය හා අත්තකිලමතානු යෝගය අත හැරීමේ දී නිවැරැදි මාවත පෙන්වීමට කුසලය යන පදයට බුදු සමයේ විශිෂ්ට ස්ථානයක් හිමිව ඇත.

ආර්ය මාර්ගයට පිළිපන් තැනැත්තා කුසල සංකල්ප අභිවර්ධනයට පත් කර ගනිමින් කාමය නමැති අකුසල සංකල්පයෙන් වැළකීමට නෙක්ඛම්ම සංකල්පයත්, ව්‍යාපාදයට ප‍්‍රතිපක්‍ෂ වූ අව්‍යාපාදයත්, හිංසාවට ප‍්‍රතිපක්‍ෂ කරුණාවත් යන “ නිවැරැදි සංකල්පනා ඇති කර ගනියි.

සම්‍යක් දෘෂ්ටිය හා සම්‍යක් සංකල්පනාව පූර්වාංගම වීමෙන් කාය වාග් ද්වාර වලින් සිදුවන, අකුසල් වලින් වැළැකී කටයුතු කිරීම, බුදුසමය ශිලය පිරීම’ ලෙස හඳුන්වා දී තිබේ.

සම්මා දිට්ඨියට අනුකූලව අර්ථවත් විරමණ රැසක් තුළ ජීවිතය හසුරුවා ගැනීමත්, අකුසල කෙරෙහි විවිධාකාරයෙන් විසිරී යන පුද්ගල ජීවිතය සම්‍යක් අරමුණු ඔස්සේ පැහැදිලි ක්‍ෂේත‍්‍රයක් තුළ රඳවා ගැනීමත්, බෞද්ධ ශීල සමාදානයේ අභිප‍්‍රායයි.

අරි අටැඟි මගෙහි නම් කොට ඇති අංග, එකින් එක පසුකරගෙන යා යුතු කිලෝ මීටර් කණු නොවේ. ඒවා එකවර එක සිතක වැඩෙන අංගයෝය. ප‍්‍රතීත්‍ය සමුත්පන්නය. සම්මා දිට්ඨිය සම්මා සංකප්පයට පූර්වාංගම වීමත්, සම්මා දිට්ඨිය හා සම්මා සංකප්පය පිරිවර වීමෙන් නිතැතින්ම ඇති වන සිල්වත් කමත්, සම්මා වායාමයට පිරිවර වෙයි.

ප‍්‍රඥාව හා ශීලය පිරිවර වීමෙන්, අකුසලයෙන් වැළැකීමට ද කුසල් ප‍්‍රගුණ කිරීමට ද සත්මාර්ගගාමී අරමුණූ ඉටුකර ගැනීම පිණිස නිබඳව උද්‍යෝගය අත් නොහැර ධෛර්යමත් වීමට (සම්මා වායාමයට) සම්මා සංකප්ප පිරිවර වේ.

වික්ෂිප්ත බවෙන් තොරව, එළඹ සිටි සිහියෙන් ධර්ම සන්තතිය පිළිබඳ අවදිකම ඇතිකර ගැනීමට සම්මා සංකප්ප හා සම්මා වායාමය සම්මා සතියට පිරිවරවෙයි. මෙම අංග පරිපූර්ණත්වයට පත් වන විට චිත්ත ඒකාග‍්‍රතාව උදෙසා සමාධිය වැඩිය හැකි වන්නේ ය. මෙය සේඛ ප‍්‍රතිපදාවයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් දේශනා කළේ (ආධුනිකයන්ගේ ) පුහුණු වන්නන්ගේ ප‍්‍රයෝජනය පිණිසය. (ශෛක්‍ෂ වශයෙනි) එසේ හෙයින්, සමාධිය බෞද්ධ මාර්ගයේ නිෂ්ටාව නොවේ.

අශෛක්‍ෂ වශයෙන් අංග දහයකින් සමන්විත දශාංග මාර්ගයක් විමුක්තිය පිණිස දේශනා කර තිබේ. නව වැනි (9) අංගය සම්මා ඤාණ දහ වැනි (10) අංගය සම්මා විමුක්ති දස අංගෙහි සමන්නාගතො අරහාති වුච්චතීති.

මේ ධර්ම පර්යාය ක‍්‍රමය අනුව ති‍්‍රශික්ෂණ ප‍්‍රතිපදා මාර්ගය ප‍්‍රඥා , ශීල, සමාධි, යනුවෙන් විය යුතුය.

ලෝක ප‍්‍රකට භාවනානු යෝගී සංඝයා වහන්සේ නමක් වන තායිලන්තයේ අචාන් චා හිමිපාණන් වහන්සේද සිය දේශනාවල දී මෙසේ පවසා ඇත. “පොත පතින් , අප ඉගෙන ගන්නා හැටියට නම්, ශීල, සමාධි, ප‍්‍රඥා ඒ අනුපිළිවෙළට වැටේ. එහෙත් මා මේ ගැන විමර්ශනය කළ විට වැටහුණේ ප‍්‍රඥාව ශීලයේ හා සමාධියේ පදනම බව ය.

අපේ කතාව හා කි‍්‍රයාව මනසට බලපාන්නේ කෙසේද කියා හොඳින් අවබෝධ කර ගත යුත්තේ , එය අපට අහිතකර ප‍්‍රතිඵල ගෙන දිය හැකි බැවිනි.

හේතු කාරක මත පිළිබිඹු වීම තුළින් ප‍්‍රඥාව අපගේ කි‍්‍රයා හා වචන හසුරුවමින් හා පාලනය කරමින් ඒවා පිරිසුදු කරයි.

කුසල් හා අකුසල් සිතිවිලි මත පදනම් වී ඇති කි‍්‍රයා සහ වචන වල විවිධ ස්වරූප ඔබ දන්නේ නම් ධර්ම මාර්ගය පුහුණු කළ යුතු ආකාරය ඔබට පෙනී යනු ඇත” (අචාන් චා හිමි )

මේ ලිපියෙන් මෙතෙක් ඉදිරිපත් කර ඇති කරුණු විමසා බලා යථාර්ථය වටහා ගැනීම පාඨකයා සතු වගකීමකි.

නිවන් මාර්ගය අමතක කොට දමා බෞද්ධයාගේ සසර ගමන දිගු කරන පින්කම්, අද ඉතාම ජනපි‍්‍රය තත්ත්වයට පත් කර තිබේ.

ඊට හේතුව ජනතාව ආර්ය මාර්ගයට යොමු කරවීමට වෙහෙසෙනවාට වඩා පුද පූජා පැවැත්වීම පහසු බැවිනි. එම පින් වලින් කොටසක් මළගිය ඥාතින්ට ද අනුමෝදන් කළ හැකිය.

පින්කම් වඩාත් ජනපි‍්‍රය වීමට එය තවත් හේතුවකි. නමුත් කුසල් අනුමෝදන් කළ නො හැකිය. ඒ නිසා කුසලට වඩා පින වාසිදායක යැයි අවබෝධයෙන් හීන වූ පුද්ගලයා අදහස් කරයි.

සසර දුක නමැති ආබාධයට බුදු වෙද උතුමා නියම කරන ලද බෙහෙත දහම් ඖෂධයයි.

බෙහෙත හරි හැටි පාවිච්චි කිරීමෙන් රෝගය නිට්ටාවට සුව කර ගත හැකි ය. බෙහෙත නොගෙන වෛද්‍යවරයාට පුද සත්කාර කිරීමෙන් ලෙඩ සුව කර ගත නො හැකිය.

පවෙන් වැළකී පින් රැස්කර ගැනීමෙන්, පින් බලයෙන් හෝ ආමිස වශයෙන් කිසිවක් රැස්කර ගැනීමෙන් හෝ දුකින් නම් මිදිය නො හැකිය.

සිත, කය, වචනය නමැති තුන් දොරින් කැරෙන අකුසල වලින් වැළකී කුසල් නමින් හඳුන්වනු ලබන්නා වූ කි‍්‍රයා ප‍්‍රගුණ කිරීමට කිසිම පුද පූජාවක් අවශ්‍ය යැයි බුදුරජාණන් වහන්සේ කිසිම තැනකදී (ආර්ය මාර්ගයෙන් සම්බන්ධයෙන් ) දේශනාකොට නොමැත.

මෙය පිළිගැනීමට අකැමැති අයට සිත් සේ පින්කම් හා පුද පූජා පැවැත්වීමට අවස්ථාව ද පහසු කම් ද ඇත.

බුද්ධිහීන පුද්ගලයින්ගේ මෙවැනි අවශ්‍යතා සපුරාලන අතරමැදි පූජක පිරිසක්ද ඒ අය වෙනුවෙන්, ඉදිරිපත් වීමට සැදී පැහැදී සිටිති. මේ කිසිවකුටත් දුකින් නම් මිදිය නොහැකිය.

ධර්මය , තම තමන් විසින් , තම තමන් තුළම අවබෝධ කටයුතු දෙයකි.

කෙනකු වෙනුවෙන් තවත් කෙනකුට ධර්මය අවබෝධ කළ නොහැකි බව දැනුමක් ඇති කවුරුත් පිළිගන්නා දෙයකි.

මේ න්‍යාය ධර්මය අනුව සියල්ලෝම ධර්මාවබෝධය ඇති කර ගැනීමට උත්සුක වීම මැනවි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.